බුරවී සුලි කුනාටුවෙන් දස දහස් ගනනක් පීඩාවට පත්වෙති

දෙසැම්බර් 2 වෙනි දා දිවයින හරහා හමා ගිය 'බුරවී' සුලි කුනාටුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 21,52 ක පුද්ගලයන් 70,155 ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කලමනාකරන මධ‍්‍යස්ථානය 4 වෙනිදා නිකුත් කල වාර්තාවක සඳහන් වේ. දිස්ත්‍රික්ක 12 තුල නිවාස 59 ක් මුලුමනින් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස ගනන 2966 කි.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යුද්ධයෙන් දැදුරු වී ගිය උතුරු පලාතේ දිස්ත්‍රික්ක වල සහ නැගෙනහිර පලාතේ ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ ය. උතුරු පලාතේ පවුල් 20,717 ක පුද්ගලයන් 68,630 ක් පීඩාවට පත් වී සිටිති. දෙදෙනෙකු මිය ගිය අතර 6 දෙනෙකු තුවාල ලබා ඇත. නිවාස 57 ක් මුලුමනින් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස ගනන 2758 කි. පවුල් 2899 ක පුද්ගලයින් 10,604 ස්ථාන 58 ක රඳවා සිටිති. නැගෙනහිර පලාතේ ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ පවුල් 79 ක පුද්ගලයන් 252 ක් පීඩාවට පත්ව සිටිති.

ජලයෙන් යටවුන යාපනය නගරය

ව්‍යසනයටපත් ජනතාවගෙන් මතු විය හැකි විරෝධය මැඩලනු පිනිස සුලි සුලඟින් වන හානිය 'අවම කිරීමේ' හා හානියට පත් ජනයාට 'සහන සැලසීමේ' මුවාවෙන් රාජපක්ෂ ආන්ඩුව ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සීරුවෙන් තැබී ය.

හානි සිදු වූ නිවාස සඳහා 'වන්දි' ලබා දෙන බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදත් රනසිංහ මාධ්‍යයට පවසා ඇත. රාජපක්ෂ ආන්ඩුවේ පොරොන්දු අනුප්‍රාප්තික ආන්ඩුවල පොරොන්දු වලට වඩා වෙනස් නොවේ. එක්කෝ පොරොන්දුව කුනුකූඩයට වැටෙනු ඇත. නැතහොත් ලැබෙන වන්දිය විනාශයට පත් නිවාස වෙනුවට නව නිවසක් තනා ගැනීමට නොසෑහෙනු ඇත. කොරෝනා වසංගතය මහජනතාවගේ ජීවනෝපායන්ට බරපතල ලෙස බලපා ඇති කොන්දේසි තුල සුලිසුලඟින් විපතට පත් මෙම ජනයා කබලෙන් ලිපට වැටෙනු ඇත.

යාපනය මහ රෝහලේ වාට්ටු තුලට ජලය ගලා එයි

සුලිසුලං, ගංවතුර, නායයාම් ස්වාභාවික විපත් වුව ද අනුප්‍රාප්තික ධනපති ආන්ඩු කම්කරු-පීඩිත ජනයා කෙරෙහි දක්වන දුෂ්ට නොතැකීම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනයා පීඩාවට පත්වේ. දුසිම් ගනන් ජනයා මියයති.

අතුරුදහන්වූවෙකුගේ මලසිරුරක්

*2011 ජනවාරි මාසයේ දෙසතියකට වැඩි කාලයක් පැවති තද වැසි සහ ගංවතුර නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක මිලියනයකට වැඩි ජනයා පීඩාවට පත් වුහ. පුද්ගලයින් 350,000 ක් අවතැන් වූ අතර නාය යාම් වලින් 23 දෙනෙකු මිය ගියහ.

*2016 මැයි මාසයේ ඇති වූ රෝනු සුලිසුලඟින් දසදහස් ගනනකට නිවාස අහිමි වූ අතර 150 වැඩි පිරිසක් මරනයට පත් වූහ.

*2017 ජුනි මාසයේ මෝසම් වැසි සමග ඇති වූ ගංවතුරින් හා නායයාම් වලින් 717,522 ජනයා පීඩාවට පත් වුහ. ඔවුන් අතර කාන්තාවන් 150,000 ක්, ගැබිනි මවුවරුන් 7,600 ක් හා ලමුන් 180,000 ක් පමන වුහ. පුද්ගලයෝ 300 ක් මිය ගියහ. නිවාස 2,300 ක් මුලුමනින් විනාශ වූ අතර 12,500 කට අර්ධ හානි සිදු විය.

මෙම විපත්වලට ගොදුරුවූවන්ගෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජීවත්වීමට සරිලන නිවසක් හෝ ආදායම් මාර්ගයක් නැත.

උතුරු -නැගෙනහිර හමුදා ප්‍රධානින්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් සම්බන්ධීකරනය කරමින් බුරවී කුනාටුවෙන් ආපාදවට පත් වන පුද්ගලයන්ට ක්ෂනිකව සහන සැපයීමේ වැඩ පිලිවෙලක් යොදා ඇති බව දෙසැම්බර් 1 වෙනිදා ආරක්ෂක ලේකම් ප්‍රකාශ කලේය. එහෙත් තමන්ට එවන් කිසිදු සහනයක් මෙ‌තෙක් නොලැබුන බව විපතටපත්වූ කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුහ.

කරෙයි නගර්හි ප්‍රභාකරන් තම කුඩා නිවස ඉදිරිපිට

යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ඇඳුම් මසන්නෙකු වන සබේසන් මෙසේ පැවසීය: ' මගේ කුඩා නිවසේ වහලය කුනාටුවෙන් ගැලවිලා ගියා. අපට දැන් එම නිවසේ ඉන්න බැහැ. අපේ පවුලට දැන් වෙන වෙනම ජීවත් වෙලා වෙන්න වෙලා තියෙන්නේ. බිරිඳ දරුවත් එක්ක එයාගේ මවගේ ගෙදරට යවලා මම මගේ මවගේ ගෙදර ඉන්නවා. කොරෝනා වසංගතය නිසා මගේ ආදායම මට නැති වුනා. අපේ පවුල යුද්ධෙනුත් පීඩාවට පත් වුනා. එකම ආන්ඩුවක් වත් කිසිම උදව්වක් කලේ නැහැ. ඒ වෙලාවේ මම ග්‍රාම නිලධාරිගෙන් තාවකාලික නිවසක් ඉල්ලුව. ඔහු ඒක ප්‍රතික්ෂේප කලා. ඊට පස්සේ මගේ ඥාතීන්ගෙන් නයක් අරගෙන මේ නිවස හදා ගත්තේ. ඒ සඳහා රුපියල් 250,000 වියදම් වුනා. අලුතෙන් නිවසක් හදන්න මට දැන් හැකියාවක් නැහැ' යි ඔහු පැවසීය.

රාජපක්ෂ ආන්ඩුව සහ දෙමල දේශපාලන පක්ෂ පිලිබඳව ඔහු කතා කලේ නොසතුටින් හා කෝපයෙනි. කොරෝනා වසංගතයෙන් සහ බුරවී කුනාටුවෙන් විපතට පත් වී ඇති නමුත් ආන්ඩුව මෙතෙක් කිසිම උපකාරයක් නොකල බව ඔහු කීවේ ය. 'මෙම විනාශයේ දී දෙමල ජාතික සන්ධානයේ දේශපාලන නායකයො දකින්න වත් නැහැ. ඊලම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයො කියනවා ඒ ගොල්ල තමයි කයිට්ස් පලාතේ ලොක්කො කියල. නමුත් මේ කිසි කෙනෙක් අපට පිහිට වෙන්නේ නැහැ. ඔවුන් දකින්න ලැබෙන්නේ චන්දෙ කාලෙට පමනයි. ඊට පස්සේ කිසි කෙනෙක් එන්නේ නැහැ. බොහොමයක් දුප්පත් පවුල් සහ වැන්දඹුවන් ජීවත් වෙන්නේ මඩුවල. ඔවුන්ට කාගෙන්වත් පිලිසරනක් නැහැ' යි ඔහු පැවසීය.

දරුවන් අවතැන්වූ ජනයා

ගංවතුරට යට වූ වේලනෙයි ප්‍රදේශයේ අම්පිකායිනගර් හි පදිංචි රූබන් මෙසේ පැවසීය. 'මේ ගමේ පවුල් 40 ක් පමන ඉවත් කරලා පන්සලක නතරකලා. තාමත් ආන්ඩුවෙන් කිසිම උදව්වක් ලැබුනේ නැහැ. ඒ ගොල්ලන්ට ආහාර දුන්නේ අපේ ධීවර සමිතියෙන්. අපි ධීවරයෝ. නමුත් මෙම කුනාටු තත්වය නිසා සතියක් මුහුදු ගියේ නැහැ. මුහුදු යන්න එපා කියලා ආන්ඩුව නිවේදනය කලාට ජීවත් වෙන්න කිසිම දෙයක් අපට ලැබුනේ නැහැ. දැන් අපි දිනපතා වේල පිරිමහ ගන්නේ ඥාතීන්ට සහ කඩවලට නය වෙලා.'

බොම්මායිවැලි සහ කච්චතිව් ගම්මාන ගංවතුරට යට වූ බව යාපනයේ ග්‍රාම නිලධාරීයෙකු සඳහන් කලේ ය. 'එම ප්‍රදේශවල පදිංචි අය ඉවත් කරලා ආන්ඩුවේ ඉස්කෝලවල නතර කලා. කුනාටුවෙන් අවතැන්වෙලා ආන්ඩුවේ ගොඩනැගිලි වල ඉන්න අයට පිසූ ආහාර දෙනවා කියල ආන්ඩුව නිවේදනය කලා. අනෙක් අයට දෙන බවක් කිව්වේ නැහැ. පිසූ ආහාර සපයන්න ආන්ඩුව මුදල් දෙන්න ඕන. එතෙක් අපි කොහෙන් හරි මුදල් සොයාගෙන මිනිස්සුන්ට කන්න දෙන්න ඕන. ආන්ඩුව මුදල් දුන්නට පස්සේ නය ගෙවන්න වෙන්නේ' යැයි ඔහු පැවසීය.

කොරෝනා වසංගතය මධ්‍යයේ, අවතැන් වූ පිරිස් සමූහ වසයෙන් අවතැන් කඳවුරු තුලට යැවීම අතිශයින් ම අනතුරුදායක බවත් ඒවා තුල දී වෛරසය ආසාදනය වීමට හැකියාව ගැන මිනිසුන් බියවී සිටින බවත් ඔහු සඳහන් කලේ ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි තිස් අවුරුදු වාර්ගික යුද්ධයේ දී උතුරු- නැගෙනහිර පලාත්වල දස දහස් ගනනක් සිවිල් ජනයා මරනයට පත් වුහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුද්ධය අවසන් වූ 2009 මැයි මාසයේ පමනක් සිවිල් වැසියන් 40,000 පමන ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කෙරුනි. තවත් දහස් ගනනක් අතුරුදහන් කෙරුනි.

යුද්ධය අවසන් වී දසවසරක් ගෙවී තිබුනත් උතුරු-නැගෙනහිර ජනයාට තවමත් ජීවත්වීමට සිදුව ඇත්තේ හමුදා අනසක යටතේය. ඔවුන්ගෙන් බහුතරයකගේ ඉඩම්, නිවාස ඇතුලු මූලික ප්‍රශ්න විසඳී නැත. මහජන කෝපය වැඩෙන තතු තුල රාජපක්ෂ ආන්ඩුව දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදය ඇවිලවීම තීව්‍ර කර ඇත.

Loading