ශ‍්‍රී ලංකාව: කොලඹ නිවැසියෝ ආන්ඩුව "අනවසර” ගොඩනැගිලි බිඳ දැමීමට දැරූ ප‍්‍රයත්නයට විරෝධය දක්වති

Sri Lanka: Colombo residents defy government bid to demolish “unauthorised” housing

By an SEP reporting team, 9 March 2012

මාර්තු 1 දා, කොලඹ මාලිගාවත්ත මහල් නිවාසයන්හි විරෝධතා දැක්වූ නිවැසියෝ තම මහල් නිවාසයන්ට ඈඳා ගත් සමහර ඉදිකිරීම් කඩා දැමීමට එවන ලද කැරලි මර්දන පොලීසියට සහ අනිකුත් ආන්ඩුවේ පුද්ගලයන්ට විරෝධය දැක්වූහ. සියයකට අධික පිරිසක්, ප‍්‍රධාන කොට ම කාන්තාවන් සහ ලමයින් නිවාස කඩා දැමීමට එරෙහිව පිකට් උද්ඝෝෂනයක නියැලුනහ. ඔවුන් ප‍්‍රදර්ශනය කල පුවරු මත මෙසේ සඳහන් විය. "අප ඡන්දය දුන්නේ ආන්ඩුවටයි. අපට ඔවුන් සලකන්නේ මෙසේය". "අප ජීවත් විය යුත්තේ මහපාරේ ද?".

Picketing residentsනිවැසි‍යන් පිකට් උද්ඝෝෂනයක

කොලඹ නගරය දකුනු ආසියාවේ ප‍්‍රධාන වෙලඳ නගරය බවට පත් කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ වැඩ කටයුතුවල කොටසක් ලෙස නිවාස කටයුතු ඇමති විමල් වීරවංශ ආන්ඩුවේ සියලු නිවාස යෝජනා ක‍්‍රමයන්හි "අනවසර” ඉදිකිරීම් කඩා දමන ලෙසට නියෝග කලේය.

එදින උදේ 8.30ට පමන පොලිස් භටයන් පුරවා ගත් ට‍්‍රක් රථ ගනනාවක් මාලිගාවත්ත මහල් නිවාස කරා පැමිනි අතර ඔවුහු ප‍්‍රදේශය වැටලූහ. ජල විදින රථවලින් සන්නද්ධ කැරලි මර්දන පොලිස් කන්ඩායමක් හා එස්ටීඑෆ් හෙවත් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් කුමන හෝ ප‍්‍රතිරෝධයක් මැඩලීම පිනිස රඳවා තිබුනි.

නිවැසියෝ, පොලිසිය හා, ඉදිකිරීම් බිඳ දමනු අධීක්ෂනය කිරීම සඳහා එහි පැමිනි සහාධිපත්‍ය කලමනාකරන අධිකාරියේ (සකඅ) සභාපති කපිල ගමගේට විරෝධය පල කලහ. එම කාර්යය සඳහා ගෙනැවිත් තිබුනු බුල්ඩෝසරය ද ඔවුහු අවහිර කලහ.

ඊට පෙර පෙබරවාරි 14දා, නිවාස අමාත්‍යාංශයට අයත් සකඅ නිලධාරීහු ඉදිකිරීම් ඉවත් කිරීමේ උත්සාහයක් දැරූහ. එහෙත් නිවැසියන්ගේ විරෝධය හමුවේ ඔවුන් ඉවත්ව ගියේ, සතියක අවසන් කාලයක් ලබාදෙන බව දන්වමිනි. මෙම අවසන් කාලය ද නිවැසියන්ගේ අඛන්ඩ විරෝධය නිසා දීර්ග කිරීමට සිදුවිය.

නිවැසියන්ගේ විරෝධය හමුවේ මාර්තු 01දා සකඅ බිඳහෙලීම් කල්දමනු ලැබුව ද ඊට පසු එය, සෑම පවුලක් වෙතම ඉදිකිරීම් ඉවත් කල යුතු බව දැන්වූ ලිපි බෙදාහැරියේය. කිසියම් පවුලක් එසේ කිරීමට අසමත්වන්නේ නම්, සකඅ බිඳ දැමීම් සිදුකරන අතර නිවැසියන් එහි වියදම දැරිය යුතු බවට ද ලිපිය අනතුරු අඟවා තිබේ.

මාලිගාවත්ත නිවැසියන් නව ඈඳාගැනීම් සිදු කරන ලද්දේ ඔවුන්ගේ පවුල් පලල් වීමත් සමග නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) අවසරය සහිතව ය.

ව්‍යාජ හේතුවක් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ, එම "අනවසර” ඉදිකිරීම් සිදුකර ඇත්තේ අපවිත‍්‍ර ජලය බැසයන කානු පද්ධතිය පිරිසිදු කිරීමට බාධා වන පරිදි ඒ මත බවය. එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරන නිවැසියන් කියන්නේ පසුගිය 38 වසර පුරාම කානු පිරිසිදු කර ඇත්තේ ආන්ඩුව විසින් නොව තම තමන්ම බවය.

Riot squad on standbyකුමන හෝ ප‍්‍රතිරෝධයක් මැඩලීම පිනිස රඳවා තිබූ විශේෂ කාර්ය බලකායේ සෙබලුන්

තට්ටු නිවාසයක පදිංචිව සිටින ක‍්‍රිෂාන්ත නිශාන්ත නමැති නීතිඥයා පැවසුවේ, උසාවි නියෝගයක් හෝ අවසර පත‍්‍රයක් නොමැතිව ඉදිකිරීම් බිඳ හෙලීමේ උත්සාහය නීති විරෝධී බවය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අය ද ඇතුලු මාධ්‍ය වාර්තාකරුවන් අමතමින් ඔහු "මෙම නිවාස අපගේ පෞද්ගලික දේපොල ය. කිසිවෙකුටත් ඒවා ඉවත් කිරීමට නොහැකිය.” යනුවෙන් පැවසීය. එහි නව ඉදිකිරීම් සඳහා බලය පවරමින් නාසඅ නිකුත්කල ලිපියක් ඔහු පෙන්වීය. තවදුරටත් "මෙම නිවාස සඳහා ඔප්පු අප සතුව තිබේ. නිලධාරීන් අපගේ නිවාසවල අගය තක්සේරු කරන විට එසේ කලේ, මෙම අලුත් ඉදිකිරීම් ද ඇතුලත් වන පරිදිය” යනුවෙන් ඔහු පැවසීය.

ආන්ඩුවේ තක්සේරුවට අනුව මෙම යෝජනා ක‍්‍රමයේ නිවාස ඒකක 1,522ක පවුල් 1,700ක් ජීවත් වෙති. 1973 හා 1978 ඉදිකරන ලද නිවාස ඒකක ඉතා කුඩා වන අතර එකක ඇත්තේ එක් නිදන කාමරයක්, කුඩා සාලයක් කුස්සියක් හා වැසිකිලියකි. පවුල් පුලුල් වන කල ආන්ඩුව ඔවුන් සඳහා නව නිවාස සපයා නොදීම නිසා නිවැසියන්ට අමතර කාමර ඉදිකිරීමට බල කෙරුනි.

මාලිගාවත්ත නිවැසියන් අතර නිතිපතා උද්ඝෝෂනයේ යෙදී ඇති සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආධාරකරුවෝ ඉදිකිරීම් කාඩා බිඳ දැමීමට විරුද්ධව ද ආන්ඩුවේ න්‍යායපත%ය පැහැදිලි කරමින් ද පත‍්‍රිකාවක් බෙදා හැරියේය. "ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, කොලඹ නගරය දකුනු ආසියාවේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස කොලඹ ජනතාව සමූහ වශයෙන් නෙරපා හැරීමට සැලසුම් කොට තිබේ. රාජපක්ෂ, විරෝධතා මැඩීමේ දී මිලිටරියට අන නිකුත් කරන එම ආරක්ෂක අමාත්‍යාංශය ම යටතට නාගරික සංවර්ධන අධිකාරිය ද, පත් කලේය. මෙම තට්ටු නිවාස වසර 38කට පසුව පලමු වතාවට "අලුත්වැඩියා” කිරීමට යන්නේ, නගරයට සංචාරකයින් හා ආයෝජකයින් ඇද ගැනීමේ ආන්ඩුවේ ඊනියා නගර අලංකරන ව්‍යාපෘතියේ කොටසක් ලෙසය.”

මීට පෙර 2008 හා 2010දී ආන්ඩුව, විරෝධතා මැඩීමට හමුදාව හා පොලිසිය යොදාගනිමින්, දෙමටගොඩ හා කොම්පඤ්ඤවීදියේ පවුල් සිය ගනනක් නෙරපා හැරියේය. ඔවුන්ගෙන් සමහරෙක් නගරයේ ඈත ප‍්‍රදේශවල ලීයෙන් තැනූ මූලික පහසුකම්වත් නැති තාවකාලික පැල්පත්වලට පිටත්කර හැරිය අතර තවමත් ඒවායේ ජීවත් වෙති.

රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) හවුල්කරුවෙකු වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුනෙහි (ප‍්‍රවාපෙ) කොලඹ නාගරික මන්ත‍්‍රී වරයෙක් වන මහින්ද කහඳගම ප‍්‍රදේශයේ සංචාරය කරමින් "තට්ටු නිවාසයන්හි පිටුපසින් අඩි තුනක් තරම් ඉවත් කිරීමට ඉඩ දෙන” ලෙසට නිවැසියන්ට ආයාචනා කල නමුත් ඔවුන්ගේ විරෝධය හමුවේ පසුබැස ගියේය.

විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ කෝපයට පත්ව සිටි නිවැසියන්ට පැවසුවේ තම පක්ෂය නිවාස කැඩීමට විරුද්ධ බවයි. නඩුවක් පැවරීමට උදව් කරන බවට ඔහු පොරොන්දු විය. කොම්පඤ්ඤවීදියේ නෙරපා හැරීම්වලට විරුද්ධව නඩුවක් පවරන බවට සේනසිංහ පොරොන්දුවී තිබුනි. කෙසේ වෙතත් එවන් නඩු හෝ පොරොන්දුවලින්, නෙරපා හැරීම් නතර කිරීමට අසමත්ව තිබේ. බලයේ සිටින කාලයේ දී එජාපය, නෙරපා හැරීම් පිලිබඳ වාර්තාවකට උරුමකම් කියයි.

කොලඹ එජාප නගරාධිපති එම්. මුසාමිල්, පලාත් පාලන මැතිවරන කාලයේ දී පැල්පත් වාසීන් 75,000ක් කොලඹින් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට විරුද්ධ වන බව ප‍්‍රකාශ කොට තිබුන ද දැන් කොලඹ "සංවර්ධනයේ” හා අලංකරනයේ ආන්ඩුවෙහි සැලසුම් සමග එක්ව කටයුතු කිරීමේ සූදානම පලකර තිබේ.

කොලඹ නිවැසියන් නෙරපා හැරීමේ සැලසුම් හුදෙක් ආන්ඩුවට බලපෑම් දැමීමෙන් හෝ විරෝධය පෑමෙන් නතර කල නොහැකි ය. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත කප්පාදු පියවර ක‍්‍රියාවට නගන ආන්ඩුවේ පුලුල් ප‍්‍රතිපත්තියේ කොටසකි. මෙම සැලසුම්වලට එරෙහි සටන දේශපාලන සටනකි.

අවශ්‍යවන්නේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ඒකාබද්ධ අරගලයකට කම්කරු ජනතාව -නාගරික හා ගම්බද- බලමුලු ගැන්වීම හා ප‍්‍රධාන සමාජ අයිතියක් ලෙස නිවාස ආරක්ෂා කර ගැනීම සඳහා ද, සියල්ලන්ට ම පහසුකම් සහිත නිවසක් ලබා දීමට ද, මුදලින් රුපියල් මිලියන ගනනක් වෙන් කල හැකි වන්නා වූ කි‍්‍රයාමාර්ගයක් යටතේ සංවිධානය වීමය.

මහජන නිවාසයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට විරුද්ධ වන ලෙස ද, කම්කරුවන්ගේ මූලික අයිතීන් හා ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීමේ අරගලයේ කොටසක් ලෙස නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීමට ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු ගොඩනැගීමට ද පෙරට එන ලෙස සසප සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

සියල්ලන්ට ම පහසුකම් සහිත නිවසක් ලබා ගැනීම ලාභ ගැරීමේ නිරත හා අර්බුද ග‍්‍රස්ත ධනේශ්වර ක‍්‍රමය තුල සාක්ෂාත් කර ගත නොහැකි ය. නිවාස අයිතිය ආරක්ෂා කර ගත හැක්කේ සමාජවාදී ප‍්‍රතිපත්ති මත කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩ නැගීමෙන් පමනි.

Share this article: