ශ්‍රීලංකව: ජවිපෙ වෘත්තීය සමිති ආන්ඩුවට අයවැය යෝජනා භාර දෙයි

Sri Lanka: JVP unions submit budget proposal to government

By W.A. Sunil, 23 October 2010

ශී‍්‍ර ලංකාවේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ වෘත්තීය සමිති පෙරමුන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට ඇතුලත් කිරීම සඳහා සලකා බැලීමට වැටුප් යෝජනාවක් සෘජුවම ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම මාසයේදී ඉදිරිපත් කලේ ය. ජවිපෙ සහ එහි වෘත්තීය සමිති රාජපක්ෂට එරෙහි අරගලයක් සඳහා සූදානම් වීම වෙනුවට ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන්ගේ ඇති කැමැත්ත පෙන්නුම් කරයි.

ජවිපෙට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (එන්ටීයූසී), ස්වාධීන ලංකා ගුරු සංගමය, සමාජවාදී වතු කම්කරු සංගමය සහ රාජ්‍ය මුද්‍රන කාර්යාල සහායකයන්ගේ සංගමය විසින් රජයේ සහ පුද්ගලික අංශයේ කම්කරුවන් සඳහා රුපියල් 8,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා, ඔක්තෝබර් 6දා රාජපක්ෂ වෙත ලිපියක් යැවී ය. මෙම වෘත්තිය සමිති තම යෝජනා වෙනුවෙන් උද්ඝෝෂනය කිරීම සඳහා ඔක්තෝබර් 27 සිට වැඩපල මට්ටමේ රැස්වීම් පවත්වන බව නිවේදනය කර ඇත.

මෙම උද්ඝෝෂනයේ එක් අරමුනක් වන්නේ 2005 වසරේ රාජපක්ෂ බලයට පැමින දා සිට කල පාවා දීම් වැලක වගකීම් දරන ජවිපෙ වෘත්තීය සමිති කෙරේ බිඳ වැටී ඇති විශ්වසනීය භාවය යලි ගොඩ නගා ගැනීමය. තමන්ට රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති 300 ඇති බව එන්ටීයූසීය කියතත්, ඒවායේ සාමාජිකත්වය බෙහෙවින් පහත වැටී ඇත. සෙසු වෘත්තීය සමිති මෑතක දී ගොඩනැගුනු ඒවා වන අතර එක් සමිතියක සිටින්නේ කීප සියයක් සාමාජිකයන් පමනි.

අයවැය ලේඛනය සකස් කිරීමේ වගකීම දරන මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රාජපක්ෂට සෘජුවම ලිපියක් ලිවීමේ ජවිපෙ සමිතිවල තීරනය අර්ථභාරීය. කලින් පැවති සීමිත උද්ඝෝෂන වලදී පවා වෘත්තීය සමිති ඒවාට සම්බන්ධ වූයේ ආන්ඩුවට, ආන්ඩුවේ දෙපාර්තමේන්තුවලට හෝ පුද්ගලික සමාගම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ය. වෘත්තීය සමිති රාජපක්ෂ වෙත යොමු කල ලිපිය තව දුරටත් ආන්ඩුවට යෝජනා ඉදිරිපත් කිරීමේ ස්වභාවය පෙන්නුම් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම් සමග පෙල ගැසී තව දුරටත් කප්පාදු පිලිවෙත් නිවේදනය කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටින බව ජවිපෙ සහ එහි වෘත්තීය සමිති හොඳටම දැන සිටී. 2006 වසරේ සිට වැටුප් කැටි කිරීමක් දැනටමත් කි‍්‍රයාත්මක ය. රජයේ සේවකයන් මත ඉහල බදු පැනවීම, පාරිභෝජන බද්ද වැඩි කිරීම, ආන්ඩුවේ මූලික ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම, අලුතෙන් බඳවා ගන්නන්ගේ විශ‍්‍රාම දීමනා අහෝසි කිරීම සහ අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා දීතිබෙන මිල සහනාධාර තියුනු ලෙස කපා හැරීම අඩංගු කර ගත් අනෙක් පිලිවෙත් සුදානම් කෙරෙමින් පවතී.

ජීවත්වීමට සරිලන වැටුප් සඳහා මෙන්ම ජීවන තත්වයන්ට තව දුරටත් එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහි ඕනෑම අරගලයක් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයකින් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමක් ඉල්ලා සිටි. නමුත් ජවිපෙ ඇතුලු සියලු විරුද්ධ පක්ෂ සහ ඔවුන්ගේ වෘත්තිය සමිති නියත වශයෙන්ම එරෙහි වන දෙය ද එයයි.

අය වැය යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මන් දැ යි ලෝසවෙඅ එන්ටීයූසී කැඳවුම්කරු සමන්ත කෝරලේආරච්චිගෙන් විමසූවිට ඔහු, ප‍්‍රශ්නය මග හැරියේ ය. වර්තමාන ආර්ථික තත්වය තුල ආන්ඩුව වැටුප් වැඩිවීමක් ලබා දෙනු ඇතැ යි තමන් විශ්වාස නොකරන බව පැවසු ඔහු අනතුරුව කියා සිටියේ වෘත්තීය සමිති ''දිග්ගැස්සුනු අරගලයක් සඳහා සූදානම් කිරීමේ” යෙදී සිටින බව යි.

"දිග්ගැසුනු අරගලයක්" පිලිබඳ කෝරලේ ආරච්චිගේ කයිවාරුව තුල රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීම සම්බන්ධයෙන් කිසිවක් ම නැත. තියුනු ලෙස පහල වැටෙමින් පවතින ජීවන තත්වයන් කෙරේ කම්කරුවන් තුල පවතින අතෘප්තිය සහ කෝපය ගැන හොඳින් ම දන්නා එන්ටීයූසී නායකයෝ සහන ලබා ගැනීම සඳහා ආන්ඩුවට බලපෑම් දැමිය හැකිය යන මාරාන්තික මිත්‍යාව ප‍්‍රවර්ධනය කිරීම මගින් එවන් ඕනෑම ව්‍යාපාරයක් සීමාකොට පාලනය කිරීමට සූදානම් වෙමින් සිටිති.

එන්ටීයූසීයෙහි ලිපිය මූර්ත වැටුප්වල පහත වැටීමේ පරිමාව පෙන්නුම් කරයි. 2006 වැටුප් කැටිකිරීමේ සිට කම්කරුවන්ට ලැබී ඇත්තේ උද්ධමන රේට්ටුව හා නො සැසඳෙන අවම ජීවන වියදම් දීමනාවකි. ගෙවී ගිය සිවු වසර පුරා රාජ්‍ය අංශයේ කම්කරුවන්ට ලැබී ඇත්තේ උද්ධමනය සම කිරීම සඳහා අවශ්‍යව පැවතුන රුපියල් 13,842 වෙනුවට මසකට රුපියල් 5,250 ක ජීවන වියදම් දීමනාවකි. පුද්ගලික අංශයේ කම්කරුවන්ට මසකට රුපියල් 1,000ක් වැනි සොච්චම් මුදලකි. වෘත්තීය සමිති විසින් බලෙන් පිලිගන්වනු ලැබූ ගිවිසුමක් මගින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප යන්තම් රුපියල් 405 දක්වා පසුගිය වසරේ වැඩි විය.

ජීවන තත්වයන් මෙසේ පහතට ඇද දැමීම සම්බන්ධයෙන් එක එල්ලේ ම එන්ටීයූසීය සහ අනෙකුත් වෘත්තිය සමිති වගකිව යුතුය. ජවිපෙ 2005 රාජපක්ෂට බලයට ඒම සඳහා ද එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධය නැවත ආරම්භ කිරීමේ ඔහුගේ තීන්දුවට ද සහාය දැක් වීය. කම්කරුවන්ගේ අරගල පැන නැගි විටදී ඔවුන්ගේ එම අරගල ''ජාතික ආරක්ෂාවට” වල කපන්නේ ය යි ආන්ඩුව හෙලා දුටු විටදී එන්ටීයූසීය පසු බැස උද්ඝෝෂන අත්හිටුවීය. ජවිපෙ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින ගමන් ම රාජපක්ෂට පුලුල් බලතල ලබාදුන් හදිසි නීති පාලනය නො කඩවා ඉදිරියට ගෙන යාමටත් ආන්ඩුවේ දැවැන්ත ආරක්ෂක වියදම්වලටත් පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කලේ ය.

2007 අවසාන භාගයේ දී ජවිපෙ 2008 අයවැය ලේඛනයට එරෙහිව කම්කරු පන්තිය තුලින් පැන නැගි පුලුල් විරෝධය මැඩ පැවැත්වීම සඳහා වැටුප් වැඩිකිරීමක් ප‍්‍රකාශයට පත් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම රාජපක්ෂ විසින් නො තකා හරිනු ලැබූවිට ජවිපෙ තමන් අයවැය ලේඛනය පරාජය කිරීම සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාචාල ලෙස ප‍්‍රකාශ කලේ ය. එහෙත් ජවිපෙ පාර්ලිමේන්තු නියෝජිතයෝ ''ජාතික ආරක්ෂාව” සියල්ලටමත් වඩා වැදගත් බව පවසමින් අවසාන මොහොතේදී අයවැය ලේඛනයට ඡන්දය දුන්හ.

2009 මැයි මාසයේ සිදු වූ එල්ටීටීඊයේ පරාජයෙන් පසු වැටුප් සහ අනෙකුත් තත්වයන් වැඩි දියුනු කරගැනීම උදෙසා කම්කරු පන්තිය තුලින් ඉල්ලීම් පැන නැගුනි. පසු ගිය නොවැම්බරයේ දී වැඩි වැටුප් සඳහා අරගලවල යෙදුනු වරාය, විදුලිබල, ඛනිජතෙල් සහ ජල හා ජලාපවහන කම්කරුවන් සීමා සහිත විරෝධතාවන්ට පමනක් කැඳවුම් කිරීමට ජවිපෙ සහ විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට බල කෙරී පැවතුනි. එහෙත් රාජපක්ෂ හදිසි නීති බලතල යටතේ කාර්මික සටන් තහනම් කල විට සමිති නායකයෝ නැවතත් උද්ඝෝෂනය අත් හැර දැමු හ.

මේ වසරේ ජනවාරි සහ අපේ‍්‍රල් මාසවල දී පැවති ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනය තුල දී රාජපක්ෂ රාජ්‍ය සේවයේ කම්කරුවන්ගේ මාසික වැටුප රු. 2,500 කින් වැඩිකර දෙන්නෙමි යි පොරොන්දු විය. ඔහු එසේ කරන ලෙස පුද්ගලික අංශයෙන් ද ඉල්ලා සිටියේ ය. ජනාධිපතිවරනය සහ මැතිවරනය අවසන් වූ වහාම රාජපක්ෂ වෘත්තීය සමිති කල ඉල්ලීම් නොතකා හැරි අතර තමන්ගේ වැටුප් පොරොන්දුව කුනු කූඩයට දමා තව දුරටත් බදු වැඩි කර අත්‍යාවශ්‍ය භාන්ඩයන් වෙනුවෙන් දුන් මූල්‍යමය සහනයන් කපා දැමූ අන්තර්වාර අයවැයක් ජුනි මාසයේ දී ගෙන ආවේ ය.

එන්ටීයූසීයේ රු 8,000 ක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජුනි මාසයේ කලාට වඩා වෙනස් දෙයක් ආන්ඩුව නොවැම්බර් මාසයේ දී නො කරනු ඇත. පවතින ලෝක ආර්ථිකය කලබැගෑනිවලින් හා සිවිල් යුද්ධය නිසා ගොඩගැසුනු නය කන්දරාවෙන් හිර කෙරුනු බරපතල ආර්ථික අර්බුදයකට රාජපක්ෂ මුහුන දී සිටී. පසු ගිය වසරේ දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10කට ආසන්න වූ අයවැය හිගය ඉදිරි වසර දෙක තුල සියයට 5 දක්වා කපා දැමීම සඳහා කෙරෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීඩනයට ඔහු මුහුන දෙයි. ලොව පුරා සෙසු රටවල මෙන් ම ඔහුගේ අයවැය ලේඛනයේ ද ආදර්ශ පාඨය වනු ඇත්තේ ''පටි තදකර ගැනීම” ය.

අපේක්ෂිත මහජන නැගිටීමකට සූදානම් වීම සඳහා ආන්ඩුවේ සහකරුවන් වන තමන්ගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමසමාජ පක්ෂයට සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිතිවල නායකයන් සමග ඔක්තෝබර් 11 දා රාජපක්ෂ රැස්වීමක් පැවැත් වීය. පාලක සභාගයේ හවුල්කරුවන් වන ලංකා වතු කම්කරු සංගමය, කඳුරට මහජන පෙරමුන යන වතු කම්කරු සංගම්වල නායකයෝ ද ඊට සහභාගී වූහ. ආන්ඩුවේ ''සංවර්ධන ඉලක්ක” වෙනුවෙන් සහාය ඉල්ලා සිටීමට ජනාධිපති එම අවස්ථාව යොදා ගත් අතර ''විනයගත සමාජයක” අවශ්‍යතාවය අවධාරනය කලේ ය.

ජවිපෙට සම්බන්ධ වෘත්තිය සමිති එයට සහභාගී නො වු නමුත් කම්කරු පන්තියෙන් එන ඕනෑම ප‍්‍රතිරෝධයක් නාස් ලනු දමා පාලනය කිරීමට සහාය වන බව එන්ටීයූසීය සිය ලිපියෙන් ඇඟවුම් කර ඇත. යුද්ධයෙහි අවසානය ජවිපෙ මූලික නැඹුරුවේ මොන ම වෙනස් වීමක් වත් සිදුවී නැත. වත්මන් තත්වයේ දී ''පලමුව මව්බිම” යන එහි ස්වෝත්තමවාදී සටන්පාඨයෙහි තේරුම වන්නේ මුහුන දී සිටින ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට කම්කරුවන්ට සිදුවනු ඇත යන්න ය. සිංහල ස්වෝත්තමවාදය සහ මාඕවාදය මත පදනම් වූ ගරිල්ලා කන්ඩායමක් ලෙස ආරම්භ කෙරුනු ජවිපෙ කලකට ඉහත දී එහි සමාජවාදී වාගාලාප අත් හැර දමා කොලඹ දේශපාලන ස්ථාපිතයට අන්තර්ග‍්‍රහනය විය.

ජීවත්වීමට සරිලන වැටුප්, රැකියා, සේවා කොන්දේසි සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ඇතුලු මූලික අයිතීන් ධනපති ක‍්‍රමය තුල කම්කරු පන්තියට දිනා ගත නොහැකි ය. මෙම අයිතීන් ආරක්ෂා කරගත හැකි වන්නේ ආර්ථිකය ධනපතීන්ගේ ලාභය උදෙසා නොව වැඩ කරන ජනයාගේ හා දුගීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජවාදී පදනමක ප‍්‍රතිසංවිධානය කිරීමෙනි. මෙය කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා රාජපක්ෂ ආන්ඩුව ට එරෙහි දේශපාලන අරගලය සමග බැඳී පවතී.

කම්කරුවෝ ධනේශ්වරයේ සියලු කොටස්වලින් සහ තමන්ව අකර්මන්‍ය කිරීම සඳහා වැඩ කරන වෘත්තීය සමිතිවලින් බිඳී වෙන් වී සමාජවාදී වැඩ පිලිවෙලක් මත පදනම් වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සටන් වැදිය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත් කරන ඉදිරි දර්ශනය වන්නේ එය යි.