කොලඹ වරාය ඉන්දියාවට පැවරීම අධිරාජ්‍යවාදී විධානයක් බව අගමැති රාජපක්ෂ පිලිගනී

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරීමටත්, පොදුවේ වරාය කම්කරුවන්ගේ ජීවන කොන්දේසිවලට එල්ලවී ඇති ප්‍රහාරයන්ටත් විරුද්ධව පැන නැගී ඇති දැවැන්ත කම්කරු විරෝධය, රාජපක්ෂ ආන්ඩුවත් සමස්ත ධනපති පාලක සංස්ථාපිතයත් දැඩි අර්බුදයකට යවා ඇත. පසුගිය සතියේ මැද සිට දහස් ගනනින් වරාය කම්කරුවන් සහභාගී වන අඛන්ඩ උද්ඝෝෂන මාලාවක් පුපුරා ගිය අතර සිකුරාදා රාත්‍රියේ, වරායේ සියලු පර්යන්ත හා සේවා අංශවල කම්කරුවෝ, ඒකාබද්ධ වැඩ වර්ජනයකට එලඹියහ. 

කම්කරුවන්ගේ සටන්කාමිත්වය තම හිසට උඩින් යාම ගැන බියවී ඇති ධනපති සංස්ථාපිතයට ගැටගැසී ඇති වෘත්තිය සමිතිවල නිලධරය වඳ සත්‍යග්‍රහයක් වේදිකා ගතකරමින්, පාර්ලිමේන්තු මැතිවරනයට පෙර, “නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරනය නොකරන බවට” ලිඛිත පොරන්දුවක් ජනාධිපතිවරයාගෙන් ලබා ගැනීම නමැති ප්‍රෝඩාකාරී ඉල්ලීමක් ඉදිරිපත් කලහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෘත්තීය සමිති සමග සාකච්චා කිරීම ප්‍රතික්ෂේප කර කම්කරුවන්ගේ අරගලය “අන්තවාදීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්” යයි බදුල්ලේ පැවති රැස්වීමක දී ප්‍රසිද්ධියේ පහර දුන්නේය. මේ තතු යටතේ, කුජීත සමිති නායකයෝ, ඉරිදා උදයේ අගමැති මහින්ද රාජපක්ෂගේ වලව්වට බඩගා ඔහු සමග කල සාකච්චාවකින් පසු හිස් පොරොන්දුවක් ලබාගෙන වැඩවර්ජනය පාවා දුන්හ. 

ජනාධිපති රාජපක්ෂගේ තර්ජනය පිටුපසින් ඇත්තේ, මූලෝපායාත්මක ව වැදගත් කොලඹ  වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරීමෙන් එහි ආධිපත්‍යය ලබාගැනීමට ඉන්දියාව හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්  කර ඇති බලපෑමයි.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ලේකම් උදේනි කලුතන්ත්‍රි, ජුලි 24 දා පැවති වරාය සේවක උද්ඝෝෂනයක් අමතා කල කතාවකදී අගමැති වරයාගේ ප්‍රකාශයක් ගැන මෙසේ කීවේය. “අපි ගියා අගමැති තුමා හම්බ වෙන්න මැදමුලන වලව්වට. එහිදී අගමැති තුමා සියලු ඒකාබද්ධ වෘත්තීය සමිති එක්ක කතා කරලා කියනවා, ඔවු අපි ගැන්ට්‍රි ක්‍රේන් ටික බාන්න ඉඩ දෙන්නම් හැබැයි [නැගෙනහිර පර්යන්තයේ] වැඩ පටන් ගන්න බැහැකියලා. ඇමරිකාවත් එක්ක, ඉන්දියාවත් එක්ක කෙලගෙන මට ගෙදර යන්න වුනා එක පාරක්, ඒ නිසා මම ඒ මෝඩ කම ආපහු කරන්නේ නැහැකියලා එතුමා කිව්වා.”

වර්තමාන පොදුජන පෙරමුනු ආන්ඩුවේ මෙන්ම පසුගිය සිරිසේන-වික්‍රමසිංහ පාලනයේත් අධිරාජ්‍යගැති හෙලුවද ඔහුගේ කතාවෙන් තව දුරටත් හෙලිවිය. “යහපාලන ආන්ඩුව කාලේ අගමැති රනිල් වික්‍රමසිංහ මට කිව්වා, ඕගොල්ලන්ට සටන් කරන්න අයිතිය තියනවා ඒවුනාට මේ ඊසීටී එක [නැගෙනහිර පර්යන්තය] වෙනුවෙන් නම් සටන් කරන්න යන්න එපා, එහෙම වුනොත් ඉන්දියාව අපිත් එක්ක තරහා වෙනවා, ඉන්දියාව තරහා කරගෙන අපිට දේශපාලනය කරන්න බැහැ, අපිට රජය ආරක්ෂා කරගන්න බැහැ කියලා” කලුතන්ත්‍රී පැවසිය.

රාජපක්ෂ දෙබෑයන්ගේත්, වික්‍රමසිංහගේත් මේ ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ධනපති සංස්ථාපිතය එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ  අවශ්‍යතාවන් සමග මොනතරම් වහල් අයුරින් බැඳී ඇත්ද යන්න ගැන නග්න හෙලිදරව්වකි. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව එක්සත් ජනපදයේ ගැත්තෙකු ලෙස එහි භූ-දේශපාලන උවමනාවන් සමග එක්වී සිටියි. 

සිංහල-බෞද්ධ  ස්වෝත්තමවාදය මත පදනම්ව, රටේ “ස්වෛරීත්වය” හා “ජාතික ආරක්ෂාව” ගැන නිරතුරුව කට මැත කියවන රාජපක්ෂත්, ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සලුවක් පොරවාගෙන "යහපාලනය" හා "නීතියේ ආධිපත්‍ය" ආදී පූච්චානම් දොඩන වික්‍රමසිංහත්, වොෂින්ටනයේ හා නවදිල්ලියේ විධානයන් ඉදිරියේ දනගසා, කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී විමසීමකින් හෝ නිසි ක්‍රමවේදයකින් තොරව, මහජනතාවට හොරෙන්, වරාය වැනි මූලෝපායාත්මකව අතිශය තීරනාත්මක යටිතල ව්‍යූහයන් පුද්ගලිකරනය කර විදේශ සමාගම් වලට පවරා දීමට සූදානම්ය.

ශ්‍රී ලකාවේ වරාය පුද්ගලීකරනය කිරීම අනුප්‍රාප්තික ආන්ඩු යටතේ දශක දෙකකට අධික කාලයක් පුරා සිදුවී තිබේ. 1998 වසරේදී කොලඹ වරායේ රැජින පාලම “සවුත් ඒසියා ගේට්වේ ටර්මිනල්” (SAGT) නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, ත්‍රිකුනාමල වරායේ ප්‍රධාන ජැටි දෙකක් “ප්‍රීමා” හා “මිට්සුයි” සමාගම් වලට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”(CMPH)  සමාගමට පැවරීම හා 2016දී හම්බන්තොට වරායත් චීන මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ස් සමාගම යටතේම පුද්ගලිකරනය කිරීම මේ අතර ප්‍රධාන වේ. 

නමුත් 2017 වසරේදී, නැගෙනහිර පර්යන්තය බදු ගැනීමට ඉන්දියාව හා ජපානය ඉදිරිපත් වන්නේ, හුදෙක් ඉන් ලාභ ගරා ගැනීමේ අවශ්‍යතාවෙන් පමනක් නොවේ. එය ඔබාමා තන්ත්‍රයේ “ආසියාවට හැරීම” ප්‍රතිපතියෙන් ඇරඹි, ට්‍රම්ප් පාලනය යටතේ කලාපීය යුද්ධයක මුව විටටම ගෙනවිත් ඇති, චීනය ආර්ථිකව හා මිලිටරිමය ව කොටු කිරීමේ, යුදවාදී පිලිවෙතේම තවත් එක් පියවරකි. චීනයට එරෙහිව ඇමරිකාව විසින් ඉන්දු පැසිෆික් කලාපයේ පිහිටුවාගෙන ඇති “ක්වඩ්” නමැති චතුර් පාර්ශවික මිලටරි සන්ධානයේද, ජපානය හා ඉන්දියාව ප්‍රධාන හවුල්කරුවන් දෙදෙනෙකි. 

2009 වසරේ ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධය ලේවැකි අවසානයක් කරා ගෙන ඒමෙන් පසු, එවකට ජනාධිපති (වර්තමාන අගමැති) මහින්ද රාජපක්ෂ, චීනය සමග ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගැනීම නොඉවසූ  වොෂින්ටනය, 2015 ජනාධිපති වරනයේදී තන්ත්‍ර මාරු කුමන්ත්‍රනයක් මගින් ඔහු පරදා සිරිසේන-වික්‍රසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියා කරන ලදී. එතැන් පටන් ශ්‍රී ලංකාව,  ඇමරිකාව ඇතුලු කවඩ් සගයන් සමග මිලිටරි සම්බන්ධතා සීග්‍රයෙන් තරකරගෙන ඇත.

2017 සිට 2019 දක්වා කාලය තුල පමනක් ඇමරිකානු ප්‍රධාන යුද නැවු හයකට වඩා ශ්‍රී ලංකා වරාය වලට පැමින ඇති අතර, විවිධ ප්‍රමානයේ ඉන්දියානු යුද නැවු 30 කට වඩා පැමින ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, ඇමරිකානු නාවික හමුදාව සමග ඒකාබද්ධ යුධ සරඹ හා පුහුනු කිරීම් ගනනාවක්ද මේ කාලය තුල පැවැත්විනි. 2018 වසර අගදී, අතිශය යුද-මූලෝපායික වැදගත්කමක් ඇති ත්‍රිකුනාමල වරාය තම මෙහෙයුම් කේන්ද්‍රයක් බවට පත්කර ගැනීමේ ශක්‍යතා අධ්‍යනයක්ද ඇමරිකානු නාවික හමුදාව මගින් සිදුකරන ලදී. 

චීනයේ ආර්ථික ජීවනාලිය වන ඉන්දියානු සාගරය හරහා වැටී ඇති නැවු මාර්ගයේ හරි මැද පිහිටා ඇති ලංකාවේ වරායවල්  වොෂින්ටනයේ චීනය කොටු කිරීමේ වැඩපිලිවෙල සඳහා මූලෝපායිකව අතිශය වැදගත් කමක් දරයි. පසුගිය දශකය තුල චීනය ශ්‍රී ලංකාවේ වරාය දෙකක වානිජ මෙහෙයුම් බදු ගැනීමත්, ආයෝජන හා ඉදිකිරීම් ව්‍යාපෘති විශාල ප්‍රමානයකට අතගසාගෙන සිටීමත් අධිරාජ්‍යවාදීන්ගේ බරපතල උත්සුකයට භාජනයවී ඇත. 

2017 සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ඉන්දියානු-ජපන් හවුල් ව්‍යාපාරයකට නැගෙනහිර පර්යන්තය පවරාදීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ ඉහත සන්දර්භය තුලය. ඉන් මෙපිට කාලය තුල, වොෂින්ටනය විසින් ඉන්දියානු සාගර කලාපයේ යුද ආතතිය දෙවැනි ලෝක යුද්ධයට පසු ඉහලම අනතුරුදායක තත්වයට වර්ධනය කර ඇත. ජුලි මාසයේ ඉන්දියානු චීන හමුදා අතර හිමාල දේශ සීමාවේ වසර 50කට පසුව ඇවිලිගිය ලේ වැකි ගැටුමත්, පසුගිය සතියේ ඇමරිකානු යුධ නැවු, චීනය විසින් හිමිකම් කියන දකුනු චීන මුහුදේ ඇමරිකානු ගුවන්යානා වාහක නැවු යොදාගෙන කල ප්‍රකෝපකරනයත් මේ ආතතීන්ගේ උච්චතම ප්‍රකාශනයන්ය. 

වොෂින්ටනයේ මේ යුද සැලසුම් වලට දැනටමත් ගැඹුරින්ම අන්තර්ග්‍රහනය වී ඇති කොලඹ පාලනය, එයින් සුලු වසයෙන් හෝ අපගමනයක් දක්වතොත්, වහාම ඊට රාජ්‍ය තාන්ත්‍රික තර්ජන වලින් ප්‍රතිචාර දැවීමට වොෂින්ටනය ක්‍රියා කර ඇත. ඍජු ඇමරිකානු ඒජන්තයෙක් ලෙස ක්‍රියාකල රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පරදා 2019 නොවැම්බර් ජනාධිපතිවරනයෙන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම වොෂින්ටනය ඉවසා සිටියේ, රාජපක්ෂවරුන් මැතිවරනයට පෙර ඇමරිකානු හා ඉන්දියානු නියෝජිතයින් විටින් විට හමුවෙමින් තම පක්ෂපාතිත්වය සහතික වූ තතු තුලය.

නමුත් රාජපක්ෂ මැතිවරනයෙන් ජයගත් වහාම, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සියුම් තර්ජන වලින් යුතු සුභපැතුම් පනිවුඩයක් එවමින්, වොෂින්ටනයේ මූලෝපයික සැලසුම් වලට පිටුපෑවොත් අත්විය හැකි ඉරනම ගැන රතු එලිය දැල්විය. පසුගිය මාසයේ ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුනවර්ධන ඇමතු පොම්පෙයෝ, දෙරට අතර යෝජනාවී ඇති මිලිටරි හා ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමට පමාවීම පිලිබඳව අනතුරු හැඟවීය.

අධිරාජ්‍යවාදීන්ගේ දඩබ්බර පිලිවෙත් හා කලාපීය බලවතා වන ඉන්දියාවේ අවශ්‍යතා පිලිබඳ නොසතුටක් ලංකාවේ ධනපති සංස්ථාපිතය තුල නැතිවා නොවේ. එම බලපෑම චීනයේ අවශ්‍යතා මගින් තුලනය කල හැකි වේය යන මංමුලා සහගත ගනන් බැලීමක් ද රාජපක්ෂ ආන්ඩුවට මෙන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයට ද ඇත. 

නමුත් අධිරාජ්‍යවාදීන්ගේ ඍජු තර්ජන එල්ල වන විට ඒවා ඉදිරියේ දන ගැසීම හැර අන් කිසිඳු විකල්පයක් ලංකාවේ ධනපති පන්තියේ කිසිදු ස්ථරයකට නොමැත. විශේෂයෙන්ම 1991 සෝවිය රුසියාව බිඳ වැටීමෙන් පසු, තම අවශ්‍යතා වලට නාමික විරෝධයක් හෝ පාන ඕනෑම තන්ත්‍රයක්, ආර්ථික සම්බාධක, ඊනියා වර්න විප්ලව, හෝ ඍජු ආක්‍රමන වලින් බිඳ දැමීම වොෂින්ටනයේ මුර්ග පිලිවෙත වී තිබේ. විශේෂයෙන්ම ඉරාකයේ සදාම් හුසේන් හා ලිබියාවේ මුවම්මර් ගඩාෆිට අත් වූ ඉරනම ලංකාවේ ධනේශ්වර දේශපාලනඥයින් සිත්වලද හොල්මන් කරයි.

අධිරාජ්‍යවාදීන්ගේ හා ඉන්දියාවේ තර්ජන වලට එරෙහිව යන විරුද්ධත්වයක් කම්කරු පන්තියෙන් හෝ පොදුවේ මහජනතාව ගෙන් එල්ලවේ නම්  ඒවා බිඳ දැමීමට මේ නිවට අධිරාජ්‍ය ගැති ධනේශ්වරය වහාම ක්‍රියාත්මක වෙයි. වරාය කම්කරු අරගලයට එරෙහිව ජනාධිපතිගේ බුරාපැනීම හා අගමැතිගේ කියුම් එහි ප්‍රකාශනයයි.  

ගෝලීයකරනය වී ඇති ධනපති ආර්ථිකය තුල, ලංකාවේ ධනේශ්වරය අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයට ඓන්ද්‍රීයව ගැටගැසී ඇත. කම්කරු පන්තියේ ඕනෑම නැගිටීමක්, වර්ධනය වන්නේ ධනපති ලාභ පද්ධතියටම තර්ජනය කරන දිශාවට බව දන්නා ධනපති නායකයෝ, එම බියෙන් කම්කරු පන්තියට එරෙහිව අධිරාජ්‍යවාදීන්ගේ සරන සොයති. රාජපක්ෂ වරුන්ගේ හා වික්‍රමසිංහගේ නිවට කතාවල සැබෑ හරය එයයි.

කොලඹ වරාය කම්කරුවන්ට මෙන්ම, පොදුවේ කම්කරු පන්තියට ම මගනොහැරිය හැකි අනතුරු ඇඟවීමක් මතුවී ඇත. නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීම, වොෂින්ටනය  සමස්ත ලෝකයම තුන්වන ලෝක යුද්ධයක් කරා ඇදගෙන යන ධාවනයෙන් වෙන් කල නොහැක. චීනයට එරෙහි යුද්ධයක් ලෝක යුද්ධයක් ම අවුලුවනු ඇත. එවැනි කලාපීය හෝ ලෝක පරිමාන යුද්ධයකදී ලංකාව, අධිරාජ්‍යවාදීන්ගේ හා කලාපීය බලවතුන්ගේ නාවික-මිලිටරි වාඩියක් බවට පත්වනු ඇත. 

දෙවන ලෝක යුද සමයේදී ද මෙලෙස, ඉන්දියානු සාගරයේ බ්‍රිතාන්‍ය නාවික මූලස්ථානය බවට පත් වූ ලංකාවේ වරාය, ජපාන හමුදා වල ගුවන් ප්‍රහාර වලට ලක්විය. න්‍යෂ්ටික බලවතුන් ගනනාවක් පැටලෙමින් අනාගතයේ පුපුරා යා හැකි යුද්ධයකදී, ලංකාවේ වරාය කම්කරුවන්ටත්, පොදුවේ මහජනතාවටත් මුහුන දීමට සිදුවනුයේ ඊට වඩා සිය ගුනයක් දරුනු විනාශයන්ට විය හැක. 

කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය තම යුදවාදී අරමුනුවලට ඈඳා ගැනීමට අධිරාජ්‍යවාදීන් හා ඉන්දියාව සිදුකරන අතපෙවීම, ලංකාවේ ආන්ඩු සමග උපාමරු දැමීම තුලින් කිසි සේත්ම නතර කල නොහැක. එය කල හැක්කේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස, වරාය කම්කරුවන්, සියලු ධනපති පක්ෂ හා වෘත්තිය සමිති වලින් කැඩී ස්වාධීන අරගලයකට එලඹෙමින්, එයට අනෙකුත් අංශ වල කම්කරුවන්ගේ මෙන්ම, දකුනු ආසියාව පුරා මේ තර්ජනයට මුහුන දී ඇති වරාය කම්කරුවන්ගේද සහාය ලබා ගැනීමෙනි. මෙම අරගලය යුද්ධයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක කොටසක් ලෙස වර්ධය කර ගත යුතුවේ. 

“යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” නමින් 2016 දී, කම්කරු පන්තියේ ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිකුත්කල ප්‍රකාශය සඳහන් කල ආකාරයට “යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය ... එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය."

කොලඹ වරායේ සියලු ශ්‍රේනි හා පර්යන්ත වල රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයන් ඒකාබද්ධ කරන වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමටත්, එහි වැඩපිලිවෙලට ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක ක්‍රියා මාර්ගය අන්තර්ග්‍රහනය කරගැනීමටත් වරාය කම්කරුවන් පෙරට ආ යුතුය. ඒ සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර කමිටුව විසින් හා ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් පලකර ඇති ඉදිරි දර්ශන අධ්‍යනය කරන ලෙස අපි වරාය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. 

Loading