ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ අසනීපය හා ඩිමොක්‍රටිකයන් එකමුතුකම ඉල්ලා සිටීම

ධනේශ්වර දේශපාලනයේ කුනු වූ ප්‍රමිතීන්ට අනුව වුව ද, ජනාධිපති ට්‍රම්ප්ගේ අසනීපයට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය දේශපාලන වැදි බන, කුහකකම හා වංචාව පිලිබඳ නව වාර්තාවක් තැබිය යුතු ය.

ජනාධිපතිවරයාගේ ඉක්මන් සුවය සහ ධවල මන්දිරයට යලි පැමිනීමට හකිවෙවා යයි වැගිරෙන ප්‍රාර්ථනා වලින්, වෝල්ටර් රීඩ් රෝහලේ රෝගිව සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නො ව, ෆ්‍රෑන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් හෝ ජෝන් එෆ්. කෙනඩි යැයි යමෙකු සිතනු ඇත.

ප්‍රමුඛ ඩිමොක්‍රටිකයන් හා ඔවුන්ගේ මාධ්‍ය හොරනෑවලින් ගලා එන කඳුළු පිරි ශෝකයේ උදම් රැල්ලේ පොදු තේමාව මෙය යි: “ජනාධිපතිතුමනි, අපි ඔබට ආදරෙයි. සියල්ලට ම සමාව ලැබේ. ”

ට්‍රම්ප් පුවත්පත් සාමාජිකයන් සමඟ කතා කරයි [නිල ධවල මන්දිර ඡායාරූපය ජොයිස් එන්. බොගෝෂියන්]

“ඇය සිරගත කරනු!” නම් 2016 ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරන සටන් පාඨයේ ඉලක්කය වූ හිලරි ක්ලින්ටන්, දැන් “ජනාධිපතිවරයා හා ජනාධිපති ආර්යාවට ඉක්මන් සුවය ලබා දෙනු ඇතැයි” ප්‍රාර්ථනා කරයි. අගෝස්තු මුල දී ට්‍රම්ප් ව මුසෝලිනී හා හිට්ලර්ට සමාන කල කොන්ග්‍රස් මන්ඩල සංවිධායක ජිම් ක්ලිබර්න්, නාම විශේෂනයක් එකතු කර “වේගවත් හා සම්පූර්න සුවය” සඳහා වන තම බලාපොරොත්තුව ප්‍රකාශ කලේ ය.

ට්‍රම්ප් දේශපාලන ප්‍රමුඛත්වයට පත්වීම, ඔබාමා එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බැවින් අවජාතක ජනාධිපතිවරයකු වීය යන ඔහුගේ වර්ගවාදී ප්‍රවර්ධනය කිරීම සමඟ බැඳී තිබුනු බව බරක් ඔබාමාට අමතක වී ඇති බව පෙනේ. ඔබාමා, “අපි සියල්ලෝම ඇමරිකානුවෝ” බව සැමට මතක් කර දෙමින්, ට්වීට් පනිවිඩයක් නිකුත් කලේ ය.

ට්‍රම්ප් විසින් දරුනු පහර එල්ල කර ඇති වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්, “ජනාධිපති හා ජනාධිපති ආර්යාවට පූර්න හා ඉක්මන් සුවය” ප්‍රාර්ථනා කරමින් ඩිමොක්‍රටිකයන්ගේ ගායනයට සිය හඩ එක් කර තිබේ.

ට්‍රම්ප් ඇමරිකානුවන්ගේ ජීවිත ගැන නො සැලකිලිමත් බවත් ඉතිහාසයේ නරක ම ජනාධිපතිවරයා බවත් සතිය මුල දී පැවති විවාදයේ දී ප්‍රකාශ කල හිටපු උප ජනාධිපති ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක බිඩෙන්, ට්‍රම්ප් විවේචනය කරන සියලුම මැතිවරන දැන්වීම් නවත්වන බව ප්‍රකාශ කලේ ය. මෙය ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් හා රිපබ්ලිකානුවන් විරසක වී නැත යි යන්න පෙන්වන ක්‍රියාවකි. “දැන් ජනාධිපතිවරයා හා ජනාධිපති ආර්යාවට පහර දීමට මා කැමති නෑ,” බිඩෙන් භක්තිමත් ලෙස පැහැදිලි කලේ ය. බිඩෙන් මෙය පිලිපැද්දේ ඔබාමාගේ මතය අනුව ජාතික සමගිය සඳහා වූ ආයාචනයක් සමඟිනි: “අපි ඩිමොක්‍රටිකයන්, නැත්නම් රිපබ්ලිකානුවන්, නැත්නම් ස්වාධීන මත ධාරින් වෙන්න කලින් - අපි ඔක්කොම ඇමරිකානුවන්. අපට ඒක අමතක කරන්න බෑ.”

ට්‍රම්ප්ගේ අසනීප පුවතට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය සඳහා තානය සකස් කලේ ඇත්ත වශයෙන් ම නිව් යෝක් ටයිම්ස් පුවත්පත යි. සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද එහි ප්‍රධාන කතුවැකියෙහි මාතෘකාව වූයේ “ජනාධිපතිතුමනි, ඔබට සුව වේවා” යන්න යි. කතුවැකිය මෙසේ ප්‍රකාශ කලේය: “ජනාධිපති ට්‍රම්ප් හා ජනාධිපති ආර්යාව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු, ඔවුන් උදෙසා - එමෙන් ම ජාතිය උදෙසා ඔවුන්ට ඉක්මනින් සුවය ලැබෙන මෙන් ප්‍රාර්ථනා කරමු.”

ජාතිය වෙනුවෙන්? ඔහු අසනීප වීමට පෙර දිනවල ට්‍රම්ප් පරිපාලනය පිලිබඳ ටයිම්ස් පුවත්පතේ අවධානය යොමු කෙරුනේ 1) ජනාධිපති විවාදයේ දී ෆැසිස්ට්වාදීන් පිලිකෙව් කිරීම ප්‍රතික්ෂේප කිරීම හා සාඩම්බර නව-නාසි තරුනයෝ (neo-Nazi Proud Boys) සංවිධානයට “සෝදිසියෙන් හා සූදානමින් සිටින්න” යන ඔහුගේ ඉල්ලීම; 2) ජනාධිපතිවරනයේ ප්‍රතිඵල තමාට එරෙහි ව ගිය හොත් තමන් එය භාර නො ගන්නා බවට ට්‍රම්ප් කල ප්‍රකාශ; 3) ඇමී කෝනි බැරට් ශ්‍රේෂ්ඨාධිකරනයට හදිසියේ නම් කිරීමේ ජනාධිපතිවරයාගේ උත්සාහය, එමඟින් ඡන්ද විමසීමට අභියෝග කිරීම සඳහා ට්‍රම්ප් විසින් ගෙන එන ලද ඕනෑම නඩු විභාගයක් ඇයට විභාග කිරීමට හැකි වීම, 4) වසර ගනනාවක මූල්‍ය දූෂනය හා උපාමාරු පෙන්වමින් ට්‍රම්ප්ගේ බදු වාර්තා විශාල වශයෙන් නිරාවරනය කිරීම කෙරෙහි ය.

බිඩෙන් සමඟ විවාදය පිලිබඳ තමන්ගේ ම කතුවැකියෙහි ටයිම්ස්, තමා දිනුවේ නැත්නම් මැතිවරනය නීත්‍යානුකූල නො වන බවට ට්‍රම්ප් කරන ප්‍රකාශ ගැන මෙසේ ලියා ඇත. “ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට එරෙහි මෙම තර්ජනය සැබෑවෙන් අඩු නැත්තේ එය ප්‍රසිද්ධියේ කල තර්ජනයක් වන බැවිනි.” යන්තම් පසුගිය අඟහරුවාදා ටයිම්ස්හි තෝමස් ෆ්‍රීඩ්මන් මැතිවරනය නීති විරෝධී කිරීමේ ට්‍රම්ප්ගේ උත්සාහයන් සිවිල් යුද්ධය හෝ කියුබානු මිසයිල අර්බුදයට වඩා බරපතල තර්ජනයක් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට එල්ල කරනු ඇත යි අනතුරු අඟවමින් තීරු ලිපියක් ප්‍රසිද්ධ කලේ ය.

ට්‍රම්ප්ගේ අසනීප තත්ත්වය පිලිබඳ තම කනස්සල්ල වෙනුවෙන් ටයිම්ස් විසින් දෙන ලද හේතු ඩිමොක්‍රටික් පක්ෂයේ සැබෑ උත්සුකයන් හෙලි කරයි. ඔහුගේ දුර්වලතාව “ආන්ඩුවේ ඉහලම මට්ටම් අවුල් ජාලයකට ඇද දමනු ඇතැ. ඔහු බරපතල ලෙස රෝගාතුර නො වුනත්, බෝවන තර්ජනය පහ ව යන තුරු ම ජනාධිපතිවරයාට සිය රාජකාරි බොහොමයක් ඉටු කිරීමට නො හැකි වනු ඇත” යි කතුවැකිය අනතුරු ඇඟවී ය.

ජනාධිපති ධුරයට පත්වූ දා සිට, හා විශේෂයෙන් පසුගිය මාස නවය තුල ඔහු කල දේ සලකන විට, ට්‍රම්ප්ට “තම රාජකාරි බොහොමයක් ඉටු කිරීමට නොහැකි” වන්නේ නම්, එය පුළුල් සහනයක් මෙන් ම මහජන සැමරුමකට හේතු විය යුතුය.

වසංගතයට මොනයම් හෝ සම්බන්ධීකෘත ප්‍රතිචාරයක් අවහිර කිරීම අරමුනු කරගත් ප්‍රතිපත්තියක් ට්‍රම්ප් පරිපාලනය විසින් මෙහෙයවා තිබේ. බොබ් වුඩ්වර්ඩ් සමඟ කල සම්මුඛ සාකච්ඡාවලින් හෙලි වූ පරිදි, ට්‍රම්ප් පෙබරවාරි මාසයේ දී ඇමරිකානු ජනතාවට ඇති වූ අනතුර හිතාමතාම අවතක්සේරු කලේ ය. මුඛ ආවරන පැලඳීම වැනි වෛරසය පැතිරීම වැලක්වීම සඳහා අවම පියවරයන් පවා ප්‍රතික්ෂේප කිරීම නව ෆැසිස්ට් දේශපාලනයේ සංකේතයක් බවට පත් කිරීමට ඔහු වෙහෙස නො බලා කටයුතු කර ඇත.

අවංක යමක් කීමට හෝ ලිවීමට හැකියාව ඇති අයෙකු බිහි කිරීමට ධනේශ්වර දේශපාලනය හා සංස්ථාපිත මාධ්‍ය අවසාන වරට සමත් වී දශක ගනනත් ගෙවී ගොස් තිබේ. එච්.එල්. මෙන්කන් වැනි අය තවමත් ලඟපාත සිටී නම්, වර්තමාන තත්වය පිලිබඳ ඔහුගේ තීරුව ආරම්භ වනු ඇත්තේ අවිවාදිත කරුනක් ලෙස, ඇමරිකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමට සුදුසු අයෙක් සිටී නම් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් බව ප්‍රකාශ කිරීමෙනි. එතරම් දීර්ග කාලයක් තමා අන්තරාය ලුහු කොට සැලකූ වෛරසයට ට්‍රම්ප් ගොදුරු වීම පෙනෙන්නේ, විශ්වය පාලනය කරුනු ලබන්නේ සාධාරන දෙවියෙකු විසින් යැයි දැඩි අදේවවාදියෙකු පවා පිලිගැනීමට හේතු විය හැකි, දෙවියන්ගේ පලිගැනීමක් ලෙස නූතන මෙන්කෙන් කෙනෙකු විසින් එකතු කර තිබීමට ඉඩ ඇත.

දූෂිත හා බියගුලු සංස්ථාපිත මාධ්‍යවල අසන්නට හෝ කියවීමට සත්‍ය වචනයක් නොමැත. ට්‍රම්ප් කෙරෙහි හෝ - බැරට්ගේ නාමයෝජනා සැමරීම සඳහා පසුගිය සෙනසුරාදා රෝස උද්‍යානයට මුවආවරන නො මැති ව, මුග්ද ලෙස රොක් වී, අළුතින් අසාදිත වූ රිපබ්ලිකන් සම්භාවනීය අමුත්තන් කෙරෙහි හෝ - වන අනුකම්පාව, දැන් 210,000ක පවතින කො‍විඩ්-19 මරන සංඛ්‍යාවට ජනාධිපති දේශපාලනික ව හා පෞද්ගලික ව දැරිය යුතු වගකීම විසින් නො වැලක්විය හැකි ලෙස යටපත් කර ඇති බව මතු කරන කිසිවෙකුත් නැත.

ධවල මන්දිරයේ රැඳී සිටි ට්‍රම්ප්, ධනවත් ම ඇමරිකානුවන් හැර අන් සියල්ලන් ම නො දන්නා මට්ටමක පෞද්ගලික ආරක්ෂාවක් භුක්ති වින්දේ ය. ඔහුට ආසාදනය වලක්වා ගත හැකි ව තිබුනි, අනෙක් අය අවදානමට ලක් කිරීම ගැන සඳහන් කිරීම අවශ්‍ය නැත. ට්‍රම්ප්ගේ රැලිවලට පැමිනි ඔහුගේ රැවටුනු අනුගාමිකයන් දහස් ගනනක් ඊට ඇතුලත් ය. එහෙත්, සුදුසු පූර්වාරක්ෂාවන් නිරීක්ෂනය කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඒකාධිපති හා නව නාසි ව්‍යාපාරයක් ගොඩනැඟීමට අවශ්‍ය පෞරුෂත්වය ගොඩනැගීමට ඔහු දැරූ උත්සාහය මගින් නො සැලකිලිමත් ලෙස ට්‍රම්ප් රෝහලේ සිටී. වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ දැවැන්ත කාමරයක ඔහුගේ සෞඛය හා අවශ්‍යතාවන් වෙනුවෙන් සහභාගී වන විශාල වෛද්‍යවරුන් සංඛ්‍යව සමග, ඔහුගේ රැකවරනය සඳහා බදු ගෙවන්නන්ගේ ගනන් කල නො හැකි ඩොලර් මිලියන ගනනක් වැය කෙරෙමින් තිබේ.

ට්‍රම්ප්ගේ අසනීපයෙන් ඉස්මතු වූ කුහකකමේ හා වංචාවේ දැවැන්ත පරිමානය තේරුම් ගත හැක්කේ පන්ති අවශ්‍යතා ප්‍රකාශ කිරීමක් ලෙස පමනි. ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හෝ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමේ තර්ජනය, ටයිම්ස් හා ඩිමොක්‍රටික් පක්ෂයේ මූලික උත්සුකය වන්නේ ද, කිසි දා වූයේ ද නැත. ඔවුන්ගේ ප්‍රධාන භීතිය වන්නේ කම්කරු පන්තියේ සමාජ විරෝධයේ වර්ධනය වෝල් වීදිය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ දේශපාලනික අවශ්‍යතාවන්ට තර්ජනය කිරීම යි. අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම පාලක පන්තියේ සහජ ප්‍රතිචාරය වන්නේ ඔවුන් වඩාත්ම බිය වන සතුරාට, එනම් කම්කරු පන්තියට එරෙහිව එක්සත් වීම වේ.

[මෙය 2020 ඔක්තෝබර් 05 වැනි දා පල වූ ඉංගිරිසි ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading