විචාරාත්මක වර්ග න්‍යායයට එදිරි ව මාක්ස්වාදය: මේරිං බුක්ස් ප්‍රකාශකයින්ගේ නව පොත් පිංචක හැඳින්වීම

(මෙය Introduction to new pamphlet from Mehring Books: Marxism vs. Critical Race Theory මැයෙන් 2023 මැයි 24දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

පහත පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව ප්‍රකාශනයක කතුවරයාගේ හැඳින්වීමයි. එය දැන් මේරිං ප්‍රකාශකයින්ගෙන් ලබා ගත හැකි ය. මෙම ප්‍රකාශනය තුල අඩංගුවන්නේ ටොම් කාටර්ගේ “විචාරාත්මක වර්ග න්‍යායයේ දෘෂ්ටිවාදාත්මක පදනම්” නමැති දේශනය සහ අමතර රචනාවන් ය. ඒවා එක් ව ගත් කල මෙම කෘතිය, විචාරාත්මක වර්ග න්‍යායය සහ අනන්‍යතා දේශපාලන න්‍යායයන්ට වමෙන් කෙරෙන විවේචනයකි.

***

මෙහි අඩංගු දේශනය 2021 අගෝස්තු මස දී ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසලට ඉදිරියේ කරන ලදුව, පසු ව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනි. “විචාරාත්මක වර්ග න්‍යායයේ” සාරාත්මක දාර්ශනික, ඓතිහාසික සහ දේශපාලන අන්තර්ගතය මෙන් ම එම න්‍යායය ගැන ද පොදුවේ පැවතියේ දුර්වල අවබෝධයක් වුව ද එතැන් සිට එය නිල දේශපාලන කතිකාව තුල ධ්‍රැවීකාරක මාතෘකාවක් ලෙස පැවතිනි.

දේශනය පැහැදිලි කරන අයුරු, “විචාරාත්මක වර්ග න්‍යායය”, 1980 ගනන්වල අග දී සහ 1990 ගනන්වල මුල දී, පශ්චාත් නූතනවාදය සහ මනෝබද්ධ විඥනවාදී දර්ශනවාදය සමග ඓතිහාසික සංශෝධනවාදය සහ වාර්ගික නිකායවාදය මිශ්‍ර කරමින් එක්සත් ජනපදය තුල මතු වූ “ශාස්ත්‍රීය ලේඛන” මාලාවකින් නිෂ්පන්නවූවක් වන අතර එය ඩිමොක්‍රටික් පක්ෂය හා එහි පරිවාරය වෙත නැඹුරු වූවකි.

දේශනය පැවැත්වූ දා සිට, ඩිමොක්‍රටික් පක්ෂයට සහ එහි කක්ෂයට අයත් දේශපාලන බලවේග, අනන්‍යතා දේශපාලනයේ ප්‍රතිගාමී සැලැස්ම - එහි දී විශේෂයෙන් ම වාර්ගික දේශපාලනය - සියලුම සමාජ, ඓතිහාසික, සංස්කෘතික සහ දේශපාලන ප්‍රශ්න මතට පැටවීමේ තම ප්‍රයත්නයන් තීව්‍ර කරමින් සිටිති. මේ අතර රිපබ්ලිකන් පාක්ෂිකයෝ, විචාරාත්මක වර්ග න්‍යායට විරුද්ධ ව සටන් කිරීමේ මුවාවෙන් පාසල් සහ විශ්ව විද්‍යාලවලින් “නිර්-දේශප්‍රේමී” ඉගැන්වීම් සියල්ලක් ම ඉවත් කර දැමීමේ තම ෆැසිස්ට් වර්ගයේ ඉල්ලීම් වඩාත් බලවත් ලෙස ඉදිරිපත් කිරීමට පටන් ගෙන සිටිති.

මෙම සන්දර්භය තුල, දේශනය ආමන්ත්‍රනය කරන්නේ සර්ව-කාලීනව වැදගත් වන න්‍යායික සහ දේශපාලන ප්‍රශ්නවලට ය. දේශනයෙන් පසුව ලියා අමතර ව එකතු කර ඇති ලේඛන දෙක වඩා මෑත වර්ධනයන් හි එලියෙන් මෙම ප්‍රශ්නවලට යලිත් පිවිසෙයි.

විචාරාත්මක වර්ග න්‍යාය ගැන වමෙන් කෙරෙන විවේචනයක් ඉදිරිපත් කරන මෙම දේශනය, තත්කාලීන අනන්‍යතා දේශපාලනය කෙසේ නමුත් “වාමාංශික” යැයි පොදුවේ පිලිගැනුනු දුර්මතය පෙරලා දමයි. එය විචාරාත්මක වර්ග න්‍යායයේ දෘෂ්ටිවාදාත්මක පදනම්, විධික්‍රම සහ ගමන්පථයට විපරීතව සැබෑ වාමාංශික චින්තනය පිහිටුවයි. මෙම විවේචනය පදනම් වන්නේ මාක්ස්වාදයේ ඓතිහාසික සම්ප්‍රදාය සහ ධනවාදයට විරුද්ධ සහ සමාජවාදයට පක්ෂ ගෝලීය අරගලය තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා මත ය.

උදාහරනයක් ලෙස, 2023 ජනවාරියේ දී ටෙනස්සී හි මෙම්ෆිස් නගරයේ දී කලු පොලිස් නිලධාරීන් කන්ඩායමක් විසින්, ෆෙඩ්එක්ස් ප්‍රවාහන සමාගමේ ටයර් නිකොල්ස් නමැති කලු කම්කරුවා ඝාතනය කිරීමේ සිද්ධිය, වාර්ගික දේශපාලනයෙහි යෙදෙනවුන් විසින් “සුදු ආධිපත්‍යයේ” නිෂ්පාදිතයක් ලෙස අර්ථ දැක්වීම සඳහා දරන ප්‍රයත්නය දේශනය තුල විමර්ශනය කෙරේ.

දේශනය මෙසේ විස්තර කරයි: “පොලිස් කෲරත්වයේ වසංගතය සියලුම සුදු ජනයා තුල පොදුවේ මෙන් ම පැතිර පවත්නා වූ ද වර්ගවාදයේ ප්‍රතිඵලයක්” යැ යි කීම මගින් විචාරාත්මක වර්ග න්‍යායය, වැරැද්ද පාලක පන්තියෙන් සහ පවතින සමාජ පද්ධතියෙන් ඉවතට හරවා එය, පොලිස් කෲරත්වය සඳහා කිසිම වගකීමක් නො දරන්නා වූ පමනක් නොව, තමාමත් එම කෲරත්වයට නිති පතා ගොදුරු වන්නා වූ සුදු වැඩ කරන ජන සමූහය මත පටවයි.”

විචාරාත්මක වර්ග න්‍යායට සම්බන්ධ සංකල්ප ඉතාමත් කැපී පෙනෙන අයුරු තම පිලිබිඹුව සොයා ගෙන ඇත්තේ නිව්‍යෝක් ටයිම්ස් පුවත් පතෙහි 1619 ව්‍යාපෘතිය තුල ය. මෙම ව්‍යාපෘතිය වනාහි, ඇමරිකානු විප්ලවයේ සහ සිවිල් යුද්ධයේ ප්‍රගතිශීලී අන්තර්ගතය හීන කරන්නා වූත්, වර්තමාන ඇමරිකානු සමාජය එකිනෙකාට සතුරු වර්ග අතර සමහන් කල නො හැකි ආකාරයට භේද වූවක් ලෙස ඉදිරිපත් කරන්නා වූත්, ඇමරිකානු ඉතිහාසය අගතියෙන් යුක්ත ව සංශෝධනය කිරීමකි. (1)

මෙම පොත් පිංචේ ඇතුලත් අමතර ලිපිවලින් පලමුවැන්න ලිවීමට තුඩු දුන් සිද්ධිය වූයේ 2022 සැප්තැම්බරයේ දී දෙවැනි එලිසබෙත් රැජිනගේ මරනයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජ්‍ය තන්ත්‍රය පැවැත් වූ උත්කර්ෂවත් සංදර්ශනයට නිව් යෝක් ටයිම්ස් පුවත්පත යටිගිරියෙන් කෑගසමින් ආවැඩීම යි. මංමුලා සහගත ලෙස අනන්‍යතා දේශපාලනයට හැරීමේ ගමන් මාර්ගය තුල, ඇමරිකාවේ දේශපාලන සංස්ථාපිතයේ එක් කොටසක් තමන් ව පටලවා ගෙන ඇති පරස්පර විරෝධයන් රාශියක් මෙම ලිපිය මගින් ගවේෂනය කෙරේ.

වාර්ගික දේශපාලනය ගැන මෙම පොත් පිංච වමෙන් කරන විවේචනය, රිපබ්ලිකන් පක්ෂය මගින් පාලනය කෙරෙන රාජ්‍ය ව්‍යවස්ථාදායක මන්ඩල විසින් විචාරාත්මක වර්ග න්‍යායයට දකුනෙන් එල්ල කරන්නා වූ ප්‍රහාරවලට කිසිසේත් සමාන නොවන බව මෙහි දී අවධාරනය කල යුතුයි.

දේශප්‍රේමී අධිශික්ෂනයේ ධජ ලෙලවන මධ්‍යස්ථාන බවට රජයේ පාසල් සහ විශ්ව විද්‍යාල, පත් කිරීමේ අරමුනින් ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍ය ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇති 'වෝක් නවත්වනු පනත' (WOKE: Wrong to Our Kids and Employees) මෙම දක්ෂිනාංශික ප්‍රහාර සඳහා එක් උදාහරනයකි. භාවිතයේ දී මෙම නීතිවල අර්ථය වන්නේ, විචාරාත්මක වර්ග න්‍යායය පමනක් නො ව, රිපබ්ලිකන් අධිකාරීන්ගේ ජාතිකවාදී මිථ්‍යාධර්මයට අනුකූල නො වන ඕනෑ ම ලෝක ඓතිහාසික කරුනක් පවා ගුරුවරුන් හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් උගන්වනු ලැබීම ඔවුන්ට නඩු පැවරීමේ නිමිත්තක් වන බව යි.

දේශනය මගින් පැහැදිලි කෙරෙන අයුරු, ඩිමොක්‍රටික් පක්ෂයට බැඳී ගත්තා වූ වාර්ගික නිකායවාදී උද්ඝෝෂකයින් ද ඔවුන්ගේ රිපබ්ලිකන් එදිරිවාදීන් ද නියෝජනය කරන්නේ තමාට ම විශේෂ වන සංශෝධනවාදී මිථ්‍යාමතිකයන්ගෙන් සැදුනාවූත්, එකක් අනෙක විසින් ජනනය කරන මහජන විරෝධය ගසා කමින් තරවන්නා වූත් ප්‍රතිගාමී කඳවුරු දෙකකි.

රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ “පලමුව ඇමරිකාව” නමැති මිථ්‍යාමතය මගින්, ඇමරිකානු ඉතිහාසය ඉදිරිපත් කරන්නේ, ක්‍රිස්තියානි මූලධර්මවාදී දේවධර්මවාදය, නිර්බාධී “නිදහස් වෙලඳපල ධනවාදය” දහ මහාතේජසින් යුත් ඇමරිකානු මිලිටරිය යන අංග තුනෙහි ම අධිපතිභාවය සඳහා කෙරුනු අරගලයක් ලෙසට ය. විචාරාත්මක වර්ග න්‍යායය, මෙම මිථ්‍යාමතයට එරෙහි ව පිහිටු වන්නේ, (1619 ව්‍යාපෘතියේ නිර්මාතෘ වන නිකෝල් හැනා-ජෝන්ස්ගේ වචනවලට අනුව) එක් වර්ගයක් හැම විට ම “තනිවම ආපසු හැරී සටන් කෙරුවා වූත් ” සමහන් කල නොහැකි අන්දමට එකිනෙකාට හතුරු වූත් වර්ග දෙකක් මත ගොඩ නගා ඇති මිථ්‍යාමතයකි.

ඇමරිකානු විප්ලවය සහ සිවිල් යුද්ධය තුල ප්‍රගතිශීලී වූයේ කුමක් ද යන්න මෙම කඳවුරු දෙකින් එකකට වත් පැහැදිලි ව ප්‍රකාශ කිරීමට නො හැකි ය. කඳවුරු දෙකින් එකකට වත් අතීතය සම්බන්ධයෙන් අවංක වීමට නො හැකි ය. එමෙන් ම කඳවුරු දෙකින් එකකට වත් වර්තමානය සමග අවංක ව කටයුතු කල නො හැකි ය. ඇමරිකානු සහ ලෝක ඉතිහාසය මෙන් ම වර්තමාන අර්බුදයේ ගතිකය ද වටහා ගැනීම සඳහා තීරනාත්මක වන්නා වූ වෛෂයික ආර්ථික සහ සමාජීය සාධකයන් කඳවුරු දෙක විසින් ම ප්‍රතික්ෂේප කරමින් සඟවනු ලබයි.

දේශනය විචාරාත්මක වර්ග න්‍යායය එහි ඓතිහාසික සන්දර්භයෙහි ලා පිහිටුවයි. එම න්‍යායය ඉස්මතු වී මුල් බැස ගත්තේ, සෝවියට් සංගමය දියකර හැරීම සිදු වූ සහ ඉන් පසු ව පැමිනි ප්‍රතිගාමිත්වයේ කාලපරිච්ඡේදය තුල ය. මෙය ඇමරිකානු ශාස්ත්‍රාලිකය තුල ධනේශ්වර විජයග්‍රහනවාදයේ, කලකිරීමේ සහ මංමුලාවේ කාලපරිච්ඡේදයක් වූයේ ය. එමෙන් ම, ආත්මීය අහේතුවාදය සහ පෞද්ගලිකව “අනන්‍යතාවය” සොයා යෑම වෙනුවෙන්, කම්කරු පන්තිය සහ දැඩි විද්‍යාත්මක චින්තනය ප්‍රතික්ෂේප කිරීමේ මාක්ස්වාදී-විරෝධී පශ්චාත් නූතනවාදයේ සමෘද්ධිමත් සමයක් විය. විචාරාත්මක වර්ග න්‍යායය මෙම තේමාවන් රැසකගෙන් එක් ප්‍රභේදයක් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල වර්ධනය කර ඇති අයුරු, විචාරාත්මක වර්ග න්‍යායය සමග සම්බන්ධ වී ඇති දේශපාලනය “ව්‍යාජ වම” යන නම් කිරීමේ වාර්ගීකරනය යටතට වැටෙයි. “ව්‍යාජ වාම” දේශපාලනය යනු, “වාම” මවාපෑම් කරන නමුත් මාක්ස්වාදී-විරෝධී වූත් සමාජවාදී-විරෝධී වූත් අධිරාජ්‍යවාදයට පක්ෂ වූත්, ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල අවශ්‍යතා මත මුල් බැස ගත්තා වූත් දේශපාලනයකි. එවැනි දේශපාලනයන් පදනම් වන්නේ, කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා මත නොව, ධනපති ක්‍රමයේ රාමුව තුල වරප්‍රසාදවලට අත පෙවීම සඳහා ලීවරයන් ලෙස සේවය කෙරෙන්නා වූ නොයෙක් ආකාරයේ “අනන්‍යතාවන්” මත ය.(2)

දේශනයෙන් පැහැදිලි කෙරෙන අයුරු, විචාරාත්මක වර්ග න්‍යායය ජාතිකවාදය, ධනවාදය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දෘෂ්ටිවාදාත්මක අවශ්‍යතා සමග ගැලපෙන්නක් වෙයි.

විචාරාත්මක වර්ග න්‍යායය සහ ඊට සම්බන්ධිත දේශපාලන සන්නාම පිලිබඳ මෙම තක්සේරුව සමහර විට වඩාත් ම පැහැදිලි ව සනාථ වූ අවස්ථාව වන්නේ 1619 ව්‍යාපෘතිය නිව්‍යෝක් ටයිම්ස් පුවත්පතෙහි පල කිරීමෙන් පසු ව යුක්‍රේනියානු ජාතිකවාදයේ අන්ත දක්ෂිනාංශික වර්ගවාදී දෘෂ්ටිවාදය සමග ඉතාමත් ලෙහෙසියෙන් පෙල ගැසී ගැනීමට එම පුවත්පතට හැකි වීමයි. මෙම මාතෘකාව මෙම පොත්පිංචේ ඇති අමතර ලිපියෙහි සාකච්ඡා කෙරේ.

දේශනය, වර්ගය සම්බන්ධයෙන් හරයෙන් ම ප්‍රතිගාමී වන්නා වූ දේශපාලනයට එරෙහි ව මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය සහ සම්ප්‍රදායයන් පිහිටුවයි. “සමාජවාදය හැමවිට ම සමානතාවය වෙනුවෙන් පෙනී සිට ඇති අතර සමානතාවය සඳහා විද්‍යාත්මක සමාජවාදීන් ලෝ පුරා කර ඇති අරගලය, විචාරාත්මක වර්ග න්‍යායය’ යන යෙදුම මුල් වරට කිසිවකුගේ හෝ කටින් පිටවීමට ශතවර්ෂ එකහමාරකට පෙර කාලය දක්වා දිවයයි” යනුවෙන් දේශනය ප්‍රකාශ කරයි.

මෙම පොත් පිංච තුල පල කෙරෙන්නේ කොරෝනා වසංගතය, පාරිසරික ව්‍යසනය සහ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික අක්‍රිය වීම මගින් මනුෂ්‍යත්වය විනාශයට පත් කෙරෙන තත්ත්වයක් මැද යුක්‍රේනය අරබයා නැටෝව සහ රුසියාව අතර ගැටුම ක්‍රමයෙන් උග්‍ර වෙද්දී ය. එහෙත් මාක්ස්වාදීන් සම්බන්ධයෙන් ගත් කල, යුද්ධ, දේශ සීමා, අගතීන් සහ සූරාකෑම අවසානයකට ගෙන ඒමට ක්‍රියාකල හැකි ප්‍රගතිශීලී සහ සමානාත්මක ගෝලීය සංස්කෘතියක් තුල මනුෂ්‍ය වර්ගයා එක්සත් කිරීමට හැකි කරවන වෛෂයික කොන්දේසි ඉතිහාසයේ වෙන කවදාවත් නො තිබූ අන්දමින් අද වාසිදායක ව පවතී.

මහපට ඇඟිල්ල එක් වරක් තට්ටු කිරීමෙන් දැන් ඕනෑ ම ලේඛනයක් වෙන ඕනෑ ම භාෂාවකට දල වශයෙන් පරිවර්තනය කර ගත හැකි ය. සංඛ්‍යාලේඛනවලට අනුව බිලියන අටක් වූ ලෝක ජනගහනයෙන් සියයට 85ක් සතුව ස්මාට් දුරකථනයක් පවතී. සංගීතයේ සිට නර්තනය දක්වාත් දේශපාලනය සහ ඉතිහාසය දක්වාත් (මේ සමස්තයට මෙම වසරේ දී තම අඛන්ඩ ප්‍රකාශනයේ 25 වැනි වසර අනුස්මරනය කල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද ඇතුලත් වෙයි.) සමුච්ඡිත වූ මානව ඥානය, අත්දැකීම සහ සංස්කෘතියේ පූර්න විශ්වය වෙත දැන් වඩ වඩා පහසුවෙන් ලඟා විය හැකි වෙයි.

දේශනය මෙසේ විස්තර කරයි. “ලෝ වටා සමාජවාදීහූ, සාමය, ප්‍රගතිය සහ සමානතාව ජය ගැනීමේ පොදු අරගලයක් සඳහා එකිනෙකට වෙනස් වූ, ජාතිකත්වයන්, සමාජ ලිංගිකත්වයන්, ආගම් සහ වයස්වලට අයත් වූත් සිරිත් විරිත් පිලිපදින්නා වූත් භාෂාවන් කථා කරන්නා වූත් අයගෙන් සැදුනු කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා සංකීර්න වූත් අභියෝගාත්මක වූත් අරගලයක යෙදී සිටිති.”

දේශනය තවදුරටත් මෙසේ පවසයි. “ අගතිය සහ අසාධාරනය අප ඉදිරියේ මතුවන සෑම අවස්ථාවක දී ම ඒවාට එරෙහිව සටන් කිරීම සහ හෙලිදරව් කිරීම නිසැකව ම මෙහි කොටසක් වෙයි. එහෙත් අප වටහා ගන්නේ, අගතිය නො නැසී පවතින්නේ එය මානව විඥානය තුල සදාකාලික ව පවතින දෙයක් නිසා නොව ධනවාදය නො නැසී පවතිමින් එය පෝෂනය කරන නිසා බවයි. පන්ති එක්සත්කම යටින් බිඳ දැමීම සඳහා අගතිය වගා දිගා කරන්නේත් ගසා කන්නේත් කෙසේද යන්න සහ මේ අගතීන් ජයගැනීම හුදෙක් ආචාරධර්මීය වශයෙන් නිවැරදි වනවා පමනක් නො ව ඓතිහාසික වශයෙන් අවශ්‍ය වන බව ද අපි කම්කරුවන්ට සහ තරුන ජනයාට පැහැදිලි කර දෙමු.”

විචාරාත්මක වර්ග න්‍යායය සමග පෙල ගැසුනු වෘත්තීය අධිකාරිවාදීන්ගේ පුද්ගලික චේතනාවන් සහ අරමුනු කුමක් වූවත්, ඔවුන් විසින් ඉටු කරනු ලබන භූමිකාව වන්නේ, එම ඓතිහාසික ව අවශ්‍ය වන්නා වූ එක්සත් කිරීමේ ක්‍රියාදාමයට බාධා කරමින් එය නිෂ්පල කිරීමයි.

මෙම පොත් පිංච මෙම ප්‍රශ්න ගැන මාක්ස්වාදීන්ගෙන් නිකුත් වෙන අවසාන වචනය නොවේ. මෙහි දී අපගේ අපේක්ෂාව වන්නේ, ඉදිරිපත් කර ඇති දේශනය සහ ලිපි එක් අතකින් වෛෂයික සත්‍යය, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ අත්දැකීම්, මෙන් ම සමස්ත ගෝලීය කම්කරු පංතියේ ම අවශ්‍යතා සහ ප්‍රගතිශීලී ඓතිහාසික ධාරිතාව මත පදනම් වූ මාක්ස්වාදයත්, අනෙක් අතින් වර්ගය මත පදනම් වීමට උත්සාහ කරන සියලු දේශපාලන ඉදිරි දර්ශනයන්ගේ අපේක්ෂා විරහිත ගමනාන්ත සිරවීමත් අතර පවතින වෙනස පැහැදිලි කිරීමේ කාර්යයට උදව් කෙරේ ය යන්නයි.

සටහන්

(1) ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2019 දී දියත් කරනු ලැබූ 1619 ව්‍යාපෘතිය පලල් වූ අවධානයකට ලක් වූ කඩිනම් සහ පෘථුල නිෂ්ප්‍රභා කිරීමකට ලක් කලේ ය. මෙම විවේචනාත්මක ලිපි සහ ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රමුඛ ඉතිහාසඥයින් සමග කෙරුනු සම්මුඛ සාකච්ඡාවන් ඩේවිඩ් නෝර්ත් සහ තෝමස් මැකමන් විසින් සංස්කරනය කැරුනු The New York Times’ 1619 Project and the Racialist Falsification of Historyකෘතියෙහි පල කර ඇත.

(2) මෙම මාතෘකාවන් පිලිබඳ ව ඩේවිඩ් නෝර්ත් රචනා කල ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයල පශ්චාත් නූතනවාදය සහ ව්‍යාජ-වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් යන රචනා සංග්‍රහය අවශ්‍යයෙන් ම කියවිය යුත්තකි.

Loading