ඉන්දීය වරාය කම්කරුවෝ ඊශ්‍රායලයට ආයුධ නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරති

[මෙය Indian port workers refuse to handle arms shipments to Israel යන මැයෙන් 2024 පෙබරවාරි 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ප්‍රධාන ඉන්දියානු වරායයන් 11ක කම්කරුවන් 3,500ක් නියෝජනය කරන ඉන්දියානු ජල ප්‍රවාහන සේවක සම්මේලනය ඊශ්‍රායලයට යන ඕනෑම නෞකාවකට ආයුධ පැටවීම හෝ බෑම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර ඇත. මෙම නිවේදනය, එක්සත් ජනපදය විසින් සපයනු ලබන අවි ආයුධ වලින් සහ වොෂින්ටනයේ පූර්න දේශපාලන සහයෝගයෙන්, අනාරක්ෂිත පලස්තීනුවන් දස දහස් ගනනක් ඊශ්‍රායලය විසින් සමූලඝාතනය කිරීම කෙරෙහි ඉන්දියානු කම්කරුවන් අතර පවතින විරෝධයේ ගැඹුර පෙන්නුම් කරන සංඥාවකි.

ගාසා තීරය තුල ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයෙන් තැතිගත් ලොව පුරා කම්කරුවෝ හා තරුනයෝ මිලියන ගනනක්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ නායකත්වයෙන් යුත් ෆැසිස්ට් තන්ත්‍රය විසින් සිදු කරනු ලබන රුදුරු සංහාරය නතර කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරතව සිටිති. ගාසා තීරයේ මියගිය පිරිමින්, කාන්තාවන් සහ ලමුන් සංඛ්‍යාව නිල වශයෙන් 30,000 ඉක්මවා ඇති අතර, අතුරුදහන් වූවන් ද ඇතුලත් වුවහොත් එය 37,000 කට වඩා වැඩි වේ. රෝහල්, පාසල් සහ අනෙකුත් ප්‍රධාන යටිතල පහසුකම් විනාශ වී ඇත.

ඊශ්‍රායල හමුදාව ආහාර, ජලය, ඉන්ධන, වෛද්‍ය ප්‍රතිකාර සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය සැපයුම් අවහිර කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුලුල් ලෙස සාගින්න, රෝග සහ තව තවත් මරන පැතිර යයි. දැන් එය, මිලියන 1.5 ක් පලස්තීනුවන් ඉතාමත් කුරිරු තත්ත්වයන්‍ යටතේ ජීවත් වන ගාසාවේ දකුනු දෙසින් පිහිටි නගරය වන රෆා වෙත දරුනු ගොඩබිම් ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී.

ඉන්දියාවේ දෙවන විශාලතම වරාය වන චෙන්නායි වරායේ දී ලෝසවෙඅ සමග කතා කල කම්කරුවන්, ඊශ්‍රායල යුද උපකරන නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස ස්ටැලින්වාදී නායකත්වයෙන් යුත් ඉන්දියාවේ ජල ප්‍රවාහන කම්කරු සම්මේලනයෙන් කල ඉල්ලීම ගැන දැන සිටියේ නැත. [ඡායාරූපය: ඉන්දීය ආන්ඩුව] [Photo: Government of India]

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ඉන්දියාවේ දෙවන විශාලතම බහාලුම් වරාය වන චෙන්නායි වරායේ සමහර නැව් තටාක කම්කරුවන්ට කතා කල විට, ඔවුහු ඊශ්‍රායල යුද උපකරන තහනම් කිරීමට සහයෝගය ප්‍රකාශ කලහ. කෙසේ වෙතත්, ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ අනෙකුත් වරාය වෘත්තීය සමිති, ගාසා ජන සංහාරය හෝ ඊශ්‍රායල යුද නැව්ගත කිරීම් නවතා දැමීමේ සැලසුම් පිලිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට කිසිදු ව්‍යාපාරයක් නොපැවැත්වූ බව ඔවුහු පැවසූහ. ශ්‍රම බලකායෙන් බහුතරයක් වන කොන්ත්‍රාත් කම්කරුවන් ආරක්ෂා කිරීමට හෝ ගාසා තීරයේ පලස්තීනුවන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයකට ඔවුන්ව ඇද ගැනීමට ඉන්දියානු ජල ප්‍රවාහන සේවක සම්මේලනය කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව ද සාකච්ඡා වලින් හෙලි විය. එම සම්මේලනයේ ස්ටැලින්වාදී නායකයින් විසින් ඊශ්‍රායල යුද නැව්ගත කිරීම් අවහිර කිරීමේ කැඳවීම, ප්‍රචාරක ප්‍රෝඩාවක් නොවේ නම්, විරෝධතා අභිනයක් බව මෙයින් හෙලි වේ.

වරාය සේවක සංගමයේ සභාපති නාගේන්ද්‍ර රාඕ පැවසුවේ ඊශ්‍රායලයට ආයුධ රැගෙන යන නැව් පිලිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි. කෙසේ වෙතත්, ඉන්දියාවෙන් ඊශ්‍රායලයට හර්මීස් 900 මධ්‍යම-උන්නතාංශ, දිගු දුර ගමන් කල හැකි නියමුවන් රහිත ගුවන් යානා [ඩ්‍රෝන] (UAV) 20 කට අධික ප්‍රමානයක් විකිනීම පිලිබඳ වාර්තා මෑත දිනවල එලිමහනට පැමිනෙන තිබේ.

ඊශ්‍රායලය විසින් භාවිතා කරන “ඝාතක ඩ්‍රෝන් යානා” හතරෙන් එකක් වන හර්මිස් 900, දකුනු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ අදානි-එල්බිට් ඇඩ්වාන්ස්ඩ් සිස්ටම්ස් ඉන්දියා ලිමිටඩ් සතු පහසුකමකින් නිෂ්පාදනය කර ඇත. එම සමාගම, ඊශ්‍රායල අවි නිෂ්පාදකයෙකු වන එල්බිට් සිස්ටම්ස් සහ ඉන්දියාවේ දෙවන ධනවත්ම ප්‍රකෝටිපතියා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම විශ්වාසවන්තයෙකු වන ගෞතම් අදානිට අයත් සමූහ ව්‍යාපාරයක් වන ඉන්දියානු අදානි සමූහය අතර හවුල් ව්‍යාපාරයකි. මෙම විකිනීම ප්‍රථම වරට ෂෙෆර්ඩ් මීඩියා විසින් වාර්තා කරන ලද්දේ පෙබරවාරි 2 වැනිදාය. ඉන්දියාව හෝ ඊශ්‍රායලය මිලදී ගැනීම පිලිගෙන නොමැති අතර, අදානි සමූහ ව්‍යාපාරයේ මූලාශ්‍ර තුල මෙම විකිනීම වාර්තාගත නොවන බව ද වයර් [වෙබ් අඩවිය] වෙත තහවුරු කර තිබේ.

අදානි-එල්බිට් නිෂ්පාදන ව්‍යාපාරය ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිරන්තරයෙන් පුලුල් වන මිලිටරි-ආරක්ෂක හවුල්කාරිත්වයේ කොටසකි. වසරකට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1 ක් වැය කරමින්, ඊශ්‍රායලයේ නිෂ්පාදිත ආයුධ වැඩියෙන් ම මිලදී ගන්නා රට බවට ඉන්දියාව පත්ව ඇත.

ස්ටොක්හෝම්හි ජාත්‍යන්තර සාමය පිලිබඳ පර්යේෂන ආයතනය (SIPRI) පවසන පරිදි, 2014 සහ 2019 අතර මෝදිගේ සහ ඔහුගේ හින්දු-ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල කාලය තුල ඊශ්‍රායලයෙන් ඉන්දියාවට ආයුධ සැපයීම සියයට 175 කින් ඉහල ගොස් තිබේ.

2017 දී, ඊශ්‍රායල් ආයුධ කර්මාන්ත, ඉන්දියානු ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගමක් වන පන්ජ් ලොයිඩ් සමඟ එක්ව ඉන්දියාවේ පුද්ගලික අංශයේ ප්‍රථම කුඩා අවි කම්හල මධ්‍ය ප්‍රදේශ්හි මලන්පූර් හි පිහිටුවීමට කටයුතු කලේය. කම්හල, විශේෂ කාර්ය බලකාය ඇතුලු ඉන්දීය හමුදාව සඳහා කුඩා මැෂින් තුවක්කු වර්ගයක් වන ඌසු තුවක්කු (Uzi submachine guns) වැනි ප්‍රහාරක අවි රැසක් නිෂ්පාදනය කරයි. එම වසරේම පසුභාගයේ, තවත් ඊශ්‍රායල-ඉන්දියානු හවුල් ව්‍යාපාරයක් වන කල්‍යානි රෆායල් ඇඩ්වාන්ස් සිස්ටම්ස් ලිමිටඩ්, ඉන්දීය හමුදාව සඳහා ස්පයික් නමැති යුද ටැංකි නාශක මිසයිල නිෂ්පාදනය කරමින් ඉන්දියාවේ පුද්ගලික අංශයේ ප්‍රථම මිසයිල කම්හල විවෘත කලේය.

ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන නැගිටීම දක අන්ත දක්ෂිනාංශික නෙතන්‍යාහු පාලනයට සහයෝගිතාව පල කල පලමු ලෝක නායකයන් අතර මෝදි ද විය. නවදිල්ලි ආන්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන්, පසුව පෙරටු බලඇනි යුද නෞකා දෙකක් ඒඩන් මුහුදු බොක්කෙහි යෙදවීය; එසේම, ඊස්‍රායල් ජන සංහාරය සහ මැද පෙරදිග පුරා එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද පුලුල් ගැටුම මධ්‍යයේ, අවම වශයෙන් යුධ නැව් 10 ක් අරාබි මුහුදට යැවීය.

ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධය සඳහා මෝදිගේ විවෘත සහයෝගය ගලා එන්නේ, ඔහු පුලුල් කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන ඊශ්‍රායලය සමඟ ඉන්දියාවේ සමීප මිලිටරි-මූලෝපායික හවුල්කාරිත්වයෙනි. කෙසේ වෙතත්, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල යුද්ධය සඳහා ඉන්දියාවේ දැඩි සහයෝගය තීරනය කිරීමේදී ඊටත් වඩා වැදගත් වන්නේ, කලාපය තුල ඊශ්‍රායලය සිය ප්‍රධාන දඩ බල්ලා ලෙස සලකන ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග නව දිල්ලියේ “ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය” යි. එහි කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රමුඛ පූර්වගාමියා විසින් සැලසුම්ගත කරන ලද මාවතේ ඉදිරියට යන මෝදි ආන්ඩුව, චීනය මූලෝපායිකව වැටලීමේදී සහ යුද්ධයට සූදානම් වීමේදී වොෂින්ටනයේ තල්ලුවේ පෙරටුගාමී රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කර ඇත.

ගාසාවේ ජන සංහාරයට එරෙහි අරගලයට කම්කරුවන් බලමුලු ගැන්වීම ඉන්දියානු ජල ප්‍රවාහන සේවක සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කිරීම, එය අනුබද්ධ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ස්ටැලින්වාදී දේශපාලනයෙන් වෙන් කල නොහැක. නොවැම්බරයේදී, කම්කරු පන්තිය තුල මහජන විරෝධය මධ්‍යයේ, ගාසා තීරයට එල්ල කරනු ලබන ඊශ්‍රායල ප්‍රහාරයට එරෙහිව සමහර විරෝධතා කැඳවීමට ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට (මාක්ස්වාදී) සහ එය නායකත්වය දරන වාම පෙරමුනට බල කෙරුනි. කෙසේ වෙතත්, ඔවුන් විරෝධතා මත, මෝදි ආන්ඩුවට ඊශ්‍රායලයෙන් සහ ගාසා තීරයට එරෙහි ජන සංහාරක ප්‍රහාරයෙන් ඈත් වන ලෙස බලපෑම් කිරීමේ සහ, පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට විසඳුම ලෙස සහ මැදපෙරදිග 'සාමය' සුරක්ෂිත කිරීමට, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මහා බලවතුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම ඔස්සේ 'වෙනම රාජ්‍ය දෙකක්' වෙනුවෙන් කටයුතු කිරීමේ බංකොලොත් ඉදිරිදර්ශනය පැටවීය.

පසුව, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) එහි ගාසා විරෝධතා ව්‍යාපාරය අතහැර දැමුවේ, එය කිසිදු ආකාරයකින් එහි කේන්ද්‍රීය දේශපාලන අරමුන කපා නොදමන බව සහතික කිරීම සඳහා ය: එනම්, මෙම වසන්තයේ මහා (ලොක් සභා) මැතිවරනයේදී, ඉන්ඩියා (INDIA) සන්ධානය පිටුපසින්, මෝදිට සහ භාරතීය ජනතා පක්ෂයට එරෙහි මහජන කම්කරු පන්තියේ විරෝධය කොටුකර තැබීම සඳහා ය. කොංග්‍රස් පක්ෂය විසින් නායකත්වය දෙන ලද, මෑතක් වන තුරුම ඉන්දීය ධනේශ්වරයේ කැමතිම ආන්ඩු පක්ෂය වන ඉන්ඩියා (INDIA) සන්ධානය, භාරතීය ජනතා පක්ෂයට නොඅඩු ලෙස, ඉන්දු-එක්සත් ජනපද සන්ධානයට සහ තවදුරටත් “ආයෝජක ගැති” ප්‍රතිසංස්කරනවලට දැඩි ලෙස සහාය දක්වයි. එය සැදුම් ලබන පක්ෂවලට, මෝදිගේ අන්ත දක්ෂිනාංශික හින්දුත්ව (හින්දු ජාතිකවාදී) සගයින්ට අනුගත වීමේ සහ ඔවුන් සමග කුමන්ත්‍රනය කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ද ඇත.

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) දශක ගනනාවක් තිස්සේ ඉන්දියානු පාලක සංස්ථාපිතයේ 'වාම' පාර්ශ්වය ලෙස ක්‍රියා කර ඇත. ධනේශ්වර දේශපාලනයේ සහ මහා බලවතුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රතිගාමී රාමුව තුල දරිද්‍රතාවයට පත් පලස්තීනුවන් මර්දනයට, පිටුවහල් කිරීමට සහ දැන් ඝාතනය කිරීමට කම්කරුවන් හා තරුනයින් අතර ධතවය මට උත්සාහ කිරීම මෙයට ඇතුලත් වේ. ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) නායකයන්, විටින් විට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් පාඨ කියා ඇතත්, යුද්ධයට සහ අධිරාජ්‍යවාදී ලෝක පර්යායට එරෙහිව ගෝලීය කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම තබා, දකුනු ආසියාවේ සහ ලෝකයේ ජනතාවට ඉන්දු-එක්සත් ජනපද මිලිටරි-ආරක්ෂක සන්ධානයේ බරපතල අනතුර පිලිබඳව කම්කරු පන්තියට අනතුරු ඇඟවීමටවත් ඔවුන් කිසිවක් කර නැත.

ඉන්දීය ස්ටැලින්වාදීන් ගාසාවේ ජන සංහාරය නැවැත්වීමට, ඒ හා සම්බන්ධ වී සිටින අධිරාජ්‍යවාදීන්ට සහ ඉන්දියානු ධනේශ්වරයට කරන ලද සානුකම්පිත හා ප්‍රතිගාමී ආයාචනයන්ට එරෙහිව ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙය සාක්ෂාත් කරගත හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනක් බව අවධාරනය කරයි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් ලෙස ඉන්දියානු කම්කරුවන්, ඊශ්‍රායලයට යැවීමට නියමිත යයි උපකල්පනය හැකි සියලු මිලිටරි උපකරන සැපයීම සහ නිෂ්පාදනය නැවැත්වීමට වැඩ වර්ජන සහ අනෙකුත් ක්‍රියාමාර්ග සංවිධානය කල යුතුය. එය ජාත්‍යන්තර දේශපාලන මහා වැඩවර්ජනයක් සඳහා වන අරගලය සමගත් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන සමගත්, ධනේශ්වර කප්පාදුවට සහ ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයට විරුද්ධව ලොව පුරා මහජනතාවගේ වැඩෙන මහජන නැගිටීම සමගත් සම්බන්ධ කල යුතුය.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊශ්‍රායල ප්‍රහාරයට එරෙහි අරගලයේ විෂය පථය අවශ්‍යයෙන්ම ජාත්‍යන්තර ය. එය ක්‍රියාත්මක කිරීම සඳහා, කම්කරුවන්ගේ අරගල, වෘත්තීය සමිති නිලධරයන්ගේ ජාතික රාමු උගුලට සීමා කර තැබිය නොහැක. යුද්ධය, ධනේශ්වර ප්‍රතිගාමිත්වය සහ පොලිස් රාජ්‍ය පාලනයට එරෙහිව විරුද්ධත්වය සමාජවාදය සඳහා සම්බන්ධීකරනය කිරීමටත්, ධනවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට ඔවුන්ගේ අරගල ඒකාබද්ධ කිරීමටත් කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයට අනුබද්ධව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

Loading