මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි

පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගයේ තියුනු ව්‍යාප්තියක් වාර්තා කෙරුනු අතර එය මෙම වසරේදී වඩාත් ව්‍යසනකාරී කොන්දේසි දක්වා වර්ධනය වීමේ අනතුර මේ වන විට මතුව ඇත. 2022 දී සමස්ත දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වන 76689 ඉක්මවමින්, 2023 දී එය 87,986 දක්වා වර්ධනය විය. පසුගිය දෙසැම්බර් මාසයේ පමනක් 11498 කට රෝගය වැලඳී ඇති අතර, එය එක් මසක් තුල වාර්තා වූ ඉහලම රෝගීන් සංඛ්‍යාවයි. සමස්ත ඩෙංගු මරන සංඛ්‍යාව 57 දක්වා ඉහල ගොස් ඇත.

2022 සහ 2023 ඩෙංගු රෝගීන්ගේ විචලනය [උපුටා ගැනීම: ඩෙංගු මර්දන ඒකකයේ 2023 50 සතියේ වාර්තාව]

2023 වසරේ ඉහලම ව්‍යාප්තිය පෙන්නුම් කලේ බස්නාහිර පලාතෙනි. එය 39,000 කට ආසන්න වූ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශ 62 ක් ඩෙංගු 'අධි අවදානම්' කලාප ලෙස නම්කර ඇත. දෛනිකව ඩෙංගු රෝගීන් 250ක් පමන වාර්තා වෙමින් පවතී.

මෙම තතු තුල, ලෝක සෞඛ්‍ය සංවිධානය, වේගයෙන් ම ඩෙංගු පැතිරෙන රටවල් තිහ අතරට ලංකාව ඇතුලත් කලේය. වැසි තත්වය අඛන්ඩවම පැවතීම හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් වර්ධනය විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.

පසුගිය දෙසැම්බර් 20 වෙනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර අනතුරු අඟවා සිටියේ මරන අනුපාතය දැනට වාර්තාවන සියයට 0.06 මට්ටමේ පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු කරගත යුතු බවයි. ඔහු අවධාරනය කලේ “ඩෙංගු රෝගීන් ඉතා විශාල ප්‍රමානයක් රෝහල් කරා පැමිනියහොත් රෝහල් වල පවත්නා ධාරිතාවය ඉක්මවා ගොස්” රෝගීන්ට අවශ්‍ය අවධානය නොමැතිව යා හැකි බවයි.

අනුප්‍රාප්තික ආන්ඩු අඛන්ඩව කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අද්දරටම පැමින ඇත. එය පිලිබිඹු කරමින් සරම්ප රෝගය ද යලි වතාවක් පැතිරෙමින් පවතී. 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව සරම්ප තුරන් කල රටක් බවට නම් කලේය. කොලඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, යාපනය, කුරුනෑගල ආදී ප්‍රධාන දිස්ත්‍රික්කයන්හි මැයි මාසයේ පටන් සරම්ප ආසාදිතයන් 700ක් වාර්තා වී ඇත. ඒ අතර නව කොවිඩ් ප්‍රභේදය වන JN. 1 ලංකාවට ඇතුලු වී ඇති බවට සෞඛ්‍ය විශේෂඥයෝ සැක පල කරති. නිසි පරීක්ෂන නොමැති වීම හේතුවෙන් ඒ පිලිබඳව නිල තොරතුරු ප්‍රකාශයට පත් නොවේ.

වේගයෙන් පැතිරෙන අනෙකුත් රෝග සම්බන්ධයෙන් මෙන්ම ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ද ආන්ඩුව දක්වන්නේ සාපරාධී නොතකා හැරීමේ ප්‍රතිචාරයකි. බොහෝ විට වර්ෂා කාල වල ඉහල යන ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ලංකාවට කිසිසේත්ම අලුත් තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම් කාලයේ මැයි සිට ජූලි දක්වා ද ඊසාන දිග මෝසම් කාලයේ ඔක්තෝබර් සිට ජනවාරි දක්වාද මෙසේ ඩෙංගු රෝගයේ ඉහල ව්‍යාප්තියක් දක්නට ලැබේ.

නමුත් ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සෑම අවස්ථාවකම තම වගකීමෙන් අත සෝදාගනුවස් සෑම ආන්ඩුවක්ම පෙරට දමන සීමිත ඩෙංගු මර්දන වැඩසටහන් කිහිපයක් හැරෙන්නට, ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සඳහා කිසිදු විධිමත් පියවරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාවට නංවා නොමැත. ඒ වෙනුවට, තම මිලිටරීකරන වැඩකටයුතු පුලුල් කිරීම සඳහා අවස්ථාව ඩැහැගෙන ඇති ආන්ඩුව, 'ඩෙංගු මර්දනයට' හමුදාව සහ පොලීසිය යොදවා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාවට නංවන රුදුරු කප්පාදු වලට එරෙහිව වැඩෙන පංති අරගල රැල්ල මඩිනු වස් ආන්ඩුව ඉතා වේගයෙන් පොලිස් රාජ්‍යයක් තහවුරු කරමින් සිටී. සිවිල් වැඩකටයුතු සඳහා පොලීසිය සහ මිලිටරිය වඩවඩාත් යොදා ගැනීම ඒ හා බැඳී පවතී.

ස්වාධීන රූපවාහිනී වෙබ් අඩවිය වාර්තා කල පරිදි අඟහරුවාදා ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු ඩෙංගු මර්දන සමාලෝචන රැස්වීමකදී, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂනයෙන් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා වැඩ බලන පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් ඩෙංගු මර්දනය සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමට තීන්දු කෙරී ඇත.

මේ අතර, ආන්ඩුවේ ඇමතිවරු ඩෙංගු පැතිරීමේ වගකීම මහජනතාව මත පටවමින් රෝගය මර්දනයට මහජනතාවගේ සහාය අවශ්‍ය බව කියති. පසුගිය අඟහරුවාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරන සඳහන් කලේ ඩෙංගු රෝගය පාලනය කිරීම 'රජයට තනිවම කල නොහැකි' බැවින්, ඊට “සමස්ත සමාජයේම සහාය හිමිවිය යුතු” බවයි. ධනපති මාධ්‍යයක් වන ලංකාදීප පුවත්පත දෙසැම්බර් 30 වනදා කතුවැකියෙන් “ජනතාව ද තමා කරා පැමිනීමට නියමිත උපද්‍රවය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැ” යි කියමින් වරද ජනතාව මත පැටවීය.

ඩෙංගු රෝගයේ සීඝ්‍ර පැතිරීමට මුලුමනින්ම වගකිව යුත්තේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයයි. පසුගිය දශක කිහිපය තුල මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෙන ගිය කප්පාදු හේතුවෙන්, එය දැවැන්ත මානව සහ භෞතික සම්පත් හිඟයකින් පීඩා විඳී. ඩෙංගු රෝගය පාලනයේ දී අත්‍යවශ්‍ය වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟය කෙතෙක්දයත්, දිවයිනටම සිටින්නේ 1710 ක් පමනි. එය ජනගහනයට අනුව ගත් කල 13000කට එක් අයෙක් වැනි සොච්චම් සංඛ්‍යාවකි. මෙම තතු තුල රෝගය පැතිරීම සම්බන්ධයෙන් මහජනතාව මත වරද පැටවීම මුලුමනින්ම කුහක ය.

කෝවිඩ් වසංගතයත් සමග, මහජන ජීවිත සම්බන්ධයෙන් ලොවපුරා ධනපති ආන්ඩුවල නොතකා හැරීම ඉහලම මට්ටම් වලින් ප්‍රකාශයට පත්වුනි. ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලියට බාධාවන බැවින්, සංචරන සීමා සහ දුරස්ථකරනය ආදී මහජන සෞඛ්‍යය පිලිවෙත් වලින් ඉවත් වෙමින් වසංගතය සෑම අයෙකුටම ආසාදනය වීමට ඉඩ හැරීමේ පිලිවෙත් ලෝකය පුරා ක්‍රියාවට දැමිනි. මරනය සාමාන්‍යකරනය කෙරිනි. මේ පිලිවෙත් ඉදිරියට ගෙන යන්නේ රෝග පාලනය සහ වැලඳීම සම්බන්ධයෙන් “මහජනතාව” වගකිව යුතුය යන සූත්‍රය යටතේය.

කඩා වැටෙමින් පවතින මහජන සෞඛ්‍යය වෙනුවෙන් 2024 අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 410 ක් පමනි. නමුත් පංති යුද්ධය තීව්‍ර කරනුවස් ආරක්ෂක වියදම් සඳහා රුපියල් බිලියන 423 ක් වෙන් කෙරී ඇත.

රෝග පාලනය සහ ප්‍රතිකාර කිරීම මුලුමනින්ම රාජ්‍යයේ වගකීමකි. බ්‍රිතාන්‍ය ශාස්ත්‍රඥ ජෝර්ජ් රොසෙන් මහජන සෞඛ්‍යයේ ඉතිහාසය (1958) කෘතියේ ලියූ පරිදි “සිය වැසියන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම නූතන රාජ්‍යයේ වඩාත් වැදගත්කම කර්තව්‍යයන්ගෙන් එකක් ලෙස සලකනු ලබයි”. නමුත් ධනපති ආන්ඩු මෙම කර්තව්‍යයෙන් ඈත් වීම පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමයේම පරිහානියයි.

මෙම රෝග වර්ධනය ධනපති ක්‍රමයේ නිෂ්පාදිතයක් වන දේශගුනික විපර්යාස සමග බැඳී පවතී. දෙසැම්බර් 22 දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ඩයනා රෝජාස් මාධ්‍ය වෙත කීවේ “වර්ෂාපතනය, ආර්ද්‍රතාවය සහ උෂ්නත්වය ඉහලයාම හේතුවෙන්” ඇතිවන දේශගුන විපර්යාස ඩෙංගු පැතිරීම මත බලපෑමක් ඇති කර ඇති බවයි.

මානව වර්ගයාගේ පැවැත්මටම අභියෝග කරන මෙම ප්‍රශ්න ගෝලීය වශයෙන් විසඳාගත යුතු වන අතර, එකිනෙකට පිලිමල් ජාතික රාජ්‍ය පද්ධතිය එවන් ගෝලීය විසඳුමකට එරෙහිව පිහිටා සිටී. මෙම තතු මගින් පෙන්නුම් කරනුයේ, මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරීමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු බවයි.

මහජන සෞඛ්‍යය ඇතුලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාක්ෂාත් කල හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එහි ඉහලම ප්‍රකාශනය අත් කරගත්තේ 1917 රුසියාවේ කම්කරු පන්තිය බලය ගැනීමෙන් අනතුරුව ක්‍රියාවට දැමූ පිලිවෙත් තුලිනි. 1919 රුසියානු කොමියුනිස්ට් පක්ෂය සඳහා ක්‍රියාමාර්ගය, මහජන සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා ඉතිහාසයේ පලමු කම්කරු රාජ්‍යයේ කැපවීම මෙසේ සටහන් කරයි.

“ඖෂධ ගබඩා, පුද්ගලික අයිතිය යටතේ පවතින සුවිසල් රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ජනසතු කිරීම වැනි ධනවාදය යටතේ කිසිසේත් සාක්ෂාත් කල නොහැකි පියවර ගනනාවක්, මහජන සෞඛ්‍යයේ සහ වෛද්‍ය සේවයේ නාමයෙන් හඳුන්වා දීමට, නිර්ධන පංතික ආඥාදායකත්වයට හැකිබව මේවනවිටත් පෙන්වා දී ඇත.”

Loading