වධහිංසා පැමිනවීම් වලට වරදකරු වූ දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ නව පොලිස්පති ලෙස පත් කිරීමේ ඇඟවුම කුමක්ද?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ වැඩබලන පොලිස්පතිවරයා ලෙස සේවය කල දේශබන්දු තෙන්නකෝන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙබරවාරි 26 වනදා ලංකාවේ 36වන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම බරපතල දේශපාලන ඇඟවීම් සහිත ය.

2023 පෙබරවාරි, කොලඹදී, ශ්‍රී ලංකා හමුදා සහ පොලිස් ප්‍රධානීන් සමඟ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ (දකුනේ සිට දෙවැන්නා). [AP Photo/Eranga Jayawardena]

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටියදී සැකකරුවෙකුට වධහිංසා පැමිනවීමේ චෝදනාවලට තෙන්නකෝන් වරදකරුවකු වන බව, වින්දිතයෙකු විසින් 2011 දී ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය 2023 දෙසැම්බර් මාසයේ සිය තීන්දුව දෙමින් ප්‍රකාශයට පත්කලේය.

හිටපු හමුදා සෙබලෙකු විසින් ඉදිරිපත් කල පෙත්සමකින් චෝදනා කෙරුනේ, මිරිහාන පොලිස් ස්ථානයේ ඔහු රඳවා සිටියදී තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් තමන් ශාරීරික වධහිංසාවන්ට ලක් කල බවයි. බලහත්කාරයෙන් මිරිස්කුඩු ආඝ්‍රහනය කර වූ බවට සහ තම බිරිඳ සහ කුඩා දරුවන් ඉදිරිපිට, තම නිවස තුලදී, පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දුන් බවට, ඔහු පොලිස් නිලධාරීන්ට චෝදනා කර තිබුනි.

තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මුලික අයිතිවාසිකම කඩකිරීම් සම්බන්ධයෙන් වරදකරුවන් වන බව තීරනය කල ශ්‍රේෂ්ඨාධිකරනය, තම පුද්ගලික මුදලින් රුපියල් මිලියන දෙකක වන්දියක් ඔවුන් විසින් වින්දිතයාට ගෙවිය යුතුයයි ද රජය විසින්, රුපියල් ලක්ෂයක මුලදක් ගෙවිය යුතුයයි ද නියෝග කලේය. ඊට අමතරව, වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අධිකරනය ජාතික පොලිස් කොමිසමට නියෝග කලේය. මෙම නියෝග ක්‍රියාත්මක වූයේදැයි තොරතුරු නැත.

ලංකා ඉතිහාසයේ, ඉහලම අධිකරනයෙන් වරදකරු වූ පොලිස් නිලධාරියෙකු පොලිස්පති ධුරයට පත් කෙරුනු පලමු අවස්ථාව මෙයයි. ඉහල අධිකරනයේ මෙම තීන්දුව සපුරා නොතකා හරිමින් තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපති හා ඔහුගේ ආන්ඩුව, ධනපති නීතිය පවා නොතකා ක්‍රියාකරමින්, අරගලයට එන කම්කරුවන්ට, දුගීන්ට සහ සිසුන් ඇතුලු තරුන ජනයාට එරෙහිව මර්දන යන්ත්‍රය මුවහත් කරන ආකාරයයි. මෙමගින්, තෙන්නකෝන්ට පමනක් නොව, සමස්තයක් ලෙස පොලිසියට දී ඇති පනිවිඩය නම් රිසිසේ සිය මර්දනකාරී ක්‍රියාවන් ගෙන යාමට ඔවුන්ට මුක්තිය ඇතිබවයි.

රැඳවියන්ට වධහිංසා පැමිනවීම ශ්‍රී ලංකාව තුල පුලුල්ව පැතිරී ඇත. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සංවිධානයක් වන, හියුමන් රයිට්ස් වොච්, 'සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ බොහෝ දෙනෙක් අත්අඩංගුවේ සිටියදී වධහිංසාවට ලක්වන බවත්, වරදකරුවන් කිරීම බොහෝ විට වධහිංසා යටතේ ලබාගත් පාපොච්චාරන මත රඳා පවතින බවත්' සඳහන් කලේය. නමුත් වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන්නේ අතලොස්සක් පමනක් වන අතර, ඊට පොලිසි යේ ඉහල නිලධාරීන් අයත් වන්නේ ඉතා කලාතුරකිනි. එම තතු තුල තෙන්නකෝන් සම්බන්ධ නඩුව සුවිශේෂී අර්ථභාරයක් ගනී.

තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ වලංගුභාවය ප්‍රශ්න කරමින් මේ වන විටත් මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ ගොනු කර ඇත. ඒවා පෙබරවාරි 28 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර වික්‍රමසිංහ ක්‍රියාකලේ එය පූර්වභංග කර දමමිනි.

මින් පෙන්නුම් කරන්නේ ලංකාවේ පාලක පන්තිය හා ජන මාධ්‍යවල ලියනප්පුලා හුවා දක්වන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ පල්ල ගොස් ඇති ආකාරයයි. මෙරට පන්ති ප්‍රතිවිරෝධතා කෙතරම් තියුනුවී ඇත්ද යත්, ධනපති පද්ධතියේ ආරක්ෂක කපාටයක් ලෙස ක්‍රියා කරන අධිකරනයේ සීමිත අධීක්ෂනයක් පවා විධායකයට දරාගත නොහැකි ය.

තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ඇතුලු රජයේ නීතීඥවරු අධිකරනය හමුවේ අවධාරනය කලේ, තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ජනාධිපතිවරයා විසින් තහවුරු කරනු ලැබ ඇති නිසා මෙම පෙත්සම් තවදුරටත් වලංගු නොවන බැවින් ඒවා ප්‍රතික්ෂේප කල යුතු බවය.

ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ විවිධ නඩු ගනනාවක් විභාග වෙමින් පවතින අතරතුර වැඩබලන පොලිස්පතිවරයාගේ පත්වීම ස්ථිර කිරීම නීති විරෝධී බව, පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු කියා සිටියහ. නඩුව යලි අප්‍රේල් 2 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

දෙසැම්බර් මාසයේ මැද, මාතර ප්‍රදේශයේ දී පැවති රැස්වීමකදී. මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, තෙන්නකෝන් ධනේශ්වර පාලනය ආරක්‍ෂා කිරීමට කටයුතු කල ආකාරය ප්‍රශංසාවට ලක්කලේ මෙසේය: “මම අමාත්‍යංශය බාර ගන්න කොට රටම ගිනිගොඩක් වෙලා තිබුනෙ. 'එක එක ගමවල්' පිහිටවලා තිබ්බ, එක එක නමින්. ඉස්සෙල්ලාම මගේ අභියෝගය වුනේ රටේ ඒ තත්වය වෙනස් කරන්න. ඉතිං වර්තමාන [වැඩ බලන] පොලිස්පතිතුමා, කොලඹ දිසාව බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති හැටියට, මම ඔහු සමඟ කතා කරල, කල යුතු දේ අපි තීරනය කරල, එතනින් තමයි ගෝඨ ගෝ ගම, ඒව ඔක්කො ම අයින් කරන්න තීරනය කෙරුවෙ.'

අලස් මෙහිදී සඳහන් කරන්නේ 2022 ජුලි 22 වැනි දින උදෑසන, ආන්ඩුවට එරෙහිව මතුවූ මහජන නැගිටීමේ කොටසක් ලෙස, කොලඹ ගාලුමුවදොර පිටිය හා ජනාධිපති ලේකම් කාර්යාලය වාඩිලාගෙන සිටි නිරායුධ ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් ඉවත්කිරීමට සිදු කල නිර්දය පොලිස්-මිලිටරි ප්‍රහාරය ගැනය.

දහසකට ආසන්න මුහුනු ආවරනය කරගත් හමුදා සහ පොලිස් භටයෝ, කූඩාරම් සහ තාවකාලික ඉදිකිරීම් කඩා බිඳ දමමින්, විරෝධතාකරුවන්ට පහර දුන්හ. තෙන්නකෝන් මෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. ගාලුමුවදොර පිටිය සුද්ධ කිරීමට එල්ල වූ මෙම ප්‍රහාරය, මාස තුනකට අධික කාලයක් පුරා උද්ඝෝෂන හා රැලිවලට සහභාගි වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන් ඇතුලු ජනතාව වෙත අනතුරු ඇඟවීමකි. එනම්, ආන්ඩු විරෝධී ක්‍රියාවන් රාජ්‍ය ත්‍රස්තය යොදා රුදුරු ලෙස මර්දනය කරන බවයි.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් පසු තෙන්නකෝන් අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම යන කඩතුරාව යටතේ 'යුක්තිය' නමින් පුලුල් මෙහෙයුමක් ආරම්භ කලේය. දේශපාලන ප්‍රභූ සාමාජිකයන්ගේ සහය ඇති බලගතු ව්‍යාපාරිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට වගකිව යුතු බව විටින්විට එලිමහනට පැමිනි කරුනකි. මෙම සමාජ ව්‍යසනය ධනේශ්වර ක්‍රමය කුනුවීමේ ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුමේ සැබෑ අරමුන කම්කරු පන්තිය සහ සමාජයේ දුප්පත් කොටස් භීතියට පත් කිරීමයි. දෙසැම්බර් මස මැද භාගයේ ආරම්භ වූ මෙම මෙහෙයුමට, ඩ්‍රෝන යානා වැනි උසස් තාක්‍ෂනයන් ඇතුලත් කර ගත් අතර, පොලිසිය, හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිස් යොදවන ලදි. මෙහෙයුමේ පලමු දින 50 තුල, 50,000 කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අතරින් වැඩි දෙනා දුප්පත් කොටස්‍ ය.

මෙහෙයුම ඇරඹීමත් සමගම මහජන ආරක්ෂක අලස් මෙසේ ප්‍රකාශ කලේය: “මම පාතාලයට පනිවිඩයක් දුන්නා, 'එක්කො පොලීසියෙන් මැරුම් කනව. එහෙම නැත්තං විරුද්ධවාදීන්ගෙන් මැරුම් කනව. ඒ නිසා බාරවෙන්න කියල.'

මෙම මෙහෙයුම, පාලක ප්‍රභූව ඉදිරියේ තෙන්නකෝන්ගේ සුදුසුකම ඔප්පු කල අතර, ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට හේතුවූ බව නිසැකය. සිය නව ධුරයට පත්වීමෙන් අනතුරුව තෙන්නකෝන් කියා සිටියේ මෙම මෙහෙයුම වඩාත් කාර්යක්ෂමව සහ අඛන්ඩව ඉදිරියට ගෙන යන බවයි.

දුප්පතුන්ට එරෙහි මෙම මර්දනය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසක් ලෙස ක්‍රියාත්මක වෙයි. භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස මැඩීමට එල්ලවූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත ජනවාරි මාසයේ දී ව්‍යවස්ථාදායකය හරහා සම්මත කෙරුනි. එහි, ආන්ඩුවට එරෙහි, විශේෂයෙන්ම කම්කරු පන්තියේ සහ සමාජවාදීන්ගේ ඕනෑම විරෝධතාවයක් නිශ්ශබ්ද කර දැමීමට පාවිච්චි කලහැකි නීති අඩංගු වී ඇත.

ආන්ඩුව ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත යටතේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන්, කම්කරුවන්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ආන්ඩුව සැලසුම් කරයි. ත්‍රස්තවාදය යන පුලුල් නිර්වචනය යටතේ, අධිකරනයේ නඩුවක් ගොනු නොකර ඕනෑම පුද්ගලයකු අත්තනෝමතික ලෙස වසරකට සිරගත කල හැකිය. මෙය දිගින් දිගටම දීර්ඝ කිරීමට අධිකරන නියෝගයක් භාවිත කල හැක. මෙම පනත ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත්වීමට නියමිතය.

ආන්ඩුව පසුගිය කාලය තුල ආර්ථිකය ගොඩගැනීම සඳහා නීති 42ක් සම්මත කලබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේය. ඒවා අතර, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත ද වේ. වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රමානුකූලව නැති කර දැමීමට සහ විදේශ ප්‍රාග්ධනයට බාධාවකින් තොරව සූරාකෑමට කොන්දේසි සකස් කිරීමේ අරමුන ඇතිව, ඉදිරි කාලය තුල තවත් නීති 62ක් හඳුන්වා දීමට රජය අදහස් කරයි.

ජනවාරි මාසයේ දසදහස් ගනන් සම්බන්ධවූ ලංකා විදුලි බලමන්ඩලයේ සේවකයන්ගේ විරෝධතාවෙන් පසු සේවකයන් 66කට එරෙහිව අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දඬුවම් පැනවීමට ආන්ඩුව සූදානම් වේ.

මෙම නීති හා මර්දන ක්‍රියා, වැඩකරන ජනතාවගේ ඕනෑම විරුද්ධත්වයක් මැඩීම සඳහා ජනාධිපති ආඥාදායකත්වයක් පිහිටුවීමේ වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ කොටසකි. එවන් රුදුරු පාලනයකින් තොරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද සියලු කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව, දැනටමත් එල්ලවී ඇති ප්‍රහාරවලට විරුද්ධව නැගී ඇති කම්කරුවන්ගේ විරෝධතාවන්ගෙන් තැතිගෙන සිටින පාලක පන්තිය දනී. ධනපති ගැති සියලු වෘත්තීය සමිතිවල නායකයන් කම්කරුවන්ගේ අරගල පැනනැගීමට ඇබ ගැසීමේ ද්‍රෝහී ක්‍රියාවල නිරත වුවත්, ඇවිලිය හැකි අරගල මැඩීමට එය පමනක් ප්‍රමානවත් නොවන බව ද පාලක පන්තිය දනී.

සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන හා එහි ජාතික ජන බලවේගය ඇතලු ධනේශ්වර පක්ෂ මර්දනකාරී ක්‍රියා හා නීති ගැන ව්‍යාජ විවේචන කරන්නේ මහජනයා අතර ආන්ඩුවට එරෙහිව පැතිර පවතින විරෝධය ගසාකෑම සඳහාය. සජබ හෝ ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට ආවත් නිර්දය ලෙස ක්‍රියාවට දමනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලයි. එමෙන්ම ඊට විරද්ධව නැගෙන අරගල මැඩීමට වික්‍රමසිංහ ආන්ඩුවට නොදෙවෙනි ලෙස මෙම පක්ෂ ක්‍රියා කරනු ඇත.

Loading