ඉදිරිදර්ශන

එක්සත් ජනපද සෙනෙට් සභාව, ද්වි-පක්ෂ ඡන්දයකින්, යුක්‍රේන යුද්ධය සහ ගාසා හි ජනසංහාරය සඳහා ඩොලර් බිලියන 95ක් අනුමත කරයි

(මෙය In bipartisan vote, US Senate backs $95 billion for war in Ukraine, genocide in Gaza මැයෙන් 2024 පෙබරවාරි 14දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

13 අඟහරුවාදා, වොෂින්ටනයේ ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන ශාලාවේ දී, ඩොලර් බිලියන 95ක යුද පැකේජය අනුමත කිරීම කොංග්‍රසය තුල විවාදයට ගන්නා ලෙස ජනාධිපති ජෝ බයිඩන් අනවා සිටී. (ඒපී ඡායාරූප/ එවාන් වුසී) [AP Photo/Evan Vucci]

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි වක්‍ර යුද්ධය ප්‍රසාරනය කිරීම, ගාසා ජනසංහාරය අඛන්ඩ ව කරගෙන යාම සහ චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීම සඳහා ඩොලර් බිලියන 95.3ක මිලිටරි අරමුදල් සපයන පැකේජයක්, 70-29ක ද්වි-පක්ෂ ඡන්දයකින් අනුමත කිරීමට අඟහරුවාදා (පෙබරවාරි 13) උදෑසන එක්සත් ජනපද සෙනෙට් සභාව පියවර ගත්තේ ය.

සෙනෙට් සභාව කෙටුම්පත අනුමත කිරීමෙන් පසුව, “කොංග්‍රසය තුල එය වහා ම විවාදයට ගන්නා” ලෙස රිපබ්ලිකන් පාක්ෂික කතානායක මයික් ජොන්සන්ට අනවමින්, ජනාධිපති බයිඩන් දහවල් කාලයේ කතා කලේ ය. පසුගිය ගිම්හානයේ දී රිපබ්ලිකානුවන් විසින් අනුමත කරන ලද සංක්‍රමන-විරෝධී “අපේ දේශ සීමා සුරක්ෂිත කිරීමේ පනත” සමග එය ඒකාබද්ධ නො කල හොත්, තමන් ඡන්දයකට අවසර නො දෙන බව ජොන්සන් ප්‍රකාශ කර තිබුනි.

බයිඩන්ගේ කතාව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-දේශපාලනික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ගෝලීය මිලිටරි උත්සන්නිය තීව්‍ර කිරීමට මුලුමනින් කැප කල කැඳවුමක් විය.

එම කතාව පලමුව නාභිගත වූයේ යුක්‍රේනය තුල තත්ත්වය පිලිබඳ ව වන අතර, ඒ සඳහා පනතෙන් ඩොලර් බිලියන 60කටත් වැඩියෙන් වෙන් කරයි. පසුගිය වසරේ දියත් කරන ලද “වසන්ත ප්‍රහාරය” අසාර්ථක වීම සහ යුක්‍රේනියානුවන් ලක්ෂ ගනනක් මරා දමා ඇති දෙ-අවුරුදු යුද්ධයෙහි විනාශකාරී විපාක හේතුවෙන්, එක්සත් ජනපද පිටුබලය ලබන සෙලෙන්ස්කි ආන්ඩුව අර්බුදයේ ගිලී සිටී.

තත්ත්වය විස්තර කරමින් බයිඩන් මෙසේ ප්‍රකාශ කලේ ය: “යුක්‍රේන සොල්දාදුවන් කාලතුවක්කු වෙඩි නොමැති ව සිටිද්දී සහ යුක්‍රේන හමුදා ඒකක තමන්වම ආරක්ෂාවීම සඳහා වෙඩි උන්ඩ සලාකනය කරද්දී, ඊලඟ රුසියානු ප්‍රහාරය තමන් ව ස්ථීර වසයෙන් අඳුරට හෝ ඊටත් නරක තත්ත්වයන්ට ඇද දමනු ඇතැයි යුක්‍රේනියානු පවුල් කනස්සල්ලට පත්ව සිටිති.”

“යුක්‍රේනියානු පවුල්” හා සොල්දාදුවන් පිලිබඳ ව බයිඩන්ගේ ප්‍රකාශිත උත්සුකය, අධිරාජ්‍යවාදී කුහකත්වයේ උච්ඡය යි. 2022 පෙබරවාරියේ දී යුක්‍රේනයේ රුසියානු ආක්‍රමනය ඇවිලවීමෙන් පසුව, ගැටුමට කිසිදු සාකච්ඡාමය විසඳුමකට යාම යලි යලිත් ප්‍රතික්ෂේප කර ඇති බයිඩන් පරිපාලනය, අද දක්වා ම එම ආස්ථානයේ සිටී. “රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද්ධයෙන් අත්මිදීම සඳහා, යුක්‍රේනය තුල සටන් විරාමයක් වෙනුවෙන් කල යෝජනාව, අතරමැදියන් අතර සන්නිවේදනය කිරීමෙන් අනතුරු ව එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කලේ” යැයි රුසියානු මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කලේ ය.

රුසියාව මත මිලිටරි පරාජයක් පැටවීම සඳහා වන අධිෂ්ඨානයේ දී, එක්සත් ජනපදය හා නැටෝ අධිරාජ්‍යවාදී බලවතුන් යුක්‍රේනයේ සම්පත් ඇටපොත්තටම සිඳවා ඇත. මරන සංඛ්‍යාව කොතරම් විශාල ද යත්, සටන තුලට තරුනයන් තව තවත් තල්ලු කරගනු වස්, සෙලෙන්ස්කි ආන්ඩුව හමුදාවට බඳවා ගැනීමේ වයස පහත හෙලීමට උත්සාහ කරමින් සිටින්නේ, යුක්‍රේනය ඇතුලතින් ම විරුද්ධත්වය වර්ධනය වෙමින් පවතින කොන්දේසි යටතේ ය.

මේ සතිය මුල දී නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පල කල ලිපියක්, වයස පහත දැමීම “වඩා හුරුබුහුටි, සෞඛ්‍ය සම්පන්න සොල්දාදුවන් ගෙන එනු ඇතත්, රටෙහි දෙන ලද ජනසංඛ්‍යානික කොන්දේසි යටතේ එය යුක්‍රේනයෙහි ජනගහනය අඛන්ඩ ව පවත්වාගෙන යාමට දීර්ඝ-කාලීන අන්තරායන් මතු කරනු ඇත” යි ප්‍රකාශ කලේ ය. සංහාරය රොමෑන්තිකකරනය කිරීමේ අප්‍රසන්න භාෂාව යොදා ගන්නා ටයිම්ස් පත්‍රය, “යුක්‍රේනයේ ජනගහනය අඛන්ඩ ව පවත්වාගෙන යාම” විවෘත ප්‍රශ්නයක් බව පිලිගත්තේ ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම අධිරාජ්‍යවාදය අවසාන යුක්‍රේනියානුවා දක්වා සටන් කරමින් සිටී.

ඉන්පසු බයිඩන් මැද පෙරදිගට හැරුනු අතර, එම කලාපය තුල ඔහු කේන්ද්‍රගත වන්නේ, ඉරානය ඉලක්ක කරමින් රතු මුහුද තුල මිලිටරි ගොඩනැංවීම තර කිරීමට ය. ඊස්රායලයටත් පලස්තීන ජන සංහාරය අඛන්ඩ ව කරගෙන යාමටත් තවත් ඩොලර් බිලියන 14ක් වෙන් කරන පනතේ දෙවැනි විශාලතම සංරචකය ගැන ඔහු සඳහන් කලේ කෙටියෙන් පමනි.

පරිපූර්න නරුමත්වයෙන් හා අධිරාජ්‍යවාදී කුහකත්වයෙන් යුතු ව බයිඩන් කියා සිටියේ, “ආහාර, ජලය හා ඉඳුම් හිටුම් අවශ්‍යතාවයන්ගෙන් දැඩි‌ව පෙලෙන පලස්තීන ජනයාට දිවි රැකගැනීමට අවශ්‍ය කරන ආධාර සම්පාදනය කිරීම” සඳහා පනත තුල පියවරයන් අඩංගු බව යි. එක්සත් ජනපදයේ පූර්න මූල්‍යමය හා මිලිටරි සම්පත් සමගින් කරගෙන යන සංහාරය හා බෝම්බ වැස්සවීම හේතුවෙන්, මිලියන ගනනක් වන පලස්තීන ජනයා අවශ්‍යතාවයන්ගෙන් දැඩි‌ව පෙලෙන තත්වයට ඇද දමා ඇති අතර, 35,000කට අධික සංඛ්‍යාවක් මරා දමා ඇත.

පනතෙහි ආරම්භක පුනරුච්ඡාරනයන්ට වෙනස් ව, මෙම යුද පැකේජය එක්සත් ජාතීන්ගේ සහන හා කර්මාන්ත ඒජන්සියට (යූඑන්ආර්ඩබ්ලිව්ඒ) කිසිදු අරමුදලක් සැපයීම වලක්වයි. යූඑන්ආර්ඩබ්ලිව්ඒ යනු ගාසා තීරයේ, ජෝර්දානයේ හා ලෙබනනයේ සරනාගතයන්ට මානුෂීය ආධාර සපයන ප්‍රධාන ආයතනය වන අතර, ඒ මත මිලියන ගනනක් දෙනා යැපෙති.

රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය හරහා පනත මගින් පීඩිත පලස්තීනුවන්ට සපයනු ලබන “ආධාර” සොච්චම, බරපතල අධීක්ෂන හා වාර්තා කිරීමේ අවශ්‍යතා කිහිපයක් අඩංගු කරගනී. “සුදුසු පරිදි, අනෙකුත් ද්වි-පාර්ශවික හා බහු-පාර්ශවික ආධාර දෙන්නන් හා ඊස්රායල ආන්ඩුව සමග සම්බන්ධීකරනයෙන් යුතුව” ආධාර බෙදාහැරීමේ පටිපාටීන් වර්ධනය කිරීමේ අවශ්‍යතාවක් මේවා අතරට අයත් වෙයි.

ගිනි තබන්නෙක් නිවහන් ප්‍රදේශයකට ගිනි තබා, එහි බොහෝ නිවැසියන් මරා දමා, නගරයේ ඉතිරි කොටස විනාශ කිරීමට යන ගිනි තබන්නාගේ ම සුපරීක්ෂාකාරීත්වය යටතේ, විනාශ කෙරුනු ප්‍රදේශය පිරිසිදු කිරීමට සහායදෙනුවස් කොස්සක් ලබා දීමට මෙය සමාන වේ.

“ගාසාවේ හා යුක්‍රේනයේ ගැටුම් ගැන අවධානය යොමු වෙද්දී ම පැසිෆික් කලපාය තුල අපේ ජාතික ආරක්ෂක අභියෝගයන්ගෙන් අපි දෑස් ඉවතට නො ගත යුතු නිසා, ආසියාව තුල අපේ ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවන් සඳහා තීරනාත්මක අරමුදල් පනත තුල අඩංගු වෙනවා” යි බයිඩන් අවසානයේ දී කීවේ ය. එනම්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, ගාසාවේ ජනසංහාරය සහ මැද පෙරදිග තුල මිලිටරි ගොඩනැංවීම් දැක ගනු ලබන්නේ, චීනය සමග වර්ධනය කරන ගැටුමට සූදානම් වීමක් හා එහි කොටසක් ලෙස ය.

මේ සඳහා පනත තවත් ඩොලර් බිලියන 5ක් සම්පාදනය කරන අතර, ඕස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය (ඕකුස්) මිලිටරි සැලසුමේ කොටසක් ලෙස කොලොම්බියා බැලස්ටික් මිසයිල සබ්මැරීනයන් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන ඩොලර් බිලියන 2ක් එයට ඇතුලත් වෙයි. කොලොම්බියා සබ්මැරීනයන්, ට්‍රයිඩන්ට් ඩී5 බැලස්ටික් මිසයිල 16ක් දක්වා ප්‍රමානයක් ගෙන යාමට සමත් අතර, එම සෑම බැලස්ටික් මිසයිලයක් ම ඩබ්ලිව්88 තාප-න්‍යෂ්ටික යුද අවියක් සමගින් සන්නද්ධ කල හැකි ය. ඩබ්ලිව්88 අවියක තක්සේරුගත ධාරිතාව කිලෝටොන් 475ක වන අතර, එය නාගසාකියට අතහරින ලද බෝම්බය මෙන් 23 ගුනයක බලයකින් යුක්ත වෙයි.

පනතට සිදුවන්නේ කුමක්දැයි තවමත් නිශ්චිත නැත. ට්‍රම්ප් හා කොංග්‍රසයේ රිපබ්ලිකානුවන්ගෙන් ඔහුට බලගතු ලෙස සහයෝගයක් දක්වන්නන් එයට විරුද්ධ වෙමින් සිටින්නේ, රිපබ්ලිකන් පක්ෂයේ තවත් කොටස් එය ඡන්දයට දමා සම්මත කරන ලෙස කැඳවුම් කරමින් සිටියදී ය.

රිපබ්ලිකන් පක්ෂය සමග පෙලගැසී සිටින වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත, සෙනෙට් සභාවේ ඡන්දයෙන් පසුව කතුවැකියක් පල කලේ, “එක්සත් ජනපදයේ ආරක්ෂාවන් ශක්තිමත් කරනු ඇති හා විදේශයන්හි වැඩි දියුනු වෙමින් තිබෙන අන්තරායන්ට එරෙහි ව ආරක්ෂාව වර්ධනය කරන පරිදි ඇමරිකානු ආරක්ෂාව ලත් ජයග්‍රහනයක්” ලෙස පනත හඳුන්වමිනි. පනත ප්‍රතික්ෂේප කිරීම “චීනයට හා ඉරානයට මෙන් ම රුසියාවටත් එරෙහි දුර්වලත්වයේ පනිවුඩයකි. තායිවානය අරබයා සටන ද පැමිනෙමින් තිබෙන්නේ යයි සිතන ඕනෑ ම‌ අයෙකු, (අපේ) පැසිෆික් හවුල්කරුවන්ට ආයුධ වෙලඳාම් හා පුහුනුව සඳහා ඩොලර් බිලියන 2 සම්මත කිරීමට ඉක්මන් විය යුතු” යැයි එය ලීවේ ය.

හිටපු කතානායිකා නැන්සි පෙලෝසි සහ සෙනෙට් බහුතර නායක චක් ෂූමර් ඇතුලු ඩිමොක්‍රටිකයන් කිහිප දෙනෙක්, ඔවුන්ගේ පාර්ශවයෙන්, “විසර්ජන පෙත්සමක්” ඉදිරිපත් කිරීමේ හැකියාව ඉස්මතු කර ඇත. මෙම පාර්ලිමේන්තු උපාමාරුව, රිපබ්ලිකානුවන් අතලොස්සකගේ පවා සහයෝගය සහිත ව, ජොන්සන්ගේ අනුමැතියෙන් තොර ව පනත කොංග්‍රසයට ගෙන ඒමට සුලුතර නායක හකීම් ජෙෆ්‍රීස්ට හැකියාව ලබා දෙනු ඇත.

ක්ෂනික ප්‍රතිඵලය කවරක් වුව ද මෙම ක්‍රියාදාමය එක්සත් ජනපදය තුල දේශපාලන ගතිකය තියුනු ලෙස හෙලිදරවු කර තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂය යුද්ධයේ හා ජනසංහාරයේ පක්ෂයකි. රිපබ්ලිකන් පක්ෂයෙහි ට්‍රම්ප් කන්ඩායම සමග එහි වෙනස්කම්, විශේෂයෙන් ම රුසියාව ඇතුලු විදෙස් පිලිවෙතේ ප්‍රශ්න මත ප්‍රාථමික වසයෙන් කේන්ද්‍රගත වෙයි. “මා ජනාධිපති ධූරය දරන තාක් කල්, නැටෝ සගයෙකුට පුටින් ප්‍රහාර එල්ල කරන්නේ නම්, එක්සත් ජනපදය නැටෝ භූමියේ සෑම අඟලක් ම ආරක්ෂා කරනවා” යි බයිඩන් ප්‍රකාශ කලේ, ට්‍රම්ප් කලින් කර ඇති සැඳහුම් ගැන සඳහන් කරමින්, ඔහු පුටින්ට අනුග්‍රහය දැක්වීම හෙලා දකිමිනි.

ට්‍රම්ප් හා රිපබ්ලිකන් පක්ෂයේ අනෙකුත් ෆැසිස්ට්වාදීන් ගත් කල, ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලගතු ආධාරකරුවන් වන්නේ ඩිමොක්‍රටියන්ට අඩුවෙන් නො වේ. ට්‍රම්ප් ජනාධිපති ලෙස යලි පත්වුව හොත්, විදේශයන් තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා ඉදිරියට දැමීමට ඔහු නිරපේක්ෂ දුෂ්ටත්වයකින් යුතු ව කටයුතු කරනු ඇත. පනත අරබයා පවතින ගැටුම, විදෙස් පිලිවෙතේ දිශානතිය ගැන පාලක පන්තිය ඇතුලත පවතින සමහර බෙදීම් පිලිබිඹු කරන අතර, ට්‍රම්ප් එය දැක ගන්නේ සංක්‍රමනිකයන්ට එරෙහි ඔහුගේ ෆැසිස්ට් උද්ඝෝෂනය තීව්‍ර කිරීමේ අවස්ථාවක් ද ලෙස ය.

තම අදහස් දැක්වීමේ දී, “ඉතිහාසයේ හැරුම් ලක්ෂ්‍යයක්” ලඟා වී ඇතැයි බයිඩන් ප්‍රකාශ කලේ ය. ඉතා වෙනස් තේරුම් දෙකකින් වුවත්, මෙය සත්‍ය ය. බයිඩන්ට නම්, එහි අර්ථය වන්නේ, මංමුලා සහගත අර්බුදයකට මුහුන දෙන ඇමරිකානු පාලක ප්‍රභූව, තම ප්‍රතිවාදීන් පරාජය කිරීම, මහජන විරුද්ධත්වය මැඩීම, එහි ගෝලීය ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ ඒ මගින් එහි ලාභ හා ධනය ආරක්ෂා කර ගැනීම සඳහා, පෙර නුවූ විරූ පරිමානයකින් මිලිටරි ප්‍රචන්ඩත්වය යොදාගත යුතු බව යි.

එහෙත්, එක්සත් ජනපදයේ හා සමස්ත ලෝකයේ කම්කරු පන්තිය හමුවේ මෙය පෙනී සිටින්නේ වෙනස් ලෙසකිනි. කම්කරු පන්තියට එය වනාහි, සමස්ත මානව වර්ගයාට තර්ජනය කරන ජනසංහාරය හා න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කිරීම ඇතුලු අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය වෙහෙස නො තකා තීව්‍ර කිරීමට එරෙහි ව, ධනපති ක්‍රමයට එරෙහි වත්, සමාජවාදය සඳහාත් කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය කිරීම පිලිබඳ ප්‍රශ්නයකි.

Loading