ආන්ඩුව සිය මර්දනකාරී අන්තර්ජාල මාධ්‍ය නීතිවලට සංශෝධන ගෙනඑන බවට පොරොන්දු වෙයි

[මෙය Sri Lankan government promises amendments to its repressive online media laws යන මැයෙන් 2024පෙබරවාරි19 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ආන්ඩුව පසුගිය සතියේ ප්‍රකාශ කලේ එය මෑතකදී සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත සංශෝධනය කිරීමට සිය කැබිනට් මන්ඩලයේ යෝජනා අනුමත කර ඇති බවයි. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන පෙබරවාරි 13දා මාධ්‍ය වෙත පැවසුවේ ආන්ඩුවට “අදාල කර්මාන්ත වෘත්තිකයන්ගෙන්” යෝජනා ලැබී ඇති බවත් නීති සම්පාදනයට සංශෝධන ඇති බවත් ය. ඔහු තවදුරටත් විස්තර කලේ නැත.

2024 ජනවාරි 23, අඟහරුවාදා, කොලඹ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයක් අතරතුර, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනතට (මාසුප) එරෙහිව සටන් පාඨ සහිත පුවරු අතැතිව සිටිති. [AP Photo/Eranga Jayawardena] [AP Photo/Eranga Jayawardena]


පසුගිය මාසයේ පාර්ලිමේන්තුව හරහා බලයෙන් සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනතට , ආන්ඩුවට සහ ධනේශ්වර පද්ධතියට එරෙහිව ඔවුන්ගේ හඬ නැගීමට සමාජ මාධ්‍ය භාවිතා කරන ඕනෑම අයෙකු අපරාධකරුවෙකු කරන මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි දුරදිග යන ප්‍රහාරයකි. මෙම පියවර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පෙබරවාරි 1 වන දින නීතිගත කිරීමට අත්සන් කරන ලදී.

නීති සංශෝධන කිරීමට තීරනය කර ඇත්තේ ප්‍රධාන ගෝලීය අන්තර්ජාල සහ තාක්ෂන සංගතවල සන්ධානයක් වන ආසියා අන්තර්ජාල සන්ධානය-(ආඅස) [Asia Internet Coalition (AIC)] වෙතින් එල්ල වූ දිගුකාලීන මහජන විරෝධයට ප්‍රතිචාරයක් වශයෙනි. ආන්ඩුව විසින් පත් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ ආරක්ෂන කොමිසමේ කිසිදු පරීක්ෂනයක් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බව ආඅස පැවසීය. ආඅස ට ඇතුලත් වන සාමාජිකයින් ඇමසොන්, ඇපල්, බුකින්.කොම්, එක්ස්පීඩියා ගෲප්, ගූගල්, ගෝටු, ග්‍රැබ්, ලයින්, ලින්ක්ඩින්, මෙටා, රකුටන්, එක්ස්, සහ යාහු (Amazon, Apple, Booking.com, Expedia Group, Google, GoTo, Grab, LINE, LinkedIn, Meta, Rakuten, X, සහ Yahoo) වේ. ආඅස හි ඉල්ලීම්වලට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමග සම්බන්ධයක් නැත. ඔවුන්ගේ සමාගමේ ලාභයට කිසිවක් බාධා නොවන බව සහතික කිරීම එහි අරමුන යි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, යෝජිත එක් සංශෝධනයක් මගින්, 'කවර හෝ කොමිෂන් සභාවක උපදෙස් වලට එකඟව, සාධාරන සැලකිල්ලෙන් සහ සද්භාවයෙන් යුතුව සිදු කරන කවර හෝ ක්‍රියාවක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සම්බන්ධයෙන්, අදාල අන්තර්ජාල සේවා සපයන්නා, අතරමැදියා හෝ ඔවුන්ගේ නිලධාරි සේවකයා හෝ සිවිල් හෝ අපරාධ වගකීම් නියෝජිතයා' නිදහස් කෙරේ. එමෙන්ම, ඔවුන් 'සිදු කරන කවර හෝ ක්‍රියාවක්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත යටතේ ප්‍රකාශිත මාර්ගගත ස්ථානයකට අදාලව සිදුකලයුතු' වේ.

රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරු විමර්ශනය කර අනුමත කරන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ඉවත් කල හැකි පුද්ගලයන් පස් දෙනෙකු සහ සභාපතිවරයකු මාර්ගගත ආරක්ෂන කොමිසමට ඇතුලත් වේ. වෙනත් වචන වලින් කිවහොත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන මෙවලමක් වනු ඇත.

ආන්ඩුව පසුගිය සැප්තැම්බරයේ මුල් පනත පිලිබඳව නිවේදනය කිරීමත් සමග, එයට එරෙහිව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 45ක් සමඟ, කම්කරුවන්, සිසුන්, සමාජ මාධ්‍ය සහ ප්‍රකාශනයේ නිදහස පිලිබඳ ක්‍රියාකාරීන්ගේ පුලුල් පරාසයක විරෝධයක් දක්නට ලැබුනි.

එම පෙත්සම් සලකා බැලූ අධිකරනය සීමිත සංශෝධන 35ක් යෝජනා කල අතර ඒවා සම්මත ආකාරයට සකස් කලහොත් සරල පාර්ලිමේන්තු බහුතරයකින් පනත සම්මත කල හැකි බවට තීන්දු කලේය. ඒවා පිලි නොගත්තොත් පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වේ.

ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ යෝජිත සංශෝධන නීතිපතිවරයා විසින් නීතිගත කර ඇති බව පවසමින් සරල බහුතරය භාවිතා කරමින් එය පාර්ලිමේන්තුව හරහා සම්මත කරමිනි.

ඇත්ත වශයෙන්ම, ආන්ඩුව අධිකරනයේ සංශෝධන කිහිපයක් නොසලකා හැරියේය. වගන්ති පහක් සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති සහ හිටපු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වන එල්.ටී.බී.දෙහිදෙනිය ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී ඇත. වික්‍රමසිංහගේ කැබිනට් මන්ඩලය ප්‍රතිචාර දැක්වූයේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත දැන් නීතිය බවත්, යෝජිත නව සංශෝධන සිදු කරන තෙක් එහි පියවර ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කරමිනි.

මෙම අතිරේක සංශෝධනවල අවසාන ස්වරූපය කුමක් වුවත්, නව නීතිවල ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මර්දනකාරී ස්වභාවය පවතිනු ඇත.

12 වැනි වගන්තියේ සඳහන් වන පරිදි: “අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින්, ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට, තර්ජනයක් ඇතිකරවන හෝ විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛර හැඟීම් ප්‍රවර්ධනය ‌කරන, ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින යම් තැනැත්තෙකු වරදක් සිදු කරනු ලබන අතර, වරදකරු කරනු ලැබූ විට, වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමට හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ යටත්විය යුතුය.'

ආන්ඩුව හෝ ධනේශ්වර පද්ධතිය ඉවත් කිරීම සඳහා සිය දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලුගන්වන ලෙස කම්කරු පන්තියට කියා සිටින ඕනෑම දේශපාලන පක්ෂයකට දඬුවම් කිරීම සඳහා “විවිධ පන්තීන් අතර අමනාපය සහ එදිරිවාදිකම් ප්‍රවර්ධනය කිරීම” වැනි වගන්ති යොදා ගත හැකිය.

අනෙකුත් පුලුල් පරාසයක වගන්ති පහත සඳහන් දෑ සාපරාධී වැරදි ලෙස නිර්වචනය කරයි, ඒවා දේශපාලන විරුද්ධවාදීන්ට හිංසා කිරීමට සහ සිරගත කිරීමට භාවිතා කල හැකිය. මේවාට ඇතුලත් වන්නේ, 'අපහාසයට තුඩු දෙන අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම', 'කෝලාහල ඇති කිරීමට හේතුවන පරිදි අසත්‍ය ප්‍රකාශ මගින් අනවශ්‍ය ලෙස ප්‍රකෝප කිරීම,' 'අසත්‍ය ප්‍රකාශයකින් ආගමික රැස්වීමකට බාධා කිරීම' සහ 'කැරලි ඇති කිරීමට හෝ ආන්ඩුවට වරදක් කිරීමේ චේතනාවෙන් අසත්‍ය වාර්තාවක් ප්‍රචාරය කිරීම'.

කම්කරුවන්ගේ, සිසුන්ගේ සහ ආන්ඩුවේ විරුද්ධවාදීන්ගේ පෙලපාලි බිඳ දැමීම සඳහා පොලිසිය බලමුලු ගැන්වීම සම්බන්ධයෙන් කුප්‍රකට ටිරාන් අලස් විසින් දැනට ප්‍රධානත්වය දරන මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත කලමනාකරනය කරනු ඇත.

මහජන ආරක්ෂාව පිලිබඳ ඇමති ටිරාන් අලස් කොලඹදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් (පින්තූරය: ෆේස්බුක්) [Photo: Tiran Alles/Facebook]

පෙබරවාරි 12 දා ප්‍රජා පොලිස් කමිටු රැස්වීමක් ඇමතූ අලස්, තම අමාත්‍යාංශයේ මර්දනකාරී 'යුක්තිය' ව්‍යාපාරයට විරුද්ධ ක්‍රියාකාරීන් ගැන සඳහන් කරමින්, “රටේ එක්තරා පිරිසක් අපට පහර දීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටිනවා” යැයි පැවසීය.

“මත්ද්‍රව්‍ය සහ අපරාධ” මැඩලීමේ කඩතුරාව යටතේ, නොයෙකුත් මානව හිමිකම් සංවිධාන විසින් හෙලා දැක ඇති මෙම ම්ලේච්ඡ පොලිස් මෙහෙයුම, දෙසැම්බර් මැද සිට 50,000කට අධික පිරිසක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇත, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දුප්පතුන් ය.

'මා මෙම ඇමති ධුරය දරන තාක් කල්, මෙම කන්ඩායම්වල හෝ ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට යටත් වෙන්නෙ නෑ' යැයි අලස් ප්‍රකාශ කලේය.

ඊනියා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත පැනවීමට වික්‍රමසිංහ දරන මංමුලා සහගත ප්‍රයත්නයන් ගලා එන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයෙන් ඔහුගේ ආන්ඩුව ක්‍රියාවට නංවන කප්පාදු පියවරයන්ට එරෙහිව, කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ දුගීන්ගේ වැඩෙන මහජන විරෝධය පිලිබඳ භීතියෙනි.

ජනවාරි 3 සිට 5 දක්වා ලංකා විදුලි බල මන්ඩල (ලංවිම) කම්කරුවන් දස දහස් ගනනක් රටපුරා අසනීප නිවාඩු විරෝධතාවක් පැවැත්වීය. ආන්ඩුව සිය අත්‍යවශ්‍ය මහජන සේවා පනත පැනවීමෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ සේවකයන් 66 දෙනෙකුගේ රැකියා අත්හිටුවීමට මග පාදමිනි. ලංවිම කලමනාකාරීත්වය ද සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කර ඇත.

පසුගිය සතියේ ලක්ෂ සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයින් වැඩි දීමනා ඉල්ලා රාජකාරි වලින් ඉවත්වූයේ මේ වසරේ තුන්වන වරටත් වැඩ වර්ජනය කරමිනි. වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ සෞඛ්‍ය සේවකයින්ට එරෙහිව එහි අත්‍යාවශ්‍ය සේවා නීති පැනවීම සහ වර්ජන කඩන්නන් ලෙස සොල්දාදුවන් බලමුලු ගැන්වීමෙනි.

සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකත්වය හෝ ලංවිම වෘත්තීය සමිති නිලධරය මෙම ප්‍රතිගාමී නීතිවලට අභියෝග කිරීමට හෝ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ ජාතික කාර්මික ක්‍රියාමාර්ගයකට තම සාමාජිකයින් බලමුලු ගන්වා නැත.

වික්‍රමසිංහගේ මාර්ගගත සුරක්ෂිතභාවය පිලිබඳ පියවර අනෙකුත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර සමග සමාන්තරව දිවෙන අතර එහි සමාජ ප්‍රහාරයන්ට එරෙහි කම්කරු පන්තියේ ප්‍රතිරෝධය තලා දැමීම ඉලක්ක කර ඇත. එහි මීලඟ කුරිරු නීතිය - ප්‍රති-ත්‍රස්ත පනත - නුදුරේදීම අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ සියලුම කන්ඩායම් විසින් මුලුමනින්ම අනුමත කරන ලද ඒකාධිපති පාලන ක්‍රම වෙත වික්‍රමසිංහ ගමන් කරයි. එය, එක්සත් ජනපදය, යුරෝපය සහ ඉන්දියාව තුල අන්ත දක්ෂිනාංශික, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රයන් වෙත කෙරෙන වේගවත් මාරුවෙන් සංලක්ෂිත ගෝලීය ක්‍රියාදාමයක ප්‍රකාශනයකි.

විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුවේ මර්දනකාරී නීති පිලිබඳ සීමිත විවේචන ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ අදහස් ආන්ඩුවට එරෙහිව වැඩෙන විරුද්ධත්වය පාලනය කිරීම සහ ඔවුන්ගේම දේශපාලන පැටිකිරිය වසන් කිරීම අරමුනු කර ගෙන ඇත.

සජබ නායකයෝ වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ සිටි අතර මෑතක් වන තුරුම කම්කරුවන්ට සහ දුගීන්ට එරෙහිව විවිධ මර්දනකාරී පියවරයන් ක්‍රියාත්මක කිරීමට සහාය වූහ. එසේම ජනතා විමුක්ති පෙරමුනද, පසුගිය ආන්ඩුවල ඇතුලත සහ පිටත සිට හදිසි නීති පියවර සහ ඊනියා ත්‍රස්ත-විරෝධී නීතිවලට සහය දී ඇත.

කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ සියලුම ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සිය කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමෙන් සහ පීඩිත ජනතාව තමා පිටුපස පෙලගස්වා ගැනීමෙන් පමනි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගලය සමග බැඳී ඇත.

Loading