චීනය සමග සබඳතා බිඳින ලෙස ලංකාවට බලපෑම් දැමීමේ “මානව හිමිකම්” යෝජනාවක් ඇමරිකාවේ පිටුබලයෙන් ඉදිරිපත් වෙයි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු  2 දින US-backed “human rights” resolution to pressure Sri Lanka to break ties with China  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

දැනට ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට, පසුගිය සතියේ දී “ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රමුඛ කන්ඩායමක්” යෝජනාවක් ඉදිරිපත් කලේ ය. ලංකාවේ මිලිටරිය සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) අතර පැවති තිස් අවුරුදු සිවිල් යුද්ධය සමයේ සිදු වුනු යුද අපරාධ ඇතුලු මානව හිමිකම් ප්‍රශ්න ගැන එම යෝජනාව අවධානය යොමු කරයි.

“ශ්‍රී ලංකාව තුල සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් දිරිමත් කිරීම” යන මාතෘකාවෙන් යුත් මෙම යෝජනාව, සංශෝධන ඇත්නම් ඒවා ද සහිත ව, මාර්තු 22දා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී ඡන්දයට දැමීමට නියමිතය.

2009 ජනවාරි මාසයේ යුද්ධයෙන් පලා යන දෙමල පවුල් (මූලාශ්‍රය: විකිමීඩියා)

 මෙම ප්‍රමුඛ කන්ඩායමට එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ හා මලාවි රාජ්‍යය ඇතුලත් වේ. වොෂින්ටනය මෙම කන්ඩායමේ සාමාජිකයෙක් නො වූව ද එක්සත් රාජධානියේ රාජ්‍ය-තාන්ත්‍රිකයන් හා එක්සත් ජනපද-ගැති දෙමල ජාතික සන්ධානය ඇතුලු ශ්‍රී ලංකාවේ දෙමල කන්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් පසුගිය දෙසැම්බරයේ සිට එම යෝජනාව සුදානම් කිරීම සඳහා  වොෂින්ටනය පිටුපසින් සිට ක්‍රියා කලේය.

වීඩියෝ තාක්ෂනය ඔස්සේ පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම ඇමතූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, තම රට යලි වතාවක් එම කවුන්සිලයට සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති බයිඩන්ගේ පරිපාලනය, “ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් රැකීම” තමන්ගේ විදෙස් පිලිවෙතෙහි කේන්ද්‍රයේ පිහිටුවන බව බ්ලින්කන් කුහක ලෙස ප්‍රකාශ කලේ ය.

“සිරියාවේ හා උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ශ්‍රී ලංකාවේ අතීත අපරාධ පිලිබඳ වගවීමක් නැති කම හා දකුනු සුඩානයේ තත්ත්වය පිලිබඳ ව වැඩිදුර විමර්ශනවල අවශ්‍යතාව ඇතුලු ලොව පුරා උත්සුක විය යුතු ප්‍රශ්න ආමන්ත්‍රනය කරමින් මෙම රැස්වීමට ඉදිරිපත් කරනු ලබන යෝජනාවන්ට සහයෝගය දෙන ලෙසට අපි මෙම කවුන්සිලය උනන්දු කරනවා,” යයි ඔහු කීවේය.

ලෝකයේ ඉහල ම යුද අපරාධකාරයා වන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි. පසුගිය දශක තුන තුල පමනක්, මැද පෙරදිග, බෝල්කන් කලාපය, ඇෆ්ගනිස්තානය හා තවත් තැන්වල ඇමරිකාව එක යුද්ධයකට පසු තවෙකක් වසයෙන් යුද්ධ දියත් කර ඇත්තේ, අහිංසක මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ලක්ෂ ගනනක් මරා දමමිනි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහතික වන්නේ තම පූර්වගාමීන් මෙන් ම බයිඩන් පරිපාලනය ද වොෂින්ටනයේ භූ-මූලෝපායික අවශ්‍යතා සමග අනෙක් රටවල් පෙලගස්වා ගැනීම සඳහා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නරුම ලෙස යොදාගන්නා බව යි. බ්ලින්කන් තම වීඩියෝ කතාවේ දී චීනය හා රුසියාව විසින් කරන මානව හිමිකම් උල්ලංඝනයන් ද හෙලාදුටුවේ ය.

ලංකාවේ මානව හිමිකම් රැකීම සමග මොන ම සම්බන්ධයක් හෝ නැති බ්ලින්කන්ගේ කතාවේ හා ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාවේ ඉලක්කය වන්නේ, බෙයිජිනය සමග සබඳතා බිඳ දමා චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම මුලුමනින් වැලඳ ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙලඹවීම යි.

මුදල් හිඟයෙන් පෙලෙන කොලඹ පාලන තන්ත්‍රය චීන ආයෝජන හා නය මත වඩ වඩා වාරුවී සිටීම ගැන වොෂින්ටනය උත්සුක ව සිටියි. නය භරිතව පෙර නුවූ විරූ අවුලක ගිලී ඇති ලංකාවේ ආර්ථිකය, කොවිඩ්-19 වසංගතයේ බරපතල බලපෑම නිසා අපනයන වැටීමට හා රටෙහි මුදල අවප්‍රමානය වීමට ද මුහුන දෙමින් සිටියි.

එල්ටීටීඊය විසින් සිදුකල මානව හිමිකම් අපයෝජනය කිරීම් ද ඇතුලු “ශ්‍රී ලංකාව තුල සිදු වී ඇති සියලු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන් ගැන විස්තීර්න ලෙස සොයාබලන ලෙස" ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාවෙන් ඉල්ලා සිටී. මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් විසින් “වගවීම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල සිදු වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන්වලට සම්බන්ධ සාක්ෂි ආරක්ෂා කිරීමේ හා විශ්ලේෂනය කිරීමේ වැදගත් කම” ද එම යෝජනාවේ සඳහන්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් තුල “අදාල අධිකරනමය ක්‍රියාවලීන්” සිදු කිරීම පිනිස, එනම් යුද අපරාධ සිදුකල තැනැත්තන්ට චෝදනා ගොනු කිරීමට, එවන් සාක්ෂි යොදාගැනෙනු ඇත.

යෝජනාවට ඇතුලත් කර නැතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ලංකාව පිලිබඳ ව ජනවාරි මාසයේ ඉදිරිපත් කල වාර්තාව,  “වගවීමට” අසමර්ථ වීම ගැන සුවිශේෂී වසයෙන් සඳහන් කරමින්, එය ජාත්‍යන්තර අපරාධ අධිකරනයට යොමු කරන ලෙස යෝජනා කලේ ය. ලංකාව තුල “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන චෝදනාවට ලක් වූවන්ට” සංචාරක තහනම් හා වත්කම් හිරකිරීම ඇතුලු සම්බාධක පනවන ලෙස ද බැචලේ ඉල්ලා සිටියාය.

පසුගිය සතියේ පැවති රැස්වීම ඇමතූ බැචලේ, “ශ්‍රී ලංකාව තුල දරුනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකල අයට” එරෙහි ව අනෙකුත් රටවල දී අධිකරනමය ක්‍රියාමාර්ග ගැනීමට සහයෝගය පලකලා ය.

1983 පටන්ගෙන 30-වසරක් ගෙනගිය එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී, ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු හා ඒවායේ මිලිටරිය ගනන් නැති යුද අපරාධ සිදු කලහ. කොලඹ ආන්ඩුවේ අපරාධ ආවරනය කිරීම සඳහා, ලංකාවේ පාලක ප්‍රභූව හා මාධ්‍ය, එල්ටීටීඊයේ ත්‍රස්තවාදී හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් හුවා දැක්වූහ.

වසර හතරක් පුරා පැවතුනු අස්ථාවර “සටන් විරාමයකින්” පසුව, එක්සත් ජනපදයේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ගේ ද ඉන්දියාවේ ද පිටුබලය සහිත ව, ජනාධිපති මහින්ද රාජපක්ෂ 2006 දී යුද්ධය යලි ඇරඹුවේය. ඔහුගේ සහෝදරයා වන එවක ආරක්ෂක ලේකම් වූ හා දැන් ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ, මෙම ලේවැකි මිලිටරි මෙහෙයුම් අධීක්ෂනය කලේ ය.

යුද්ධයේ අවසන් මාස කිහිපයේ දී, එක්සත් ජාතීන්ගේ තක්සේරු කිරීම්වලට අනුව, දෙමල සිවිල් වැසියන් 40,000ක් පමන ඝාතනය කරන ලද අතර, මිලිටරියට යටත් වූ සිය ගනනක් තරුන ජනයා “අතුරුදන්” වූ හ. වොෂින්ටනය මෙම යුද අපරාධ ගැන කිසි විටක උත්සුක වී නැත.

කොලඹ ආන්ඩුව සිය ම්ලේච්ඡ යුද්ධය කරගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර හා ආයුධ සම්පාදනය කරගැනීමට බෙයිජිනය මත බොහෝ සෙයින් රැඳී සිටියේ ය. චීනය වටකර හුදකලා කිරීම සඳහා “ආසියාවට හැරීම” ඇරඹූ, බයිඩන් උප ජනාධිපති ලෙස ක්‍රියාකල ජනාධිපති ඔබාමාගේ ආන්ඩුව, මෙම සබඳතාවන්ට තරයේම විරුද්ධවිය.

ලංකාවට එරෙහි යෝජනා ගෙන එමින් බෙයිජිනයෙන් ඈත් වන ලෙස පීඩනය යෙදීමට වොෂින්ටනය මානව හිමිකම් කවුන්සිලය යොදාගත්තේ ය. එය අසාර්ථක වූ තැන, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කොට මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීම සඳහා, ඇමරිකාව 2015 දී තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමුවේ ය.

සිරිසේන හා ඔහුගේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ, වොෂින්ටනයට හා එහි මූලෝපායික හවුල්කරුවා වන ඉන්දියාවට ගැති විදෙස් පිලිවෙතකට මාරු වූහ. නව පාලන තන්ත්‍රය, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි සැලසුම් සමග ලංකාවේ මිලිටරිය ඒකාග්‍ර කිරීම ක්ෂනික ව ආරම්භ කලේ ය. එයට හිලව් ලෙස, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක් යටපත් කිරීමට ශ්‍රී ලංකාවට උදවු දුන් වොෂින්ටනය ඊනියා “දේශීය අධිකරන යාන්ත්‍රනයක්” යෝජනා කිරීමට සහයෝගය දුන්නේය.

2019 හා 2020 මැතිවරනවල දී ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ජනාධිපති හා අගමැති ලෙස යලි පත්වීමෙන් අනතුරුව, කොලඹ ආන්ඩුව බෙයිජිනය සමග සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි වොෂින්ටනය හා නව දිල්ලිය එක දිගට ම කනස්සල්ල පලකලහ.

චීනය සමග තමන්ට තිබෙන්නේ ආර්ථික සබඳතා පමනක් බව කියමින්, වොෂින්ටනයේ හා නව දිල්ලියේ විරුද්ධත්වය සමනය කිරීමට කොලඹ ආන්ඩුව අපේක්ෂා කරයි. එහෙත්, තම ආඥාදායක පාලනය ශක්තිමත් කරගැනීම පිනිස මිලටරිය මත තරයේම රැඳී සිටින රාජපක්ෂ තන්ත්‍රය, ඕනෑම යුද අපරාධ විමර්ශනයකට හෝ ඉඩනොදී එය ආරක්ෂා කරන බවට සපථව සිටී.

පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම ඇමතූ ශ්‍රී ලංකාවේ විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන බැචලේගේ වාර්තාව ප්‍රතික්ෂේප කලේ ය. “(මේ වාර්තාවේ) නිර්දේශ හා නිගමන, සමහර අංශ විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව අනුගමනය කර ඇති පූර්ව-නිර්නිත, දේශපාලනික හා අගතියෙන් යුත් න්‍යාය පත්‍රයක් පිලිබිඹු කරන” බව ඔහු ප්‍රකාශ කලේ ය.

ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාව ගැන ගුනවර්ධන කිසිවක් නො කියූ නමුත්, ලංකාවට මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රාජපක්ෂ පුද්ගලිකවම ලිපි ලියුවේ ය. ලංකාවට එරෙහි යෝජනාව මත දිගහැරෙමින් තිබෙන රාජ්‍ය-තාන්ත්‍රික ගැටුම, එක් පසෙක එක්සත් ජනපදය ද අනෙක් පස චීනය හා රුසියාව ද පෙල ගැසුනු භූ-දේශපාලනික ආතතීන්ගේ ගැඹුරු වීම පෙන්නුම් කරයි.

“මානව හිමිකම් ක්‍රියාශීලී ලෙස දිරිමත් කිරීමට හා ආරක්ෂා කිරීමටත්, තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඉදිරියට ගෙනයාමටත්, මහජනයාගේ ජීවන තත්ත්වයන් වැඩි වර්ධනය කිරීමටත්, දුර්වල කන්ඩායම්වල අයිතීන් ආරක්ෂා කිරීමටත්, ජාතික සංහිඳියාව දිරිමත් කිරීමට හා ත්‍රස්තවාදය පරාජය කිරීමටත් ශ්‍රී ලංකාව ගෙන ඇති උත්සාහයන්” පිලිබඳ ව ජීනිවාහි චීන තානාපති චෙන් ෂූ ලංකාවට ප්‍රශංසා කලේය.

කිසිදු රටක් නම් නොකරමින් චෙන් සඳහන් කලේ, “මානව හිමිකම් දේශපාලනීකරනය කිරීම හා ඒවා පිලිබඳ දෙබිඩි ප්‍රමිතීන් මෙන් ම අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට නිදහසට කරුනක් ලෙස මානව හිමිකම් යොදා ගැනීමට” චීනය විරුද්ධ බවයි.

එක්සත් ජනපදයේ තර්ජනයන්ට විරුද්ධ ව ක්‍රියා කිරීමේ ප්‍රයත්නයේ දී, කොලඹ ආන්ඩුව මත තම බලපෑම පවත්වාගෙන යාමට හා ශක්තිමත් කර ගැනීමට උනන්දු සහගත වන චීනය, ලංකාව තුල සිදු වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන උනන්දු නැත. චීනය කල ප්‍රකාශවලට සමානව කතාකල රුසියානු නියෝජිතයා “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට” කරන කිසිදු මැදිහත් වීමකට තමන් එරෙහි බව කීවේය.

ඉන්දියාවට කලාපීය හා ගෝලීය වසයෙන් පවතින බලපෑම නිසා, එරට සහයෝගය ලබා ගනිමින් මානව හිමිකම් කවුන්සිලය තුල යෝජනාව පරාජය කිරීමට කොලඹ මනාප වේ. එහෙත්, වොෂින්ටනය මෙන් ම චීනය සමග රාජපක්ෂගේ සබඳතාවන්ට සතුරු නව දිල්ලිය, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය 2015 දී ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමට පිටුබලය දුන්නේ ය.

රාජ්‍ය වත්කම් පුද්ගලීකරනයට එරෙහි ව කම්කරුවන් අතර වැඩෙන විරෝධය මධ්‍යයේ, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය බද්ධ ව්‍යාපාරයක් ලෙස නව දිල්ලියට පැවරීම සඳහා ඇති කරගෙන තිබූ එකඟතාවක් පසුගිය මාසයේ කොලඹ ආන්ඩුව විසින් කඩ කිරීම නිසා නව දිල්ලිය කෝපයට පත්ව සිටියි.

රාජපක්ෂගේ පාලන තන්ත්‍රයට සහයෝගය දෙන අන්ත-දක්ෂිනාංශික ජාතිකවාදී කොටස් ද එම ගිවිසුමට එරෙහි ව ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයක් ඇවිලවී ය. මූලෝපායික ව පිහිටා ඇති වරායේ අඩියගසා ගැනීම කෙරෙහි උනන්දු සහගත වූ ඉන්දියාව, එකඟතාව ප්‍රතික්ෂේප කිරීම පිටුපසින් සිටියේ චීනය යයි දෝෂාරෝපනය කලේය.

ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාව ගැන ආස්ථානයක් නො ගත් එක්සත් ජාතීන්ගේ ඉන්දියානු නියෝජිතයා වන ඉන්ද්‍රා මානි පාන්ඩේ, දෙමල සුලුතරයේ “අභිලාෂයන්ට” තම රට සහයෝගය දෙන බව ප්‍රකාශ කලේ ය. “සංහිඳියාව” සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, දෙමල ප්‍රභූව සමග බලය බෙදා ගැනීමේ සැලසුමක් වන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසත්, ඔහු කොලඹ ආන්ඩුවෙන් ඉල්ලී ය. කොලඹ ආන්ඩුව එවැනි බලය බෙදා ගැනීමේ සැලසුමකට විරුද්ධ වුවත් ලංකාවේ ආන්ඩු මත පීඩනය යෙදීම සදහා ඉන්දියාව අනවරත ව දෙමල ධනපති පක්ෂ යොදාගෙන ඇත.

ලංකාව පෙලගස්වා ගැනීමට තීව්‍ර කර ඇති ප්‍රයත්නයෙන් පෙන්නුම් කෙරන්නේ, චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් වඩා වඩා උත්සන්න වන බවයි. රාජපක්ෂ පාලන තන්ත්‍රය දේශපාලනිකව තුලනය වීමට දරන උත්සාහය නතර කොට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සූදානම් සමග මුලුමනින් පෙලගැසිය යුතු බව වොෂින්ටනය රාජපක්ෂ තන්ත්‍රයට අනතුරු අඟවා සිටී.

Loading