ඉදිරිදර්ශන

විකිලීක්ස් හා ජූලියන් අසාන්ජ් ඉරාක යුද ලොග් සටහන් ප්‍රකාශයට පත් කර වසර දහයක් ගත වී ඇත

අද විකිලීක්ස් විසින් ඉරාක යුද ලොග් සටහන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු දශකයක් සනිටුහන් කරයි.  වියට්නාමයේ ඇමරිකානු මිලිටරි කටයුතුවල පරිමාව1970 ගනන්වල පෙන්ටගන් ලියවිලිවලින් හෙලි කෙරුනාට පසු, සමහර විට මුලු ඉතිහාසයට ම අධිරාජ්‍යවාදී සාපරාධීත්වය හා නව යටත් විජිත කොල්ලකෑම් පිලිබඳ වඩාත් විස්තීර්න හෙලිදරව් කිරීම මෙය යි.

පුලුල් විස්තරයක් තුල මෙම සටහන්, පීඩිත ජනතාවක් ඉලක්ක කර ගනිමින් දිනපතා සිවිල් වැසියන් ඝාතනය කිරීම, වදදීම හා  අප්‍රමාන අධිරාජ්‍යවාදී දාමරික ක්‍රියාවලින් සමන්විත ම්ලේච්ඡ මෙහෙයුමක් බවත්, වසං කිරීම එක්සත් ජනපදය හා එහි සහචර මිලිටරි බලඇනිවල මුදුන දක්වා විහිදුන බවත් හෙලිදරව් කරමින්, ඉරාකය වඩිලාගැනීම යුක්ති සහගත කිරීමට යොදා ගැනුනු සියලු බොරු හෙලිදරව් කලේය. 

සියල්ලටත් වඩා ජූලියන් අසාන්ජ් හා විකිලීක්ස් හි ඔහුගේ කුඩා මාධ්‍යවේදී සගයෝ, මෙම තොරතුරු ඉතා වෙහෙස මහන්සි වී සමාලෝචනය කර, සන්දර්භගත කර, එහි දේශපාලන ඇඟවුම් පැහැදිලි කලහ.

මෙම සටහන්, 2006 දී සංවිධානය ආරම්භ කරන විට අසාන්ජ් විසින් වර්ධනය කරන ලද විකිලීක්ස් ආදර්ශයේ ප්‍රබලතම ගම්‍යයන්ගෙන් එකකි. බලවතුන් විසින් සඟවා තබන ලද කාන්දු වූ ලේඛන ප්‍රකාශයට පත් කිරීම, සැබෑ මිලිටරි, ආර්ථික හා දේශපාලන සබඳතා සහ ලෝක දේශපාලනය හා ඒවායේ ජීවිත බොහෝමයක් හැඩගැස්වූ ආන්ඩුවල දෛනික කුමන්ත්‍රන හෙලිදරව් කිරීමකි. සැබවින්ම සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමෙන් පමනක් සාමාන්‍ය ජනතාවට, යුද්ධය අවසන් කිරීමේ සටන ඇතුලුව දැනුවත් දේශපාලන ක්‍රියාමාර්ග ගත හැකි ය.

මෙම බුද්ධිමය පරමාදර්ශයන් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද පාලක ප්‍රභූව හෝ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු හා  එහි ජාත්‍යන්තර සහචරයින්, අසාන්ජ් හා  විකිලීක්ස්ට කිසි විටෙකත් සමාව දී නැත. අසාන්ජ්ට ලැබෙන සහාය විරේක කිරීම සඳහා යොදාගෙන තිබෙන සියලු බොරු හා මඩ ප්‍රහාර පිටුපස ඇති, විකිලීක්ස් නිර්මාතෘවරයාට එරෙහි උද්ඝෝෂනයේ සැබෑ මුරපදය වන්නේ, “ඔහු අපේ අපරාධ හෙලි කල බැවින් අපි ඔහුව විනාශ කරන්නෙමු” යන්න යි.

නාසි තන්ත්‍රයේ බිහිසුනු ප්‍රචන්ඩත්වයෙන් පසුව දක්නට නො ලැබුනු පරිමානයක හා තීව්‍රතාවයක  යුද අපරාධ ඔහු විසින් හෙලි කිරීමෙන් වසර දහයකට පසු අසාන්ජ්, ලන්ඩනයේ උපරිම ආරක්ෂාව සහිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිර මැදිරියක හුදෙකලාව හිර කර සිටී. එය ත්‍රස්තවාදීන් හා මිනීමරුවන් රැඳවීම සඳහා සකස් කල සිරගෙයකි. ඉරාක යුද ලොග් සටහන් ඇතුලු සත්‍යය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔත්තු බැලීමේ පනත යටතේ නඩු පැවරී ඇති ඔහු, එක්සත් ජනපදයට උදර්පනය කිරීම හා උපරිම ආරක්ෂාව සහිත සිරගෙයක වසර 175 ක හිරදඬුවමකට මුහන දී සිටී.

තොරතුරු නිකුත් කල ධෛර්ය සම්පන්න රහස් හෙලි කරන්නියක වූ චෙල්සි මැනිං, එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍ය වධහිංසාවක් ලෙස නම් කල, සිරගත කිරීමට සම්බන්ධ  දශකයක් දීර්ග බියකරු දුස්ස්වප්නයකට ලක් කෙරී සිටින අතර, අසාන්ජ්ට එරෙහි ව බොරු සාක්ෂි දීමට ඇයව පෙලඹවීමට උත්සාහ ගැනුනු නමුත් වීරෝදාත්මක ලෙස එය ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් ඉරාකය කොල්ලකෑම මෙහෙය වූ මැර කල්ලි නිදහස් ව සිටී. සියල්ලටත් වඩා එක්සත් ජනපද ඩිමොක්‍රටිකයින් හා දූෂිත ලිබරල් පුවත්පත් විසින් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් දේශපාලනික ව පුනරුත්ථාපනය කෙරී ඇත. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මැද පෙරදිග අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන සම්බන්ධයෙන් තවමත් කර වටක් ගිලී සිටින අතර,  ඔහුගේ ඕස්ට්‍රේලියානු සහචරයා වන ජෝන් හොවාර්ඩ් නිහඬ විශ්‍රාම සුවයක් භුක්ති විඳිමින් සිටී.  

සියල්ලටම වඩා මෙම මෙහෙයුම පෙලගස්වා තිබුනේ, “ජන ඝාතක අවි” පිලිබඳ මුසාවන් පදනම් කර ගනිමින් ඉරාකය නීතිවිරෝධී ලෙස ආක්‍රමනය කිරීම ප්‍රචාරය කල, හා පසුව රට බලෙන් පැහර ගෙන තෙල් කොල්ල කෑ වාඩිලා ගැනීමේ හමුදා තුල තමන් ම “වැලලීගිය” සංගත මාධ්‍ය මත ය. අද ඔවුන්ගේ උදාසීනත්වය සාරාංශගත කෙරෙන්නේ, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හෝ ඕස්ට්‍රේලියාවේ එක් ප්‍රධාන ප්‍රකාශනයක්වත් ඉරාක යුද්ධ ලොග් සටහන්වල දස අවුරුදු සංවත්සරය සැලකිල්ලට ගෙන නැත, යන කාරනයෙනි. 

කෙසේ වෙතත්, ලොග් සටහන්වල වැදගත්කම හා  ඒවා මහජන විඥානය කෙරෙහි ඇති කල පුපුරන සුලු බලපෑම නැවත සිහිපත් කල යුතු ය.

මෙම ප්‍රකාශනය, 2004 සිට 2009 දක්වා එක්සත් ජනපද හමුදාවන්ගේ ක්ෂේත්‍ර වාර්තා 391,832 කින් සමන්විත වූ අතර, එය ඇමරිකානු මිලිටරි ඉතිහාසයේ විශාලතම කාන්දුව බවට පත්ව ඇත. ඒවා ඉරාක පුද්ගල මරන 109,000 ක් වාර්තා කර ඇත.

අවම වශයෙන් 66,081ක් සිවිල් වැසියන්ගේ බව එක්සත් ජනපද හමුදාව විසින් හඳුන්වා දී   ඇත. එක්සත් ජනපදය හා එහි සහචරයින් විසින් මුලුමනින් වසන් කර ඇති මරන 15,000 ක් පමන මෙයට ඇතුලත් විය. ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔවුන් කියා සිටියේ සිවිල් මරන පිලිබඳ වාර්තාවක් තමන් සතුව නො මැති බව යි. විකිලීක්ස් සහ අසාන්ජ් නො මැති වූයේ නම්, කුඩා නගරයක ජනගහනයට සමාන මෙම කම්කරුවන්, සිසුන්, තරුනයින් හා ජ්‍යෙෂ්ඨ  පුරවැසියන්ගේ ඝාතන කිසි විටෙකත් දැන ගත නොහැකි වනු ඇත.

ඔවුන් සිවිල් වැසියන් යැයි දැන දැනම එක්සත් ජනපද මිලිටරිය තමන් ඝාතනය කල අය “කැරලිකරුවන්” යැයි පුරුද්දක් ලෙස විස්තර කල බව සටහන් වලින් පෙනී ගියේ ය. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුලු සිවිල් වැසියන් 19 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ ව විකිලීක්ස් හි “සමූහ ඝාතන” වීඩියෝ පටයේ ලේඛනගත කර ඇති 2007 අපකීර්තිමත් බැග්ඩෑඩ් හි අපාචි හෙලිකොප්ටර් ප්‍රහාරය එවැනි සිදුවීමකි. එවකට එක්සත් ජනපද හමුදා පුවත්පත් නිවේදනයක් එය “කැරලිකරුවන් සමඟ වෙඩි හුවමාරුවක්” යැයි ව්‍යාජ ලෙස විස්තර කර තිබුනි.

මිලිටරි මුරපොලකට “ඕනෑවට වඩා ලංවීම” නිසා සිවිල් වැසියන් 700ක් පමන එක්සත් ජනපද හා මිත්‍ර හමුදා විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව යුද ලොග් සටහන්වලින් හෙලි විය. ඔවුන්ට ලමයි හා මානසික රෝගීහු ඇතුලත් වූහ. අවම වශයෙන් අවස්ථා හයක දී, වින්දිතයෝ දරු ප්‍රසූතිය සඳහා තම ගැබිනි භාර්යාවන් රෝහලට ගෙන යමින් සිටි අය වූහ.

එක්සත් ජනපද වාඩිලෑමේ ප්‍රහාරක භටයන් ලෙස ක්‍රියාත්මක වූ, පෞද්ගලික මිලිටරි කොන්ත්‍රාත්කරුවන් විසින් ද මෙම ඝාතනය සිදු කරන ලදී. අයිඊඩී (හිටිවන ම අටවන බෝම්බ) පිපිරීමකින් පසු බ්ලැක්වෝටර් නම් ඇමරිකානු පුද්ගලික මිලිටරි සමාගම් භටයින් වගවිභාගයක් නැති ව සමූහයකට වෙඩි තැබූ බව එක් වාර්තාවක විස්තර විය. තවත් අයෙකු පැවසුවේ එක්සත් ජනපද සොල්දාදුවන් බැග්ඩෑඩ්හි “බ්ලැක්වෝටර් භටයන් සිවිල් වාහනයකට වෙඩි තබන ආකාරය නිරීක්ෂනය කල” බව යි. 2005 මැයි ප්‍රහාරයක් අහිංසක මිනිසෙකු ඝාතනය කර ඔහුගේ බිරිඳ හා දියනිය අබ්බාගාත කලේ ය.

එක්සත් ජනපදය පුරුද්දක් ලෙස වධහිංසා පැමින වීමට රැඳවියන් තම රූකඩ ඉරාක ආරක්ෂක හමුදාවන්ට බාර දුන් බව ලොග්  සටහන්වලින් පෙනී ගියේ ය. එක් වාර්තාවක දැක්වුනේ, සිරකරුවන්ට විදුලි සැර වැද්දීම සඳහා භාවිතා කෙරුනු “කම්බි කලම්ප සහිත අතින් කරකවන විදුලි ජනක යන්ත්‍රයක්” බැග්ඩෑඩ් පොලිස් ස්ථානයක තිබූ බව යි. ලොග් -සටහන්වලින් හෙලි වී ඇති පරිදි, සන්ධාන භටයින්ගේ නිල ප්‍රතිපත්තිය වූයේ, එවැනි සිදුවීම් විමර්ශනය නො කිරීම යි.

එකට ගත් කල හෙලිදරව් කිරීම්, ලෝකයේ බලවත්ම ආන්ඩු, ඔවුන්ගේ මිලිටරි හා  ගැත්තර හමුදා සම්බන්ධ වූ ක්‍රමානුකූල අපරාධකාරිත්වය පිලිබඳ අවිවාදිත චිත්‍රයක් පින්තාරු  කලේ ය.

පසුගිය මාසයේ අසාන්ජ් උදර්පනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ පැවති බොරු නඩු විභාගයේ දී සාක්ෂි දෙමින් ඉරාක දේහ ගනින (Iraq Body Count) ව්‍යාපෘතියේ සමාරම්භක මහාචාර්ය ජෝන් ස්ලොබොඩා මෙසේ ප්‍රකාශ කලේ ය, “ලොග් සටහන්,  ඉරාක සිවිල් වැසියන් ඝාතනය කිරීම විශාලතම ගෝලීය ප්‍රේක්ෂකයින් කරා ගෙන ආ තනි නිවේදනයි. (වාර්තාගත කෙරුනු සිවිල් මරන) පිලිබඳ සියල්ල ම 2010දී ලොග් සටහන්වලට අද්විතීය  වූවාක් මෙන් ම තවමත් අද්විතීයයි… ඉරාක යුද ලොග් සටහන් එම සිදුවීම්වල එක ප්‍රභවය ලෙස පවතියි”. 

පුලුල් දේශපාලන සන්දර්භයක් තුල තබන විට ඒවායේ වැදගත්කම ඊටත් වඩා වැදගත් ය. මානව ඉතිහාසයේ විශාලතම යුද විරෝධී ව්‍යාපාරය තුල මිලියන ගනනක් ජනයා, 2003 දී ඉරාක ආක්‍රමනයට එරෙහි උද්ඝෝෂනවලට එක් වූහ.

දේශපාලනික ව විරෝධතාවල ආධිපත්‍යය දැරූ ව්‍යාජ වාම, හරිත හා වෘත්තීය සමිති බලවේග මෙම ව්‍යාපාරය එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය හා ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය වැනි යුද ගැති සංවිධානවලට මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට කෙරුනු බෙලහීන ආයාචනාවලට යටත් කිරීමට හැකි සෑම දෙයක් ම කලහ. 2008 දී එක්සත් ජනපද ජනාධිපති ලෙස බැරැක් ඔබාමා තෝරා ගැනීමට ඔවුන් සහාය දුන්නේ, තම ධුරයේ වසර අටක් පුරාම යුද්ධයේ නියලුනු,  වෝල් වීදියේ නියෝජිතයා, සාමය ගෙනෙන තැනැත්තා ලෙස ප්‍රකාශයට පත් කරමිනි.

විකිලීක්ස් විසින් යුද ලොග් ප්‍රකාශයට පත් කිරීම, මෙම යුද විරෝධී ව්‍යාපාරය මර්දනය කිරීම  ඉක්මවා යන, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට එරෙහි නව සටනක හදිසි අවශ්‍යතාව මතු කරයි. මෙම ක්‍රියාවලියේ දී ලොව පුරා තරුන තරුනියෝ, බොහෝ විට පලමු වරට ඉරාකයේ සිදු වූ භීෂනය පිලිබඳ ව දැනුවත් වූ අතර දේශපාලනික ව ක්‍රියාකාරී වූහ.

නිව් යෝක් ටයිම්ස් හා ගාඩියන් පුවත්පත් යුද ලොග් සටහන් පිලිබඳව විකිලීක්ස්ට හවුල් විය. ඔවුන්ගේ අරමුන වූයේ ආඛ්‍යානය පාලනය කිරීම හා විශාල ලාභයක් අත්කර ගැනීම යි. එහෙත් ප්‍රසිද්ධ කිරීම්, කම්කරුවන් හා තරුනයින්ගේ දේශපාලන පෙරලිකාරිත්වයට  දායක වන බව හා විකිලීක්ස් එක්සත් ජනපද රාජ්‍යයේ පූර්න බලයට මුහුන දී සිටින බව පැහැදිලි වූ විට, ඔවුහු ඉතා නින්දා සහගත ලෙස අසාන්ජ් හෙලා දැකීමට පටන් ගත්හ.

සෑම රටක ම අසාන්ජ් කෙරෙහි සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ, විශේෂයෙන් ම එහි ව්‍යාජ වාම හා ලිබරල් කන්ඩායම්වල විෂම සතුරුකමට මූලික හේතුව එය යි. අසාන්ජ් හා විකිලීක්ස්, ඔවුන්ගේ වරප්‍රසාදිත හා ආත්මාර්ථකාමී ඉහල මධ්‍යම පාන්තික පැවැත්ම රඳා පැවැත්ම සහිත “බෝට්ටුව පෙරලා දැමීය.” තව ද, ලිබියාව හා සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාර සඳහා මෙම කල්ලියේ විවෘත සහයෝගයට දායක වෙමින් යුද්ධ, ඔවුන්ගේ කොටස් ආයෝජනයන්ට කිසිසේත් නරකක් වී නො තිබුනි. 

එහෙත් යුද ලොග් සටහන් ප්‍රකාශයට පත් කිරීම මානව වර්ගයාට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයට චිරස්ථායි දායකත්වයක් වූ අතර, ඒ වෙනුවෙන් මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයින් විසින් නිවැරදි ලෙස අසාන්ජ් වීරයෙකු ලෙස දකිනු  ලැබේ. දැන්, අසාන්ජ්ගේ නිදහස, සියලු විකිලීක්ස් කාර්ය මන්ඩලය ආරක්ෂා කිරීම හා  සමස්තයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් අරගලය මෙහෙයවීම ජාත්‍යන්තර කම්කරු පන්තියට භාර වී ඇත.

චීනයට හා රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධ තර්ජන ඇතුලු යුද්ධය තීව්‍ර කිරීමට එරෙහි අරගලය සහ අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයට හා අත්තනෝමතිකවාදයට වගකිව යුතු ධනේශ්වර පර්යාය අවසන් කිරීමේ සටනෙන් මෙය වෙන් කල නො හැකි ය.

[මෙම ලිපිය ඔක්තෝබර් 23 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading