සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 2 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 2

By the Socialist Equality Party (Sri Lanka), 5 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත.මෙහි පලමු කොටස මැයි 3 දින පල කෙරින.

4 ලසසපය හතර වන ජාත්‍යන්තරය කරා

4-1 හතර වන ජාත්‍යන්තරය -1938 ඔක්තෝබර් 28 දින - පිහිටුවන ලද්දේ පැරිසියේ පවත්වන ලද රටවල් එකොලහක නියෝජිතයන් තිස්දෙනෙකුගේ රහස් රැස්වීමක දී ය. නියෝජිතයන් එවීමට අසමත් වූ ආසියාවේ පක්ෂ තුනක් ද - චීනයේ, ඉන්දු චීනයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ - හතර වන ජාත්‍යන්තරයේ ශාඛාවන් ලෙස ඒකාබද්ධ වූහ. සම්මේලනය විසින් සම්මත කරගනු ලැබූ සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය, ධනවාදයේ මරලතෝනිය හා හතර වන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ යන ට්‍රොට්ස්කි විසින් ලියන ලද ලියවිල්ල මෙසේ ප‍්‍රකාශ කලේ ය: "සමාජවාදය සඳහා තව මත් ඓතිහාසික තත්වයන් ‘මෝරා’ නැතැයි කරන සියලූ දෙඩවිලි මුග්ධත්වයේ නැතහොත් දැනුවත් වංචාවේ නිෂ්පාදිත යි. නිර්ධන පන්ති විප්ලවය සඳහා වෛෂයික පූර්වාවශ්‍යතා ‘මෝරා’ ඇතුවා පමනක් නො ව, තරමක් දුරට කුනුවන්ට ද පටන් ගෙන ඇත. යටත් පිරිසෙයින් මීලඟ ඓතිහාසික යුගයේ දී, සමාජවාදී විප්ලවයක් නො සිදු වුව හොත් මානව වර්ගයා ගේ මුලූ මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේ ය. දැන් වාරය නිර්ධන පන්තියට යි: එනම්, ප‍්‍රධාන වසයෙන් ම එහි විප්ලවවාදී පෙරටු බල ඇනියට යි. මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත්තේ ය.” [3] එම කි‍්‍රයාමාර්ගය කම්කරු පන්තියේ පලල් ස්ථරවල අද්‍යතන කොන්දේසිවලින් ද අද්‍යතන විඥානයෙන් ද ගලා එන්නා වූත්, නිර්ධන පන්තිය විසින් බලය දිනා ගැනීම නමැති අවසාන නිගමනය කරා අප‍්‍රතිවර්තනීය ලෙස ගමන් කරන්නා වූත්, සංක‍්‍රමන ඉල්ලීම් පද්ධතියක්” ඉදිරිපත් කලේය. [4] (එම, පි.4-5) සංක‍්‍රමන ඉල්ලීම් එල්ල වූයේ කම්කරු පන්තියේ විප්ලවවාදී විඥානය වර්ධනය කිරීමට ය. කම්කරු පන්තියේ පවත්නා විඥානයේ මට්ටමට කි‍්‍රයාමාර්ගය දියාරු කිරීමට නො වේ.

4-2 ලියවිල්ල සාරාත්මක වශයෙන් ධනවාදයේ ඒකාබද්ධ සහ අසමාන වර්ධනය මත පදනම් වූ නො නවතින විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනය ඉදිරිපත් කලේ මෙසේ ය: "විජිත හා අර්ධ විජිත රටවල් සාරාර්ථයෙන් ම පසුබට රටවල් ය. එහෙත් මේ පසුබට රටවල් ද අධිරාජ්‍යවාදය ආධිපත්‍යය දරන ලෝකයක කොටසකි. එහෙයින් ඒවායේ වර්ධනය සංකලිත ස්වභාවයක් උසුලයි; අති ප‍්‍රාථමික ආර්ථික රූප ධනේශ්වර තාක්ෂනයේ හා සංස්කෘතියේ අති නූතන රූප සමග සංකලනය වී ඇත. පසුබට රටවල නිර්ධන පන්තියේ දේශපාලන ප‍්‍රයත්න ද නිර්නිත වී තිබෙන්නේ ඒ ආකාරයටම ය; ජාතික ස්වාධීනත්වය හා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන අතිමූලික අවශ්‍යතා සඳහා අරගලය, ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි සමාජවාදී අරගලය සමග සංකලනය වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨ, සංක‍්‍රමන ඉල්ලීම් හා සමාජවාදී විප්ලවයේ ගැටලූ මෙම අරගලයේ වෙනස් ඓතිහාසික යුගවලට නො බෙදී කෙලින් ම එකිනෙකින් පැන නගී.” [5] (එම, 32 පිටුව)

4.3 1939 ජුලි මස ඉන්දියානු කම්කරුවන්ට ලියන ලද ලිපියක දී එලඹෙන යුද්ධය තුල ඔවුන් මුහුන දෙන්නා වූ දේශපාලන ප‍්‍රශ්න තව දුරටත් මෙසේ විස්තාරනය කලේ ය: බි‍්‍රතාන්‍ය ආන්ඩුවේ ඒජන්තයෝ ඉදිරියේ එන යුද්ධය ෆැසිස්ට්වාදයෙන් ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගලවා ගැනීම සඳහා” ප‍්‍රජාතන්ත‍්‍රවාදී, මූලධර්ම සඳහා කරනු ලබන යුද්ධයක් යයි පින්තාරු කරති. මේ අනුව ෆැසිස්ට් ආක‍්‍රමනිකයින් පලවා හැරීම සඳහා සියලූ ම පන්තීන් සහ ජනයා, ”සාමකාමී”, ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ආන්ඩු පිටුපස පෙල ගැසිය යුතුය. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගලවාගත යුතු ය. සදාකාලික සාමය තහවුරු කල යුතුය’. මෙම ශුභාරංචිය දැනුවත් බොරුවක් මත රැුඳී ඇත. බි‍්‍රතාන්‍ය ආන්ඩුවට ඇත්ත වශයෙන් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුපුෂ්පිත කිරීම දැකීමට උවමනා නම්, එය ඔප්පු කර දැක්වීමට ඉතා සරල ක‍්‍රමයක් තිබේ. එය ඉන්දියාවට මුලූමනින් ම නිදහස දී අයින් විය යුතු ය.” [6] (ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40 පාත් ෆයින්ඩර්, පි. 29-30). ට්‍රොට්ස්කි කිසිසේත් ම ෆැසිස්ට් අන්තරාය ලඝු කොට තැකුවේ නැත. එහෙත් පීඩිත පන්තීන්ගේ හා ජනතාවන්ගේ ප‍්‍රධාන සතුරා සිටියේ සිය රට තුල ම ය යන්න ඔහු අවධාරනය කලේය. ඉන්දියාව සම්බන්ධයෙන් ගත් කල එම සතුරා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය වූ අතර එය පෙරලා දැමීම, ෆැසිස්ට් ඒකාධිපතියන් ද ඇතුලූ සියලූ පීඩකයන්ට දැවැන්ත ප‍්‍රහාරයක් වනු ඇත.

4-4 ඉන්දියානු ධනේශ්වර පන්තිය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිගේ විවේචනය ගිනියම් විය: ”ඔවුහු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සමීපව වෙලී සිටිති. එය මත සමීපව ආයත්තව සිටිති. ඔවුහු තමන්ගේ ම දේපල පිලිබඳ ව වෙවුලූම් ගෙන මහජනයාට බියෙන් සිටිති. කුමන ගාස්තුවක් ගෙවා හෝ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුති ගසා ගැනීමට බලා සිටින ඔවුහු උඩින් ලැබෙන ප‍්‍රතිසංස්කරන පිලිබඳ අපේක්ෂාවලින් ඉන්දියානු ජනතාව නලවති. මෙම ධනේශ්වරයේ නායකයා ද අනාගත වක්තෘ ද ගාන්ධි ය. ව්‍යාජ නායකයෙක්, ව්‍යාජ අනාගත වක්තෘ කෙනෙක්. ගාන්ධි සහ ඔහුගේ සහකරුවෝ, ව්‍යාජ න්‍යායක් වගා කර ගෙන සිටිති. ‘ඉන්දියාවේ තත්වය නිරන්තරව හොඳ අතට හැරෙනු ඇත. ඇයගේ ස්වාධීනතා වඩ වඩාත් පුලූල් කෙරෙනු ඇත. සාමකාමී ප‍්‍රතිසංස්කරන මාවත ඔස්සේ යමින් ඉන්දියාව, ටිකෙන් ටික ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් වනු ඇත. කල්යාමේ දී සමහර විට ස්වාධීනතාවය පවා ලබා ගනු ඇත.’ මෙය වනාහි අරටුවෙන් ම සාවද්‍ය වූ ඉදිරිදර්ශනයකි.” [7] (එම, 30-31 පිටු).

4-5 ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදයේ භූමිකාව දෙසට හැරෙමින් සෝවියට් නිලධරය, අනෙකුත් රටවල දී මෙන් ම ඉන්දියාවේ දී ද "ප‍්‍රජාතන්ත‍්‍ර බලවතුන්” සමග තමන් ගෙන යන රාජ්‍ය තන්ත‍්‍ර උපාමාරුවලට ජනතාවගේ උවමනාකම් යටත් කරන බව පැහැදිලි කලේය. ෆැසිස්ට් ආධිපත්‍යය යටතේ පවත්නා ජාතීන්ට ස්වයං නීර්නය, එහෙත් බි‍්‍රතාන්‍යයේ, ප‍්‍රන්සයේ සහ ඇමරිකාවේ යටත් විජිත රටවලට සනාතන වහල් බව. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව ද එලඹෙන යුද්ධයට එරෙහිව ද කරන අරගලයක් ඉල්ලූම් කරන්නේ ස්ටැලින්වාදයෙන් මුලූමනින් ම බෙදී වෙන්විය යුතුය යන්නයි. හතරවන ජාත්‍යන්තරය දෙසට හැරුනා වූ ලසසප නායකයින් මුහුන දී සිටි ප‍්‍රශ්නය හරියට ම මෙයයි. ට්‍රොට්ස්කිවාදී නායකයන් සමග සබඳතා ඇතිකර ගැනීමටත් ට්‍රොට්ස්කි හමුවීමටත් සෙලීනා පෙරේරා 1939 දී බි‍්‍රතාන්‍යයට හා ඇමරිකා එක්සත් ජනපදයට යවන ලද අතර ට්‍රොට්ස්කි හමුවීමේ ඇයගේ ප‍්‍රයත්නය අසාර්ථක විය.

4-6 1939 දෙසැම්බරයේ දී ලසසපයේ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම එහි සිටි ස්ටැලින්වාදී අනුගාමිකයන්ට කෙලින් ම අභියෝග කරමින්, පහත සඳහන් යෝජනාව පක්ෂයේ විධායක කමිටුවට ඉදිරිපත් කලේ ය: ”ප‍්‍රථම කම්කරු රාජ්‍යය වන සෝවියට් සංගමය සමග සහෝදරත්වය ප‍්‍රකාශ කරන අතරම ලංකා සමසමාජ පක්ෂය, ජාත්‍යන්තර විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයේ අවශ්‍යතා වෙනුවෙන් තව දුරටත් කටයුතු නොකරන තුන්වෙනි ජාත්‍යන්තරය කෙරෙහි විශ්වාසයක් නොමැති බව කියා සිටී.” මෙම යෝජනාව 29 ට 5 බහුතරයකින් සම්මත විය. ස්ටැලින්වාදීන් සහ ඔවුන්ගේ සගයින් ලසසපයෙන් කැඞී, 1940 නොවැම්බර්යේ දී එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්හ. ඔවුහු පසුව 1943 ජුලියේ දී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්හ.

4-7 ලෙස්ලි ගුනවර්ධන "තුන් වන ජාත්‍යන්තරය හෙලාදැකේ” යන නමින් යුතු ස්ටැලින්වාදය පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කලේ ය. එහි දී ඔහු, 1939 ඇතුලත දී බි‍්‍රතාන්‍යයේ සහ ප‍්‍රන්සයේ කොමියුනිස්ට් පක්ෂ අධිරාජ්‍යවාදී යුද්ධයට පක්ෂ ආස්ථානයක සිට විරුද්ධ ආස්ථානයක් කරා සිදු කල අවස්ථාවාදී මාරුවීම අවධාරනය කලේ ය. මෙම වියරු දේශපාලන පැද්දීම් තීන්දු කරනු ලැබුවේ ”ප‍්‍රජාතන්ත‍්‍ර බලවතුන්” යයි නම් කරන ලද බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්සය සමග ගෙන ගිය අප‍්‍රතිපත්තික උපාමාරුවල සිිට 1939 අගෝස්තුවේ දී හිට්ලර්-ස්ටැලින් ගිවිසුම අත්සන් කිරීම දක්වා ක්‍රෙම්ලිනය හිටිහැටියේ සිදු කල වෙනස්වීම මගින් බව ඔහු පෙන්වා දුන්නේ ය. ඔහු මෙසේ සමාප්ත කලේය: "දෙවන ජාත්‍යන්තරය 1914-18 යුද්ධයේ දී කම්කරු පන්තිය පාවා දුනි. අද ද තුන් වන ජාත්‍යන්තරය සෝවියට් සංගමයේ විදෙස් පිලිවෙතට, ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරය යටත් කිරීම මගින් තවත් පාවාදීමක් සිදු කරයි. මෙම කාරනය පෙන්වා දීම අපේ යුතුකමයි.” [8]

4-8 ස්ටැලින්වාදීන් පලවා හැරීම ද හතර වන ජාත්‍යන්තරය වෙත හැරීම ද ලසසප පන්ති අක්ෂයේ තීරනාත්මක සන්ධිස්ථානයකි. එය නො නවතින විප්ලව න්‍යාය මත පක්ෂය දේශපාලනිකව නව මගකට යොමු කලේ ය. අන් සියල්ලටමත් වඩා ලසසප නායකයෝ ලංකාව තුල සමාජවාදය සඳහා අරගලය ඉන්දියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග අවියෝජනීය ලෙස බැඳී පවත්නා බව වටහා ගත්හ. දුර දක්නා පියවරක් ගත් ලසසපය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව උප මහාද්වීපය පුරා කම්කරු පන්ති අරගලයන් ඒකාග‍්‍ර කිරීම සඳහා සමස්ත ඉන්දීය පක්ෂයක්, හතර වන ජාත්‍යන්තරයේ කොටසක් ලෙස පිහිටුවිය යුතුව ඇතැ යි නිගමනය කලේ ය. ඊට පසු කාලයේ, 1950 ගනන්වල සිට ලසසපයේ පිරිහීම සලකුනු කරන දැනට ලියැවී ඇති සියලූ ම ඉතිහාස, ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) පසුකාලීන ඉතිහාසය පිලිබඳ අත්දැකීම මුලූමනින් ම නොතකා හරියි. නැතහොත් එය විප්ලවවාදී රොමෑන්ටිකවාදයේ නිරර්ථක වික‍්‍රමයක් ලෙස සලකති. එහෙත්, සමසමාජවාදයේ රැඩිකල් ජාතිකවාදී දෘෂ්ටියෙන් කැඞීම ද කම්කරු පන්තික ජාත්‍යන්තරවාදයේ පදනම මත එය නව මගකට යොමු කිරීම ද යන කරුනු නිසා ම බීඑල්පීඅයි, දකුනු ආසියාව හා ජාත්‍යන්තරය තුල ඉටු කලා වූ නොමැකෙන ප‍්‍රතිපදානය, අද දක්වා ම කම්කරුවන් සහ තරුනයින්ට තීරනාත්මක දේශපාලන සහ න්‍යායික පාඩම් දරා සිටී.

4-9 යුද්ධය ආරම්භවීමත් සමග ස්ටැලින්, අලූතින් පිහිටුවා තිබුනු හතර වන ජාත්‍යන්තරය විනාශ කිරීමට ද අන් සියල්ලටමත් වඩා ලියොන් ට්‍රොට්ස්කි ම විනාශ කර දැමීමට ද වැඩ ඇරඹුවේ ය. යුද්ධය විසින් අනිවාර්යයෙන් ම නිර්මානය කරනු ඇති මහා විප්ලවකාරී කම්පනයන්, සෝවියට් සංගමය තුල ද ඇතුලත්ව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉමහත් ලෙස ශක්තිමත් කරනු ඇතැයි ද එම තතු තුල සෝවියට් නිලධරයට සෘජු අභියෝගයක් එල්ල වනු ඇතැ යි ද ස්ටැලින් බියට පත් විය. හතර වන ජාත්‍යන්තරය පිහිටුවීමට පෙර, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට රිංගවනු ලැබූ රහස් ඔත්තුකාරයින්ගේ ආධාර ලත් ජීපීයූව, (ස්ටැලින්ගේ රහස් පොලීසිය) ට්‍රොට්ස්කිගේ ලේකම්වරයෙකු වූ අර්වින් වුල්ෆ් මරා දැමී ය. ට්‍රොට්ස්කිට තම ආධාරය ප‍්‍රකාශ කල, ජීපීයුව හැර ගිය තැනැත්තෙකු වූ ඉග්නාස් රයිස්, ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් සහ හතර වන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් ද මරා දමන ලද්දෝ ය. 1940 මැයි මාසයේ දී ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට දරන ලද ප‍්‍රයත්නය අසාර්ථක විය. එහෙත් 1940 අගෝස්තු 20දා නිවස තුල දී රේමන් මර්කාඩර් නම් ජීපීයූ ඒජන්තයාගේ ප‍්‍රහාරයකට ලක්වූ ට්‍රොට්ස්කි, පසුව දා මරනයට පත් විය. ට්‍රොට්ස්කි ඝාතනය මෙම ශතවර්ෂයේ මහා දේශපාලන අපරාධය වූ අතර, ජාත්‍යන්තර කම්කරු පන්තියට එල්ල කරන ලද බලගතු පහරක් විය. ලෙනින් ද සමග ට්‍රොට්ස්කි, රුසියානු විප්ලවයේ සම නායකයා ද ස්ටැලින්වාදයේ අශමනීය සතුරා ද පමනක් නො ව 19 වන සියවසේ ද 20 වන සියවසේ මුල් දශකවල ද මහා විප්ලවකාරී කම්කරු ව්‍යාපාරයට ආස්වාදය සැපයූ සම්භාව්‍ය මාක්ස්වාදී සම්ප‍්‍රදායේ අන්තිම සහ ශේෂ්ඨතම නියෝජිතයා ද වූයේ ය.

5 ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය පිහිටුවීම

5-1 1939 සැප්තැම්බරයේ දී දෙවන ලෝක යුද්ධය පුපුරා යාමත් සමග ම ලසසප ය, යුද්ධයට කුමන සහායක් හෝ දීම මුලූමනින් ම ප‍්‍රතික්ෂේප කලේ ය. ලංකා ජාතික සංගමයේ (ලංජාස) නායක ඩී.එස්. සේනානායක, බි‍්‍රතාන්‍ය ආන්ඩුවට "මුලුහදින් ම සහාය” පල කරන යෝජනාවක් ඉදිරිපත් කල තතු තුල අධිරාජ්‍යවාදී කඳවුරු දෙක අතර යුද්ධය හෙලා දුටු ලසසප මන්ත‍්‍රී පිලිප් ගුනවර්ධන, මෙසේ ප‍්‍රකාශ කලේ ය. "කුමන අධිරාජ්‍යවාදී යුද්ධයක හෝ කොටස්කරුවකු වීම අපි ප‍්‍රතික්ෂේප කරමු. සියලූ අධිරාජ්‍යවාදී යුද්ධයන්ට ද සූරාකෑමට ද විරුද්ධ වෙමු. රටක් යුද්ධයට එලඹීම නිසා පන්ති අරගලය නැවතී නැත.” [9] (ධරසටසබි දෙ ඔරදඑිනහිප සබ ක්‍ැහකදබල ඛැරිනහල 206 පිටුව). 1939 දෙසැම්බරයේ දී මුල්ඔය වත්තෙන් ඇරඹි වතු කම්කරුවන්ගේ ස්ට‍්‍රයික් අරගල රැල්ල මධ්‍යයේ පොලිසිය, ගෝවින්දන් නමැති තේ ෆැක්ටරි කම්කරුවා වෙඩි තබා මරා දැමූ තතු තුල ලසසපය, එම වැඩවර්ජන රැල්ලේ නායක භූමිකාව ඉටු කලේ ය. වැඩ වර්ජන පැතිරී ගිය අතර 1940 මැයි මාසයේ දී වේවැස්ස වත්තේ කම්කරුවෝ කම්කරු බල මන්ඩලයක් ගොඩනැගූහ. ප‍්‍රමුඛ වතුකාරයෝ ලසසපයට එරෙහිව රාජ්‍ය බලය මෙහෙයවිය යුතු යයි අනතුරු අඟවා සිටියෝය. "ලංකාවේ එන්න එන්න ම උග‍්‍ර වන තත්වය ලේ වැගිරීමට සහ කැරලි ගැසීමට තුඩු දෙනු ඇත.... ඉන්දියාව තුල එයින් අති බරපතල ප‍්‍රතිවිපාක ජනනය කෙරෙනු ඇත.” පොලීසිය වතුකරය පුරා භීෂනයක් මුදා හැරියේ ය. පැරිසිය නාසි හමුදාවන්ට යටත් ව දින කිහිපයකට පසු ජුනි 18 දා ලසසපය තහනම් කරන ලද අතර එහි නායකයන් හතර දෙනෙක් -පිලිප් ගුනවර්ධන, ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා සහ එඩ්මන් සමරක්කොඩි- අත් අඩංගුවට ගනු ලැබූහ. සමසමාජ පක්ෂය මේ වන විටත් නීති විරෝධී තත්වයක් තුල වැඩ කිරීමට සූදානම්ව සිටි අතර, යුද නීතියට මුහුන පා යුද සමය පුරාම ද ලංකාව තුල තම කටයුතු කර ගෙන ගියේ ය.

5-2 ලසසපය 1940 මැයි මාසයේ සිට, ට්‍රොට්ස්කිවාදයට අනුග‍්‍රහය දැක්වූ කන්ඩායම් හමු වීම ද සමස්ත ඉන්දීය පක්ෂයකට පදනම දැමීම ද පිනිස සිය සාමාජිකයන් ඉන්දියාවට යැවීම අරඹා තිබුනි. කල්කටාවේ අජිත් කුමාර් මුකර්ජි රෝයි සහ කමලේෂ් බැනර්ජි ද කාන්පූර් කාර්මික නගරයේ ඔන්කර්නාත් වර්මා ශාස්ත‍්‍රි ද බොම්බායේ චන්ද්‍රවදන් ශුක්ලා ද යන අයගේ නායකත්වයෙන් යුත් - ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් තුනක් මෙහි දී ලසසපයට සහාය දුනි. ශාස්ත‍්‍රී සහ ශුක්ලා යන දෙදෙනා ම 1920 දී පිහිටුවන ලද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) සාමාජිකයින් ව සිට මහජන පෙරමුනට විරුද්ධ වී, 1930 ගනන්වල අග කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී වෙන්වූවන් ය. ලසසපය නීති විරෝධී තත්වයන් යටතේ මහනුවර දී, ඉන්දියාව ද බුරුමය ද ලංකාව ද ඇතුලත් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැගීමට පදනම දැමීම සඳහා, 1940 දෙසැම්බර් හා 1941 මාර්තු මාසයේ රහසිගත රැස්වීම් දෙකක් කැඳවීය. මෙම රැස්වීම් දෙකට ම සිරගත ව සිටි ලසසප නායකයෝ ද සහභාගි වූවෝ ය. ඔවුහු ඒ වන විට තම ජේලර් ද පක්ෂයට දිනා ගෙන සිටියහ. දෙවැනි රැස්වීමට ඉන්දියාවේ නියෝජිතයෝ ද සහභාගි වූහ. ඉන්දියාවේ වර්ධනය වෙමින් පැවති ප‍්‍රගාඪ විප්ලවවාදී ගම්‍යයන් සහිත දේශපාලනිකව පුපුරනසුලූ තත්වය වටහා ගත් බොහෝ සමසමාජ නායකයෝ, එරටට සංක‍්‍රමනය වූහ. 1942 අපේ‍්‍රල් 7 දා සිරගත ව සිටි සමසමාජ නායකයින් 4 දෙනා තම ජේලර් ද කැටුව මහනුවර බන්ධනාගාරයෙන් පැන ගොස් පොලිස් මුර වලල්ල සාර්ථක ව මග හැර, ඉන්දියාවට ඇතුලූ වූහ. 1942 මැයි මාසයේ පැවති නායකයින්ගේ රැස්වීමක දී ඔවුහු, නිල වශයෙන් ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී (බීඑල්පීඅයි) පක්ෂය පිහිටුවා, විප්ලවවාදී කි‍්‍රයාමාර්ගය සම්මත කොට, හතර වන ජාත්‍යන්තරයට සම්බන්ධ වීම ඉල්ලා සිටියෝ ය.

5-3 බීඑල්පීඅයි ආරම්භ කිරීම, ඉන්දියානු උප මහාද්වීපයේ විප්ලවවාදී මාක්ස්වාදය සඳහා අරගලයේ සැතපුම් කනුවක් විය . ඔවුන් ඉන් පසු කාලයේ කුමක් කලත්, එයින් බීඑල්පීඅයි නායකත්වය ඉන්දියානු උප මහද්වීපය තුලට ට්‍රොට්ස්කිවාදය හඳුන්වාදීම මගින් තහවුරු කල ජයග‍්‍රහනය හීන වන්නේ නැත. ලංකාවේ සමාජවාදය ඇතිකල යුතුයැයි කියා සිටි, ලසසප 1935 වැඩපිලිවෙලට මුලුමනින් ම විසන්දනාත්මකව බීඑල්පීඅයි වැඩපිලිවෙල, කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය මත දැඩිව පදනම් වී තිබුනේ ය. ලංකාවේ සමාජවාදය සඳහා අරගලය ඉන්දියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී විප්ලවය සමග මුලුමනින් ම බැඳී ඇති බව පිලිගැනීම මත එය පාදක විය. එය ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය පාලනය ද එරට ධනවාදය පැන නැගීම ද විවිධ පන්ති සහ සියලු පක්ෂවල භූමිකාව ද පිලිබඳ පරිපුර්න විශ්ලේෂනයක් කරමින්, හතරවන ජාත්‍යන්තරයේ සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය මත පදනම් වූ සංක‍්‍රමන ඉල්ලීම් මාලාවක් විස්තාරනය කලේ ය.

5-4 බීඑල්පීඅයි ඉන්දියානු ජාතික සංගමයේ (ඉජාස) සම්මුතිවාදී දේශපාලනය එලිදරව් කරමින්, එය ඉඩම් හිමියන්ට සමීපව බැඳී ඇති බව ද 1920 සහ 1930 ගනන්වල මහජන සිවිල් නීති බිඳීමේ ව්‍යාපාරයන් පාවා දුන් සැටි ද පහදා දුනි. ගාන්ධිගේ "අහිංසා” ධර්මය වනාහි "ධනපති පන්තිය ජාතික ව්‍යාපාරයේ රූපය සහ පරිමාව පාලනය කරමින්, විප්ලවවාදී මාර්ගයට පිවිසීම වලක්වා, එය මත තම ග‍්‍රහනය තබා ගැනීම සඳහා යොදාගනු ලබන්නක්” බව ද බීඑල්පීඅයි පැහැදිලි කලේ ය. ඉන්දියානු ජාතික සංගමය බහු පන්තික පක්ෂයක් යයි නම් කරමින් ස්ටැලින්වාදින් එය සමග සහයෝගයට එලඹීම "නිර්ලජ්ජිත රැවටිල්ලක්” යයි බීඑල්පීඅයි හෙලාදැක්කේ ය. කොන්ග‍්‍රසය සෑම අංශයකින් ම, විශේෂයෙන් ම එහි දේශපාලන නායකත්වය, චීනයේ 1925-27 විප්ලවය තලා දැමූ කේ.එම්.ටී.යට සමාන යයි එය අනතුරු ඇඟවී ය.

5-5 ඉන්දියානු ධනේශ්වරය ඉඩම් හිමියන්ට සමීපව සම්බන්ධවීම නිසා, ඉන්දියානු ගොවියන්ගේ ඉතා මූලික ආසක්තයන් පවා සපුරා ලීමට කොංග‍්‍රසය ඓන්ද්‍රීය ව ම අසමත් බව නීර්නයවී තිබුනි. "තමන් සඳහා විප්ලවීය නායකත්වය සම්පාදනය කර ගැනීමට ගොවි පන්තිය අසමත් වන හෙයින් එය සැපයෙනු ඇත්තේ නාගරික පන්තියක් තුලිනි. එහෙත් එම නායකත්වය සැපයීම, ඉන්දියානු ධනපති පන්තියට කල නොහැකි ය. මන්දයත්, ප‍්‍රථම වශයෙන්ම ගොවි ජනතාව පරපුටු ලෙස සූරාකෑමට කෙලින් ම පංගු කරුවන් වී සිටින හෙයින් ධනපති පන්තිය, ඉඩම් ප‍්‍රශ්නයේ දී අරටුවට ම ප‍්‍රතිගාමී වන නිසා ය. අන් සියල්ලටමත් වඩා තම ආවේනික දුබලකම නිසා ද අධිරාජ්‍යවාදය මත යැපෙන නිසා ද ඉන්දියානු ධනපති පන්තිය එලඹෙන බලය අරගලයේ දී ප‍්‍රතිවිප්ලවවාදී කි‍්‍රයා කලාපයක් ඉටු කිරීම අනිවාර්ය ය.” [10] (ඔදපදරරදඅ සි දමරිල පි. 300) බීඑල්පීඅයි, බලය සඳහා අරගලය තුල කම්කරු පන්තිය වටා ගොවි ජනතාව, විශේෂයෙන් ම ඔවුන්ගෙන් වඩාත්ම පීඩිත කොටස්, බලමුලු ගැන්වීම සඳහා, "මහා ඉඩම් හිමි ක‍්‍රමය වන්දි විරහිතව අහෝසි කිරීම” යන්නෙන් පටන් ගෙන, "ඉඩම් ඒවා වගා කරන ගොවියන්ට පවරා දීම”, සහ "කෘෂිකාර්මික නයගැති බව අහෝසි කිරීම” යන සටන්පාඨ ඇතුලත් ඉල්ලීම් මාලාවක් විස්තාරනය කලේ ය.

5-6 බීඑල්පීඅයි, 1920 දී පිහිටුවනු ලැබ ඒ වන විට ස්ටැලින්වාදයෙන් තරයේ දූෂිත ව තිබුනු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) කි‍්‍රයාකලාපය එලිදරව් කලේ ය. කොමින්ටර්නය (තුන්වන ජාත්‍යන්තරය) චීනයේ දී කලාක් මෙන් 1920 ගනන්වල දී ඉන්දියාවේදී ද කොමියුනිස්ට් පක්ෂයට උපදෙස් දුන්නේ, ධනේශ්වර පන්තියේ ඊනියා විප්ලවවාදී කොටස් සමග හවුලකට එලඹෙන ලෙස ය. කොන්ග‍්‍රස් පක්ෂය වමට තල්ලු කරනු වස් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර වැඩ පිලිවෙලක් සහිත "පන්ති දෙකේ” කම්කරු ගොවි පක්ෂ ගොඩ නැගීමට සීපීඅයි තම උත්සාහය යොමු කල යුතු යයි තව දුරටත් අනවන ලද අතර, එම පිලිවෙතෙහි විපාකය වූයේ එහි පන්ති ස්වාධීනත්වය තවදුරටත් ඛාදනය වීමයි, කම්කරු පන්ති නායකත්වය සඳහා නිර්භීතව අරගල කිරීමට එහි ඇති හැකියාව අහෝසි කර දැමීම යි. 1930 ගනන්වල මුල් සමයේ සීපීඅයි, ස්ටැලින්වාදී-මෙන්ෂෙවික්වාදී අවධි දෙකේ විප්ලව න්‍යාය දිගටම කි‍්‍රයාත්මක කරන ගමන් ම, තුන් වන කාල පරිච්ඡේදයේ පිලිවෙත අනුව ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසය වාචාල ලෙස විවේචනය කිරීමක් ද කරගෙන ගියේ ය. ඉන්දීය කොන්ග‍්‍රස් නායකත්වයට සෘජුව ම අභියෝග කිරීම ප‍්‍රතික්ෂේප කරමින්, මහජන සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයෙන් සීපීඅයි ඈත්වී ගත්තේ ය. 1930 ගනන්වල මැද දී කොමින්ටර්නය මහජන පෙරමුනු දේශපාලනයට මාරු වීමත් සමග සීපීඅයි, වඩාත් විවෘතව සහ කඨෝරව ඉන්දීය කොන්ග‍්‍රසය, බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි අරගලයේ ප‍්‍රමුඛ නායකත්වය ලෙස හුවාදැක්වී ය. ස්ටැලින්වාදීන් එසේ ඉන්දීය කොන්ග‍්‍රසය වර්නනා කලේ එය, 1935 බි‍්‍රතාන්‍යය විසින් ඉන්දියාව මත අටවන ලද ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිලිගනිමින්, බි‍්‍රතාන්‍ය ඉන්දියාවේ ප‍්‍රාන්ත වැඩි ගනනක ආන්ඩු බාරගනිමින්, යටත් විජිත පාලනයේ කොටස්කරුවෙක් බවට පත්වූ තත්වයක් තුලය. 1930 ගනන් අග භාගයේ දී කොංග‍්‍රස් ප‍්‍රාන්ත ආන්ඩු සමග විවෘතව ගැටුනු සටන්කාමී කම්කරු අරගල සහ කිසාන් සභා හෙවත් ගොවිජන සභා ශීඝ‍්‍රයෙන් වර්ධනය වීම ඇතුලු ගොවි ජන අරගල රැල්ලක් පැන නැගුනි. කොන්ග‍්‍රස් නායකත්වයට මෙම ව්‍යාපාර ගැටගැසීම සඳහා කම්කරු පන්ති අරගලයන් ආර්ථික මට්ටමකට සීමා කිරීමට ද සමින්දාර් ඉඩම් හිමි ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ඉල්ලීම අතහැර දැමීමට ද ස්ටැලින්වාදී පක්ෂය කටයුතු කලේ ය. එම ඉල්ලීම කොංග‍්‍රස් නායකත්වය සමග ගැටුමකට තුඩු දෙනු ඇතැයි එය බිය විය.

5-7 1939 අගෝස්තුවේ හිට්ලර්-ස්ටැලින් ගිවිසුම ද සමග සීපීඅයි, ෆැසිස්ට්වාදයට විරුද්ධව "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” බලයන්ට සහයෝගය දීමේ පිලිවෙතේ සිට, යුද්ධයට විරුද්ධ වීම කරා මාරු විය. 1941 ජූනි මස නාසීන් සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීමත් සමග ස්ටැලින්වාදීහු, තවත් හදිසි පිලිවෙත් මාරුවක් කරමින්, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සම්පූර්න සහාය දෙමින් වැඩ වර්ජන බිඳින්නන් ලෙස ද අධිරාජ්‍යවාදී යුද්ධයේ ආවතේව කාරයින් ලෙස ද කම්කරු පන්තිය තුල වැඩට බැස ගත්තෝය. සීපීඅයි ද්‍රෝහීත්වය සාරාංශගත කරමින් බීඑල්පීඅයි මෙසේ ප‍්‍රකාශ කලේය: "අද දින අන් සියල්ලටත් වඩා නිර්ලජ්ජිත වූ ද ඉවබව නැති වූ ද ආකල්පය නම් මෙයයි. ප‍්‍රතිවිප්ලවවාදී ක්‍රෙම්ලින් කල්ලියට දීන ලෙස අවනත වීම කරන කොටගෙන ඔවුහු, (ස්ටැලින්වාදියෝ) අධිරාජ්‍යවාදී යුද්ධයට කි‍්‍රයාකාරීව හා කොන්දේසි විරහිතව සහාය දක්වති. ජාතික පෙරමුනක් පිලිබඳ මෙම සාවද්‍ය න්‍යාය තුලින් ස්ටැලින්වාදය සුදානම් වන්නේ, ද්‍රෝහී ධනපති පන්තිය අතට විප්ලවවාදී අරගලයේ නායකත්වය බාර දෙමින්, (1927) චීන විප්ලවය පාවාදුන් ආකාරයට ම යලිත් කි‍්‍රයාත්මක වීමට ය. රුසියානු විප්ලවයේ ද සෝවියට් සංගමයේ ද අනුහස ගසාකෑමට උත්සාහ කරන හෙයිනි, අද දින ද ඉන්දියාවේ කම්කරු පන්තිය තුල නපුරුම බලපෑම බවට සීපීඅයි පත්ව ඇත්තේ.” [11]

5-8 කොන්ග‍්‍රස් සෝෂලිස්ට් පක්ෂය වෙත හැරෙමින් බීඑල්පීඅයි මෙසේ කියා සිටියේ ය. "එය මුල පටන් ම කොන්ග‍්‍රස් ධනපති පන්තියට මුලුමනින්ම යටත් වීමේ පිලිවෙතක් අනුගමනය කලේය. අද දිනයේ මෙම පක්ෂයට කම්කරු පන්තිය තුල මොනයම්ම සහයෝගයක් වත් ඇත්තේ නැත. ස්වාධීන පැවැත්මකට අයිතිය මුලුමනින් ම අත හැර දැමූ එම පක්ෂය, හරි මැදින් දෙකට බිඳ දැමීමට එය තුල වැඩ කල කොමියුනිස්ට්වාදීන් සමත්ව ඇති අතර, අද දින එය දේශපාලන මදයක් නැති හිස් පොත්තක් පමනි.” බීඑල්පීඅයි මෙසේ අවධාරනය කලේය. "ඉතිහාසයේ රාශිභූත අත්දැකීම ද විශේෂයෙන් ම නොනවතින විප්ලව න්‍යාය ද මත පදනම් වූ අප පක්ෂය පමනක් ම, කම්කරු පන්තිය එහි විප්ලවවාදී ජයග‍්‍රහනය කරා මෙහෙයවීමට සමත් වේ.” [12]

5-9 සෝවියට් සංගමය ආරක්ෂා කිරීමේ හතර වෙනි ජාත්‍යන්තරයේ ආස්ථානයට බීඑල්පීඅයි ස්ථිරසාරව සහාය දුන්නේය. දෙවෙනි ලෝක යුද්ධය ඇරඹීමත් සමග, ඇමරිකානු ශාඛාව වූ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) තුල මැක්ස් ෂැට්මන්, ජේම්ස් බර්න්හැම් සහ මාර්ටින් ඔබර්න් විසින් මෙහෙයවන ලද කන්ඩායමක් ඉදිරිපත් කල, සෝවියට් සංගමය තවදුරටත් කම්කරු රාජ්‍යයක් යයි සැලකිය නොහැකි යැයි ද එය යුද්ධයට සම්බන්ධ වූවොත් හතරවෙනි ජාත්‍යන්තරය එය ආරක්ෂා කල යුතු නැතැයි ද යන ආස්ථානයට එරෙහිව ට්‍රොට්ස්කි දේශපාලන අරගලයක් කර තිබුනි. ස්ටැලින්වාදී නිලධරයේ බලපෑම සහ පාවා දීම තිබිය දී ම, සෝවියට් සංගමය තවමත් පිහිටා තිබුනේ ඔක්තෝබර් විප්ලවයෙන් තහවුරු කරන ලද ආර්ථික පදනම මත බව ට්‍රොට්ස්කි පෙන්වා දී තිබුනි. බර්න්හැම් "නිලධාරිවාදී සාමූහික වාදයක්” යයි සෝවියට් සංගමය පිලිබඳ ඉදිරිපත් කල නව අර්ථ කථනය පිටුපසින් පැවැත්තේ සෝවියට් සංගමය, මාක්ස් වාදය පූර්වාපේක්ෂා කරනු නොලැබූ කලමනාකර ප‍්‍රභූවක් විසින් පාලිත නව ආකාරයක සමාජයක් ය යන අසුභවාදී නිගමනය යි. ස්ටැලින්වාදී නිලධරය කම්කරු රාජ්‍යය මත පැනනැගි තාවකාලික පිලිකාවක් නොව සමාජයේ ස්ථිර ලක්ෂනයක් ය, යන මෙම ප‍්‍රස්තුතය ගලා ආවේ, කම්කරු පන්තියේ විප්ලවකාරී භූමිකාව ද අධිරාජ්‍යවාදී යුගය වනාහි ධනවාදයේ මර ලතෝනිය ය යන නිගමනය ද ප‍්‍රතික්ෂේප කිරීමක් තුලිනි. බර්න්හැම් සහ ෂැට්මන් ඉදිරිපත් කල මෙම තර්ක, දෙවෙනි ලෝක යුද්ධයට පසුව පැනනැගුනු මාක්ස්වාදයට එරෙහි ප‍්‍රහාරයේ එක් දිගු ප‍්‍රවේනියකට අයත් විය. ඔවුන්ගේ නිගමන එකිනෙකට වෙනස් වුව ද, මෙම සංශෝධනවාදී කන්ඩායම් සියල්ලම, "රාජ්‍ය ධනවාදය” පිලිබඳ විවිධාකාර න්‍යායන්ගේ ස්වරූපයෙන් වුව, මයිකල් පැබ්ලෝ ගේ "ශත වර්ෂ ගනන් පවත්නා පිරිහුනු කම්කරු රාජ්‍යයන්ගේ” ස්වරූපයෙන් වුව, ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් ඓතිහාසිකව වලංගු යයි ද කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස ගනන් ගත යුතු නැතැයි ද සැලකූ හ.

මතු සම්බන්ධයි

සටහන්:

3. හතර වන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේදී සම්මත කෙරුන සංක‍්‍රමන කි‍්‍රයා මාර්ගය හා හතරවන ජාත්‍යන්තරයේ ව්‍යවස්ථා: සිංහල පරිවර්තනය, කම්කරු මාවත ප‍්‍රකාශන: පි.2.

4. එම., පිටු 4-5.

5. එම., පි.32.

6. Writings of Leon Trotsky 1939-40, ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40 ( නිව් යෝර්ක්: පාත් ෆයින්ඩර් ප්‍රෙස්, 2001) පි. 29-30.

7. එම., පිටු 30-31.

8. Blows Against the Empire: Trotskyism in Ceylon the Lanka Sama Samaja Party, 1935–1964: (අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රහාරය: ලංකා සමසමාජ පක්ෂය, ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය 1935-1964 (ලන්ඩන්: පොර්කුපයින් ප්‍රෙස්: සෝෂලිස්ට් ප්ලැට්ෆෝම් 1997) පිටු 64–67.

9. Origins of Trotskyism in Ceylon: a documentary history of the Lanka Sama Samaja Party, 1935–1942, ජෝර්ජ් ජාන් ලර්ස්කි: ලංකාව තුල ට්‍රොට්ස්කිවාදයේ සම්භවය: ලංකා සමසමාජ පක්ෂයේ ලේඛන ගත ඉතිහාසය 1935–1942 : කෘතියෙන් උපුටා ගැනුනි. (ස්ටැන්ෆෝඩ්: යුද්ධය, විප්ලවය සහ සාමය ගැන හූවර් ආයතනය, 1968), පි.206.

10. චාල්ස් වෙස්ලි අර්වින්, Tomorrow is Ours: The Trotskyist Movement in India and Ceylon, 1935–48: හෙට දවස අපේ: ලංකාව හා ඉන්දියාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය (කොලඹ, සමාජවිද්‍ය‍ාඥයන්ගේ සංගමය, 2006), පි.300.

11. එම., උපග්‍රන්ථය බී, පි.304.

12. එම ., පි. 305.

Share this article: