ශී‍්‍ර ලංකාවේ වතු කම්කරුවන් ස්වාධීන වැටුප් අරගලයක් දියත් කල යුතු ය

Sri Lankan plantation workers must launch an independent wage struggle

By the Socialist Equality Party (Sri Lanka) , 1 April 2011

වෘත්තීය සමිති විසින් 2009 දී ශී‍්‍ර ලංකාවේ වතු කම්කරුවන් මත පැටවූ දෙ-අවුරුදු සාමූහික වැටුප් ගිවිසුම මාර්තු 31 දායින් අවසන් විය. සමාගම්වල ලාබය ආරක්ෂා කෙරෙන දරිද්‍රතා මට්ටමේ වැටුපක් පවත්වා ගෙනයාම සඳහා තවත් පාවාදීමක් දැනටමත් සූදානම් කරනු ලබයි.

යහපත් වැටුපක් හා සේවා කොන්දේසි සඳහා වන උද්ඝෝෂනය සංවිධානය කර පෙරට ගෙන යාමේ වගකීම වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගමින් තමන් අතට ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි. එවන් අරගලයක් සඳහා සෑම ආකාරයකම දේශපාලන සහයෝගය ලබාදෙන බවට සසප පොරොන්දු වෙයි.

කම්කරුවන්ගේ වියදමින් ලාභ උපරිම කිරීමට මෙහෙයවෙන දෛනික වැටුප් ක‍්‍රමය අවසන් කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටියි. ත්‍රෛමාසිකව උද්ධමනයට ගලපන රු. 30,000 සහතික මාසික වැටුපක් සහ පැය 40ක වැඩ සතියක් අපි ඉල්ලා සිටිමු. සම්පූර්න වැටුප් සහිත අසනීප නිවාඩු, යහපත් විශ‍්‍රාම වැටුප් හා ඕනෑම අතිකාල කාර්යයක් සඳහා අතිරේක ගෙවීම් ද වතු කම්කරුවන්ට ලැබිය යුතුය.

වෘත්තීය සමිති කිසි දිනෙක මේ ඉල්ලීම් සඳහා සටන් නොකරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුනේ නායක මනෝ ගනේෂන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට කල ප‍්‍රකාශය ඔවුන් සියලු දෙනාගේ ම ආස්ථානයේ සාරාංශයකි! "අපි රුපියල් 500ක මූලික දෛනික වැටුපක් හා රුපියල් 250ක දීමනාවක් ඉල්ලනවා. අපිට ඊට වැඩිය ඉල්ලන්න බෑ. අපි වැඩියෙන් ඉල්ලුවොත් තේ කර්මාන්තය වැටෙනවා”.

වෙනත් වචන වලින් කියතොත්, තේ කර්මාන්තයේ හා අනෙකුත් ප‍්‍රධාන සංගතයන්ගේ ලාභදායිත්වය කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල දැවෙන අවශ්‍යතාවයන්ට වඩා පෙරට පැමිනේ. ලෝකය පුරා ඔවුන්ගේ සම පාර්ශවකරුවන් මෙන් ම වතු වෘත්තීය සමිති ද ගෝලීය වෙලඳපොලේ අවසානයක් නැති, අනුකම්පා විරහිත තරගය තුල තරග කිරීමට ලංකාවේ සංගතයන්ට සහාය දීමට කම්කරුවන්ගේ ජීවන තත්වයන් බිලිදෙති.

සාකච්ඡාවට පෙරාතුව, ලංකා හාම්පුතුන්ගේ සංගමයේ (ලංහාපුස) සභාපති ලලිත් ඔබේසේකර, "වැටුප් වැඩිවීමක් ලබාදීමේ හැකියාව ඵලදායීතාව මත රඳා පවතී” යයි මේ වන විටත් පවසා ඇත. නැවත වතාවක්, එක්ව, කාලකන්නි වැටුප් වැඩිවීම් අත්පත් කර නොහැකි නිෂ්පාදන ඉලක්කයන්ට ගැට ගැසීමට හාම්පුත්තු වෘත්තීය සමිති සමග "සාකච්ඡා” පාවිච්චි කරනු ඇත.

මෙය සිදුවන්නේ දැවැන්ත ලාභ නොතකා ය. කොලඹ කොටස් වෙලඳපොල වාර්තාවක්, තේ හා රබර් සමාගම් 23ක් 2010 ඔවුන්ගේ ලාභය 2009 ලාභය මෙන් සියයට 935 වැඩිකරගත් බව පෙන්වා දෙයි. මෙය පහල වැටුප් හා ඉහල භාන්ඩ මිල ගනන්වල ප‍්‍රතිඵලයකි. 2009 මිලියන 453 සිට 2010 මිලියන 4690 දක්වා ලාභය ඉහල ගියේය.

ඒ හා සසඳන විට, වතු කම්කරුවන්ගේ වැටුප් කිඳා බැස ඇත. කෘෂිකාර්මික කම්කරුවන්ගේ මූර්ත වැටුප් දර්ශකය 2004 දී 93 සිට 2009 දී 83 දක්වා පහත වැටී ඇත. 2010 උද්ධමනය සැලකිල්ලට ගත් විට එම දර්ශකය තව දුරටත්, එනම්, 78 දක්වා පහල වැටී ඇත. වෙන අයුරකින් කියන්නේ නම්, මෙම ප‍්‍රතිගාමී නිල සංඛ්‍යා ලේඛන මත පදනම්ව සලකා බලන විට පවා වතු කම්කරුවන් ට ඔවුන්ගේ වැටුපෙන් හයෙන් එකක් අහිමි වී ඇත.

ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් වෘත්තීය සමිති සටන් කරනු ඇතැයි කම්කරුවන්ට යම්කිසි මිථ්‍යාවක් ඇත් නම් ඔවුන් 2009 වැටුප් සාකච්ඡා අවසාන වටයේ දී සිදු වූයේ කුමක් දැයි මතක් කර ගත යුතු ය.

ලංකා වතු කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) සමාගම්වල වාසිය සඳහා මාස හයක් සාකච්ඡා ඇද ගෙන ගියේය. ඊට පසු කම්කරුවන්ට හොරෙන් ගිවිසුමක් අත්සන් කලේ ය. අවසානයේ දී වෘත්තීය සමිති රු. 750ක ආරම්භක මූලික වැටුපේ සිට, වැඩට පැමිනීම හා ඵලදායීතාවයට ගැටගැසූ රු.450ක සොච්චම් වැටුපකට එකඟ වූහ. ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ) හා ඒකාබද්ධව වැවිලි වෘත්තීය සමිති කමිටුව (ජේපීටීයූසී) වහා ම මෙම පාවාදීමට සහාය දුන්හ.

කෝපයට පත් දස දහස් ගනන් කම්කරුවෝ අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනයක් ඇරඹූහ. එහෙත්, අනෙකුත් වෘත්තීය සමිති - කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (එන්යූඩබ්ලිව්) සහ සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමය (ඒසීපීඩබ්ලිව්) ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ඩීඩබ්ලිව්සී) සහ සමස්ත ලංකා වතු කම්කරු සංගමය (ඒසීපීඩබ්ලිව්යූ) මැදිහත් වූහ. මෙම වෘත්තීය සමිති ගිවිසුමට විරුද්ධව සටන් කිරීමට පොරොන්දු වූහ. නමුත්, දීපවාලී උත්සවයේ අවසානය වන තුරු මොන පියවරක්වත් ගැනීම ප‍්‍රමාද කල අතර අන්තිමේදී ඔවුහු සම්පූර්නයෙන් ම උද්ඝෝෂනය අතහැර දැමූවෝය.

මේ වන විටත් ගිවිසුමට සහාය දී තිබූ මහින්ද රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට අභියෝග කිරීමට මෙම වෘත්තීය සමිතිවලින් කිසි එකක් සූදානම් නොවීය. සීඩබ්ලිව්සීය මෙන්ම කඳුරට ජනතා පෙරමුන ද පාලක සභාගයේ හවුල්කරුවෙක් විය, තවමත් එසේය. සිය දහස් ගනනක් කම්කරුවන් තමන්ගේ කාර්මික සටන අතහැර දැමීමේ සීඩබ්ලිව්සී නියෝග ප‍්‍රකික්ෂේප කල 2006 වැටුප් පිලිබඳ වැඩ වර්ජන ව්‍යාපාරය පාවාදීම වෙනුවෙන් මෙම වෘත්තීය සමිති වගකිව යුතු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සෘජුව මැදිහත් වූ අතර බෙදුම්වාදී එල්ටීටීඊයට ”උදව් කරනවා” යයි කියමින් වැඩ වර්ජිත කම්කරුවන් හෙලා දුටුවේය. ඊට පසු කඳුරට මහජන පෙරමුනේ නායක පී. චන්ද්‍රසේකරන් කම්කරුවන් බියවද්දා ආපසු වැඩට යැවීමේ උත්සාහයක් ලෙස නියෝජ්‍ය කම්කරු ඇමති මර්වින් සිල්වා වතු දිස්ති‍්‍රක්කවලට කැටුව ගියේ ය. කම්කරුවෝ ඔවුන් ප‍්‍රතික්ෂේප කලහ, චන්ද්‍රසේකරන් වැටුප් ගනුදෙනුවට සහාය දුන් අතර වර්ජනය කඩාකප්පල් කලේය.

වෘත්තීය සමිති මුලුමනින්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සංවිධාන වන අතර මේවා තුල කම්කරුවන්ට හඬක් නැත. උදාහරන වශයෙන් සීඩබ්ලිව්සීය ගනු මැනවි. ඉහල තනතුරු තීන්දු කෙරෙන ඊනියා වාර්ෂික සම්මේලන සැම විටම පිරීගියේ සීඩබ්ලිව්සී නිලධරයේ ආධාරකරුවන්ගෙනි. වතු කම්කරු නායකයන්ට ද එමෙන් ම සීඩබ්ලිව්සී නායකත්වය විසින් තෝරාගෙන පෝෂනය කල කාන්තා හා තරුන නිලධරයට ද ඒවායේ නියෝජනය සීමා කරන ලදී.

වාර්ෂික සම්මේලන තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රදර්ශනය කිරීම පවා බොහෝ සෙයින් නවතා දමා ඇත. පසුගිය දශක දෙක පුරා මෙම සම්මේලන පැවැත්වූනේ ඉඳහිට ය. ඒවා තීන්දු කෙරුනේ ඉහල නිලධරයේ කැමැත්තට අනුවය. නායකත්වය ඔවුන්ගේ ප‍්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් සමග ගනුදෙනු කිරීම සඳහා බියවැද්දීම්, මැරකම් පමනක් නොව පොලීසිය ද යොදාගනී.

2009 වැටුප් උද්ඝෝෂනයේ දී, ආගරපතන බැල්මොරල් වතුයායේ කම්කරුවෝ ඔවුන්ගේ ඉල්ලීම්වලට සටන් කරනු සඳහා සියලු වෘත්තීය සමිතිවලින් නිදහස්ව හා නිර්භීතව තමන්ගේ ම කි‍්‍රයාකාරී කමිටුවක් පිහිටුවූහ. සමාජවාදී සමානතා පක්ෂය සෑම වත්තකම මෙම ආරම්භකත්වය පුනර්ජීවනය කරන ලෙස ඉල්ලා සිටී.

බැල්මොරල් කි‍්‍රයාකාරී කමිටුව ඉල්ලූ පරිදි, වතු කම්කරුවන් ඒ ආකාරයේ පියවර ගැනීම සඳහා නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිංහල කතා කරන කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිය යුතුය.

ඕනෑම වැටුප් ඉල්ලීමක් සකස් කල යුත්තේ කම්කරුවන් විසින් ම ය, වෘත්තීය සමිති නොවේ. එම අරමුනු සඳහා ඉල්ලීම් ලේඛනයක් සකස් කිරීමටත්, ඒවා සඳහා සටන් කිරීමට උදඝෝෂනයක් සැලසුම් කිරීමටත් කි‍්‍රයාකාරී කමිටුවල සම්මේලනයක් කැඳවිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය පහත යෝජනා ඉදිරිපත් කරයි.

* වැඩ පැය 40ක සතියක් සහිත මසකට රු.30,00ක සහතික මාසික වැටුපකින් කම්කරුවන් දිලිඳුකමේ හා අඩ-වහල්භාවයේ තබන දෛනික වැටුප් ක‍්‍රමය විස්ථාපනය කරනු !

* පූර්න ගෙවීම් සහිත වෛද්‍ය පහසුකම්, යහපත් විශ‍්‍රාම වැටුප් හා අතිකාල දීමනා ස්ථාපිත කරනු!

* ජලය, විදුලිය හා සනීපාරක්ෂාව සහිත ශිෂ්ට නිවාස මෙන් ම වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් සඳහා යෝග්‍ය අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් සඳහා සටන් කරනු!

මේවා වැඩ කරන ජනතාවගේ මූලික අයිතීන් විය යුතුවා මිස සමාගම් හා ඒවායේ වෘත්තීය සමිති සගයන් විසින් ලබාදෙන වරප‍්‍රසාද නොවිය යුතුය.

කම්කරුවන් මිථ්‍යාවන්ට යට නොවියයුතු ය. ඉහත කී ඉල්ලීම සඳහා වන උද්ඝෝෂනයක අර්ථය වනුයේ හුදු රාජපක්ෂ ආන්ඩුවට පමනක් නොව, අනිවාර්යයෙන්ම සංගතයන්ගේ පැත්ත ගන්නා සමස්ත දේශපාලන ස්ථාපිතයට එරෙහිව කෙරෙන දේශපාලන සටනකි. වතු කම්කරුවන්ගේ මිත‍්‍රයන් වනුයේ සමාන ප‍්‍රශ්නවලට මුහුන දෙන ශී‍්‍ර ලංකාවේ හා ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ය. වතු කම්කරුවන් හැරිය යුත්තේ ඔවුන් වෙතටයි.

මේ සඳහා දේශපාලන වැඩ පිලිවෙලක් අවශ්‍ය ය. කම්කරුවන් මොනයම් හෝ සහනයක් දිනාගනු ඇත්තේ ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් ආන්ඩුවට හෝ සංගත ප‍්‍රභූවට බලපෑම් දැමීමට යොමු කිරීමෙන් නොව ග‍්‍රාමීය මහජනතාවට නායකත්වය දෙමින් දේශපාලන බලය ගැනීමට යොමුවන තාක්දුරකට ය. ඒ නිසයි සමාජවාදී සමානතා පක්ෂය ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සටනේ කොටසක් ලෙස ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපාකාරයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරනුයේ. ඒ ආකාරයෙන් පමනයි පොහොසත් සුලුතරයේ ලාභය වෙනුවට බහුතරයේ දැවෙන අවශ්‍යතාවයන් සාක්ෂාත් කර ගැනීමට සමාජය ප‍්‍රතිසංවිධානය කල හැක්කේ. මෙම අරගලයට එක්වන ලෙස අපි සියලු කම්කරුවන්ගෙන් ඉල්ලමු.