ධනපති සංස්ථාපිතය, පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති සිරිසේන කල ප්‍රකාශය මහජන කෝපය අපසරනය සඳහා යොදා ගනී

ජීවිත 300 කට ආසන්න සංඛ්‍යාවක් බිලි ගනිමින් සහ 500 කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු කරමින්, 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන තුනක් සහ සංචාරක හෝටල් තුනක් ඇතුලු ස්ථාන කිපයකට එල්ල කල ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය 'සැබැවින්ම සිදුකලේ කවුරුන් ද යන්න තමා දන්නා' බවත්, 'අධිකරනය විධානය කලහොත් එය හෙලි කිරීමට තමා සූදානම්' බවත්, මාර්තු 22 දා මහනුවර දී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

කටුවාපිටිය පල්ලියේ සිරුරු සොයන ජනයා

පසුව පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට සිරිසේන කැඳවා ඒ පිලිබඳව ප්‍රශ්න කිරීමේ දී, ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටි බවක් ඔහු ප්‍රකාශ කලේයැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුනි. මාධ්‍ය වාර්තාවට අනුව, ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, ප්‍රහාරය පිලිබඳව පමනක් නොව, එහි අරමුන ද අනාවරනය කල බව සිරිසේන එහි දී පවසා ඇත.

සිරිසේනගේ ඊනියා අනාවරනය තුල සත්‍යයේ අංශු මාත්‍රයක් හෝ පවතීද? නැතහොත් එම 'අනාවරනයේ' අරමුන කුමක්ද? යන්න කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති දේශපාලන සංස්ථාපිතයට එරෙහිව වැඩී ඇති දැවැන්ත මහජන කෝපය අපසරනය කිරීමට සහ ප්‍රහාරය සම්බන්ධයෙන් තමාසතු වගකීමෙන් අතසෝදා ගැනීමට පාලක පංතියේ සියලු කොටස් එය උපරිම ආකාරයෙන් යොදා ගනිමින් සිටිති.

සිරිසේන ඉහත ප්‍රකාශය නිකුත් කිරීමත් සමග, පොලිස් අපරාධ විමර්ශන අංශයට ඔහු වහා කැඳවා ප්‍රශ්න කලයුතු බවටත්, අධිකරනය හමුවට ගෙන යායුතු බවටත්, ආන්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑමොර දුන්හ. ධනපති මාධ්‍ය අටුවාකරුවන් අතරින් සමහරෙකු එය සිරිසේනගේ දේශපාලනික අමනෝඥභාවයේ ප්‍රකාශනයක් ලෙස අර්ථ ගන්වද්දී, තවත් සමහරෙක් ප්‍රහාරය පිලිබඳව ඔහු කලින් කල ප්‍රකාශයන් සහ මෑත ප්‍රකාශය අතර පරස්පර විරෝධයන් සොයති.

කෙසේ නමුත්, මෙම කවර කොටසක් හෝ මතු නොකරන සහ පිලිතුරු නොදෙන කේන්ද්‍රීය ප්‍රශ්නයක් පවතී: බෝම්බ පිපිරවීම් සිදුකල හැකි අපරාධකරුවන් නම් කරමින් අනතුරු ඇඟවීමක් ලැබීමෙන් පසුව පවා, දශක ගනනාවක සිවිල් යුද්ධයේදී ගොඩනගා ගන්නා ලද ඔත්තුසේවා සහිත පොලීසිය හා මිලිටරිය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

පාස්කු ප්‍රහාරය එල්ල කෙරුනේ, නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) නමැති ඉස්ලාමීය කන්ඩායමක් විසින් “ප්‍රමුඛ දේවස්ථාන ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමට” සැලසුම් පවතින බවට අනතුරු අඟවමින්, විදෙස් ඔත්තු සේවයක් ප්‍රහාරයට දින දහයකට පෙර ශ්‍රී ලංකාවේ පොලීසිය දැනුවත් කර තිබියදී ය.

එපමනක් නොව, ප්‍රහාරය පිලිබඳව, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු ඔහුගේ කැබිනට් මන්ඩලයේ සියලු සාමාජිකයන්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශවල ප්‍රධානීන්, පොලීසිය විසින් ලිඛිතව දැනුවත්කොට තිබුනි. ධනපති සංස්ථාපිතයේ මේ සියලු කොටස් එම දැවැන්ත අපරාධය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් මුලුමනින්ම වගකිව යුතුය.

ප්‍රහාරයෙන් දින දෙකකට පසු, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පලකල ලිපියකින් ඉහත ප්‍රශ්නය ඇතුලු ප්‍රහාරය පිලිබඳ ඉතා වැදගත් සහ තීරනාත්මක ප්‍රශ්න මාලාවක් මතු කර තිබුනි:

'ඉහතදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් විරූප කිරීම සම්බන්ධයෙන් පමනක් හඳුනාගෙන සිටි, කුඩා හා අප්‍රකට ඉස්ලාමීය කන්ඩායමක් විසින්, මාස ගනනක සූදානමක් අවශ්‍ය වෙන හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධ වන සංකීර්න, සම්බන්ධීකෘත ප්‍රහාරයකට අවශ්‍ය සම්පත් හා නිපුනතාවන් අත්පත්කර ගැනුනේ කෙසේ ද?'

'මිලිටරි-පොලිස් යාන්ත්‍රනයේ කන්ඩායමක් ආසන්න ප්‍රහාරයට අන්ධව සිටියේ ද, නැතහොත් එහි දේශපාලන ඉලක්ක ඉදිරියට දමාගැනීම සඳහා බෝම්බකරුවන් මෙහෙයවීම පවා කලේ ද?'

තව දින හතරකින් ප්‍රහාරයට පස්වසරක් සපිරෙන නමුදු ඉහත ප්‍රශ්න වලට කවර හෝ පිලිතුරක් ලැබී නැත. ප්‍රහාරය සම්බන්ධයෙන් අනුප්‍රාප්තික ආන්ඩු මගින් අටවන ලද ඊනියා කොමිෂන් සභා, අධිකරනමය ක්‍රියාදාමයන් සහ පොලිස් විමර්ශන වනාහි, මිනිස් ජීවිත සම්බන්ධයෙන් ධනපති පාලකයන්ගේ නරුම නොතැකීමට එරෙහිව පැනනැගි මහජන විරෝධය සමහන් කිරීමේ හුදු ඇස්බැන්දුම් පමනි.

එම තීරනාත්මක ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම මගහැර සිටින පාලක පන්තියේ සියලු කොටස්, තමන්ගේ කටුක ප්‍රතිමල්ලතා නො තකා එක් මූලික කරුනක් සම්බන්ධයෙන්, එනම් කම්කරු පන්තියේ වැඩෙන අරගල කෙරෙහි පවත්නා ඉමහත් බිය හා සතුරුකම සම්බන්ධයෙන් එකාවන් ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත වික්‍රමසිංහ-පොදුජන පෙරමුනු ආන්ඩුව අදදින එල්ල කරන රුදුරු ප්‍රහාර හමුවේ වැඩී ඇති දැවැන්ත මහජන විරෝධය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පලවා හරින ලද 2022 මහජන නැගිටීම පරයා යන සමාජ පිපිරීමක් දෙසට වර්ධනය වෙතැයි පාලක පංතියේ සියලු කොටස් එකසේ භීතියට පත්ව සිටිති. සිරිසේනගේ ප්‍රකාශය වහා ඩැහැ ගනිමින් එම විරෝධය අපසරනය කිරීමට ඔවුන් පෙලගැසී සිටින්නේ එබැවිනි.

2019 අප්‍රේල් 21 දා ප්‍රහාරය සිදුවූයේ කොලඹ පාලක පංතිය ගැඹුරුම දේශපාලන අර්බුදයක ගිලි සිටියදී ය. ඉන් මාස කීපයකට පෙරාතුව, 2018 දී, ජනාධිපති සිරිසේන, තම විධායක බලතල භාවිතා කරමින්, අගමැති වික්‍රමසිංහගේ ආන්ඩුව බලයෙන් පහකොට, මහින්ද රාජපක්ෂගේ අගමැතිත්වයෙන් යුත් ආන්ඩුවක් බලයට ගෙන ආවේය. ජාමූඅ හි විධානයන් මත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරමින් සිටි ප්‍රහාරයන්ට එරෙහිව වැඩුනු මහජන වෛරය අපසරනය කිරීමට, සිරිසේන ගනුලැබූ එම මංමුලාසහගත පියවර හේතුවෙන් අර්බුදය වඩාත් ගැඹුරු විය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ දිගු කාලීන බැලයා වන වික්‍රමසිංහ බලයෙන් පහ කෙරුනු එම තන්ත්‍ර මාරුවට එරෙහිව වොෂින්ටනය සහ නවදිල්ලියෙන් යෙදුනු පීඩනය මධ්‍යයේ සිරිසේනගේ පියවර නීති-විරෝධී බව අධිකරනය තීන්දු කලේය. යලි වික්‍රමසිංහගේ අගමැතිත්වයෙන් ආන්ඩුවක් පිහිටුවීමට සිරිසේනට සිදුවිය.

ආන්ඩුවේ අභ්‍යන්තර අර්බුදය වඩාත් උග්‍ර වෙමින් පැවති පසුබිම තුල, ප්‍රහාරය ගැන තමා කිසිවක් දැන නොසිටිබව පවසමින් ජනාධිපති සිරිසේන වගකීමෙන් අතසෝදා ගැනීමට තැත් කරද්දී, 'ජාතික ආරක්ෂාව' පිලිබඳ ප්‍රධාන කමිටු වලින් තමා ඉවත්කර තිබූ බැවින් , සිරිසේන එහි සම්පූර්න වගකීම භාරගතයුතු බවට වික්‍රමසිංහ චෝදනා කලේය.

මේ බරපතල විරසකයන් පැවතියදී ම, අරගලයට පිවිසෙමින් සිටි කම්කරු පංතිය මැඩීම සඳහා ත්‍රස්ත ප්‍රහාරය යොදා ගැනීමට ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ එක්ව තීන්දු කලහ. පොලීසියට හා මිලිටරියට අත්අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ දරුනු බලතල ලබාදෙන ජාතික හදිසි තත්ත්වයක් ජනාධිපති සිරිසේන ප්‍රකාශයට පත් කලේය. සමාජ මාධ්‍ය වාරනයක් පැනවූ අතර ඇඳිරි නීතිය බලාත්මක කෙරුනි.

ඉහත මර්දන නීති බලාත්මක කිරීමට සමගාමීව, වැඩෙමින් පැවති පංති අරගල රැල්ල වාර්ගික රේඛා ඔස්සේ අපසරනය කරනුවස්, කොලඹ ධනපති දේශපාලන සංස්ථාපිතය තම මාධ්‍යයන් ද යොදා ගනිමින් රුදුරු මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් දියත් කලේය. මෙය ක්ෂනිකව මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචන්ඩ ප්‍රහාරයකට වර්ධනය කෙරුනු අතර, මහින්ද රාජපක්ෂ පාලන සමයේ හදාවඩා පෝෂනය කෙරුනු සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී මැර නඩ මුස්ලිම් ජනයාට එරෙහිව මුදා හැරුනි.

මුස්ලිම් ජනයාගේ ආගමික හා ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ඇතුලු දහස් ගනනක් දේපොල විනාශ කිරීමට සහ කොල්ලකෑමට එම මැර නඩ ක්‍රියාත්මක වූහ. කුරිරු කායික ප්‍රහාරයන් ඇතුලු අනේකවිධ අඩන්තේට්ටම් වලට එම ජනයා ගොදුරු කෙරුනු අතර, එක් මුස්ලිම් වාර්ගිකයෙකු කපාකොටා මරා දැමුනි. තවත් දුසිම් ගනනකට බරපතල තුවාල සිදු කෙරුනි.

මෙම වර්ගවාදී උද්ඝෝෂනයේම කොටසක් ලෙස මුස්ලිම් වාර්ගිකයන් ගනනාවක් ම පදනම් විරහිතව සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධීව අත්අඩංගුවට ගෙන දිගු කාලීනව රඳවා තැබුනි. කවියෙකු වන අහ්නාෆ් ජසීම් සහ මූලික අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකට නීතීඥයෙකු වන ඉජාස් හිස්බුල්ලා, බස්නාහිර පලාතේ හිටපු ආන්ඩුකාර ඉසාත් සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් මේ අතරින් කීප දෙනෙකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රී නඩය, එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මැති-ඇමති ධූර දැරූ අතර, එහි සියලු ප්‍රජාතන්ත්‍ර-විරෝධී මර්දන පියවර වලට පූර්න සහයෝගය ලබා දුන්හ. එම ආන්ඩුවේ අනෙක් ප්‍රධාන කොටස්කරු වූ සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, එකී මර්දන පියවර වලට ඒ හා සමානව දායක විය.

ජනතා විමුක්ති පෙරමුන මෙම මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේ ප්‍රමුඛ කසකරුවෙකු විය. 2019 මැයි 26 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ, ඉස්ලාම් අන්තවාදීන් “ආරක්ෂා වන්නේ” හා “මතවාදය ප්‍රචාරය කරන්නේ” මුස්ලිම් සමාජය තුල බැවින් ඔවුන් පරාජය කිරීමට මුස්ලිම් සමාජයට “විශේෂ වගකීමක්” පවතින බවයි. මෙලෙස ප්‍රහාරයේ වගකීම සමස්ත මුස්ලිම් ජනයාට පවරමින් ජවිපෙ, එම මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයට සහ රාජ්‍ය මර්දනයට ඝෘජුව දායක විය.

මෙලෙස, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ 'රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ' නාමයෙන් රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට සහ කම්කරු පංතිය වාර්ගිකව බෙදා එහි ශක්තිය සිඳලීමට එකාවන්ව පෙල ගැසුනි.

ප්‍රහාරයෙන් යන්තම් දින හයකට පසු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ආරක්ෂක ලේකම්ව සිටි සහ හිටපු හමුදා මේජර්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ, 2019 ජනාධිපතිවරනයේ අපේක්ෂකයෙකු ලෙස නම් කෙරුනි. රුදුරු වර්ගවාදී යුද්ධයේ අවසාන භාගයේ දී - එක්සත් ජාතීන්ගේ ගනන් බැලීම් වලට අනුව - ශ්‍රී ලංකාවේ හමුදා විසින් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කිරීම ඇතුලු යුද අපරාධ මාලාවක් සම්බන්ධයෙන් මූලික වශයෙන් වගකිවයුතු ඔහු කුප්‍රකට සිංහල ස්වෝත්තමවාදියෙකි.

රාජපක්ෂ තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කලේ 'අනතුරේ වැටී ඇති රටේ ජාතික ආරක්ෂාව යලි තහවුරු කරන' බවට සපථ වෙමිනි. සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයට එරෙහිව වැඩී පැවති දැවැන්ත මහජන වෛරය සහ 'ජාතික ආරක්ෂාව' ගසා කෑ රාජපක්ෂ ජනාධිපතිවරනයෙන් ජයගෙන බලයට පැමිනියේ ය.

මෙම කරුනු සැලකිල්ලට ගත්කල, තම ප්‍රධාන ප්‍රතිමල්ලවයා වන චීනයට 'නැඹුරු ' රාජපක්ෂ තන්ත්‍රයකට බලයට පැමිනීමට ඉඩ සැලසූ එම ප්‍රහාරය පිටුපස ඉන්දියාව, සිටි බවට කෙරෙන ප්‍රකාශ වලට තර්කානුකූල පදනමක් නොමතිබව පැහැදිලිය. අනෙක් අතට, ප්‍රහාරය පිලිබඳව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට කල්තබා දැනුම් දී ඇත්තේ ද ඉන්දියාවම යි.

එපමනක් නොව, 2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ආවේ ද ඉන්දියාවේ මැදිහත් වීමෙනි. කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ තන්ත්‍රය චීනය දෙසට නැඹුරුවීම නොඉවසූ එක්සත් ජනපදය සහ ඉන්දියාව, රාජපක්ෂ බලයෙන් පහකොට ඔවුනට හිතැති තන්ත්‍රයක් බලයට ගෙන ඒමට කොලඹ පාලක පංති කොටස් සමග කුමන්ත්‍රනය කලහ. සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට පැමිනියේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ දිගින් දිගටම පෙන්වා දුන් පරිදි, මෙම ඊනියා අනාවරනයන් මගින් හෝ ධනපති පාලනය යටතේ කෙරෙන කවර හෝ 'පරීක්ෂනයකින්' උක්ත ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා සහ එහි අරමුනු කිසිසේත් අනාවරනය නොකෙරෙනු ඇත. එය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන පරීක්ෂනයකින් පමනි.

Loading