මෙම ලිපිය මැයි 08 දින දෙමල භාෂාවෙන් පලවින.
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරීම වැලැක්වීම සඳහා මාස එකහමාරකට වැඩි කාලයක් තිස්සේ පැවතුනු අගුලු දැමීම සහ ඇඳිරි නීතිය හේතුවෙන් දකුනේ මෙන්ම, උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන දුප්පත් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් ඔවුන්ගේ අස්වැන්න විනාශ වෙමින් පවතී.
මේ ව්‍යසනයෙන් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ එලවලු සහ පලතුරු නිශ්පාදකයින් ය. උතුරේ ගොවීහු තම නිෂ්පාදන භාන්ඩ දකුනේ වෙලඳපොලට, විශේෂයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අපනයනය කිරීම සිරිතක් ලෙස සිදු කරති. වෙලඳපල වසා දැමීම සහ ගමනාගමනය අවහිර කිරීම නිසා මෙම ක්‍රියාවලිය මුලු මනින්ම අඩපන වී ඇත. සමහර වගාකරුවන්ට අපනයනය කරන ලද එලවලු වල මුදල් පවා ලැබී නොමැත.
දෙමල ඊලම් බෙදුම්වාදී විමුක්ති කොටින්ට (එල්ටීටීඊ) එරෙහිව කොලඹ ආන්ඩුව ගෙනගිය වසර තිහක වාර්ගික යුද්ධය 2009 දී අවසන් වන විට උතුරේ යටිතල පහසුකම් ඇතුලුව දෙමල ජනතාවගේ සමස්ත ජීවනෝපායන් විනාශ විය. කොරෝනා පැතිරීම මගින් ආර්ථික වශයෙන් යලි නැගී සිටීමට අරගල කරන ගොවීන්ට විනාශකාරී බලපෑමක් ඇති කර තිබේ.
මන්නාරම් දිස්ත්‍රික්කයේ නානාටාන් වැනි ප්‍රදේශවල එලවලු හා මල් වගා කරන්නන් ඔවුන්ගේ අස්වැන්න නෙලාගත නොහැකිව සිටිති. ඒවා ප්‍රාදේශීය වෙලඳපොල තුල විකිනිය හැක්කේ ඉතා අඩු මිලකට බව ඔවුහු පවසති. මීලඟ බෝග වගාව සඳහා පොහොර හා රසායනික ද්‍රව්‍ය වලට වියදම් කල නොහැකි තත්වයක සිටින නිසා රජයෙන් සහනාධාර අවශ්‍ය බවද ඔවුහු කියා සිටිති.
එම දිස්ත්‍රික්කයේ මාන්තයි හි බටහිර කොටසේ බොහෝ ගම්මාන වල අක්කර 100 කට ආසන්න ඉඩම් ප්‍රමානයක තිබ්බටු වගා කල ගොවීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ට ඒවා අලෙවි කිරීමට නොහැකි බවයි. වගාව සඳහා රුපියල් ලක්ෂ ගනනක් ආයෝජනය කර ඇති අතර තම නිශ්පාදන දකුනට ප්‍රවාහනය කිරීමට අවහිරතා ඇති බව ඔවුහු පවසති.
මුලතිවු දිස්ත්‍රික්කයේ කරයිතුරයිපට්ටි, ඔඩ්ඩිසුත්තාන්, පුදුකුඩිරුප්පු සහ මාන්දයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොටිඨාසවල වෙසෙන ගොවීන්ට තම නිෂ්පාදන විකිනීමට නොහැකි වී තිබේ. ශක්ති රූපවාහිනීයේ ප්‍රවෘත්ති විකාශයට අනුව එලවලු කිලෝ 135,000 කට වැඩි ප්‍රමානයක් සහ පලතුරු කිලෝ 14,000 ක් විකුනාගත නොහැකිව විනාශ වෙමින් පවතී.
මීට පෙර පැපොල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 කට මිලදී ගත් දේශීය වෙලඳුන් දැන් ඒවා මිලදී ගන්නේ රුපියල් 5 ක් වැනි සොච්චම් මුදලකටය. මේ හේතුවෙන් ගොවියෝ ගසේම පලතුරු කුනුවීමට හෝ සතුන්ට ආහාරයට ගැනීමට ඉඩහැර ඇත.
මුලතිවු දිස්ත්‍රික් ලේකම් ආර්.කේ විමලනාදන්ට අනුව මෙට්‍රික් ටොන් 93 ක වට්ටක්කා තවමත් වෙලඳ පොලට දැමිය නොහැකිව ඇත. වෙනත් එලවලු මෙට්‍රික් ටොන් 5 ක් සහ පලතුරු මෙට්‍රික් ටොන් 7 ක් වෙලඳ පොලට ගෙනගොස් නැත. මුලතිවු හි උඩයාර් පට්ටිකුලම් ප්‍රදේශයේ වගා කල හැකි අක්කර 1,225 ක කුඹුරු තවමත් පොහොර නොමැතිකම හේතුවෙන් වගා කිරීම කල් ගත වී ඇත.
නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනයිපට්ටු ප්‍රදේශයේ සීනි කැකිරි නිෂ්පාදකයින්ගේ පලතුරු දහස් ගනනක් කුනුවෙමින් පවතී. ඒ හා සමානව, වාලච්චේනි ප්‍රදේශයේ එලවලු වගාකරුවන්ද මිල අඩුකම හේතුවෙන් තම වගාවන් නෙලීමට නොහැකි ව සිටිති. මේ හේතුවෙන් ඔවුන්ගේ ඊලඟ වගා කටයුතු පවා කල් දැමීමට සිදුව ඇත.
කොරෝනා හේතුවෙන් ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථභාවයට අනුකූල ව කටයුතු කිරීමට බල කෙරී ඇති හෙයින් වතු හා කෙත්වලට නිතිපතා ජලය ලබාදිය නොහැකිවීම නිසා බෝග වියලී විනාශ වී ඇත.
මේ තතු තුල බොහෝ ගොවීන් තීරනය කර ඇත්තේ තවදුරටත් කිසිදු ගොවිතැනක නිරත නොවීමටයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අන්ඩුව ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ කිසිදු සැලසුමක් නොමැතිව පසුගිය මාස එකහමාරක කාලය තුල රට අගුලු දැමීය. එක් අතකින් ආහාර නොමැතිව මිනිසුන් කුසගින්නෙන් පෙලෙන අතර අනෙක් අතින් ගොවීන්ගේ නිශ්පාදන කුනු වෙමින් පවතී. එසේ තිබියදීත් රජය ඒවා මිලදී ගැනීමට හා බෙදා හැරීමට කිසිදු සැලසුමක් සකස් කර නැත.
කොරෝනා මගින් ඇති කෙරුනු ආර්ථික අර්බුදයෙන් බැංකු හා සංගත ආරක්ෂා කිරීම සඳහා රුපියල් කෝටි සිය ගනනක් වෙන් කර ඇති රාජපක්ෂ, අගුලු දැමීමෙන් පීඩාවට පත් දුප්පතුන් සඳහා මාසිකව රුපියල් 5,000 ක සොච්චම් සහනයක් ලබා දීමට තීරනය කර තිබේ. එය පවා ලබා ගැනීමට විවිධ සීමාවන් තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවල කම්කරුවන් සහ දුප්පත් ගොවීන් එම මුදල් නොගෙවීම පිලිබඳව විරෝධය දක්වති.
උතුරේ ගොවීන්ගෙන් බහුතරයකට මෙම මුදල ලැබී නොමැති අතර ප්‍රාදේශීය සභාවෙන් ලබාදීමට නියමිත සහන මැතිවරනය හේතුවෙන් ප්‍රාදේශීය පාලනාධිකාරය විසින් අවහිර කර ඇත. බොහෝ ගොවීන් පවසන්නේ රජය මාසයකට වැඩි කාලයක් තිස්සේ සහනාධාර ලබා දී නොමැති බවයි.
මෙම තත්වය තුල, ආඥාදායකත්වයක් දෙසට යොමුවූ රාජපක්ෂගේ සැලසුම් ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), උතුරු හා නැගෙනහිර කම්කරුවන් හා ගොවීන් මුහුන දෙන කොන්දේසි ගැන මුලුමනින්ම නිහඬව සිටිති. අනෙකුත් දෙමල ජාතිකවාදී පක්ෂ දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම ගැන වාචාල දොඩවමින් සිටිති.
ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින් යාපනයේ සංගානෙයි හි 35 හැවිරිදි බාලසිංහම් බාස්කරන් මෙසේ පැවසුවේය: එලවලු අස්වැන්න ලබා ගත නොහැකි බැවින් සතුන් සඳහා ආහාර ලෙස ඒවා ලබා දෙන බවයි. “ඇඳිරි නීතිය අපේ ජීවිත පෙරලලා. අපි බොහෝ බලාපොරොත්තු ඇතිව වගා කලේ. නමුත් අපට ලැබුනේ විනාශය විතරයි.”
තව දුරටත් ඔහු සඳහන් කරේ ලක්ෂ එකහමාරක් වියදම් කොට වගා කල මාලු මිරිස් අස්වැන්න නෙලා ගත හැකි වූයේ එක් වතාවක් පමනක් නිසා ලක්ෂ නමයක පමන පාඩුවක් සිදුව ඇති බවයි. අස්වනු විකිනීමේදී සිදුවන දුෂ්කරතා ගැන ඔහු මෙසේ විස්තර කලේය:
“අක්කර කාලක තක්කාලි වත්ත අතහැර දැම්මා. අක්කර භාගයක මිරිස් වගාව මම අතහැර දැම්මෙ දේශීය වෙලෙන්දෝ ඒවා රුපියල් 15 කට හෝ 20 කට මිල දී ගන්න නිසා. මම බැංකුවට රුපියල් දෙලක්ෂයක් නයයි. ඔක්කොම ගත්තම, මට ලක්ෂ 25 කට වඩා පාඩුයි. මගේ බිරිඳගේ රත්තරන් බඩු රුපියල් ලක්ෂ 6 කට උකස් කරලා තියෙන්නේ. ඒක ගෙවන්නත් අමාරුයි. මෙම රජය අපට වන්දි ගෙවීම ගැන විශ්වාස නැහැ. කලින් නෙලාගත්ත වී ටිකෙන් දැනට ආහාර ටික පිරිමහ ගන්නවා. තත්වය දිගටම පැවතුනොත් ඒ වී ඉවර වුනොත් මොනවා කරන්නද?”
අනෙකුත් ගොවීන්ගේ දුක්ඛිත තත්වය පැහැදිලි කරමින් බාස්කරන් මෙසේ පැවසීය. “කොරෝනා නිසා ඔක්කොටම අමාරුයි. දැනට සමහරු ලූනු සිටුවීමට සූදානම් වෙනවා. නමුත් බීජ ලූනු වල මිල ඉහල ගිහින් තියෙන්නෙ. බීජ හොන්ඩරයක් රු 15,000 ක්. අක්කර භාගයක වගා කරන්න බීජ හොන්ඩර 12 ක් ඕනි. වෙලඳපල පහත වැටීම නිසා කිසිම විශ්වාසයක් නැති තත්වයකදී ගොවීන් විශාල වියදමක් දරා වැපිරීමට පසුබට වෙනවා. දැනටමත් වපුරන ලද බීජ නිසා ඇතිවූ පාඩුව හේතුවෙන් ගොවියො ආයෝජනය කල යුත්තේ කොතැනදැයි හිතාගන්න බැරුව ඉන්නේ. සත්තුන්ට දෙන ආහාර වල මිල වැඩි වී ඇති නිසා සත්තු ඇති දැඩි කිරීමට පවා නොහැකියි. මා දන්නා ගොවීන් 35 ක් හෝ 40 ක් පාඩුවෙලා ඉන්නේ. හැමෝම බැංකුවට නයයි. ”
ආන්ඩුව සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ඔහු “අප අපගේ භාන්ඩ විකුනන කොට රජයට බදු ගෙවනවා නමුත් බඩු විනාශ වුනොත් රජය අපිට වන්දි ගෙවන්නේ නැහැ” යැයි පැවසීය.
චිත්තන්ගේන් හි තවත් මිරිස් නිෂ්පාදකයෙකු වන 42 හැවිරිදි මහලිංගම් නිත්‍යාරාජා ද සිය අතහැර දැමූ මිරිස් වගාව යථා තත්ත්වයට පත් කිරීමට අදහස් කරගෙන සිටි බව කීවේය. “හදිසියේම දාපු ඇඳිරි නීතිය නිසා අක්කර කාලක බටු වත්ත බන්ඩක්කා පැල සහ මාලු මිරිස් වගාවන් විනාශ වුනා. අතහැර දැමූ මිරිස් වත්ත නැවතත් දලු දාපු නිසා වතුර ඉහිනවා. කෙසේ වෙතත්, තත්වය දිගටම යන නිසා මෙම මිරිස් විකුනන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. අපට දැන් ආදායමක් නෑ. ඒ හින්දා ආහාර පවා මිලදී ගන්න අමාරුයි. අපි පෞද්ගලික ආහාර ද්‍රව්‍ය සමාගම් කිහිපයක් සමඟ කටයුතු කලා. ආදායමක් හොයාගන්න වෙලඳපොලේ වෙලඳුන් සමඟ සහායකයකු ලෙස කුලී වැඩ කරා. අපිව ආරක්ෂා කිරීමෙදි රජය මුලුමනින්ම අපොහොසත්.”
ගෙදර කුලියට මාසෙට දෙදාහක් ගෙවිය යුතු බවත් සමෘද්ධියෙන් ලැබෙන රුපියල් 5,000 ප්‍රමානවත් නොවන බවත් ඔහු පැවසීය. ඔහු මෙසේ ද පැවසීය: “යුද්ධයෙන් මේවා විනාශ වෙනකොට පවා අපට රජයේ උදව්වක් ලැබුනෙ නැහැ. මෙම රෝගය නවතින්නේ කවදා දැයි කියන්න බෑ. මෙම විනාශයට අනිවාර්යෙන්ම රජය සහන ලබා දිය යුතුයි. දෙමල දේශපාලනඥයන් අප වෙත ආවෙ නැහැ”
තන්ගානෙයි 74 හැවිරිදි සී නවරත්නම්ට නය ගෙවීමට සහ ජීවත්වීමට ආදායමක් සොයා ගැනීමට සඳහා කුලී වැඩ කිරීමට බල කෙරී ඇත. “මම අක්කර භාගයක බටු වගා කලා. ඇඳිරි නීතිය නිසා බලන්න වුනේ නැති හින්දා සත්තු හානි කරලා. වෙනත් වතු වලට හානිය පැතිරීම වලක්වා ගැනීම සඳහා සමතලා කරා. ඒ නිසා මට පනස්දහසකට වඩා පාඩු වුනා. අස්වැන්න නෙලා ගත්තා නම් වටිනාකම රුපියල් ලක්ෂයක්” යැයි ඔහු කීය
නවරත්නම් මෙසේ ද පැවසුවේය: “මම අතමාරුවට ආයෝජනය කරේ. නැවත ඒක දෙන්න විදියක් නෑ. මේ නිසා මම වෙනත් වතුවල කුලී වැඩ කරනවා. ඊට අමතරව වතුයාය තියෙන ඉඩමට කුලියක් ගෙවන්නඔ්න. උදේ 9 ට රැකියාවට ගියහොත් අලුයම 1 වන තෙක් වැඩ කරන්නෝනි. පඩිය රුපියල් 800 යි. අපේ බිරිඳට සහ මට ප්‍රමානවත් තරම් ආහාර පවා නැහැ. විදේශයන්හි වෙසෙන සමහර පුද්ගලයින් සහල් කිලෝග්‍රෑම් 5 ක්, පිටි කිලෝග්‍රෑම් 5 ක් සහ සීනී ලබා දුන්නා. ඒකත් කොච්චර කාලෙකට ප්‍රමානවත් වෙයිද? ” ඔහු ප්‍රශ්න කලේය.