ආන්ඩුවේ ඊනියා “යුක්තිය” මෙහෙයුම: පොලිස් රාජ්‍ය පියවර සඳහා පෙරහුරුවක්

“මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම” යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව දියත්කොට ඇති “යුක්තිය” මෙහෙයුමේ දී, පොලීසියට “ඕනෑම දෙයක්” කිරීමට තමා බලය පවරා ඇති බවටත්, තමන් එවන් පියවර වෙනුවෙන් “පෙනී ඉන්නා” බවටත් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පසුගිය 17 වනදා කල ප්‍රකාශය බරපතල ඇඟවුම් ගෙන එයි.

අලස් ගේ ප්‍රකාශය, සාධාරන පරීක්ෂනයකින් පසුව පමනක් යම් සැකකරුවෙකු වැරදිකරු බවට තීන්දු කෙරෙන, “නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය” ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුලුමනින්ම අතුගා දමන බවට ඉඟි කරයි. අමාත්‍යවරයා විසින් පොලීසියට ලබාදෙන මෙම වරපත්‍රයට අනුව, යමෙකු වැරදිකරුවාද? නැද්ද? ඔහුට/ඇයට දෙන දඬුවම කුමක්ද? ආදිය තීන්දු කරන්නේ පොලීසියයි.

එපමනක් නොව, ඇමති අලස් ආන්ඩුවේ මෙම වැඩපිලිවෙල විවේචනය කරන්නන්ට එරෙහිව තර්ජනය ද කරයි. එවන් විවේචන සාපරාධීකරනය කරමින් අලස් චෝදනා කලේ තමන්ට සහ පොලිස්පතිට එරෙහිව එල්ල කෙරෙන විවේචන පිටුපස පවතින්නේ “පාතාලයේ සහ කුඩු සල්ලි” බවයි. ආන්ඩුවේ වැඩපිලිවෙල විවේචනය කරන නීතීඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් අධිකරනයේ පෙනී සිටින අය බවට ද ඔහු චෝදනා කලේය. මේ සියල්ල යොමු කෙරී ඇත්තේ ආන්ඩුවේ විරුද්ධවාදීන් නිහඬ කිරීමටය.

මේ අනුව, “යුක්තිය” මෙහෙයුම යනු, ජනාධිපති වික්‍රමසිංහ විසින් වර්ධනය කරමින් පවත්නා පොලිස් රාජ්‍යයේ සැලසුම් සහගත පෙරහුරුවක් බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත්, ආන්ඩුවේ මෙම පියවර වල මූලික එල්ලය වනුයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු පන්තියයි. එම පන්ති අරගල රැල්ල තලා දැමීමට ආන්ඩුව පොලීසිය සහ මිලිටරිය ශක්තිමත් කරමින් සිටී.

මෙතෙක් මෙම මෙහෙයුමෙන් දිනකට පුද්ගලයින් 1500 කට ආසන්න සාමන්‍ය අගයකින් යුතුව පුද්ගලයින් 17,000 කට වැඩි සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇත. බදාදා දිනය වන විට මහජන ආරක්ෂක ඇමතිට අනුව ඉන් 717 කට රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. සිය දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් පරීක්ෂන සිදු කෙරේ.

දුගීභාවය සාපරාධීකරනය මෙම මෙහෙයුමේ ප්‍රධානතම අංග ලක්ෂනයකි. අත් අඩංගුවට ගත් අයගෙන් සැලකිය යුතු පිරිසක් සමාජයේ දූගීම ජන කොට්ඨාසයන්ට අයත් ය. දුප්පත්කම, විරැකියාව ආදී කොන්දේසි හේතු කොටගෙන ඔවුන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට සහ ඇතැම් විට මත්ද්‍රව්‍ය විකිනීමට පවා යොමු වීම ධනපති ක්‍රමය විසින්ම නිර්මිත සමාජ ඛේදවාචකයකි. දේශපාලනඥයන්ගේ, ඉහලම පෙලේ ධනපති ව්‍යාපාරිකයින්ගේ සහ ඇතැම් විට පොලීසියේ සහාය පවා නොමැතිව මෙවන් මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයක් පැවතිය නොහැක.

අනෙක් පසින්, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට අනුප්‍රාප්තික ආන්ඩු වලට කිසිදු වැඩපිලිවෙලක් තිබී නොමැත. කන්දකාඩු වල පවතින ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කඳවුර වධක කඳවුරක් හා සමාන එකකි. 2022 ජුනි මාසයේ දී, උපදේශකවරුන් ලෙස සේවය කරන හමුදා භට පිරිසක් විසින් කල පහර දීමකින් එහි රැඳවියෙකු මරා දැමින. දැන් ආන්ඩුව කටයුතු කරන්නේ, ධනපති ක්‍රමය විසින්ම නිර්මිත ඛේදවාචකය යොදාගෙන දුගීභාවය සාපරාධීකරනය කරමින් තමන්ගේ මර්දන වැඩපිලිවෙල පෙරට ගැනීමටයි.

“යුක්තිය” යනු අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයවන කන්ඩායම් අල්ලා ගැනීම සඳහා සැලසුම්කොට දියත්කල මෙහෙයුමක් බවට ආන්ඩුව කරන ප්‍රකාශයන් හි ව්‍යාජභාවය සෑම අතින්ම හෙලිදරව් වෙමින් පවතී. එසේ අපරාධකරුවන් දෙසට සැලසුම් කල මෙහෙයුමක් නම් පොලීසිය වරෙන්තු නොගෙන නිවාස වලට කඩා වදින්නේ මන්ද? යනුවෙන් සෙනසුරාදා (23) බීබීසී සිංහල පුවත් සේවයට කල ප්‍රකාශයකදී නීතීඥ හිජාස් හිස්බුල්ලා විමසීය. ඔහු පෙන්වා දුන්නේ “අධිකරනයෙන් ලබාගත් වරෙන්තුවක්” නොමැතිව ප්‍රදේශයක් ඉලක්ක කරගෙන නිවාස හෝ ගොඩනැගිලි පරික්ෂා කිරිමේ බලයක් ආරක්ෂක අංශ වෙත නොමැති බවයි.

ඩ්‍රෝන සහ සුනඛයින් භාවිතා කරමින්, හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය සහිතව පොලීසිය නිවෙස් වලට කඩා වදින අයුරු රූපවාහිනී මගින් නිරන්තරව ප්‍රදර්ශනය කෙරේ. මගතොට යනෙන සාමාන්‍ය වැසියන් පවා පරීක්ෂා කරන ආකාරය ඒ අතර වෙයි. මෙම තතු පෙන්නුම් කරන්නේ “යුක්තිය” මෙහෙයුම සමස්ත සමාජයම ත්‍රස්ත කිරීමේ පියවරක් බවයි.

කුරුනෑගල ප්‍රදේශයේ තරුනයෙකු පොලිස් නිලධාරීන් විසින් කුරිරු ලෙස අත් අඩංගුවට ගන්නා අයුරු(ඡායාරූපය:සමාජ මාධ්‍ය මගිනි ) ]

මෙම මෙහෙයුමේ රුදුරු ස්වභාවය හෙලිදරව් වන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය වෙත නිකුත් විය. දෙසැම්බර් 26 වනදා කුරුනෑගල දොරටියාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැක සහිත යැයි හඳුන්වන පුද්ගලයෙකු බිමබාවා, එක් අයෙකු ඔහුගේ කය මත හිඳ පොලවට තදකරගෙන සිටිනා අතරේ, අනෙකා ලනුවකින් ඔහුගේ දෙපා ගැට ගැසීමට වෙර දරන මුර්ග ආකාරය ඉන් නිරූපනය වේ.

සමූහ අත් අඩංගුවට ගැනීම් හරහා බන්ධනාගාර පීරී ඉතිරී යන තතු තුල “එලිමහන් සිරකඳවුරු” තැනීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී.දිසානායක 25 වනදා ඩේලි මෝනිං පුවත්පතට පැවසීය. දැනටමත් බන්ධනාගාර වල සිටින රැඳවියන් 30,000 කි. එය සාමාන්‍ය ධාරිතාවයට වඩා දෙගුනයකින් වැඩිය.

ආන්ඩුවේ මෙම මර්දනීය පියවර, ඊනියා “යුක්තිය” මෙහෙයුමට සීමාවනු ඇතැයි මිථ්‍යාවක් ඇති කරගත යුතු නැත. වර්ගවාදී යුද්ධය සමයේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ නාමයෙන් අනුප්‍රාප්තික ආන්ඩු යොදාගත් බලහත්කාරී රඳවා ගැනීම්, දරුනු වධ බන්ධනයන්, අනීතික පැහැර ගැනීම්, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ කම්කරු පන්තිය මැඩීමට යොදාගනු ඇත. පාස්කු ප්‍රහාරය දඩමීමා කරගනිමින් අනුප්‍රාප්තික ආන්ඩු ඒ හා සමාන පිලිවෙත් ක්‍රියාවට දැමූ අතර, ඒවා පසුගිය වසරේ මහජන නැගිටීම මර්දනය කිරීමට යහමින් යොදා ගත්හ.

යුක්‍රේනයේ සහ ගාසාවේ යුද්ධ මගින් ගැඹුරු කෙරී ඇති ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ ලංකාවේ පාලක පංතිය මුහුන දෙන අර්බුදය වඩ වඩාත් තීව්‍ර කෙරෙමින් පවතී. එම අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ දී එයට එරෙහිව පැන නගින පංති අරගල තලා දැමීම සඳහා රාජ්‍ය මර්දන යන්ත්‍රය සෑම අතින්ම ශක්තිමත් කිරීම ජනාධිපති වික්‍රමසිංහගේ අරමුනයි. අන්තර්ජාල ආරක්ෂන පනත සහ ප්‍රති-තස්ත්‍ර පනත ආදී රුදුරු පනත් සම්මත කර ගැනීමට ආන්ඩුව ගෙනයන වැඩකටයුතු දැකගත යුත්තේ මෙම සන්දර්භය තුලයි.

ශ්‍රී ලංකාව තුල වැඩෙන සමාජ ආතතිය පිලිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද තම උත්සුකය පලකර ඇත. දෙසැම්බර් 12 දා එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කල වාර්තාවේදී “සැබෑ ආදායම් වල කඩා වැටීම” ආදී කොන්දේසි හේතුවෙන් “සමාජ අසහනය යලි ඉස්මතු විය හැකි බවට” අනතුරු ඇඟවීය.

ධනේශ්වරයේ සියලු කන්ඩායම් සහ ඔවුනගේ ආවතේවකරුවෝ, 2022 මහජන නැගිටීම පරයා යන ආකාරයේ මහජන නැගිටීමක් සම්බන්ධයෙන් භීතියට පත්ව සිටිති. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන හෝ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී “යුක්තිය” මෙහෙයුමට නිහඬව සහය දීම පිටුපස පවතින්නේ එම භීතියයි. ඔවුන් සියලුදෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට එකඟය.

පංති අරගලය ඉහල යන යුග වලදී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ පැවති සීමිත අවකාශ පවා අහෝසිවීම පිලිබඳව විමර්ශනය කරමින් රුසියානු විප්ලවයේ සම නායක ලියොන් ට්‍රොට්ස්කි 1929 දී මෙසේ ලීවේ ය.

“විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පය සාදෘශ්‍යයක් ලෙස ගතහොත්, ජාතික හෝ සමාජ අරගලවල අධිධාරාවන්ගෙන් ආරක්ෂාවීම සඳහා සකසා ගත්, ආරක්ෂක යතුරු (Safety switch) හා පරිපථ ඛන්ඩක (Circuit breakers) පද්ධතියක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්විය හැක. අපගේ යුගය තරම් ප්‍රතිවිරෝධතා වලින් ඉහවහා ගිය වෙනත් අවධියක් මානව ඉතිහාසයේ පැවතී නැත. ......ගිනියම්වූ පන්තිමය හා ජාත්‍යන්තර ප්‍රතිවිරෝධතාවන්හි බලපෑම යටතේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂක යතුරු එක්කෝ පිලිස්සී යයි, නැතිනම් පුපුරා යයි. ආඥාදායකත්වයේ ලුහුවත් වීම (Short circuiting) යනු හරියටම මෙන්න මෙය යි.”

අවශ්‍ය වන්නේ මෙම ගතිකයන් වටහා ගනිමින් පංති අරගලය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයෙන් සන්නද්ධකොට ධනපති ක්‍රමයම පෙරලා දැමීම සඳහා අවශ්‍ය දේශපාලනය පෙරට ගැනීමයි.

Loading