අන්ත ජාතිකවාදී වැඩපිලිවෙලක් ප්‍රචාරනය කරන ජවිපෙ/ජාජබ, බලයට පැමිනියහොත් ආඥාදායක පාලනයක් ඇති කිරීමට සූදානම් වෙයි

ශ්‍රී ලංකාව 2024 ට අවතීර්න වූයේ වඩවඩාත් ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය. මහජන වෛරයට පාත්‍ර ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවට සහ එය ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය වැඩෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන කැලඹීම ලෝක ධනේශ්වර අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි. මෙම අර්බුදය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධය, ඊශ්‍රායල සියොන්වාදී පාලන තන්ත්‍රය ගාසා තීරයේ ගෙන යන ජන සංහාරක යුද ප්‍රහාර සහ තියුනු වන ගෝලීය ආර්ථික පසුබැසීම විසින් තීව්‍ර කරනු ලැබ ඇත. ගෝලීය අර්බුදයේ බර පැටවීමට එරෙහි ව, ප්‍රධාන ධනේශ්වර රටවල සිට පසුගාමී රටවල් දක්වා කම්කරු පන්තිය, විප්ලවවාදී ඉඩප්‍රස්තා විවරකරමින් අරගලවලට එලඹෙමින් සිටිති. ශ්‍රී ලංකාවේ පන්ති අරගලය මෙම ගෝලීය පන්ති සටන්වල උද්ගමනයේ කොටසකි.

පසුගිය දෙසැම්බරයේ ශ්‍රී ලංකාව පිලිබඳව නිකුත් කරන ලද ජාමූඅ මාන්ඩලික වාර්තාව මෙසේ අනතුරු ඇඟවීය: කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සහ පලාත් පාලන මැතිවරන කල් දැමීම හේතුවෙන් “සමාජ නොසන්සුන්තාව [රට තුල] යලි මතුවිය හැකිය.” මෙම අනතුරු ඇඟවීම පෙන්නුම් කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හල 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම පරයා යන සමාජ පිපිරීමක් ඇතිවීමේ හැකියාව පිලිබඳව කොලඹ පාලක ප‍්‍රභූවේ මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ඒජන්සි තුල පවතින තැතිගැන්මයි .

සමගි ජන බලවේගයත් (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි පෙරමුනු සංවිධානය වන ජාතික ජන බලවේගයත් (ජාජබ), 2022 මහජන අරගල  දේශපාලනිකව අවමන්ගත කර කොටුකිරීම සඳහා අන්තර්වාර ආන්ඩුවක් යෝජනා කලහ. සජබ, ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම් ද ඇතුලුව දේශපාලන පක්ෂ හා කන්ඩායම් සමග අනුබද්ධ සියලුම වෘත්තීය සමිති, අන්තර්වාර ආන්ඩුවක් පිලිබඳ යෝජනාවට සහයෝගය දැක්වීම සඳහා මිලියන ගනනක් කම්කරුවන් සහභාගිවූ එක්දින වැඩ වර්ජන යොමුකර, මහජන නැගිටීම පාවා දුන්හ. එම  පාවාදීම, එක්සත් ජනපද ගැත්තෙකු වන වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරයට ඔසවා තැබීමට අපකීර්තියට පත්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොප) පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මග පාදා දුන්නේය.

පාලක සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ දැන් රට තුල අලුත් සමාජ පිපිරීම් වැලැක්වීමේ සහ මර්දනය කිරීමේ උපායමාර්ග පිලිබඳව ගනන් බලමින් සිටිති.

ජනාධිපතිවරනය සැප්තැම්බර් මාසයේදීත් ජාතික මැතිවරනය ලබන ජනවාරි මාසයේදීත් පැවැත්වෙන බව වික්‍රමසිංහ මේ මස මුලදී ප්‍රකාශ කලේය. පාලක ශ්‍රීලංපොප සහ වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) මෙන්ම විපක්ෂයේ සජබ සහ ජාජබ/ජවිපෙ, ආන්ඩුවට එරෙහි මහජන කෝපය මෙම මැතිවරනය දෙසට හැරවීමට උත්සාහ කරති. ඒ අතරම, ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තවදුරටත් තලා දැමීමට මාර්ගගත සුරක්ෂිතතා පනත හා ත්‍රස්ත -විරෝධී පනත සම්මත කරගැනීමට ක්‍රියා කරමින් සිටියි. 

ශ්‍රීලංපොපෙ, වික්‍රමසිංහ සහ ඔහුගේ එජාප සහ—එජාපයේ රිකිල්ලක් වන--සජබ ජනතාව අතර අපකීර්තියට පත්ව ඇත. සියලුම ධනේශ්වර පක්ෂ සමග අතීතයේ සන්ධානවලට එලඹීම හා  ආන්ඩුවලට ඇතුල්වීම නිසා ද  2009 මැයි මස අවසන් වූ වසර 26 ක් පුරා පැවති දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ කසකරුවෙකු ලෙස ක්‍රියාකිරීම නිසා ද ජවිපෙ අපකීර්තියට පත් වී ඇත.

මෙම සන්දර්භය තුල ජනතා විමුක්ති පෙරමුන, ජාජබ කුඩය යටින් ජනාධිපතිවරන වේදිකාවට ගොඩවී ඇත. මෙම සංවිධාන දෙකේම නායකයා වන අනුර කුමාර දිසානායක ජාජබ ජනාධිපතිවරන අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබේ.

ජවිපෙ විසින් ජාජබ පිහිටුවා ගන්නා ලද්දේ 2015 දීය. එය විද්වතුන්, වෘත්තිකයන්, සමහර කලාකරුවන්, කුඩා ව්‍යාපාරිකයන් සහ ඊනියා සිවිල් සමාජ කන්ඩායම්, බෞද්ධ භික්ෂූන්, ජවිපෙ සහ ඊට අනුබද්ධ සංවිධාන ඇතුලු සංවිධාන 28 ක එකමුතුවක් බවට විකාශනය වී තිබේ.

මෑතක දී සමහර මත විමසුම්වලින් පෙන්නුම් කර ඇත්තේ, දිසානායක ජනාධිපතිවරයකු ලෙස තෝරා ගැනීමට සියයට 51 ක පමන ඡන්දදායකයින් ප්‍රසාදය පල කරන අතර අනෙකුත් අපේක්ෂකයන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි. ජාජබ සිය ජනාධිපතිවරන ප්‍රචාරක ව්‍යාපාරය තීව්‍ර කර, සෑම දිනකම පාහේ අත දිගහැර වියදම් කරමින් රැස්වීම් පවත්වයි. විද්‍යුත්  ජනමාධ්‍ය ජාජබ හුවා දැක්වීමට විශාල වැඩකොටසක් ඉටු කරමින් සිටින්නේ ධනපති පන්තියේ විකල්පයක් ලෙස එය මතුකර ගැනීමේ ධනපති පන්ති අපේක්ෂාව පෙන්නුම් කරමිනි.

දෙසැම්බර් 3 දා සන්ඩේ ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දිසානායක පැවසුවේ, ජනාධිපතිවරනය සඳහා ජාජබ ප්‍රචාරක සටන් පාඨය වනු ඇත්තේ “පොහොසත් රටක්, පොහොසත් ජනතාවක්!” යන්න බවයි. මෙම සටන් පාඨය, පසුගිය කාලයේ අනෙකුත් ධනේශ්වර පක්ෂවල අපේක්ෂකයන් විසින් ද ඡන්දදායකයින් මුලාකිරීම සඳහා පට්ටගැසූ  “සමෘද්ධිමත් රටක්, සමෘද්ධිමත් ජනතාවක්!” වැනි සටන් පාඨවලට වඩා වෙනස් නොවේ.

පසුගිය මාසයේ සිට ජාජබ රට තුල “ජාතික පිබිදීමේ ව්‍යාපාරයක්” ගොඩනැගීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ව්‍යාපාරයක් තීව්‍ර කර ඇත.

ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන ලදුව, ජනවාරි 2 දා කොලඹ දී පැවත්වූ සම්මන්ත්‍රනයකදී දිසානායක ප්‍රකාශ කලේ, ඉදිරි මැතිවරනය තම පක්ෂයට “Do or Die (ජීවිතයත් මරනයත් අතර) සටනක්” වනු ඇති බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපි බලය ගත්තොත් අපට ලැබෙන්නෙ පහලටම කඩාවැටුනු රටක් . එය ගොඩනැගීම සනීපකාරී ජීවිතයකින් කරන්න බෑ . ඒ සඳහා අපට අතීතයේ නොතිබූ ජාතික පිබිදීමක් අවශ්‍යයි.”

ඔහු ඉතිහාසය කනපිට හරවමින් මෙසේ සඳහන් කලේය: “ඉන්දියාවට එවැනි ජාතික පිබිදීමේ ව්‍යාපාරයක් තිබුනා. නේරු, ගාන්ධි, චන්ද්‍රබෝස් සහ පටෙල් වාර්ගික වෙනස්කම් ඉක්මවා මහා වර්ධනයක් ගත්තේ මේ ජාතික පිබිදීම මගින්.”  ඉන්දියාව අද ග්‍රහලෝක තරනය කිරීම දක්වා මහා වර්ධනයක් අත්පත් කරගෙන ඇත්තේ මෙම පිබිදීම නිසා බව දින හතරකට පෙර පැවති මාතර කාන්තා රැස්වීමකදී ඔහු කිවේය. 

දෙවන ලෝක යුද්ධ සමයේදී බිඳවැටුනු ජපානයට සුපිරි ආර්ථික බලවතෙකු ලෙස නැගී සිටීමට හැකි වූයේ මහජනයා තනි ජාතියක් ලෙස සිතූ නිසා ය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයට එරෙහි අරගලයේදී ජාතික පිබිදීමකින් ක්‍රියාකර දැන් ලෝකයේ සුපිරි බලවතෙකු බවට පත්ව ඇත. ජාතික පිබිදීමේ ප්‍රතිඵලයක් ලෙස වියට්නාමය ‘සංවර්ධනය වීම’ සහ චීනය ප්‍රධාන බලයක් බවට පත් වීම ගැන ද ඔහු සඳහන් කලේය.

ශ්‍රී ලංකාවට සිටියේ “ජාතික වීරයන්” නොව, බ්‍රිතාන්‍ය ජීවන රටාවන් අනුකරනය කරන නායකයින් යයි ඔහු කනිපින්දම් ගැසුවේය. ඔවුන් සතුව තිබුනේ, එක් ජනවර්ගයක් අනෙකට එරෙහිව පිහිටුවීමේ උපාය මාර්ගයකි. “[රට] චෞර කල්ලියෙන් නිදහස් කර ගෙන” ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමට නම්, නව “ජාතික පිබිදීමේ ව්‍යාපාරයක්” අවශ්‍ය වේ.

සිය කතාව අවසානයේ, ජාජබ නායකයා තම පාලන තන්ත්‍රයක 'ජාතික පිබිදීම' යටතේ ජනතාව කල යුතු දේ ද පැහැදිලි කලේය: “ගොවියා කුඹුරට යන්නේ ඔහු වෙනුවෙන් නොව මුලු රටම වෙනුවෙන්, ධීවරයා මාලු බාන්නේ ඔහුට යමක් ගැනීමට පමනක් නොව රට වෙනුවෙන්, වෛද්‍යවරයා වැඩට යන්නේ ඔහුගේ වැටුපට සඳහා නොව ජනතාව සුවපත් කිරීමට යි, මිනිසුන් අවදි කිරීමට ලේඛකයින් ලිවිය යුතුයි, මාධ්‍යවේදීන් මාධ්‍යවලට ලියන්නේ මුදලට නොව ජනතා පිබිදීම ඇති කිරීමටයි.”

එක්සත් ජනපදයට, ජපානයට සහ ඉන්දියාවට දැන් “සුපිරි බලවතුන්” ලෙස නැගී සිටීමට හැකි වූයේ එම රටවල “ජාතික පිබිදීමේ” ප්‍රතිඵලයක් ලෙසය යන ජාජබ/ජවිපෙ නායකයාගේ ප්‍රකාශ බොරුවකි. 

18 සහ 19 වැනි ශතවර්ෂවල, ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය යටතේ ධනේශ්වර විප්ලවයන් සිදුකල එක්සත් ජනපද හා යුරෝපීය රටවල ධනපති පාලක පන්ති අද දින මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් විනාශ කරමින් කම්කරු පන්තිය මර්දනය කිරීමේ එල්ලය ඇතිව ෆැසිස්ට් හා ඒකාධිපති ප්‍රවනතාවන් පෝෂනය කරති. ඔවුහු රුසියාවට එරෙහිව යුක්‍රේනයේ යුද්ධ අවුලුවාලන අතර ගාසා තීරයේ ෆැසිස්ට් සියොන්වාදී තන්ත‍්‍රයේ ජන සංහාරයට පිටුබලය දෙමින් සිටිති; එක්සත් ජනපදය මැද පෙරදිග පුලුල් යුද්ධයක් ඇති කිරීමට හඹා යමින් චීනය යටත් කරගැනීමේ  ප්‍රධාන ඉලක්කය කරගෙන සිටියි. එක්සත් ජනපද සහ නැටෝ බලවතුන්ගේ මිලිටරි ධාවනය ගෝලීය න්‍යෂ්ටික ව්‍යසනයේ අන්තරාය මතු කරයි.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව, චීනයට එරෙහි යුද සූදානම සමග පෙලගැසී සිටින එක්සත් ජනපදයේ හවුල්කරුවෙකු ලෙස හින්දුත්ව ෆැසිස්ට් පාලනයක් තහවුරු කිරීම පියවර වේගවත් කරයි. කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කරන ස්ටැලින්වාදී නිලධර යාන්ත්‍රනයන් විසින් පාලනය කරනු ලබන චීනය සහ වියට්නාමය, දේශීය හා විදේශීය ආයෝජකයන්ට කම්කරුවන් නිර්දය ලෙස සූරාකෑමේ කොන්දේසි නිර්මානය කර තිබේ.

අධිරාජ්‍යවාදී බලවතුන් සහ අනෙකුත් රටවල් පිලිබඳ දිසානායකගේ ආස්ථානයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඔහු සහ  ජාජබ/ජවිපෙ තව දුරටත් දකුනට මාරු වී ඇති බවත්, බලයට පැමිනියහොත්, ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට ඉලක්ක කර ඇති බවත්ය. ඒ සඳහා දිසානායක හා ඔහුගේ පක්ෂය ප‍්‍රතිගාමී අධිරාජ්‍යවාදී බලවතුන් සහ දක්ෂිනාංශික තන්ත‍්‍රයන් වැලඳගෙන ඔවුන්ගෙන් අනුග‍්‍රහය ලබා ගැනීමට හැරී සිටියි. 

රුදුරු  ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සාමකාමී අයුරින් කල නොහැකි ය. දැනටමත් දශක ගනනක් කඳු ගැසුනු සමාජ ව්‍යසනයකට මුහුන දී සිටින කම්කරුවන් දුගීන් එම වැඩපිලිවෙලට එරෙහිව පෙරලිකාරිවී සිටින තතු තුල එය තලා දැමීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව ආඥාදායක අවි මුවහත් කරමින් සිටියි. දිසානායක ද බලයට පත්වුවහොත් ක්‍රියාකරනු ඇත්තේ ඒ අයුරින්ම ය. 

අනාගත ජාජබ තන්ත්‍රයක් යටතේ, ආර්ථිකය මත්තේ මහා ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයින් අඛන්ඩව ආධිපත්‍යය දරනු ඇත; රට විදේශ ආයෝජන සඳහා විවෘත බව ජාජබ සහතික කර තිබේ.

ජනවාරි 8 වැනි දින සියත රූපවාහිනී වැඩසටහනකදී දිසානායක, අප්‍රිකාවේ ආයෝජනය කරන ඉහලම ලාභ ලබන ලංකාවේ සමාගමක් වන එල්ඕඑල්සී (ලංකා ඔරියන්ට් ලිසිං සමාගම) අගය කලේය. චෙන්නායි හි සහ බංග්ලාදේශයේ ආයෝජනය කරන අනෙකුත් සමාගම් වර්නනා කලේය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙම ව්‍යවසායකයින් අපට ආඩම්බරයක්.” අනාගත ජාජබ ආන්ඩුවක කර්තව්‍යයක් වන්නේ මෙම මහ ව්‍යාපාරිකයන් දිරිගැන්වීම, ඔවුන්ට නවීන තාක්‍ෂනික දැනුම ලබා දීම සහ වෙලඳපොලවල්  සොයාදීම බව දිසානායක පැහැදිලි කලේය.

ජාජබ පාලන තන්ත්‍රයක් යටතේ කම්කරුවන්ට සහ දුප්පතුන්ට අත්වන ඉරනම කුමක් වේද? “රට යලි ගොඩනැගීමේ” නාමයෙන් තම ජීවන සහ සමාජ කොන්දේසි ගැන නොසිතා, විදේශ නය ගෙවීමට සහ මහා ව්‍යාපාරික ලාභ තරකිරීමට කම්කරුවන් කැඹිරිය යුතුය. ජාතික පිබිදීමකින් “එක හුස්මට අපි මහන්සිවුනොත් රට ගොඩගන්න පුලුවන්.” ඔහු මෙය පුනපුනා කියයි. ඔහු එසේ පවසන්නේ කම්කරුවන් හා දුගීන් දැන් වෙහෙස මහන්සි වී වැඩ නොකරන්නාක් මෙන්ය. ආදර්ශය ලබා දීමට තමන් ද එසේ වැඩකරන බව ජාජබ/ජවිපෙ නායකයා කියා සිටී!   

එමතු නොව, ජාජබ පාලන තන්ත්‍රය සහ එහි ඊනියා ජාතික පිබිදීම සහ විමුක්තිය වෙනුවෙන් ස්තෝත්‍ර ලිවීම සඳහා ලේඛකයින් සහ මාධ්‍යවේදීන් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කැප කල යුතුය!

“රට යලි ගොඩනැගීමට” ග්‍රීසියේ ව්‍යාජ-වාම සිරිසා පාලනය විසින් පරිභෝජනය කපා හැරීමට තීරන ගත් ආකාරය පිලිබඳ 2022 ඔක්තෝබර් 17 දින ස්වර්නවාහිනී සංවාද මන්ඩපයක දී ජාජබ/ජවිපෙ නායකයා විස්තර කලේය. ග්‍රීසිය 2010 ආරම්භයේ සිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුන දුන්නේය. ඔහු මෙසේ පැවසීය: “ග්‍රීක ආන්ඩුව පුද්ගලයෙකුට දිනකට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න දුන්නෙ යුරෝ 20යි.” ඇත්ත වශයෙන්ම, ඔහුට උවමනා වූයේ ජාජබ පාලනයක් යටතේ ගැනීමට යන කප්පාදු පියවරයන් අවධාරනය කිරීමය. 

එම සංවාද මන්ඩපයේදී ම තමන්ගේ ආන්ඩුවක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් නය ගන්නේදැයි ඇසූ විට එසේ නය ගැනීම අවශ්‍ය බව තිරකරමින් දිසානායක මෙසේ සඳහන් කලේය: “අපි ඉන්නෙ ලිං ගැට්ටෙ... අපිට කාගේ හරි පිලිසරනක් ඕන. අපි අනිවාර්යයෙන්ම හිතනව තුන්වන පාර්ශ්වයක ආධාරය ඕන බව.” ඔහු මෙසේ ද කීවේ ය: රට [එනම්, මහ ජනතාව] තමන්ගේ පරිභෝජන රටාව වෙනස් කල යුතුයි. ... අපිට සියල්ල පරිභෝජනය කරමින් ඩොලර් ඉතිරි කරගන්න බෑ.” ජාත්‍යන්තර අරමුදල කම්කරුවන්ගේ හා දුගීන්ගේ පරිභෝජනය කපා හැරීමට වික්‍රමසිංහ ආන්ඩුව ලවා ද කරවන්නේ මේ ටික ම නොවේද?

ජාජබ/ජවිපෙ නායකයා පවසන්නේ දැඩි පියවර නොගෙන රටට අර්බුදය ජයගත නොහැකි බවයි. ඔහුට අනුව, ජනතාව මෙවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට, අලුත් පාලනයක් පත්කර ගත්විට වසර දෙක තුනක කාල පරාසයක් ලබා දෙනු ඇත.

ඔහුගේ ඊනියා “විමුක්ති ව්‍යාපාරය” මෙහෙයවනු ලබන්නේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට හා එය හා බැඳුනු ධනේශ්වර පන්තියට එරෙහිව නොව, “චෞරවයන්ගේ කවය” තුරන් කිරීම සඳහා දූෂනයට එරෙහිව ය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දූෂනයේ ප්‍රතිඵලයක් බවට ජාජබ/ජවිපෙ, පෙසප සහ වෘත්තීය සමිති අවධාරනය කරයි. දූෂනය නැති කලොත් අර්බුදය විසඳිය හැකිය, හොරුන්ගෙන් මංකොල්ල කෑ මුදල් ආපහු ගෙන හැම හිඟයක්ම පියවා ගත හැකිය.

දූෂනය සහ තුච්ඡ ගනුදෙනුවලින් ධනය ගොඩ ගසා ගැනීම, ප්‍රධාන ධනේශ්වර රටවල සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් දක්වා ඉහවහා ගිය පොදු ලක්ෂනයකි. දූෂනය ධනවාදය සමඟ බැඳී ඇත. ‘ඊනියා විමුක්තිය සඳහා සටන් කිරීමට ජාජබ නව සතුරෙකු සොයා ගැනීම, දූෂනය ධනපති ක්‍රමය සමග බැඳී ඇතිබව නරුම ලෙස වසන් කිරීමකි. ධනවාදය පෙරලා දැමීම සඳහා එල්ලකරන ඍජු ප්‍රහාරයකින් තොරව, එය ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාර හෝ දූෂනය තුරන් කල නොහැක.

දිසානායක සිය ‘ජාතික පිබිදීමේ’ දේශපාලනය ආවරනය කිරීමට ඉතිහාසය උඩු යටිකුරුකොට පෙරලා ඇත්තේ ඇයිද යන්න පැහැදිලි කිරීමට යම් කාලයක් ගැනීම වටී. 

ඔහුට අනුව ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් අද ප්‍රධාන බලවතුන් වී ඇත්තේ ජාතික නිදහස් ව්‍යාපාර වලින් ලැබුනු ගැම්ම නිසා ය!

ධනේශ්වර විප්ලවවලදී එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක ධනේශ්වරය පෙන්වූ එහි ප්‍රගතිශීලී ක්‍රියාකලාපය අවසන් වූයේ, මෙම බලවත් රටවල් අධිරාජ්‍යවාදී අවධිය දක්වා වර්ධනය වීමෙදී සිදුවූ පරිවර්තනයන් සමඟ ය. පලමු ලෝක යුද්ධය ධනවාදයේ සහ එහි ජාතික රාජ්‍ය පද්ධතියේ ප්‍රගතිශීලී භූමිකාවේ නිශ්චිත අවසානය සනිටුහන් කල බව ලෙනින්ගේ අගනා කෘතියක් වන අධිරාජ්‍යවාදය: ධනවාදයේ ඉහලම අවධිය නම්වූ කෘතියෙන් පෙන්නුම් කලේ ය. මෙම විශ්ලේෂනයෙන් ගලා ආවේ සමාජයේ සමාජවාදී පරිවර්තනයේ වෛෂයික අවශ්‍යතාවය යි.

ලෙනින් සිය අධිරාජ්‍යවාදය සහ සමාජවාදයේ භේදය නමැති විශ්ලේෂනය තුල මෙසේ පැවසීය: “දේශපාලන ප්‍රතිගාමිත්වය, අධිරාජ්‍යවාදය සමග එකට වෙලී පවතින ගතිලක්ෂනයකි. දුෂනය, විශාල පරිමාවෙන් අල්ලස් දීම සහ සෑම ආකාරයක ම වංචාවල යෙදීම [ආදී වශයෙනි.” දිසානායක මෙම දේශපාලන ප්‍රතිගාමිත්වය ඉහවහා ගිය අධිරාජ්‍යවාදී රටවල් වැලඳ ගැනීමේ දී කිසිදු පැකිලීමක් නොදක්වයි.

චීනයේ වත්මන් මාඕවාදී කොමියුනිස්ට් පක්ෂ පාලනයට, විශාල විදේශීය හා දේශීය ව්‍යාපාර ජනසතු කිරීම සිදුකෙරුනු වැඩවසම් අංග බොහෝදුරට පෙරලා දැමුනු ප්‍රගතිශීලී 1949 චීන විප්ලවය සමඟ කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත. තනි රටක සමාජවාදය පිලිබඳ ජාතිකවාදී ස්ටැලින්වාදී න්‍යාය මත පදනම්ව, මාඕ සේතුං පාලනය චීනය ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටනින් හුදකලා කල අතර, මතුවූ ගැඹුරු ආර්ථික හා සමාජ ගැටලු වලට මුහුන දීමට නොහැකිව, 1970 ගනන්වල සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අනුගත විය. 1989 දී, සමාජ කොන්දේසි විනාශයට හා මර්දනයට එරෙහිව ශිෂ්‍ය හා කම්කරු නැගිටීමක් සිදු වූ විට, නිලධරය එය තලා දැමීම සඳහා ලේ වැකි මර්දනයක් දියත් කරමින් ධනවාදය පුනස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කලේය. චීනයේ ආර්ථික නැගීම නිර්මානය කර ඇත්තේ, විදේශ ප්‍රාග්ධනය සඳහා රට විවෘත කර, ඍජු විදේශ ආයෝජන සඳහා විශාලතම ගමනාන්තයක් බවට එරට පත්කිරීම මගිනි. එමගින් චීනයට “ලෝකයේ කර්මාන්තශාලාව” නැතහොත්  “ලෝකයේ වැඩපොල” යන නම් පටබැඳුනි.  

ග්‍රාමීය ජනතාව දරිද්‍රතාවයෙන් හා විරැකියාවෙන් පීඩා විඳිද්දී කම්කරු පන්තිය විශේෂ ආර්ථික කලාපවල සහ ඉන් පිටත නිර්දය සූරාකෑමට ලක් වේ. කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වයට එරෙහිව ෂි ජින්පින්ගේ මාඕවාදී තන්ත‍්‍රය සිය නිලධර උපකරන සහ රාජ්‍ය යන්ත‍්‍රය මුදාහරියි. 

හින්දුත්ව ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදය මත පදනම් වූ අගමැති නරේන්ද්‍ර මෝදි පාලනය යටතේ ඉන්දියානු ප්‍රභූව, ප්‍රධාන වශයෙන් මුස්ලිම් ප්‍රජාවට සහ අනෙකුත් සුලු ජාතීන්ට එරෙහිව ප්‍රකෝප කිරීම් කරමින් අත්තනෝමතික පාලනයක් ගොඩනගමින් සිටී, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කලාපීය සහචරයා ලෙස චීනය සමඟ මිලිටරි ගැටුම සූදානම් කිරීමේ හවුල්කරුවෙකු වේ. සාරාර්ථයෙන් ගත් කල, ඉන්දියාව, මහා බලයක් වීමේ අභිලාෂයන් සමඟ එක්සත් ජනපදයේ ක්‍රියාකාරී හවුල්කරුවෙකු වී ඇත. ඉන්දියානු ජාතික කොංග්‍රසය (අයිඑන්සී) සහ ඉන්දියානු ප්‍රභූ පැලැන්තියේ අනෙකුත් කොටස් වලට ඇත්තේ ද එම අභිලාෂයන්ම ය.

ඉන්දියානු උප මහද්වීපයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ජාතික ව්‍යාපාරයක් පැවතුනි. විසිවන සියවසේ මුල් දශකවලදී ජනවාර්ගික හා ආගමික භේද කපාගෙන මෙම අරගලයේ දී ජනතාව එක්සත් විය.

කෙසේ වුවත්, කම්කරු පන්තිය කරලියට පැමිනීමත් සමඟ අයිඑන්සී ධනපති නායකත්වය වේගයෙන් දකුනට මාරු විය. 1947 දී බ්‍රිතාන්‍යය ඉන්දියාවට “නිදහස” ලබාදෙන විට, අයිඑන්සීය, මුස්ලිම් ධනපතියන්ගේ මුස්ලිම් ලීගය සමග එක්ව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ කුමන්ත්‍රනය කලේ හින්දු ඉන්දියාව සහ මුස්ලිම් පකිස්තානය ලෙස ඉන්දියානු උප මහාද්වීපයේ ජීවමාන දේහය වාර්ගික පදනම මත දෙකට කපා දැමීමට ය; ඉතිහාසයේ දැවැන්ත මිනිස් සංහාරයකට තුඩු දුන් එම බෙදීම, අද දින ද නවදිල්ලිය සහ ඉස්ලාමාබාද් විසින් එකිනෙකාට එරෙහිව යුද තර්ජන ද මතුකරමින් උප මහාද්වීපය තුල කම්කරු පන්තිය එකිනෙකට එරෙහිව පිහිටුවීමට භාවිතා කරන විසකුරු අවියයි. දිසානායක මෙම වර්ධනයන් වසන් කරමින්, ඉන්දියානු ප්‍රභූව වාර්ගික භේද ඉක්මවා මහජනතාවන් එක්සත් කලේයැයි ව්‍යාජ ලෙස පින්තාරු කරයි.

1939 දී, ඉන්දියානු කම්කරුවන්ට විවෘත ලිපියක් මගින් ට්‍රොට්ස්කි ඉන්දියාවේ ධනේශ්වරයේ ස්වභාවය පැහැදිලි කලේය:

“ඉන්දියානු ධනේශ්වරයට විප්ලවවාදී අරගලයකට නායකත්වය දීමට හැකියාවක් නැත. ඔවුහු බ්‍රිතාන්‍ය ධනවාදය සමග සමීපව බැඳී, එය මත යැපී සිටිති. තමන්ගේ දේපල වෙනුවෙන් ඔවුහු බියෙන් වෙවුලුම් කති. ඔවුහු මහජනතාව කෙරෙහි බියට පත්ව සිටිති. කුමන මිලක් හෝ  ගෙවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් ඇතිකර ගැනීමට මානබලන ඔවුහු, ඉහලින් ලැබෙන ප‍්‍රතිසංස්කරන පිලිබඳ බලාපොරොත්තු දෙමින් ඉන්දියානු ජනතාව නලවමින් සිටිති. මේ ධනපති පන්තියේ නායකයා සහ අනාගත වක්තෘ ගාන්ධි ය. ව්‍යාජ නායකයෙක්! බොරු  අනාගත වක්තෘ කෙනෙක්!”

ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැලැන්තිය බ්‍රිතාන්‍ය යටත් විජිත ස්වාමිවරුන්ගේ බැලයන් ලෙස ද්‍රෝහී භූමිකාවක් ඉටු කිරීම හුදු පුද්ගලයන් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ඓතිහාසික වශයෙන් ලංකාවේ දුර්වල ධනේශ්වර පංතිය, බ්‍රිතාන්‍ය සමාගම් සමඟ බැඳුනු කනිෂ්ඨ ව්‍යාපාරිකයන් ලෙස මතු විය. ධනේශ්වරයේ ශෝචනීය සම්භවයටත් පෙර ම වේදිකාවට පැමිනි කම්කරු පන්තියට ඔවුන් හැම විටම බිය විය. එය 1948 නිදහසට පෙර හා පසු කම්කරු පන්තිය බෙදීමට වර්ගවාදය යොදා ගත්තේය.   විෂඝෝර ලෙස දෙමල විරෝධී ජාතිවාදය යොදා ගැනීම අවසානයේ තුඩුදුන්නේ, 1983 දී බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව වාර්ගික යුද්ධය  ඇවිලවීමටයි. 

26 වසරක යුද්ධයේ උග්‍ර ආධාරකරුවෙකු ලෙස ද, ධනේශ්වර පන්තිය සමඟ දෙමල විරෝධී වර්ගවාදය අවුලුවන්නෙකු ලෙසද ජවිපෙට ඇත්තේ නින්දිත වාර්තාවකි. ජාජබයේ ඉදිරිපෙල සිටින බොහෝ දෙනෙක් එයට සම්බන්ධ වී ඇතත්, දෙමල ජනයාගේ ඡන්ද ආකර්ෂනය කර ගැනීම සඳහා තමන් වර්ගවාදී දේශපාලනයට සම්බන්ධයක් නොතිබූ බවට ඔවුහු මවාපෑමක යෙදෙති.

1942, හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප මහාද්වීපයේ ශාඛාව ලෙස පිහිටුවන ලද, ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය පමනක් ම, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින්ට සහ ලංකාවේ එහි ගැත්තන්ට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වමින් ග්‍රාමීය දුගීන් කම්කරු පන්තිය සමග පෙලගැස්වීමට සටන් කලේය. නිදහසින් පසු, 1964 දී ලසසප මහා පාවාදීමත් සමග සිරිමා බන්ඩාරනායක ධනේශ්වර ආන්ඩුවට එක්වන තෙක්, ට්‍රොට්ස්කිවාදීහු දෙමල විරෝධී වර්ගවාදී දේශපාලනයට එරෙහි සටනේ වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කලහ.

ධනපති දේශපාලන නායකයෙක් ලෙස මතුව සිටින දිසානායකට මෙම සත්‍ය ඉතිහාසය සතුරුව සිටියි. දැන් ඔහු අතීතයේ කල නොහැකිවූ “ජාතික පිබිදීම” වර්තමානයේ ඇති කිරීමට නායකත්වය දෙන අයෙකු ලෙස රඟපායි. ඉතිහාසය ඒකාකාරිව පුනරුච්චාරනය නොවේ. අද ව්‍යාජ ජාතික පිබිදීමේ නායකයාට මතුවිය හැක්කේ ප්‍රතිගාමී ක්‍රියාකලාපයක් ඉටුකරන්නෙකු ලෙසයි!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා ජාජබ විසින් ඉදිරිපත් කරන වියට්නාම සහ සිංගප්පූරු මොඩල

දෙසැම්බර් 14 දා ඩේලි මිරර් හි සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජාජබ/ජවිපෙ නායකයෙකු වන නලින්ද ජයතිස්ස ජාජබ බලයට පත් වුවහොත් තමන් ක්‍රියාත්මක කරන වැඩපිලිවෙල පැහැදිලි කරමින් මෙසේ පැවසීය: “සේවා අංශය දියුනු කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු ආකෘතියට සමාන විශේෂාංග අප සතුව තියෙනවා. අපගේ ප්‍රතිපත්තියට සමීපතම රට කුමක්දැයි විමසා සිටින්නේ නම්, එහිදී අපට වියට්නාමය පෙන්වා දිය හැකියි...”  

ඇමරිකාවට ගැති රටක්වන  සිංගප්පූරු පාලකයන් ගෙනයන්නේ පොලිස් රාජ්‍යයකි. එරට කලාපයේ නාවික සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙසද  වෙලඳාම, තොරතුරු තාක්ෂන, ප්‍රවාහනය සහ නවාතැන් යනාදි සේවාවන් සැපයීමේ ප්‍රමුඛයෙක් ලෙස ද ක්‍රියා කරයි. “විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති” ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ වික්‍රමසිංහ සහ තවත් බොහෝ අය සිංගප්පූරුව ශ්‍රී ලංකාවට සුදුසු මොඩලයක් ලෙස දක්වා ඇත. එහි ඉහල ඒක පුද්ගල ආදායම තිබියදී, සිංගප්පූරුව සිටින්නේ තියුනු සමාජ අසමානතාවයක් ඇති රටවල් අතර ය. සිංගප්පූරුවේ හිටපු නායකයෙකු වන ලී ක්වාන් යූ එම මොඩලය හඳුන්වාදුන් පුද්ගලයා ලෙස වන්දනාමානයට ලක්වේ. ඔහු ජාජබ නායකයන්ගේ ද ඇස් පාදා ඇත!

1975 දී වියට්කොංවරුන්ගේ විප්ලවීය ජයග්‍රහනයෙන්, එක්සත් ජනපද හමුදා නින්දිත පරාජයකට ලක් කරමින් එහි දකුනු  වියට්නාමයේ රූකඩ ආන්ඩුව ද පෙරලා දමා වියට්නාමයේ උතුර හා දකුනු එකතු කෙරුනි. ඉන් වසර 11 කට පසු, වියට්නාමයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ නිලධරය රට තුල ධනවාදය පුනස්ථාපනය කිරීම ආරම්භ කලේය. වාර්තා පෙන්වා දෙන්නේ රජය සතු ව්‍යාපාර දසදහස් ගනනක් පෞද්ගලීකරනය කර ඇති බවත්, රට තුල දරිද්‍රතාවය ඉහවහා ගොස් ඇති බවත්, කම්කරුවන්ගේ අරගල යටපත් කර ඇති බවත් ය.

වියට්නාමය අගය කරන්නෙක් වන ජාජබ/ජවිපෙ නායක දිසානායක ද,  2022 දී එරට ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 27 ක් ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබීම හුවා දක්වයි. ඔහු, ශ්‍රී ලංකාවට ඉහල සෘජු විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමේ ප්‍රතිපත්ති අවශ්‍ය බව පෙන්වා දුන්නේය. මේ වන විට ආයෝජකයින් සඳහා වියට්නාමය තුල විශේෂ ආර්ථික කලාප 80 ක් නිර්මානය කර ඇති  අතර තවත් එවන් කලාප නිර්මානය කිරීමට නියමිත ය; විශාල සමාගම්වල ලාභය ඉහල නැංවීමට සංක්‍රමනික සහ ස්වදේශික කම්කරුවන් සුරාකෑමට ලක්කෙරෙන වියට්නාමය පවතින්නේ, ජාමූඅ මෙහෙයුමේ අධීක්ෂනය යටතේ ය.

දැනටමත් විදේශ ආයෝජකයන්ට ලාභ ශ්‍රම සුරාකෑම සඳහා ලංකාවේ ඉදිකර දී ඇති නිදහස් වෙලඳ කලාප හා විශේෂ ආර්ථික කලාප ජාජබ වියටනාම් මොඩලය අනුව තවතවත් පුලුල්විමට නියමිතය.

මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවේ දී ජයතිස්ස කියා සිටියේ, ඔවුන්ගේ පාලනයක් යටතේ අධ්‍යාපනය රාජ්‍ය අධීක්ෂනය යටතේ පැවතුනත් පෞද්ගලික අංශයට විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතන පිහිටුවීමට අවසර දෙන බවයි. සෞඛ්‍ය සේවය සඳහා ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කරනු ඇත.

දිසානායක සහ සමාගම, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලින් තමන් දුරස්ත  බව පෙන්වීමට තැත්කරති.  එවැනි මවාපෑම් සිදු කෙරෙන්නේ, මහජනතාව මුලා කිරීමට සහ කුරිරු කප්පාදුවලට ලක් ව සිටින මහජන විරුද්ධත්වය ගසාකෑමටයි. කෙසේ වෙතත්, ජාජබ ජනාධිපති අපේක්ෂකයා ම කලින් උපුටා දැක්වූ පරිදි 2022 ඔක්තෝබර් මාසයේ කියා සිටියේ ලංකාව ගොඩ ගැනීමට තමන්ට ද “තුන්වන පාර්ශ්වයක [එනම්, ජාමුඅ] ” අධාරය අනිවාර්යෙන්ම අවශ්‍ය බවයි. 

 දෙසැම්බර් 14 දින, 2024 අයවැයට ඡන්ද විමසීමෙන් පසුව, ජාජබ හි ඉහල මට්ටමේ නායිකාවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ආචාර්ය හරිනි අමරසූරිය මාධ්‍ය වෙත මෙසේ පැවසුවාය: “අපි බලයට පත් වුවහොත්, අපට ලැබෙන ජනවරම අනුව ජාජබ අනිවාර්යයෙන්ම ජාමූඅ ගිවිසුම ගැන නැවත සාකච්ඡා කරනු ඇති... නිෂ්පාදන ක්‍ෂේත්‍රය නංවාලීමට පියවර ගන්නා අතරම වැඩකරන ජනතාවට හානියක් නොවන අයුරින් නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන දිගටම කරගෙන යනවා'.

'ජාමූඅ වැඩසටහන නැවත සාකච්ඡා කිරීම” යනු ජාජබ විසින් මිනිසුන්ව මුලා කිරීම සඳහා භාවිතා කරන යෙදුමකි.සජබ නායක සජිත් ප්‍රේමදාස ද එම වචනම තොරොම්බල් කරයි. කප්පාදු පිලිවෙත් නිර්නය කිරීම සඳහා රටවල් තුල නිර්දය මැදිහත්වීම්වලට ප්‍රසිද්ධ අධිරාජ්‍යවාදී මූල්‍ය නියාමකයා වන ජාමූඅ, ජාජබ සමග ද කටයුතු කරනු ඇත්තේ ඒ හා සමාන ආකාරයකිනි.

විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සාමූහිකය හෙවත් නොනිල හමුදා තන්ත්‍රය 

2023 පෙබරවාරි 11 වන දින තමන්ට සහාය වීම සඳහා හිටපු හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් සංවිධානය කිරීම නිවේදනය කරමින් ජාජබ ඔවුන්ගේ සමුලුවක් මහරගම තරුන සේවා සභා ශාලාවේ පැවැත්වූයේය. 

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2023 පෙබරවාරි 11 වන දින ජවිපෙ-ජාජබ විසින් කැඳවුම් කරන ලද විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීම අමතමින්. විශ්‍රාමික ඉහල හමුදා නිලධාරීහු සහ තාක්ෂනඥයෝ ජවිපෙ නායකයා පිටුපස අසුන්ගෙන සිටිති. [ඡායාරූපය: ලෝසවෙඅ]

දිසානායක ප්‍රේක්ෂකාගාරයට ආයාචනා කරමින් කියා සිටියේ හිටපු සෙබලුන් පක්ෂයේ වැඩකටයුතුවල ප්‍රධාන ගාමකයක් වනු ඇති බවයි. “අපි බලාපොරොත්තු වන වෙනසේ ප්‍රධාන කාර්යය ඉටු කල හැක්කේ ඔබටයි. ඔබ සංවිධිත බලවේගයක්...  මේ වෙනස කිරීමට එවැනි බලවේගයක් අවශ්‍යයි. හමුදාව යනු පුහුනුව ලත් මානව සම්පතකි... සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වූ සංවිධානයකි.”

විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ නැගෙනහිර පලාතේ හිටපු ආඥාපතිවරයෙකු වූ අරුන ජයසේකර අනාගත ජාජබ ආන්ඩුවක ආරක්ෂක ඇමතිවරයා වනු ඇති බව ද දිසානයක එහිදී නිවේදනය කලේය.

ජාජබ ප්‍රමුඛ හමුදා සාමූහිකය පසුගිය වසරේ සෑම දිස්ත්‍රික්කයකම හිටපු නිලධාරීන් එක්රැස් කිරීම සඳහා රැස්වීම් මාලාවක් පැවැත්වීය.

ජනවාරි 6 වැනිදා ගම්පහ පැවති රැස්වීමකදී ජයසේකර මෙසේ පැවසීය: “අපි රට නිදහස් කර ගත්තේ හොරුන්ට රට භාරදීමට නොවේ.” පැහැදිලි කර නැතත්, ඔහු පෙන්වා දුන්නේ, එල්ටීටීඊය පරාජය කරමින් වසර 26 ක යුද්ධය අවසන් කල මිලිටරියේ ක්‍රියාකලාපයයි. ඔහුගෙන් එලෙස ප්‍රකාශයට පත්වී ඇත්තේ මිලිටරිය අරක්ගත් සිංහල වර්ගවාදයයි. 

අනාගත ජාජබ ආන්ඩුවක ප්‍රමුඛතාවය, සෑම ක්ෂේත්‍රයකම “ජාතික ආරක්ෂාව” සුරක්ෂිත කිරීම බව ඔහු අවධාරනය කලේය. මෙයින් අදහස් කරන්නේ “මිලිටරි සාමූහිකත්වය” සෑම කාර්යයකදීම ඉහලින් ක්‍රියාකරමින්  මහජනයාට ජාජබ වැඩසටහන ක්‍රියාවට දැමීමට අන කරන  පැරා මිලිටරියක් ලෙස ක්‍රියා කරනු ඇති බවයි.

හිටපු හමුදා සාමාජිකයන් බලමුලු ගැන්වීමට ජාජබ උත්සාහ කරන විට, හමුදා ප්‍රචන්ඩත්වයට මුහුන දුන් ජවිපෙ සාමාජිකයන්ගේ පවුල් [1987-1990] කෙසේ ප්‍රතිචාර දනවයි ද යන්නත්, “යුද අපරාධ සිදු කල බවට චෝදනා ලබන හමුදාව සමඟ ආතති සහගත සබඳතාවයක් පවතින දෙමල ජනතාව පිලිබඳවත්” දෙසැම්බර් 9 දා, ද හින්දු පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී දිසානායකගෙන් විමසන ලදී.

'අපගේ දේශපාලන කටයුතු බොහොමයක් සිංහල ප්‍රජාවේ ජනතාව සමඟයි. හිටපු හමුදා සාමාජිකයන් එහි කොටස්කරුවන්” යනුවෙන් ඔහු පිලිතුරු දුන්නේය. දෙමල ජනතාව අතර පක්ෂය දුර්වල බව ඔහු පිලිගත්තේය. තම සාමාජිකයන්ගේ පවුල්වලට හමුදාව ගැන පවතින විරුධත්වය හා දෙමල ජනයා අතර යුද අපරාධ පිළිබඳව පවතින කෝපයට වඩා, දිසානායකට ත්‍රිවිධ හමුදා සාමූහිකය වැදගත් ය. 

හිටපු සොල්දාදුවන් වෙත මෙම පෙර නොවූ විරූ හැරීම සහ ජාජබ ආන්ඩුවක් යටතේ මිලිටරියේ භූමිකාව පිලිබඳ දිසානායකගේ අවධාරනය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. ඕනෑ ම කම්කරු පන්තික නැගිටීමක් මැඩපැවැත්වීමට පාලක පන්තිය මිලිටරිය සූදානම් කරමින් සිටියි. ජාජබ ද කරමින් සිටින්නේ එයයි.

ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය 

ජවිපෙ සිය වෘත්තීය සමිති මෙහෙයවාගෙන ඇත්තේ කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාමාර්ග වැලැක්වීමටය. 2022 මහජන නැගිටීම අතරතුර, ජවිපෙ වෘත්තීය සමිති, අනෙකුත් සමිති සමග එක්ව, සිය අන්තර්වාර ආන්ඩු යෝජනාව සඳහා උද්ඝෝෂනය කිරීමට යොමු කලේ ය. නැඟිටීම පාවා දීමෙන් පසු, ජවිපෙ/ජාජබ පලාත්පාලන, ජාතික සහ ජනාධිපතිවරන සඳහා ව්‍යාපාරය ආරම්භ කල අතර එහි වෘත්තීය සමිති මෙම ව්‍යාපාරයට රොක්විය.

ජාජබ පසුගිය වසරේ සිට අවධානය යොමු කර ඇත්තේ ජනාධිපතිවරනය කෙරෙහිය.  ප්‍රධාන වශයෙන් වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සමන්විත වූ ජනවාරි 2 වැනි දින පැවති ජවිපෙ වෘත්තීය සමිති සම්මන්ත්‍රනයේ ප්‍රධාන කථිකයා වූයේ දිසානායක ය. රටේ දූෂනය ගැන සුපුරුදු කතාවලින් පසුව ඔහු කියා සිටියේ, ජනාධිපතිවරනය ජාජබට “Do or Die [ජයග්‍රහනය හෝ මරනය] පිලිබඳ ගැටුමක්” වනු ඇති බවයි. ඔහු කතා කලේ, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනයට එරෙහිව පක්ෂ වෘත්තීය සමිතිවල අරගලයක් සංවිධානය කිරීමක් ගැන නොවේ. දිසානායකගේ කතාව මුලුමනින්ම කැපවූයේ මීලඟ මැතිවරනයේදී ජාජබ පාලනයක් ගෙන ඒමේ අවශ්‍යතාවය අවධාරනය කිරීමටයි.  

විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති රැස්වීම් කැඳවන ජවිපෙ සමිති නායකයන්ගේ ප්‍රචාරයේ මූලික තේමාව මෙයයි. ජනතා විමුක්ති පෙරමුනේ ගුරු සේවා සංගමය (ටීඑස්යූ) දිස්ත්‍රික් සම්මන්ත්‍රන මාලාවක් කැඳවා තිබුනි. ටීඑස්යූ ලේකම් මහින්ද ජයසිංහ විසින්, දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා දෙසැම්බර් 14 වන දින හලාවතදී පැවැත්වූ සම්මන්ත්‍රනයක් ආමන්ත්‍රනය කරන ලදී. මීලඟ වසර “දූෂිතයන් ඉවත් කිරීමේ වසරක්” බවත්, “සමාජ පරිවර්තනයේ” වසරක් බවත් ඔහු පැවසීය. ඔහු ගුරුවරුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේය: “ඒ සදහා ප්‍රමුඛ කාර්යක් ගුරුවරුන්ට තිබෙනවා. මැතිවරනය එන කොට හොඳ දැලැක් එලලා මිනිස්සු දැනුවත් කරමු ” .

ජවිපෙ සහ එහි වෘත්තීය සමිතිවල ප්‍රමුඛ නායකයෙකු වන වසන්ත සමරසිංහ නොවැම්බර් 2 දා ජවිපෙ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ඇමතීය. එහි දී ජාජබ ආන්ඩුවක් වරාය සේවකයන්ගේ සියලු ගැටලු විසඳන බව සඳහන්  කල ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය: ජාජබ ආන්ඩුවක් යටතේ, “වරාය අමාත්‍යවරයා සහ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කරන මෙහෙයුම් ක්‍රියාවලියක් තියෙනවා.” නැව් සඳහා කාර්යක්ෂම සේවාවක් සැපයීමට සැපයුම්කරුවෙකු ලෙස සහ රැකියා උත්පාදකයෙකු ලෙස කොලඹ වරාය සංවර්ධනය කල යුතු බව කී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය: “රට තුල හොඳ ඵලදායිතාවයක් වර්ධනය කිරීමේ වගකීම කම්කරුවන්ට තියෙනවා.'

මෙම ප්‍රකාශය, ජවිපෙ පාලනයක් යටතේ වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය පෙන්නුම් කරයි. වෘත්තීය සමිති, ඇමතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන අතර “කම්කරුවන්ගේ ඵලදායිතාව” තීව්‍ර කිරීමට මෙහෙයුම දියත් කරනු ඇත. වෘත්තීය සමිති රාජ්‍යයේ කෝපරේට්වාදී අන්ඩක් ලෙස ක්‍රියාකරමින්, කම්කරුවන් සූරාකෑමේ වැඩපිලිවෙල සකස්කිරීමට සම්බන්ධවී, එය ක්‍රියාවට දැමීමේ කාර්මික පොලිසියක් ලෙස සේවය කරනු ඇත. 

මෙම මෙහෙයුම 1970-1977 ශ්‍රීලනිප-ලසසප සහ කොප සභාග ආන්ඩු සමය සිහිපත් කරයි. වෙසෙසින්ම, සමසමාජ හා ස්ටැලින්වාදී පක්ෂවල වෘත්තීය සමිති නායකයෝ සේවා ස්ථානවල “උපදේශක සභා” ඇති කිරීමට මුලිකත්වය ගත්හ; ඒවා වැඩ බර වැඩිකිරීමට කලමනාකාරීත්වයට උපදෙස් දුන් අතර මෙම ධාවනයට විරුද්ධ වූ කම්කරුවන් දඩයම් කිරීමට පාලකයන් උසිගැන්වුයේය. සභාග ආන්ඩු සමයේ  සමිති ඉටුකල ක්‍රියාකලාපය ඉක්මවායමින්,  ජවිපෙ සමිති ආන්ඩුවේ හා ධනපති සමාගම්වල ඒජන්තයන් ලෙස විවෘතව වැඩට බසිමින් කම්කරුවන් දඬුගැසීමට, ක්‍රියාත්මකවනු නිසැක බවට අපි කම්කරුවන්ට අනතුරු අඟවමු.

ජවිපෙ කම්කරුවන්ගේ අරගල වැලැක්වීමට ක්‍රියා කිරීමේ තවත් පැත්තක් ද ඇත. “මහජනයා එක හුස්මට මහන්සි වී වැඩකල යුතු ය” යි ද පරිභෝජන රටාව වෙනස්කල යුතු බව ද අවධාරනය කරන ජවිපෙ, කම්කරු අරගල දැන් සීමා නොකොලොත් තමන්ගේ  ආන්ඩුවක් යටතේ ද කම්කරුවන්ගේ ඉල්ලීම් ඇවිලී යතැයි බියපත්ව සිටී .

අධිරාජ්‍යවාදී රටවල් සමග ජාජබ උපාමාරු

අනුර කුමාර දිසානායක ඇමරිකානු තානාපති ජූලි චන්ග් සමග (Source: US Ambassador Julie Chung Facebook page)

ජාජබ/ජවිපෙ නායකයින් කොලඹ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සබඳතා වර්ධනය කරගනිමින්, තම සංවිධානය රට පාලනය කිරීමට වගකිවහැකි, අධිරාජ්‍යවාදයේ සහ ගෝලීය ප්‍රාග්ධනයේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන ශක්‍ය විකල්පයක් ලෙස පවතින බව ඒත්තු ගැන්වීමේ මෙහෙයුමක් ගෙනයයි.

2022 මහජන නැගිටීම මධ්‍යයේ, කොලඹ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, ජවිපෙ නායකයින් ඔවුන්ගේ පක්ෂ මූලස්ථානයේදී හමුවී, එය “මෑත කාලයේ මහජනතාව තුල අනුනාද දෙන', “වැඩෙන පැවැත්මක් ඇති', “සුවිශේෂී පක්ෂයක්” බවට පත්ව ඈති බව සඳහන් කලාය.  “මම හිතන්නේ අපට එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා.” යයි චන්ග් ඇගේ නිගමනය ප්‍රකාශ කලාය.

එතැන් පටන් ඇමෙරිකානු තානාපතිවරිය අවම වශයෙන් අවස්ථා දෙකක් ජවිපෙ නායකයන් හමුවී ඇත. මෙම පක්ෂය එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ කුඩා බලවතුන් වන නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ නවසීලන්තය යන රටවල තානාපතීන් සමග ද සාකච්චා පවත්වා තිබේ. විශේෂයෙන්ම චීනයට එරෙහි සිය මිලිටරි තරකිරීම් සමග පෙලගැසෙන ලෙස කොලඹ පාලනයට බලපෑම් කරන එක්සත් ජනපදය සමග සබඳතා වර්ධනය කර ගැනීමට ජවිපෙ/ජාජබ උනන්දු වෙයි. 

ද හින්දු පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී  දිසානායක පැවසුවේ “අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව, ප්‍රධාන දේශපාලන හා ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව අපි දන්නවා.” අනාගත ජාජබ ආන්ඩුවක් ආර්ථික හා දේශපාලන තීන්දු ගන්නා විට, “අප ඒවා ඉන්දියාවට බලපාන්නේ කෙසේද යන්න පිලිබඳව සැමවිටම සැලකිලිමත්ව,” ක්‍රියා කරන බවට ඔහු සහතික විය.

ජාජබ/ජවිපෙ නායකයා මෙසේ නරුම ලෙස පෙන්නුම් කර ඇත්තේ, කම්කරු පන්තියේ වියදමින් අධිරාජ්‍යවාදයේ මෙන්ම කලාපීය බලවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට තමන්ගේ සූදානම යි.

ජනතා විමුක්ති පෙරමුනේ විකාශනය පිලිබඳව

ජවිපෙ 1960 ගනන්වල පිහිටුවන ලද්දේ  සිංහල ස්වෝත්තමවාදය සමඟ දැඩි ලෙස බැඳුනු සහ මාඕවාදී සහ කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලාවාදයේ පදනම මත දිවයිනේ දකුනේ අසහනයට පත් සිංහල තරුනයන් බඳවා ගනිමිනි.

එය මතුවූයේ, බන්ඩාරනායක ආන්ඩුව සමග එක් වෙමින් ලසසපය සිදුකල මහා පාවාදීමේ විපාකයක් ලෙස ය. ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය ජාත්‍යන්තර පැබ්ලෝවාදී සංශෝධනවාදී ව්‍යාපාරය මෙම පාවාදීමට ඍජුවම අනුබල දෙන ලදී. ලසසප පාවාදීමේ ප්‍රතිවිපාකයක් ලෙස සිංහල ග්‍රාමීය සුලු ධනේශ්වර කොටස් අතර මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳුනු කන්ඩායමකට ජවිපෙ මතුකර ගැනීමට ඉඩ ලැබුනු  අතර, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල බෙදුම්වාදී එල්ටීටීඊය සහ අනෙකුත් දෙමල කන්ඩායම් ඉස්මත්තට ආවේය.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රථම ප්‍රධාන ලේකම්වූ අභාවප්ප්‍රාප්ත කීර්ති බාලසූරිය 1970 දී ලියන ලද, ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය නම් සිය අගනා කෘතියෙහි ජවිපෙ මෙම මූලාරම්භය විග්‍රහ කර ඇත.

දෙමල ජනයාට එරෙහිව, විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ට එරෙහිව එල්ල කරන ලද සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය ප්‍රතිගාමී දිශාවකට විකාශනය විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. බාලසූරිය මෙසේ ලිවීය: “වතු කම්කරුවන්ගේ කොන්දේසි විනාශ කිරීම සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සහ ලාංකික ධනේශ්වරය යත්න දරන කාලයක ඉස්මතුවන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරනයක් බවට කෙලින්ම පරිවර්තනය වන බැවිනි. මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩුදෙන එකක් වන අතර, ජනතා  විමුක්ති පෙරමුන ලංකාව තුල බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගී කරගත හැකි කම්කරු විරෝධී බලවේගයකි.” 

මාක්ස්වාදය හා සමාජවාදයට තමන්ගේ ලැදියාවක්  ඇතැයි පෙන්වීමට ජවිපෙ නායකයන් කල ප්‍රකාශ මෙම සුලුධනපති  සංවිධානයට  සමාජවාදී තැවරීමේ උපක්‍රමයක් බව බාලසූරිය පැහැදිලි කලේය.

ඉක්බිතිව එලඹුනු දශක කිහිපය තුල දී, මෙම පෙරදැකීම් බලගතු ලෙස තහවුරු කෙරී තිබේ.

ජවිපෙ, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව 1983 දී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ කොලඹ පාලනය විසින් අවුලුවාලූ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ කසකරුවෙක් බවට පත් විය. එම සහය දීම 2009 මැයි මාසයේ යුද්ධය ලේ වැකි අවසානයකට ගෙන එන තුරු ම ඉදිරියට ගියේ ය. මෙම යුද්ධය හුදෙක් දෙමල සුලුතරයට එරෙහිව දියත්වූ එකක් පමනක් නොවේ.  මෙම යුද්ධය, කම්කරු පන්තිය බෙදීමට, දුර්වල කිරීමට මෙන්ම කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ සමාජ හා ජීවන කොන්දේසි මත දරුනු ප්‍රහාරයක් මුදා හරින ලද “විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති” වලට එරෙහිව ඔවුන්ගේ ප්‍රතිරෝධය මර්දනය කිරීමට ද යොදා ගන්නා ලදී.

යුද්ධයෙන් ඇතිවූ අර්බුදය මධ්‍යයේ, 1987 ජුලි මාසයේ නව දිල්ලිය සහ කොලඹ ආන්ඩු අතර ඉන්දු-ලංකා ගිවිසුම ඇතිකර ගත්තේ, එල්ටීටීඊය නිරායුධ කිරීමටත්, කැරලිකාර දෙමල ජනතාව මර්දනය කිරීමටත්, ජයවර්ධන පාලනය ස්ථාවර කිරීමටත් ය. එහි කොටසක් ලෙස දෙමල ප්‍රභුවට උතුරු නැගෙනහිර පලාත්වලට යම් බලතල බෙදීමක් ද  යෝජනා විය.  1987-1990 දී ජවිපෙ ඉන්දීය විරෝධී රුදුරු ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් දියත් කලේ මෙම ගිවිසුම මගින් රට බෙදා දෙමල බෙදුම්වාදින්ට ඊලාම් රාජ්‍යයක් ලබාදීමට යන්නේය යන ව්‍යාජ උද්ඝෝෂනයක්  ලෙසය. ජවිපෙ “මාතෘ භුමිය රැකගැනීමේ” කොඩියක් ඔසවා ගත්තේ ය. 

ජවිපෙ සිය ස්වෝත්තමවාදී ව්‍යාපාරයේ දී,  කම්කරුවන්ට තුවක්කු පෙන්වා “මාතෘ භුමිය රැකගැනීම සඳහා වැඩ වර්ජන කිරීමට සහ පෙලපාලි සංවිධානය කිරීමට කම්කරුවන්ට අන කලේය. ෆැසිස්ට් ප්‍රහාරයන්හිදී එම උද්ඝෝෂන ව්‍යාපාරයට අවනත නොවූ සිය ගනනක් කම්කරුවන්, විශේෂයෙන්ම දේශපාලන විරුද්ධවාදීන් මරා දැමුනි. ජාතිවාදී ව්‍යාපාරයට විරුද්ධ වූ සහ සමාජවාදී ප්‍රතිපත්තිවල පදනම මත සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ සහ ඉන්දියාවේ කම්කරු පන්තිය සමග  එකමුතුව ඉල්ලා සිටි විකොස සාමාජිකයින් තිදෙනෙක් ද එම ඝාතනවලට ඇතුලත් ය.

එවක එජාප පාලනය විසින් මුදා හරින ලද දරුනු මර්දනයේදී ආරක්ෂක හමුදා හා පැරා -මිලිටරි භටකායන් විසින් ග්‍රාමීය තරුන තරුනියන් 60,000 ක් පමන ඝාතනය කරමින් ජවිපෙ ද තලා දැමුනි. 

තම පක්ෂයේ ලේවැකි ත්‍රස්ත ක්‍රියාවන් මහජනයාගේ වෛරයට පාත්‍රවී ඇති තතු තුල, වත්මන් ජවිපෙ නායකයන් තමන් කල ප්‍රහාරක ක්‍රියා යලිත් නොකරන බව කියා සිටින නමුත් වසරක් පාසා ඒවා විරු සමරු ලෙස හා විමුක්තිය උදෙසා කල සටන් ලෙස හුවා දැක්වීමට උත්සව සංවිධානය කරයි. එහෙත් ජවිප ස්වෝත්තමවාදී දේශපාලනය තුල එදා මෙන්ම අදත්  කිඳී සිටියි. 

ඉතිරි වූ විසිරීගිය කණ්ඩායම් එකතු කරගෙන 1994 දී පක්ෂය නැවත දේශපාලනයට පිවිසියේ, කොලඹ පාලක ප්‍රභූවේ ආශිර්වාදය ඇතිව ය. දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ වූ සංවිධානයක් ලෙස, ධනේශ්වර ආන්ඩුවලට සහාය දීම සහ ඇතුල් වීම වහාම ආරම්භ විය.

ජවිපෙ මෙම පරිවර්තනය අතිශයින්ම අර්ථභාරී එකකි. පෙර රැඩිකල් දෙඩවිලිවල යෙදුනු ගරිල්ලා අරගල දේශනාකල මෙම සංවිධානය කැලෑ ගරිල්ලා ඇඳුම් ද ටි-56 තුවක්කු ද සුඛෝපභෝගී මන්ත්‍රී ආසනවලට හුවමාරු කරගෙන ඇත. මෙය ලෝක පරිමානව රැඩිකල් සංවිධාන වල සිදුවූ පරිවර්තනයේ ප්‍රකාශයකි. මෙම සුවිසල් පරිවර්තනයට තුඩු දුන්නේ, මෙම සංවිධානවල ජාතිකවාදී ක්‍රියාමාර්ගවල පල්ල  ගලවමින් සිදුවූ නිෂ්පාදනයේ භූගෝලීයකරනය  සහ, එහිම  බලපෑම යටතේ, රැඩිකල් දෙඩවිලි වල යෙදුනු සංවිධාන බොහොමයක් වාරුවී සිටි, ස්ටලින්වාදී තන්ත්‍ර පාලනය කල රටවල බිඳවැටීමයි. එම සංවිධාන අද දින අධිරාජ්‍යවාදී බලයන් සමග පෙළගැසී සිටිති. 

1994 ජනාධිපතිවරනයේදී චන්ද්‍රිකා කුමාරතුංග ට බලයට ඒමට සහාය දෙමින් සිය අපේක්ෂකයා ඉවත් කරගත් ජවිපෙ, 2004 දී, ජනාධිපති කුමාරතුංග සමඟ සභාගයක් පිහිටුවා ගෙන ඇයගේ ආන්ඩුවේ ඇමැති ධුර හතරක් ද ලබා ගත්තේය. දිසානායක ද කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ඒ අතර සිටියේය.

2005 දී, ජවිපෙ, ජනාධිපති මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රයේ ඒකපාර්ශ්වික සටන් විරාම ගිවිසුම කඩ කිරීමට සහ දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කරමින් ලේ වැකි අවසානයකින් කෙලවරවූ යුද්ධයට සහාය දුන් අතර 2009 මැයි  මස හමුදාව ලබාගත් ජයග්‍රහනයට ප්‍රශංසා කලේය.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මුස්ලිම් අන්තවාදී කන්ඩායමක් විසින් ඇතැම් පල්ලිවලට සහ සුඛෝපභෝගී හෝටල්වලට ප්‍රහාර එල්ල කර සිය ගනනක් මරා දමද්දී, ජවිපෙ දරුනු මුස්ලිම් විරෝධී ව්‍යාපාරයට එක්වූයේ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට උඩගෙඩි දෙමිනි.

 සියලුම මුස්ලිම් ජනතාව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය හෙලා දැකිය යුතු බවත්, හමුදාව විසින් මෙහෙයවනු ලබන පරීක්ෂා කිරීම් වලට සහය විය යුතු බවත් දිසානායක සහ අනෙකුත් ජවිපෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ හරියට, සමස්ත මුස්ලිම් ප්‍රජාවම එම ත්‍රස්ත ප්‍රහාරවලට වගකිව යුතු වූවාක් මෙනි.

තවත් කරනමක් ගසමින්, ජවිපෙ 2010 ජනාධිපතිවරන ව්‍යාපාරයේ දී “යුද්ධය ජයගත්” ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ සන්ධානගත වූයේ, වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය සමඟ එක්ව “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයක්” පිහිටුවමිනි. 

2015 ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙසත් වික්‍රමසිංහ අගමැති ලෙසත් බලයට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුන පෙරමුන ගෙන සිටියේය. එසේ ඔවුන් සම්බන්ධ වූයේ ඇමරිකාව ඉන්දියාවේ ද සහාය ඇතිව තිරයට පිටුපසින් සුදානම් කල තන්ත්‍ර මාරු මෙහෙයුමට එක්වෙමිනි. 

2015 දී ඉදිරිපෙල සංවිධානයක් ලෙස ජාජබ පිහිටුවීමට තීරනය කල ජවිපෙ, එය එහි ප්‍රධාන දේශපාලන වේදිකාව බවට පත්කර ගනිමින් පක්ෂයේ අතීත ලේවැකි වාර්තාව සැඟවීමට යොදා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුනේ සෑම දිස්ත්‍රික්කයකම ඇති සියලුම කාර්යාල දැන් ජාජබ කාර්යාල බවට පත් කර ඇත. කෙසේ වෙතත්, ජාජබ පිහිටුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, ජවිපෙහි තවදුරටත් දක්ෂිනාංශික පරිනාමයයි.

ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සේවය කරන ජාජබ සහ ජවිපෙ ප්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදය ලෝක ධනේශ්වර අර්බුදයේ කොටසකි. සෑම රටකම කම්කරු පන්තිය මෙම අර්බුදයේ බර පැටවීමට එරෙහිව පෙරලිකාරීවී සිටිති. මෙම නැගිටීම තියුනු ලෙස ප්‍රකාශ වූ රටවල් අතර ශ්‍රී ලංකාව ද වේ. ධනවාදය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමට සෑම රටකම විප්ලවවාදී අවස්ථා උදාවෙමින් තිබේ.

ජවිපෙ/ජාජබ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ ශ්‍රී ලංකාවේ එහි ගනුදෙනුකරුවන්ට පොරොන්දු වෙමින් සිටින්නේ, අනෙකුත් පැරනි පක්ෂ මහජනතාවගේ පිලිකුලට ලක්ව ඇති තතු යටතේ, තමන්ට මෙම නැගිටීම යටපත් කල හැකි බවයි. 

කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීන කර බලමුලු ගැන්වීම සඳහා අරගලයේ දී, ඊට එරෙහි වූ ජවිපෙ විසකුරු දේශපාලනයේ සෑම  දඟර දමිමක්ම සමාජවාදී සමානතා පක්ෂය හා එහි පුර්වගාමී විප්ලවාවාදී කොමියුනිස්ට් සංගමය විසින් හෙලිදරවු කරනු ලැබ  තිබේ.

ජාජබ/ජවිපෙ ඇතුලු සියලුම ධනේශ්වර පක්ෂ වලට එරෙහිව, සසප, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව, කම්කරුවන් හා තරුනයින් වෙත ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය ඉදිරිපත් කරයි. එම ඉදිරිදර්ශනය හා ක්‍රියා මාර්ගය පදනම් කර තිබෙන්නේ, රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයට මග පෙන්වූ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මතය.

ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙන්චයියන්ගෙන් බිඳී ස්වාධීන විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය නැඟී සිටීම සඳහා සෑම වැඩපලකම සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු. ධනේශ්වර ප‍්‍රහාරයට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය වටා එක්රැස් වෙමින් තම තමන්ගේ ප‍්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප ග‍්‍රාමීය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස වික‍්‍රමසිංහ තන්ත‍්‍රය පලවා හැරීමට සහ ලාභ පද්ධතිය අවසන් කිරීමට කම්කරුවන් හා දුගීන් බලමුලු ගැන්වීම සඳහා බල මධ්‍යස්ථානයක් ලෙස, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට ද සසප කැඳවුම් කර ඇත. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටුවලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව තෝරා පත් කරගත් නියෝජිතයින්ගේ පදනම මත මෙම සම්මේලනය ගොඩනැගේ. මෙම බල මධ්‍යස්ථානය ගොඩනැගීම කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසඳීමටත් අවස්ථාව සලසා දෙනු ඇත.

මෙම සටනට සම්බන්ධ වී එහි විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading