ඉදිරිදර්ශන

ඩේවිඩ් නෝර්ත්ගෙන් ආයාචනයක්: යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරය ගොඩනඟමු! ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහාය දෙන්න!

[මෙය An appeal from David North: Build the socialist movement against war and fascism! Support the WSWS! යන මැයෙන් 2024 මාර්තු 20 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ඩේවිඩ් නෝර්ත්ගෙන් ආයාචනයක්: යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරය ගොඩනඟමු! ලෝසවෙඅට සහාය දෙන්න!

ඇකඩමි සම්මානලාභී ඕපන්හයිමර් චිත්‍රපටයේ අවසාන දර්ශනයේදී, භෞතික විද්‍යාඥයා (ඕපන්හයිමර්), ඇල්බට් අයින්ස්ටයින් සමඟ කල සංවාදයක් සිහිපත් කරයි. ඔවුන්ගේ න්‍යායික කාර්යය “සමස්ත ලෝකයම විනාශ කල හැකි” දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීමට ඇති භව්‍යතාව එම සාකච්ඡාවේදී සලකා බැලේ. න්‍යෂ්ටික යුද්ධයේ වැඩෙන අවදානම ගැන තැතිගත් ඕපන්හයිමර්, අයින්ස්ටයින්ට මෙසේ කියයි: 'මම විශ්වාස කරනවා අපි එය කලා කියලා.'

ඉන් පසුව චිත්‍රපටය අවසන් වන්නේ, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලවල සහ ග්‍රහලෝකය ගිල ගන්නා න්‍යෂ්ටික පිපිරුම්වල දර්ශන සමඟිනි.

රොබට් ඕපන්හයිමර්ගේ බියකරු පෙරදැක්ම දැන් යථාර්ථයක් වීමට තර්ජනය කරයි. හිරෝෂිමා සහ නාගසාකි දවා හලුකර වසර අසූවකට ආසන්න කාලයකට පසුව, වොෂින්ටන් ඩී.සී. හි අධිරාජ්‍යවාදී දහනෝන්මාදීහු (ගිනි තැබීමේ උමතු ආශාවක් ඇති පුද්ගලයින්) සහ ඔවුන්ගේ යුරෝපීය සහචරයෝ, න්‍යෂ්ටික වහ්නිජාලාවක තර්ජනය මගින් තමන්ව නොවලක්වන බව ප්‍රකාශ කරමින් රුසියාව සමග ගැටුම ඉවබව නොමැතිව තීව්‍ර කරති.

බයිඩන් පරිපාලනය සහ එහි නැටෝ සහචරයින් යුක්‍රේනය තුල, න්‍යෂ්ටික අවි සමඟ රුසියානු [සූදුවක් වන] රූලට් ක්‍රීඩාව කරන අතරේ, වසර 75 ක සියොන්වාදී පීඩනයට එරෙහි පලස්තීන ප්‍රතිරෝධය පිලිබඳ “ප්‍රශ්නයට” ඊශ්‍රායලයේ ජන සංහාරක “අවසාන විසඳුම” සඳහා මුදල් හා ආයුධ වලින් සහාය දෙයි. ඊශ්‍රායල හමුදා විසින් ගාසා වැසියන් 30,000කට වැඩි පිරිසක් ඝාතනය කර ඇත. වින්දිතයින්ගෙන් අවම වශයෙන් තුනෙන් දෙකක් කාන්තාවන් සහ ලමුන් ය.

ගාසා තීරයේ ජන සංහාරය සහ න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා වන නැටෝවේ නිර්දය යුද උත්සන්නිය, ධනේශ්වර ක්‍රමය ම්ලේච්ඡත්වයට කිඳාබැසීමේ වඩාත්ම තුරිරු ප්‍රකාශනයන් පමනි. වර්තමාන ධනවාදය සහ එහි පාලක පන්තිය නිර්වචනය කල හැකි ගුනාංගයන් වන්නේ, අසීමිත කෑදරකම, ම්ලේච්ඡත්වය සහ මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම සහ පෘථිවියේ අනාගතය කෙරෙහි සාපරාධී නොතැකීමයි. සංගත ලාබ හා පුද්ගලික ධනය සමුච්චය කිරීමට එරෙහි කිසිවකට ඉඩ නොදෙනු ඇත.

ලාභ සීමාවන් කෙරෙහි බල පා හැකි බැවින්, කෝවිඩ් ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ප්‍රකට සහ ඵලදායී මහජන සෞඛ්‍ය පියවර ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කල ධනේශ්වර ආන්ඩු, ගෝලීය වශයෙන් මිලියන 28 කට අධික මිනිසුන්ගේ මරනය පිලිගෙන ඇත. ගොදුරුවූවන්ගෙන් මිලියනයකට වඩා එක්සත් ජනපද වාසීන් ය. බයිඩන් පරිපාලනය කෝවිඩ් ගැන අතීත කාලාර්ථයෙන් පමනක් කතා කරන්නේ, හරියට එය නොතකා හැරීමෙන් වසංගතය නැවැත්විය හැකිවාක් මෙනි. නමුත් වෛරසය අපව නොතකා හරින්නේ නැත. මිලියන ගනනක් මිනිසුන් දිගුකාලීන කෝවිඩ් රෝගයෙන් පීඩා විඳිති, සෑම සතියකම දහස් ගනනක් ආසාදනයෙන් මිය යති.

ම්ලේච්ඡත්වයට පල්ලම් බැසීම ප්‍රජාතන්ත්‍රවාදය සමග නොපෑහේ. සෑම ධනේශ්වර රටකම ෆැසිස්ට් ප්‍රවනතා හිස ඔසවමින් පවතී. අනාගත හිට්ලර්වරුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ හෝරාව ලඟා වන බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු, එක්සත් ජනපදය තුල මෙම ගෝලීය ක්‍රියාවලියේ විකෘතරූපී ප්‍රකාශනයයි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නම්, නොවැම්බරයේ නැවත තේරී පත්වීම අවශ්‍ය බව බයිඩන් කියා සිටී. නමුත් බයිඩන් හෙලෙත්තාඩුවෙන් සිටගෙන සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ ෆැසිස්ට්වාදය අතර නම්, ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ මරනාසන්නයේ ය. කෙසේ වෙතත්, බයිඩන් පරිපාලනයේ කේන්ද්‍රීය අරමුන, රුසියාව සමග යුද්ධය උත්සන්න කිරීම සහ චීනය සමග ගැටුම තීව්‍ර කිරීම සඳහා, සමාජය මිලිටරීකරනය කිරීම යි—එනම්, ම්ලේච්ඡ කප්පාදු සහ ආඥාදායක පාලනයන් පැනවීම යි.

ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම හැර අන් කිසිවකින්, සමාජ හා දේශපාලන ම්ලේච්ඡත්වය කරා ඇද වැටීම නැවැත්විය නොහැක.

මානව වර්ගයාගේ අනාගතය රඳා පවතින මෙම ඓතිහාසික ක්‍රියාවලිය තුල—හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ අන්තර්ජාල හඬ වන—ලෝක සමාජවාදී වෙබ් අඩවිය තීරනාත්මක භූමිකාවක් ඉටු කරයි.

ධනවාදයට එරෙහි අරගලයට අවතීර්න වන කම්කරු පන්තිය සැබෑ සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමට වෙර දරන එකම ප්‍රකාශනය ලෝසවෙඅ වේ.

ලෝසවෙඅ කම්කරු පන්තියට සත්‍යය පවසයි. ධනවාදය ප්‍රතිසංස්කරනය කල නොහැක. එයට, වඩාත් සාධාරන සහ මානුෂීය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට බලපෑම් කල නොහැක. ලාභ පද්ධතිය, කම්කරු පන්තිය සමග සම්මුතියක් ඇතිකර නොගනු ඇත. එබැවින් කම්කරු පන්තියට ද ධනවාදය සමග සම්මුතියකට යා නොහැක.

ඉදිරි මාස කිහිපය තුල ධනේශ්වර මාධ්‍යවල බොරු පිටාරගලනු ඇත; අවධානය වෙනතකට යොමු කිරීම් නිර්මානය කරනු ඇත; ප්‍රචාරයන් පතුරුවා හරිනු ඇත; අධිරාජ්‍යවාදී යුද්ධය සහ ජනඝාතක අපරාධ යුක්ති සහගත කිරීමට හැකි සෑම දෙයක්ම කරනු ඇත.

සංගත මගින් පාලනය වන අසීමිත සම්පත් සහිත මාධ්‍ය, බයිඩන් සහ ට්‍රම්ප්ට විකල්පයක් නොමැති බව ප්‍රකාශ කරනු ඇත; එය තුන්වන-පාර්ශ්වයේ අපේක්ෂකයින් පිලිබඳ වාර්තා අවම කරනු ඇත; සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂක ජෝසප් කිෂෝර්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරයට අදාල සියලු තොරතුරු යටපත් කිරීමට නිසැකවම උත්සාහ කරනු ඇත. පුවත්පත්වල වාර්තාවලට අනුව, ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටුව, තුන්වන-පාර්ශ්ව අපේක්ෂකයින්ට එරෙහිව 'පූර්න පරිමාන යුද්ධයක්' කිරීමට සැලසුම් කරයි.

ඔවුන් සැලසුම් කරන යුද්ධයේදී, තුන්වන-පාර්ශ්වයේ අපේක්ෂකයින්ට අත්‍යවශ්‍ය මුදල් එකතුකිරීම් නැවැත්වීම සඳහා වන ක්‍රමානුකූල සහ නිර්දය උත්සාහයන් ඇතුලත් වේ.

තුන්වන පාර්ශ්වවලට එරෙහි ප්‍රහාරයේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරන ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු සෙනෙට් සභිකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, සංස්ථාපිත ද්වි-පක්ෂ සංගත ආඥාදායකත්වයට පිටින් එන විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා බයිඩන්ගේ උද්ඝෝෂනයට “මුදල් නැවක් වැය කිරීමට යන” බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය—වසර ගනනාවක් තිස්සේ කෙරුනු පරිදි—දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීමට ආන්ඩුව සහ සංගත දරන උත්සාහයේ ඉලක්කයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. වාරනයට එරෙහිව සටන් කිරීම අපට හුරුපුරුදු ය.

එහෙත් බොහෝ දේ අවදානමට ලක්ව ඇති මෙම මැතිවරන වසරේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගේ සහයෝගය වෙන කවරදාටත් වඩා තීරනාත්මක ය. ලෝසවෙඅ හි අත්‍යවශ්‍යක සහ අන් සැමට වඩා ඉහල විශ්ලේෂන දිගටම පැවතිය යුතුය. අපේ ලේඛකයින්ට ලෝකයේ සහ සිය රට තුල සිදුවීම් ආවරනය කිරීමට සහ ලිවීමට හැකි විය යුතුය. ගාසා සමූලඝාතනය, යුක්‍රේනයේ උත්සන්න වන ලේ වැගිරීම සහ වසංගතයෙන් සිදුවෙමින් පවත්නා සමාජ විනාශය කෙරෙහි මහජන විරෝධය බලමුලු ගැන්වීමට ලෝසවෙඅ සමත් විය යුතුය.

ලෝසවෙඅ කම්කරු පන්තියේ අරගලවලට නායකත්වය සැපයීමට, වෘත්තීය සමිති නිලධරයන්ගේ ද්‍රෝහීත්වය හෙලිදරව් කිරීමට සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය වර්ධනය කිරීමට සහාය වීමට හැකි ස්ථානයක පිහිටා සිටිය යුතුය.

ධනේශ්වර පක්ෂ දෙක සහ සංගත මාධ්‍ය විසින් පනවා ඇති පීඩාකාරී සීමා කිරීම් නොතකා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමාජවාදී ඉදිරිදර්ශනයකින් 2024 උද්ඝෝෂනය පිලිබඳ විශ්ලේෂන සැපයිය යුතුය. එය ට්‍රම්ප්ගේ සහ බයිඩන්ගේ ප්‍රතිගාමී න්‍යායපත්‍ර හෙලිදරව් කල යුතු අතර, ධනේශ්වර මාධ්‍ය විසින් අවහිර කරන ජෝ කිෂෝර්ගේ සහ අනෙකුත් තුන්වන පාර්ශ්ව අපේක්ෂකයින්ගේ ව්‍යාපාරයට සුදුසු මාධ්‍යවේදීමය ආවරනයක් ලබා දීමට වග බලා ගත යුතුය.

අද ලෝක සමාජවාදී වෙබ් අඩවියට සැලකිය යුතු පරිත්‍යාගයක් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. අරගලයකින් සහ පරිත්‍යාගයකින් තොරව වැදගත් කිසිවක් සාක්ෂාත් කරගත නොහැක. ධනවාදයට තිත තැබීමටත්, ම්ලේච්ඡත්වයෙන් ලෝකය බේරා ගැනීමටත්, මානව වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමටත් වඩා වැදගත් වන්නේ කුමක් ද?

wsws.org/donate සබැඳිය වෙත ගොස් හැකි උපරිම දායකත්වය ලබා දෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

ඔබට ස්තූතියි.

Loading