ශ‍්‍රී ලංකාව: පැල්පත්වාසීන් ඉවත් කිරීමට එරෙහිව යූඑන්පිය ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයක

Sri Lanka: UNP mounts bogus campaign against slum evictions

By Vilani Peiris, 30 October 2010

ආන්ඩුව, කොලඹ නගරයේ පවුල් 66,000ක් ඔවුන් පදිංචිව සිටින නිවාසවලින් ඉවත් කිරීමට සූදානම් වන අතර යූඑන්පී (එජාප)ය, එම දුගී ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස පෙනීසිටීමට උත්සාහ කරයි. එහෙත් එජාපයේ එම උත්සාහය පිටුපස ඇත්තේ නාගරික දුගීන් ආරක්ෂා කිරීම නොව, එම දක්ෂිනාංශික ධනපති පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව වැඩිකර ගැනීමයි.

කොලඹ, දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානය බවට පත්කිරීම හා රටේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ සැලස්මෙහි කොටසක් ලෙස ආන්ඩුව ජනතාව ඉවත් කරන බව නිවේදනය කර ඇත. මතුවිය හැකි තියුනු ප‍්‍රතිරෝධය අපේක්ෂා කල නිසාම රාජපක්ෂ, එම කටයුත්ත ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ඇත. පසුගිය මැයි මාසයේදී කොම්පඤ්ඤවීදියේ පවුල් 45ක් ඉවත් කිරීම සඳහා ඔවුන් පදිංචිව සිටි නිවාස බුල්ඩෝසර් යොදා කඩන අවස්ථාවේ නැඟුනු විරුද්ධත්වය මැඩීමට ආන්ඩුව, සිය ගනනක් පොලිස් හා හමුදා භටයන් යෙදවීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරිය ද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මන්ඬලය ද සිය සොහොයුරා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට පවරනු ලැබීය. එසේම ආන්ඩුව, ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන කොලඹ නගර සභාව ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත්කරන අධිකාරියකට පවරන බවට ද ඇඟවුම් කර තිබේ.

කොලඹ පැල්පත්වාසීන් අතර නැඟෙමින් ඇති කෝපය හමුවේ එජාපය, ආන්ඩුවේ සැලසුම්වලට විරුද්ධව ''සටන්” කරන බව පවසයි. ඔවුන් කොලඹ නිවාස පරිශ‍්‍රයන්හි රැස්වීම් පැවත්වූ අතර නගරසභාව අහෝසි කිරීමට එරෙහිව පෙත්සම් අත්සන් කිරීමේ උද්ඝෝෂනයක් දියත්කර ඇත. ඔක්තෝබර් 14 දින පැවැත්වූ රැස්වීමක් ඇමතූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, ''ආන්ඩුව නිවාස වලින් ඉවත්කිරීමේ වෑයම අත් නොහරින්නේ නම් සියල්ලන්ම එක්සත්වී පාරට බැසිය යුතු යයි” පුහු ගෝසාවක් කලේය.

පෙත්සම් ව්‍යාපාරය, නගර සභාවේ බලය යලි අත්කර ගැනීමේ එජාපයේ විනිවිද පෙනෙන වෑයමකි. අත්සන් තැබීම සඳහා ජනතාවට කැඳවුම් කරමින් වික‍්‍රමසිංහ, ''අපි මේ පෙත්සම මැතිවරන කොමසාරිස් වෙත ඉදිරිපත් කරන්නෙමු, අපි කෙසේ හෝ කොලඹ නගර සභා මැතිවරනය ප‍්‍රකාශයට පත්කරගෙන එය ජයගන්නෙමු. ඉන්පසුව අපට ඔබගේ නිවාස හා ඉඩම් ආරක්ෂාකර දීමට පුලුවන,” යනුවෙන් පොරොන්දු විය. මේ සියල්ල එසේ සිදු වුවත් රාජපක්ෂ ආන්ඩුවට, නගර සභාවේ තීන්දු නිෂ්ප‍්‍රභා කරමින් සිය ඉවත් කිරීමේ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ ඉඩකඩ ඉතිරිව තිබේ.

කොලඹ පැල්පත් සම්බන්ධ එජාපයේ වාර්තාව පිලිබඳව සාවද්‍ය චිත‍්‍රයක් ද වික‍්‍රමසිංහ ඉදිරිපත් කලේය. ''1977 එජාප ආන්ඩුව බලයට පත්වන විට ද මුඩුක්කු හා පැල්පත් තිබුනි. ඒවාට, විදුලි බලය නල ජලය, හෝ වැසිකිලි පහසුකම් නොතිබුනි. අපි ජනතාවට ඔප්පු ලබාදුන්නෙමු. බලපත‍්‍ර හා ඉඩම් අයිතිය ලබා දුන්නෙමු. අපි ඔවුන් සඳහා තට්ටු ගෙවල් ඉදිකලෙමු.” ඔහු පැවසීය.

මේවා බොරු බව වාර්තාව හෙලිදරව් කරයි. රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එජාපය ද කොලඹ මහා ව්‍යාපාරිකයන්ගේ හා දේපල වෙලෙන්දන්ගේ අවශ්‍යතාවන් සඳහා නිතරම කටයුතු කර තිබේ. 1977 බලයට පත්වීමෙන් පසුව එජාප ආන්ඩුව, පුද්ගලීකරනය, රාජ්‍ය වියදම් කප්පාදුව හා ආර්ථිකය විදේශ ආයෝජකයන් සඳහා විවෘත කිරීමේ වෙලඳපොල ගැති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නැඟූ ලෝකයේ ප‍්‍රථම ආන්ඩු අතරින් එකක් විය.

මෙම වැඩසටහනේ එක් අංගයක් ලෙස කොලඹ, කලාපයේ වානිජ මධ්‍යස්ථානය බවට පත්කිරීමට එජාපය උත්සාහ කලේය. එජාප නායකයා ලෙස ජේ. ආර්. ජයවර්ධන, ජයවර්ධන පුරයේ නව පරිපාලන අගනුවරක් ඉදිකිරීමේ සැලසුම් නිවේදනය කලේය. ඒ අනුව මධ්‍යම කොලඹ මූල්‍ය හා ව්‍යාපාරික කටයුතු සඳහා සුරක්ෂිත කල හැකිවිය. 1977-1994 දක්වා වූ එහි 17 වසරක පාලන සමය තුල එජාප ආන්ඩුව, නිවැසියන් පිලිබඳව කිසිදු තැකීමක් නොමැතිව, එකකට පසුව තවෙකක් වශයෙන් පැල්පත් කඩා ඉවත් කිරීමේ මෙහෙයුම් කි‍්‍රයාවට දැමීය.

* 1983දී එජාප ආන්ඩුව මෙරට විශාලතම ක‍්‍රීඩාංඟනය ලෙස සුගතදාස ක‍්‍රීඩාංඟනය ඉදිකිරීම සඳහා කොලඹ ප‍්‍රදේශයේ පුලුල් භූමිභාගයක් වෙන්කලේය. පවුල් 243කට වැඩි සංඛ්‍යාවකගේ පැල්පත් කඩා ඔවුන් ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලදී. ඔවුන් දැන් ‘ස්ටේඩියම් ගම’ ලෙසින් හඳුන්වන ප‍්‍රදේශයේ පදිංචි කරනුලැබ තිබේ. සියවස් කාලකට පසුව වුවත් මෙම ප‍්‍රදේශයේ ප‍්‍රමානවත් මාර්ග, අතුරු මාර්ග නොමැති අතර, අත්‍යවශ්‍ය සේවා සලසාදී නැත. පදිංචිකරුවන් කිසිවෙකුටත් නීත්‍යානුකූල ඔප්පු ලැබී නැත.

* 1985දී මට්ටක්කුලියේ රෙඩ්බානා වත්තෙහි පදිංචිව සිටි පවුල් 100කට පමන ප‍්‍රදේශය හරහා වැටී ඇති ඇල මාර්ගයේ අනෙක් පසෙහි ඉඩමට යන ලෙස බලධාරීහු නියෝග කලහ. එක් කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ මෙසේය. ''අපි පරම්පරා ගානක් තිස්සේ එහි පදිංචිව සිටියා. එතැනින් ඉවත් කෙරුවට පස්සෙ අපට අඩි 22ක් දිග අඩි 20ක් පලල (වර්ග මීටර් 100 පමන) බිම් කෑල්ලක් ලබා දුන්නා. ඔවුන් අපට කිව්වේ කලින් පදිංචිව සිටි බිමේ තට්ටු නිවාස ඉදිකරන කල් මෙතැන ඉන්න කියලයි. ඒත් ඒවා හිස් පොරොන්දු විතරයි. ඒක නිසා දැන් අපේ නිවාස ප‍්‍රශ්නය විසඳන බවට දෙන පොරොන්දු අප විශ්වාස කරන්නෙ නෑ.” යනුවෙනි.

* 1992-94 අතර කාලයේ එජාප ආන්ඩුව, වැල්ලවත්ත සිට කිරුලපන දක්වා වූ ඇලමාර්ගය දෙපස පදිංචිව සිටි පවුල් 1,500ක් පමන ඉන් ඉවත් කලේය. ඔවුන් එහි සිට කිලෝ මීටර් 10ක් පමන දුරින් පිහිටි අත්තිඩියට යවන ලද අතර, එක් පවුලකට වර්ග මීටර් 50ක පමන බිම්කඩක් ලාබාදුන්නේය. පලමුවෙන්ම ඉවත්ව ගිය පවුල් වලට විසීමට සිදුවූයේ ලෑලි නිවාසවලය. පවුල් 150කට පමන තිබුනේ එක් ජල කරාමයක් හා වැසිකිලි දෙකක් පමනි. නිවාස සඳහා අත්තිවාරම් ඉදිකොට එක් පවුලකට රුපියල් 15,000-20,000 අතර මුදලක් ආන්ඩුව ලබා දුන්නේ බොහෝ ප‍්‍රමාදවීය. බෙහෝ පවුල් ආපසු ගෙවීමට නොහැකිකම නිසා නය මුදල් ගැනීම ප‍්‍රතික්ෂේප කලහ.

යථා නීත්‍යානුකූල ඔප්පු ලබාදුන් බවට එජාපය කරන ප‍්‍රකාශ ද බොරුය. ඉබ්බගෙවත්ත නිවාසවල පදිංචි කාන්තාවක් ලෝසවෙඅට මෙසේ පැවසුවාය. ''1982 අවුරුද්දේ ජනාධිපති (රනසිංහ) පේ‍්‍රමදාස, අපගේ නිවාස සඳහා නීත්‍යානුකූල ලියවිල්ලක් බව කියා සිටිමින් අපට කාඩ්පතක් ලබාදුන්නා. එහෙත් මෙම කාඩ්පතට කිසිදු නීත්‍යානුකූල වලංඟුභාවයක් නෑ. දැන් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ අපගේ ඉඩම් තමන්ට අයිති බවය. ඔවුන් පසුගිය අගෝස්තු මාසයට පෙර නිවාසවලින් ඉවත්වන ලෙස දන්වා අපගේ දොරවල්වල දැන්වීම් අලවා තිබුනා.

''අපි එම නියෝගය ප‍්‍රතික්ෂේප කලා. ඉන්පසු අප ඉවත්කරන ලෙස ඉල්ලමින් දුම්රිය දෙපාර්තමේන්තුව නඩුවක් පැවරුවා. අපි නීතිඥවරයෙක් යොදාගත්තා. ඔහු නඩුවට පෙනී සිටින සෑම වාරයකටම පවුලකින් රුපියල් 1,500 බැගින් ගෙවීමට සිදුවෙනවා.” ඇය ප‍්‍රකාශ කලාය. නඩුව සිව් වතාවක් විභාගයට ගැනුනත් තවමත් තීන්දුවක් නැත. එම පවුල් 14 තත්වය අවිනිශ්චිතව පවතියි.

එජාප ආන්ඩුව, ජීවන තත්වයන්ට එල්ල කල ප‍්‍රහාර ද එහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර හා 1983 දියත්කල එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය කෙරෙහි පැවති මහජන විරෝධය ද හේතුකොටගෙන 1994 මැතිවරනයේදී බලයෙන් පහකරනු ලැබින. එජාප ප‍්‍රතිපත්තිවලට විරුද්ධ බව කියා සිටිමින් බලයට පැමිනි ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ පාලක හවුල, යුද්ධය උත්සන්න කරමින් පෙර තිබූ ආන්ඩුවේ වෙලඳපොල ගැති න්‍යායපත‍්‍රය මත දිගටම කටයුතු කලේය. කොලඹ ''මුඩුක්කු ඉවත් කිරීම” යන වර්තමාන වැඩ සටහන ප‍්‍රසිද්ධියට පත්කලේ 1999 වසරේදී වුවත් මහජන ප‍්‍රතිරෝධය පිලිබඳ බිය හේතු කොට ගෙන පස්සට ගැනුනි.

2001 මහ මැතිවරනයෙන් බලයට පත්වූ එජාපය, ශ‍්‍රීලනිප නායිකා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ විසින් 2004 පෙබරවාරියේදී බලයෙන් පහකරන තෙක් ආන්ඩු කලේය. දිවයින දකුනු ආසියාවේ සිංගප්පූරුව බවට පත්කිරීමේ එහි ''යලි පුබුදමු ශ‍්‍රී ලංකා” වැඩසටහනෙහි කොටසක් ලෙස එල්ටීටීඊය සමඟ සටන් විරාමයක් අත්සන් කල වික‍්‍රමසිංහ ආන්ඩුව, එය සමඟ සාම සාකච්ඡා ආරම්භ කලේය. ලෝක බැංකුවේ අනුමැතිය ද ලත් ''යලි පුබුදමු ශ‍්‍රී ලංකා” වැඩපිලිවෙල යටතේ රාජ්‍ය අංශයේ සහන, ශුභසාධන හා රැකියා කපා හරිමින්, විදේශ ආයෝජකයන් වෙත නොමසුරුව දිරිගැන්වීම් ලබාදුන්නේය.

වික‍්‍රමසිංහ දැන් රාජපක්ෂගේ නෙරපා දැමීමේ සැලසුමෙහි විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිය ද ඔහුගේ ආන්ඩුවේ ''යලි පුබුදමු ශ‍්‍රී ලංකා” වැඩසටහනෙහි සියලු මූලික අංඟ ඊට ඇතුලත්ව තිබේ. එම වැඩසටහනේ ක‍්‍රියාකාරී සාරාංශයට, කොලඹ වටා වූ බටහිර පලාතේ මහා පුරවරයක් ඉදිකිරීමේ යෝජනාවද ඇතුලත් විය. ''මෙම මහා පුරවරයේ මූල්‍යමය, ව්‍යාපාරික ප‍්‍රවාහන හා පරිපාලන මධ්‍යස්ථානය බවට පත්වෙන්නේ එහි හදවත වන කොලඹ ය,” යනුවෙන් එහි සඳහන්වේ.

පැල්පත් වාසීන් සඳහා එජාප ලියවිල්ලෙන්, ''කොලඹ නගරය තුල ස්වයං අරමුදල් සම්පාදිත ස්වේච්ඡා යලි පදිංචි කිරීමේ වැඩසටහනක්” පොරෙන්දු විය. ''ඔවුන්ගේ ඉඩම් හා වාසස්ථාන, උස් තට්ටු නිවාසවල යලි පදිංචිකිරීම සඳහා ස්වේච්ඡාවෙන් හුවමාරු කරගත යුතු” යයි නිවැසියන්ගෙන් ඉල්ලා තිබුනි. එහෙත් සත්තකින්ම, නිවැසියන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කලහොත් කුමක් සිදුවන්නේ ද යන්න වැඩසටහනෙන් පැහැදිලි කර නොතිබුනි. විකල්ප නිවාස පහසුකම් පිලිබඳ පොරොන්දු වත්මන් රාජපක්ෂ ආන්ඩුවේ පොරොන්දු මෙන්ම ප්‍රෝඩාකාරීය.

2004 වසරේදී කුමාරතුංඟ, එජාපය බලයෙන් පහකලේ එල්ටීටීඊ සමඟ එහි සාකච්ඡා ''ජාතික ආරක්ෂාවට” තර්ජනයක් බව ප‍්‍රකාශ කරමිනි. වික‍්‍රමසිංහ යාන්තමින් පරාජය කරමින් 2005 ජනාධිපතිවරනය දිනාගත් රාජපක්ෂ, 2002 සටන් විරාමය ප‍්‍රසිද්ධියේම බිඳ දමමින් රට යලි වතාවක් යුද්ධයට ඇද දැමීය. සිවිල් වැසියන් දහස් ගනනකගේ ජීවිතවල වියදමෙන් ගෙනගිය විනාශකාරී සාපරාධී යුද්ධයෙන් 2009 මැයි මාසයේදී එල්ටීටීඊය පරාජයට පත්කල රාජපක්ෂ දැන්, එම ක‍්‍රමෝපායන්ම යොදා ගනිමින් ''රට ගොඩනැගීමේ ආර්ථික යුද්ධයක්” ගෙනයමින් සිටියි.

ආන්ඩුවේ ක‍්‍රියාමාර්ගය සමඟ එජාපයට මූලික මතභේදයක් ඇත්තේ නැති නමුත්, නෙරපාහැරීම කෙරෙහි පවත්නා විරෝධය, තම දේශපාලන අරමුනු වෙනුවෙන් ගසාකෑමේ උත්සාහයක එය නිරතවෙයි. පැල්පත් වාසීන්ට රාජපක්ෂගේ සැලසුම් පරාජය කිරීම, මහා ව්‍යාපාරිකයන්ගේ තවත් පක්ෂයක් මත බලාපොරොත්තු රැඳවීම මඟින් ඉටු කර ගත නොහැකිය. ඔවුන් තමන්ගේම ස්වාධීන ශක්තිය මත විශ්වාසය තබමින් කම්කරු පන්තිය වෙත හැරිය යුතුය. ජනතාව නෙරපා හැරීම, දුරදිග යන කප්පාදු පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අන කරන ආන්ඩුවේ පුලුල් න්‍යාය පත‍්‍රයේ කොටසකි.

කොලඹ පැල්පත්වාසීන්, සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන සහයෝගය ඇතිව නිවාස අයිතිය රැකගැනීමේ ක‍්‍රියාකාරී කමිටුවක් ගොඩනඟා තිබේ. අනෙකුත් නිවැසියන් ද ඔවුන්ගේ මඟපෙන්වීම අනුව යමින් තමන්ගේ වතුවල ක‍්‍රියාකාරී කමිටු ගොඩනඟමින් නිවාස අයිතිය රැකගැනීමේ කමිටුව වෙත තම නියෝජිතයන් එවන ලෙස සසප ඉල්ලා සිටියි.

සියලු පහසුකම් සහිත නිවාස සඳහා ඇති අයිතිය වෙනුවෙන් කරන සටන, ලාභ පද්ධතියට එරෙහි අරගලයක් ඉල්ලා සිටින අතර, සමාජවාදී ක‍්‍රියාමාර්ගයක අවශ්‍යතාව මතු කරයි. සියල්ලන්ටම නිවාස පහසුකම් සැලසීම සඳහා රුපියල් සියකෝටි ගනනින් මුදල් වෙන්කල යුතුය. අන් සියල්ලටත් වඩා මේ සඳහා අවශ්‍ය වන්නේ, ධනවතුන් අතලොස්සකගේ ලාභය සඳහා නොව බහුතරයකගේ අවශ්‍යතා ඉටු කල හැකි පරිදි සමාජය යලි සංවිධානය කිරීමේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා නාගරික මෙන්ම ගම්බද දුගීන් ද සමඟ එක්ව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු

ගැන්වීමයි. සසප සටන් වදින්නේ එම ක‍්‍රියාමාර්ගය සඳහා ය.