ඉදිරිදර්ශන

ලෝක සමාජවාදයේ ජයග්‍රහනය වෙනුවෙන් ජීවිතය කැප කල හෙලන් හෙල්යාර්ඩ් වෙත (1950-2023) උපහාරයකි

[මෙය Helen Halyard (1950-2023), a tribute to a life dedicated to the victory of world socialism /en/articles/2023/12/04/htzl-d04.html යන මැයෙන් 2023 දෙසැම්බර් 04 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී කරන ලදී.

සහෝදරවරුනි, අද අපි හෙලන් හෙල්යාර්ඩ් සහෝදරියට උපහාර පුද කරමු. 2023 නොවැම්බර් 28 වන දින සිදු වූ හෙල්යාර්ඩ් සහෝදරියගේ අභාවය, අතිමහත් පෞද්ගලික, දේශපාලන හා සමාජීය වැදගත්කමකින් යුත් ජීවිතයක් අවසන් කලේ ය. හෙලන් සිය ජීවිතයේ වසර 73 න් 52 ක්ම කැප කලේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, එනම් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම සඳහාය. 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සමරමින් ට්‍රොට්ස්කි කල කතාවේදී කියා සිටියේ, සෑම කේඩර සාමාජිකයෙක්ම 'මනුෂ්‍ය වර්ගයාගේ ඉරනමේ අංශුවක්' තම උරහිස් මත දරා සිටින බවයි. හෙලන් සම්බන්ධයෙන් ගත් කල, එම නිරීක්ෂනයට සංශෝධනයක් හඳුන්වා දීම උචිත ය: ඇය තනි අංශුවකට වඩා සැලකිය යුතු වැඩි බරක් තම උරහිස් මත ගෙන ගියාය.

විප්ලවවාදී යුගයක සන්දර්භය තුල සමාජවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය තක්සේරු කිරීමට හුරුපුරුදු වී සිටින මාක්ස්වාදීන් වශයෙන්, අපි, වසර සහ දශක පවා ඉතිහාසයේ මහා වපසරිය තුල හුදු “නිමේෂයන්” ලෙස බැලීමට හා කතා කිරීමට නැඹුරුව සිටිමු. මෙම උෘන ප්‍රකාශය, සමාජයේ පරිනාමය තක්සේරු කිරීමේ දී යුක්තියුක්ත කල හැකි වුවත්, කාලය පසු කර යාමේ තනි පුද්ගලයකුගේ පුද්ගලික අත්දැකීම්වලට, කෙනෙකුගේ ජීවිතයේ විවිධ අධියරයන්ට සහ මානවයා වියපත්වීමේ ක්‍රියාදාමයට ප්‍රතිවිරෝධීව පිහිටයි. “ගතවූ වසර සියල්ල ඇත්තේ කොහිද” යනුවෙන් අපට පුදුම නොවී සිටිය නොහැක. එහෙත් විප්ලවවාදී ක්‍රියාවලියේ සහ සිදුවීම්වල තානය තීරනය වන්නේ හෝ එය මැනිය හැකි වන්නේ අපගේ පුද්ගල ජීවිතවල කාලසීමාව අනුව නොවන බව ඓතිහාසික භෞතිකවාදීන් ලෙස අපි තේරුම් ගනිමු.

අප අපගේ ජීවිත කැප කල අභිප්‍රාය අප මෙලොව එලිය දැකීමට පෙර ආරම්භ වූ අතර අප මිය ගිය පසුව ද එය දිගටම පවතිනු ඇත. අපගේ පූර්වගාමීන් විසින් නිර්මානය කරන ලද පදනම් මත අපි ගොඩනඟමු; අපට වෙන් කර ඇති කාල පරාසය තුල, සමාජවාදයේ ජයග්‍රහනය සහ මානව වර්ගයාගේ ඉදිරි ගමන සහතික කිරීම සඳහා කල හැකි සියල්ල අපි කරන්නෙමු.

පසුබෑමකට මුහුන දෙන විට අධෛර්යමත් වීම සහ කෙනෙකුගේ උත්සාහය සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන දෙන විට අනවශ්‍ය ලෙස ප්‍රීති වීම යන දෙකම මග හරිමින්, පුලුල් ඓතිහාසික සන්දර්භයක් තුල කෙනෙකුගේ ජීවිතය ස්ථානගත කිරීමේ හැකියාව බරපතල විප්ලවවාදී කාර්යයක අත්‍යවශ්‍ය අංගයකි. මෙම ප්‍රවේශය තුල ඉරනම්වාදී කිසිවක් නොමැත. එහෙත්, පසුබෑම් සහ සාර්ථකත්වයන් ඒවායේ අපෝහක සබඳතාවය තුල, අප වැඩ කරන සහ අපගේ භාවිතය තුලින් බලපෑමට ලක්කිරීමට උත්සාහ කරන සංකීර්න වෛෂයික තත්වයක අන්තර් සම්බන්ධිත පරස්පර ප්‍රකාශනයන් ලෙස දැකීම වඩා ඥානවන්ත බව අපි අත්දැකීමෙන් ඉගෙන ගනිමු. එපමනක් නොව, මුලදී පසුබෑමක් ලෙස පෙනෙන දෙය පසුව අනාගත වර්ධනයේ පලමු අදියර ලෙස දැකිය හැකි වේ.

අද අපගේ අවධානය යොමු වී ඇත්තේ, පොදු අර්ථයෙන් ඓතිහාසික ක්‍රියාවලිය සලකා බැලීම කෙරෙහි නොව, ඒ වෙනුවට, අපගේ පක්ෂයේ විශේෂයෙන් කැපී පෙනෙන සාමාජිකයෙකුගේ ජීවිතය හරහා එය වර්තනය වීම සම්බන්ධයෙනි. මෙම වඩාත් නිශ්චිත රාමුව තුල, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හෙලන් හෙල්යාර්ඩ්ගේ ජීවිතය සමග කෙතරම් බැඳී තිබේද යන්න, අනිවාර්ය ලෙසම හඳුනා ගැනීමට අපට සිදුවේ. වසර 15 කට පසුව හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමට තුඩු දුන්, 1923 ඔක්තෝබර් මාසයේදී වාම විපාර්ශ්වය පිහිටුවීමේ ශත සංවත්සරය අපි පසුගිය මාස දෙක තුල සනිටුහන් කරමින් සිටියෙමු. 1953 නොවැම්බරයේ ජේම්ස් පී. කැනන්ගේ විවෘත ලිපිය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිචාර වශයෙන් පිහිටුවන ලද ජාත්‍යන්තර කමිටුවේ හැත්තෑවන සංවත්සරය ද අපි සමරමු.

හෙලන්ගේ දේශපාලන කටයුතු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසයෙන් අඩකටත් වඩා පැතිර පැවතුනි. 1971 දෙසැම්බරයේ වර්කර්ස් ලීගයට (සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) සම්බන්ධ වීමට ඇය තීරනය කරනු ලැබුවේ, 1966 නොවැම්බරයේ එය පිහිටුවා වසර පහකට පසුව සහ විවෘත ලිපිය නිකුත් කර යන්තම් වසර 18 කට පසුව ය.

ඇගේ දිගු දේශපාලන ජීවිතය තුල, හෙලන් ලෝකයේ සමාජ, ආර්ථික, තාක්ෂනික, භූ දේශපාලනික සහ දේශපාලන ව්‍යුහයේ මූලික වෙනස්වීම් දුටුවාය. මේ සියලු වෙනස්වීම් මධ්‍යයේ, සිය යෞවනයේ පරමාදර්ශ සඳහා ඇයගේ නොසැලෙන කැපවීම, පවතින සමාජ පර්යාය කෙරෙහි ඇයගේ අශමනීය සතුරුකම සහ—ප්‍රතිගාමී දේශපාලන පරිසරයක් සහ සංස්කෘතික පසුබෑමක් තිබියදීත්—හතරවන ජාත්‍යන්තරයේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා වන ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය කෙරෙහි ඇයගේ පරම විශ්වාසය පැහැදිලි කරන්නේ කෙසේද?

හෙලන්ගේ දේශපාලන පෞර්ෂය හැඩ ගැසුනේ ඓතිහාසිකව ගොඩනැගුනු සමාජ හා සංස්කෘතික පරිසරය, වෛෂයික සිදුවීම් සහ, සෑම විටම, පෞද්ගලික අත්දැකීම්වල සක්‍රීය බලපෑමේ සංකීර්න අන්තර්ක්‍රියාකාරිත්වය මගිනි. හෙලන් උපත ලැබුවේ, දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව, නිව් යෝර්ක් හි බෘක්ලින් හි ය; එම කාල පරිච්ඡේදය කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක් මගින් සංලක්ෂිත විය. ධනේශ්වර හා සුලු ධනේශ්වර නායකත්වයේ සීමාවන් තිබියදීම, එක්සත් ජනපදය තුල එම ව්‍යාපාරයේ වඩාත්ම සටන්කාමී අංගය වූයේ, අප්‍රිකානු-ඇමරිකානු කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ පුලුල් කොටස්වල සිවිල් අයිතිවාසිකම් සඳහා වූ මහජන අරගලයයි. ඓතිහාසික ක්‍රියාවලියේ දිග්ගැස්සුනු ස්වභාවය පිලිබඳව අප දැනටමත් පෙන්වා දී ඇති කරුන සනාථ කරමින්, දහඅටවන සහ දහනවවන සියවස්වල ඇමරිකානු විප්ලවයන් විසින් ප‍්‍රකාශ කරන ලද පරමාදර්ශයන් ඉටු නොවූ බවට වූ තියුනු දැනුවත්භාවය එම ව්‍යාපාරය ප්‍රේරනය වීම කෙරෙහි බලපෑවේ සුලුපටු ලෙස නොවේ.

හෙලන්, 1980 ගනන්වල ඩිට්‍රොයිට් හි පැවති තරුන සමාජවාදියෝ පැවැත් වූ වසන්ත ප්‍රදර්ශනයකදී පොත් මේසයක් අසල තරුනියකට කතා කරමින්

හෙලන් කුඩා කල සිටම සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ සටන්කාමී ජීවගුනය සහ සංස්කෘතිය උකහා ගත්තාය. ඇය ලැන්ග්ස්ටන් හියුස්, රිචඩ් රයිට්, රැල්ෆ් එලිසන්, ජේම්ස් බෝල්ඩ්වින් ගේ කෘතීන් කියවූ අතර, ලොරේන් හැන්ස්බෙරි ගේ එ රෙයිසින් ඉන් ද සන් (A Raisin in the Sun) කෘතිය ඇය මත විශාල බලපෑමක් ඇති කලේය; සුදු ජාතික කතුවරයෙකු වූ හාපර් ලී විසින් ලියන ලද ටු කිල් එ මොකිංබර්ඩ් (To Kill a Mockingbird) නවකතාව ද මෙයට එකතු කල යුතුය. එසේම හෙලන්, ජෝර්ජ් ගර්ෂ්වින්ගේ ගීත වලට, විශේෂයෙන් එලා ෆිට්ස්ජෙරල්ඩ් විසින් ගායනා කරන ලද ඇගේ ගීත ප්‍රිය කලාය; මෙම විශිෂ්ට නිර්මාපකයාගේ පෝර්ගි සහ බෙස් (Porgy and Bess) ඔපෙරාවට ද ඇය මහත් සේ ඇලුම් කලාය.

1950 ගනන්වල අග සහ 1960 ගනන් වලදී, නිව් යෝර්ක් නගරයේ පාසල් ලමුන් ඉඳහිට මෙට්‍රොපොලිටන් ඔපෙරා ශාලාවෙහි දහවල් පෙරහුරුවලට රැගෙන යන ලදී. ශාස්ත්‍රීය සංගීතය පිලිබඳව හඳුන්වාදීම යෞවන වියේ පසුවන අයෙකුගේ අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස, ඒ වන විටත් සැලකුනි. මහා සංස්කෘතික ආයතනවලට කලු කලාකරුවන්ට ප්‍රවේශය තහනම් කර තිබූ වාර්ගික බාධක පසෙකට තල්ලු වී යමින් තිබුනි. 1950 මුල් ගනන්වල පුනර්ජීවනයේ දී, ඉරා ගර්ස්වින් ගේ බලකිරීම මත පෝර්ගි සහ බෙස් ඔපෙරාවේ බෙස්ගේ භූමිකාව ප්‍රතිනිර්මානය කල මිසිසිපිවල, ලෝරල් හි, කලු ජාතික සොප්‍රානෝ ගායිකාවක වන ලියොන්ටයින් ප්‍රයිස්, අවසානයේ 1961 දී මෙට්‍රොපොලිටන් හිදී සිය මංගල දර්ශනයෙන් පසු ලෝකයේ ඔපෙරාහල් ජයග්‍රහනය කිරීමට සමත් වූවාය.

හෙලන්ට මෙම ප්‍රගතිශීලී සංස්කෘතික ප්‍රවනතාවයන්ගෙන් බලපෑම් සහ ආභාෂය ලැබිනි. ජීවිතයේ පසුකාලීනව, දේශපාලන කටයුතු සඳහා බර්ලිනයට ගිය විට, ජර්මානු ඔපෙරා හවුස් හි ප්‍රසංගයකට යාමට ලැබුනු අවස්ථාව ඇය අතපසු කලේ නැත.

කෙසේ වෙතත්, හෙලන්ගේ සමාජ විඥානය මත විශාලතම බලපෑමක් ඇති කලේ දේශපාලන වටපිටාව යි. ඇගේ නව යොවුන් විය සිවිල් අයිතිවාසිකම් සඳහා වූ අරගලයේ වර්ධනය වෙමින් පැවති ප්‍රචන්ඩ ස්වභාවය සමග සමපාත විය. ඩිමොක්‍රටික් පක්ෂයට කරන ආයාචනාවලින් ඌනපූරනයවූ මාටින් ලූතර් කිං දේවගැතිවරයාගේ සාමවාදී දේශනාවලට ඇමරිකානු සමාජයේ පුපුරන සුලු ප්‍රතිවිරෝධතා සහ කම්කරු පන්තියේ කෝපය මැඩපැවැත්විය නොහැකි විය.

කලු ජාතිකවාදී ව්‍යාපාර සහ ඔවුන්ගේ නියෝජිතයින්, විශේෂයෙන්ම මැල්කම් එක්ස් ට, උතුරු පෙදෙසේ නගරවල තරුනයින් අතර වැඩිවැඩියෙන් ප්‍රේක්ෂක පිරිසක් ලැබුනි. හාලෙම්, වොට්ස්, නෙවාක්, ඩාට්‍රොයිට් සහ අනෙකුත් නගරවල 1964 සහ 1968 අතර නාගරික කැරලි නිසැකවම හෙලන්ගේ දේශපාලන රැඩිකලීකරනයට දායක විය. එහෙත් හෙලන් කලු ජාතිකවාදයේ වාර්ගික වාචාල කතාවලට සහ වැඩපිලිවෙලට ආකර්ෂනය වූයේ නැත. ඇගේ පියා සනීපාරක්ෂක සේවකයෙකි. ඇගේ මව, රූබි, ජාත්‍යන්තර කාන්තා ඇඟලුම් කම්කරු සංගමයේ (අයිඑල්ජීඩබ්ලිව්යූ) සාමාජිකාවක් වූවාය. ඇය හැදී වැඩුනු බෘක්ලින්හි බෙඩ්ෆෝර්ඩ්-ස්ටයිවසන්ට් ප්‍රදේශය සැලකිය යුතු යුදෙව් ජනගහනයක් සහිත—ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිය සාම්ප්‍රදායික සමාජවාදය කෙරෙහි ලැදියාව පවත්වාගෙන ගියහ—පුවර්ටෝරිකානුවන්, ඉතාලි ජතිකයින් සහ වෙනත් වාර්ගික ප්‍රජාවන්ගෙන් සමන්විත බහුභාෂා කම්කරු පන්තික වටාපිටාවක් ඇති ප්‍රදේශයක් විය. ඇය සමාජය දෙස බැලීමට නැඹුරු වූයේ ජාතියේ නොව, පංතියේ ප්‍රිස්මයෙනි.

1985 දී හෙලන්, ඩිට්‍රොයිට් හිදී, ගැරී ටයිලර් නිදහස් කර ගැනීම වෙනුවෙන් තරුන සමාජවාදියෝ සංවිධානය කල පා ගමනක


වියට්නාමයේ යුද්ධය සහ ලෝකය පුරා පැතිර යන අධිරාජ්‍ය විරෝධී අරගල, එක්සත් ජනපදය තුල ඇවිලී ගිය සමාජ ගැටුම්වල පුලුල් ගෝලීය සන්දර්භය සහ ස්වභාවය පිලිබඳ ඇයගේ දැනුවත්භාවයට දායක විය. හෙලන්ගේ වයස අවුරුදු 20 වන විට, අවශ්‍ය වන්නේ ධනවාදය පෙරලා දමා සමාජවාදය මගින් එය විස්ථාපනය කිරීමට වඩා අඩු දෙයක් නොවන බව—ඇගේ පරම්පරාවේ බොහෝ දෙනෙකු මෙන්—ඇය ද ඒත්තු ගෙන සිටියා ය. නමුත් මෙය ඉටු කල යුතුව තිබුනේ කෙසේද? මෙම දැවැන්ත කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය බලවේග එක්රැස් කිරීම සහ සංවිධානය කිරීම කල හැකි වූයේ කෙසේද? සැබැවින් ම එවැනි බලවේග තිබුනිද? ඇමරිකානු ධනවාදයට සහ අධිරාජ්‍යවාදයේ සංකීර්න මිලිටරි-කාර්මිකයට වඩා විශාල බලයක් තිබුනිද? මෙම ප්‍රශ්න සඳහා හෙලන්ට හෝ ඇගේ විඥානවාදී සහ කෝපාවිෂ්ට පරම්පරාවේ අනෙකුත් සාමාජිකයින්ට පැහැදිලි හෝ සාදා-නිමකල පිලිතුරු නොතිබුනි.

පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම යුගයේ සමාජ හා දේශපාලන පෙරලි එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව දිග හැරෙමින් තිබියදී, හෙලන් සහ ඇගේ පරම්පරාව තම තාරුන්‍යයේ විවේචනාත්මක අත්දැකීම් හරහා ගමන් කරන විට, ඔවුන්ගේ දේශපාලන විඥානයේ ක්ෂේත්‍රයෙන් ඔබ්බට තවත් අරගලයක් හතරවන ජාත්‍යන්තරය තුල ඇවිලී ගියේය. බොල්ෂෙවික් සහ මෙන්ෂෙවික්වරුන් අතර භේදයකින් අවසන් වූ 1903 රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සම්මේලනයෙන් පසු, වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය පිලිබඳව ආරවුල ධනේශ්වර මාධ්‍ය නොතකා හල ආකාරයටම, කුඩා ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් අතර 'ආරවුල්' උඩඟු ලෙස නොතකා හරින ධනේශ්වර පුවත්පත් තුල මෙම ගැටුම බොහෝ දුරට වාර්තා නොවීය. 1917 ඔක්තෝබර් විප්ලවයේ ඉරනම, මාක්ස්වාදී න්‍යායේ අපෝහක භෞතිකවාදී පදනම්, සමාජවාදී මූලෝපාය සහ විප්ලවවාදී භාවිතය වැනි මූලික ප්‍රශ්න මත කේන්ද්‍රගත වූ—ජාත්‍යන්තර කමිටුවේ ගැටුම, ධනේශ්වර දේශපාලනඥයන් අතර දෛනික කුකුල් පොරවලට වඩා අසීමිත විශාල ඓතිහාසික වැදගත්කමක් දරයි.

පැබ්ලෝවාදී ප්‍රවනතාවයේ ට්‍රොට්ස්කිවාද-විරෝධී සංශෝධනවාදයට එරෙහිව එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජේම්ස් පී. කැනන් විසින් නායකත්වය දුන් අරගලය විසින් මෙහෙයවන ලද, හතරවන ජාත්‍යන්තරයේ 1953 භේදය, හතරවන ජාත්‍යන්තරය පිහිටුවා තිබූ ජාත්‍යන්තර විප්ලවවාදී ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල ආරක්ෂා කිරීම සඳහා දශක ගනනාවක් පුරා ජාත්‍යන්තර කමිටුව විසින් කරන ලද දිග්ගැස්සුනු අරගලයක ආරම්භක වටය පමනක් බව ඔප්පු විය. පැබ්ලෝවාදී ප්‍රවනතාවය, නැගී එන වාම-නැඹුරු මධ්‍යම පන්තියක කොටස් වලින් සහයෝගය ලබා ගනිමින්, ට්‍රොට්ස්කිවාදයේ සෑම මූලික ප්‍රතිපත්තිමය මූලධර්මයක්ම ප්‍රතික්ෂේප කලේය. එය [පැබ්ලෝවාදය], හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනය වන සංක්‍රමන ක්‍රියාමාර්ගයේ ආරම්භක වාක්‍යයේ සඳහන්, “සමස්තයක් ලෙස ලෝක දේශපාලන තත්වය ප්‍රධාන වශයෙන් නිර්ධන පංතියේ නායකත්වයේ ඓතිහාසික අර්බුදයකින් සංලක්ෂිත වේ,” යන ට්‍රොට්ස්කිගේ අවධාරනය ප්‍රතික්ෂේප කලේය.

පැබ්ලෝවාදී සංශෝධනවාදයෙන් උද්ගත වූයේ කම්කරු පන්තියේ සවිඥානික මාක්ස්වාදී නායකත්වයේ අත්‍යවශ්‍ය සාධකය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය; ලෝක පරිමානයෙන් ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ අරගලයේ දී කම්කරු පන්තියේ කේන්ද්‍රීය හා ප්‍රමුඛ භූමිකාව; එබැවින්, සමාජවාදී සමාජයකට සංක්‍රමනය වීමේ අවශ්‍ය අදියර ලෙස කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම එනම් නිර්ධන පංතියේ ආඥාදායකත්වය පිහිටුවීම යන මේ සියල්ල මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමයි.

පැබ්ලෝවාදීන් විසින් ලෝක සමාජවාදී විප්ලවයේ ලෝක ඓතිහාසික ඉදිරිදර්ශනය නිෂ්ප්‍රභා කිරීම, ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙලේ අනෙකුත් සියලුම තීරනාත්මක අංගයන් ඔවුන් විසින් ප්‍රතික්ෂේප දක්වා ගමන් කලේය. ඒ අනුව, ට්‍රොට්ස්කි අවධාරනය කර තිබූ පරිදි, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය හා ලොව පුරා එහි පරිවාර පාලන තන්ත‍්‍ර සහ පක්ෂ ලෝක අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිවිප්ලවවාදී ඒජන්තයින් ලෙස හෙලා දැකිය යුතු වූයේ නැත; විරුද්ධ විය යුතු හෝ පෙරලා දැමිය යුතු වූයේ නැත. ඒ වෙනුවට, රාජ්‍යයට හා පක්ෂ නිලධරයන්ට විප්ලවවාදී විභවයක් ආරෝපනය කරමින් පැබ්ලෝවාදීන් උත්සාහ කලේ ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස හතරවන ජාත්‍යන්තර පැවැත්ම දියකර හැරීමට ය. එහි කේඩර, මහජන ස්ටැලින්වාදී සංවිධාන තුලට විසුරුවා හැරීමට නියමිතව තිබූ අතර, ඔවුන් [පැබ්ලෝවාදීන්] මහජනතාවගේ පීඩනයට ප්‍රතිචාර දක්වන මෙන් මෘදු ලෙස නිලධර නායකත්වයෙන් ඉල්ලා සිටිමින්, ඔවුන්ගේ වාම උපදේශකයන් ලෙස ක්‍රියා කරනු ඇත.

හෙලන් 1992 ජනාධිපතිවරන ව්‍යාපාරයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ කොලඹ විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ කතා කරමින්.

ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී භූමිකාව පිලිබඳ ට්‍රොට්ස්කිවාදී අවධාරනය, පැබ්ලෝවාදී සංශෝධනයට ලක් කිරීම යනු, ඔවුන්ගේ දියකර හැරීමේ වැඩසටහනේ එක් අංගයක් පමනි. 1953 භේදයෙන් පසුව පැබ්ලෝවාදී පාලනය යටතේ පැවති හතරවන ජාත්‍යන්තරයේ කොටස් වලට උපදෙස් දෙන ලද්දේ, ඕනෑම රටක මහජන ව්‍යාපාර කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කල හැකි ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ධනේශ්වර ජාතිකවාදී හෝ දක්ෂිනාංශික ජනතාවාදී වේවා, ඕනෑම දේශපාලන ප්‍රවනතාවක් ඉදිරියේ යටත් වන ලෙසයි.

පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ දී සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමේ දී තමන් ඉටු කල කේන්ද්‍රීය භූමිකාව නොතකා, 1950 ගනන් වලදී සමාජවාදී කම්කරු පක්ෂය, සීතල යුද පරිසරයේ පීඩනය යටතේ කැනන් විසින් විවෘත ලිපිය තුල පැහැදිලිවම ප්‍රකාශ කරන ලද මූලධර්මවලින් පසු බැස්සේය. එය, කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී නායකත්වය ගොඩනැගීමේ අරගලයෙන් ඉවතට හැරෙමින්, මධ්‍යම පන්තික ප‍්‍රවනතා සමග සන්ධානගත වීම දෙසට, සිය කටයුතුවල දේශපාලන අක්ෂය ක්‍රමයෙන් මාරු කලේ ය. එක්සත් ජනපදය තුල, සකපයේ දේශපාලන පසුබැසීම සහ පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීමට සූදානම් වීම, ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදී සහ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ජාතිකවාදී නායකයින්ට වඩවඩාත් අනුගත වීම තුලින් අතිශය පැහැදිලිව ප්‍රකාශ විය.

සමාජවාදී කම්කරු පක්ෂයේ දක්ෂිනාංශික ගමනට ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය හා ප‍්‍රන්ස ශාඛා විසින් ප‍්‍රතිරෝධය දක්වන ලදී. මෙම අරගලය 1961 සහ 1963 අතර දී උච්චස්ථානයකට පැමිනියේය. සමාජවාදී විප්ලවයකට කම්කරුවන්ගේ බලය සම්බන්ධයෙන් නිශ්චිත බල සංස්ථා තබා, හතරවන ජාත්‍යන්තරයේ නායකත්වයක හෝ දේශපාලනිකව ස්වාධීන කම්කරු ව්‍යාපාරයක පැවැත්ම පවා අවශ්‍ය නොවන බවට සාක්ෂියක් ලෙස කියුබාවේ කැස්ත්‍රෝගේ නැගීම උත්කර්ෂයට නැංවූ සමාජවාදී කම්කරු පක්ෂය, 1963 ජූනි මාසයේදී ජාත්‍යන්තර කමිටුවෙන් වෙන් වී, අලුතින් පිහිටුවන ලද එක්සත් ලේකම් මන්ඩලයේ පැබ්ලෝවාදීන් සමග යලි එක් විය.

ෆ්‍රෙඩ් මාසෙලිස්ගේ සහාය ලද, ටිම් වුල්ෆෝර්ත්ගේ නායකත්වයෙන් සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකයින් නව දෙනෙක්, එම ප්‍රතිපත්ති විරහිත යලි එකමුතු වීමට විරුද්ධ වූහ. වසර කට පසුව, 1964 සැප්තැම්බර් මාසයේදී, එක්සත් ලේකම් කාර්යාලයේ ලංකා ශාඛාව වන ලංකා සමසමාජ පක්ෂය, බන්ඩාරනායක මැතිනියගේ ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුල් වීම පිලිබඳ සාකච්ඡාවක් ඉල්ලා සිටීමෙන් පසු, ඔවුන් සමාජවාදී කම්කරු පක්ෂයෙන් නෙරපා හරින ලදී. නෙරපා හරින ලද ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවෝ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීම මත පදනම්ව,හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව (ඒසීඑෆ්අයි) පිහිටුවා ගත්හ. වසර දෙකකට පසුව, ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලන සහයෝගීතාවයෙන් කටයුතු කරන පක්ෂයක් ලෙස, ඒසීඑෆ්අයි විසින් වර්කර්ස් ලීගය පිහිටුවා ගත්තේය.

ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද මෙම තීරනාත්මක අරගලය, හෙලන් සහ ඇගේ පරම්පරාවේ අනෙකුත් අය දේශපාලනිකව ක්‍රියාකාරී වීමට පෙර සිදු විය. එහෙත් එය, ට්‍රොට්ස්කිවාදීන් ලෙස ඔවුන්ගේ අනාගත වර්ධනය සඳහා මෙන්ම, ඒ සඳහා හැකියාව ද සම්පාදනය කල අත්තිවාරම් දැමීය. පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිවී, ජාත්‍යන්තර කමිටුව යුද්ධයකට නොපැමිනියේ නම්, එක්සත් ජනපදයේ හෝ ලෝකයේ වෙනත් කිසිම ප්‍රදේශයක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් නොතිබෙනු ඇත.

සෑම රුපකාරයකම කලු ජාතිකවාදී දේශපාලනයෙන් සවිඥානිකව බිඳීම, මාක්ස්වාදය සඳහා වන සටනේ ද එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ ද නිසැක තීරනාත්මක අංගයක් විය. එවන් බිඳීමක් වැලැක්වීමට සකප හැකි සෑම දෙයක්ම කලේය. කලු ජාතිකවාදයේ අනුගාමිකයින් උත්කර්ෂයට නැංවීමට සහ ඔවුන්—සහ විශේෂයෙන්ම මැල්කම් එක්ස්—තරුනයන්ගේ දේශපාලන මොඩලය ලෙස පෙන්වීමට පවා එය උත්සාහ කලේය. නිදසුනක් වශයෙන්, 1965 පෙබරවාරි මාසයේ දී මැල්කම් එක්ස් ඝාතනය කිරීමෙන් පසුව, සමාජවාදී කම්කරු පක්ෂයේ දිගුකාලීන නායකයෙකු වූ ජෝර්ජ් බ්‍රීට්මන් මෙසේ ලීවේය:

'මීට වසර 25 කට පෙර තවත් ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කරන විට මම තවමත් තරුනයෙක් ව සිටියෙමි. සමහර විට ඔහුගේ නායකත්වය, උපදෙස් සහ දේශපාලන ප්‍රඥාව මග හැරිය නොහැකි බව මම සම්පූර්නයෙන් වටහාගෙන නොතිබුනා විය හැකිය ... කෙසේ වෙතත්, ට්‍රොට්ස්කි මරා දැමූ විට මම හැඬුවේ නැත; එහෙත් මැල්කම් මරා දැමූ විට මට කඳුලු නවතා ගත නොහැකි විය.'

මැල්කම් එක්ස් ගේ ධෛර්යය ගැන කිසිවෙක් වාද කරන්නේ නැත. එහෙත් මැල්කම් එක්ස් ගේ ඉරනම කෙතරම් ඛේදනීය වුවද, භාවාතිෂයවාදී විලාපනැගීම නරුම ලෙස භාවිතා කරන බ්‍රීට්මන් ඔහු [මැල්කම් එක්ස්] ට්‍රොට්ස්කි සිටි තලයේම සිටියෙකු බවට ඔසවා තබමින් 1940 දී ට්‍රොට්ස්කිගේ ඝාතනයත් (එවකට බ්‍රීට්මන්ගේ වයස අවුරුදු 25 කි), 1965 දී මැල්කම් එක්ස් ගේ ඝාතනයත් සමාන ඓතිහාසික හා දේශපාලනික වැදගත් කමක් දරන සිදුවීම් බව දැක්වීමට ප්‍රයත්න දැරීම තරුනයන් නොමඟ යැවීමට සහ ඔවුන්ගේ දේශපාලන වර්ධනයට බාධා කිරීමට සකප දැරූ උත්සාහය පෙන්නුම් කලේය.

මැල්කම් එක්ස්ගේ මරනය පිළිබඳව එවකට බ්‍රිතාන්‍යයේ සෝශලිස්ට් ලේබර් ලීගයේ (එස්එල්එල්) ප්‍රමුඛ සාමාජිකයෙකු වූ මයිකල් බන්ඩාගේ ප්‍රතිචාරයට බ්‍රීට්මන්ගේ අවස්ථාවාදී උපහාරය සංසන්දනය කිරීම උපදේශාත්මක ය. බන්ඩා, එම ඝාතනය “සම්පූර්නයෙන්ම අශික්ෂිත, ම්ලේච්ඡ හා සාපරාධී මෙන්ම නීග්‍රෝ කම්කරුවන්ට සහ නාගරික දුප්පතුන්ට එරෙහිව සුදු පාලක පන්තියේ සහ එහි කලු සහචරයින්ගේ අශීලාචාර වෛරය පිලිබිඹු කරන,' බව පවසමින් හෙලාදැකීය. කෙසේ වෙතත්, බන්ඩා, මැල්කම් එක්ස් ගේ ජාතිකවාදී දේශපාලනයට හෝ එලියා මුහම්මද්ගෙන් ඔහු බිඳී ගිය ද, කලු මුස්ලිම්වරුන් කෙරෙහි ඔහුගේ දෙබිඩි ආකල්පයට කිසිදු දේශපාලන සහනයක් ලබා නොදුන්නේ ය. “ඔවුන්ගෙන් ගතයුතු ප්‍රගතිශීලී කිසිවක් නැත,” බන්ඩා ලිවීය. 'ඔවුන් සම්පූර්නයෙන්ම ප්‍රතිගාමී ය, ඇත්ත වශයෙන්ම ප්‍රති-විප්ලවවාදී ය.'

මැල්කම් එක්ස්ගේ ජීවිතය සහ ඔහුගේ ඝාතනයේ දේශපාලන අර්ථභාරය ලිබඳ සිය තක්සේරුව අවසන් කරමින් බන්ඩා මෙසේ සඳහන් කලේය:

මෙම ම්ලේච්ඡ ක්‍රියාවෙන් එක් නිගමනයකට එලඹිය හැකි නම් ඒ මෙසේය:

ධනවාදය පෙරලා දැමීම සඳහා කැප වූ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක් තුලින් ඇතිකර ගන්නා සුදු සහ කලු කම්කරුවන්ගේ එකමුතුවකට පමනක් නීග්‍රෝ ජනතාවගේ සම්පූර්න විමුක්තිය උදා කල හැකිය.

මෙම මාවතේ දී, කලු ජාතිකවාදය ප්‍රධාන බාධාවක් සහ අන්තරායකාරී අවමන්ගත කිරීමක් ලෙස පවතී.

කලු ජාතිකවාදය ප්‍රගතිශීලී බව ප්‍රකාශ කරන සකප නායකයන් වැනි අය ... නීග්‍රෝ කම්කරුවන්ගේ වීරෝදාර අරගලයන් දැනුවත්ව රවටති; පාවා දෙති. ඔවුහු යෝධ වංචාවක් පවත්වාගෙන යාමට උදව් කරති.

කලු ජාතිකවාදය සහ ඇත්ත වශයෙන්ම සියලු ජාතිකවාදයන් පිලිබඳ මෙම හෙලාදැකීම ඓතිහාසික අත්දැකීම විසින්, මුලුමනින්ම සනාථ කරනු ලැබ ඇත; එය දේශපාලන දෘෂ්ඨිවාදයක් සහ ක්‍රියාමාර්ගයක් ලෙස අද දක්වාමත් පවතී; එහෙත් ඒ වසර හැටකට පෙර තිබුනාට වඩා ප්‍රතිගාමී ලෙස ය.

එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදයේ ඉදිරිදර්ශනය සඳහා පැබ්ලෝවාදීන්ට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ පුලුල් දේශපාලන ඇඟවුම්, සෝශලිස්ට් ලේබර් ලීගයේ ජාතික ලේකම් සහ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රධාන නායකයා වූ ජෙරී හීලි විසින් 1966 නොවැම්බරයේ වර්කර්ස් ලීගයේ ආරම්භක සම්මේලනයට ඉදිරිපත් කල සිය සහෝදරාත්මක සුභ පැතුම් තුල පැහැදිලිව ප්‍රකාශ කලේය:

එක්සත් ජනපදයේ කම්කරු පන්තිය ලෝකයේ බලවත්ම බලවේගය වන අතර ඔබ ඔබේ පක්ෂය ගොඩනැගිය යුත්තේ මෙම පන්තිය තුලය.

මෙය මාක්ස්වාදයේ මූලික මූලධර්මයක් වන අතරම එක්සත් ජනපදය තුල පවතින කොන්දේසි තුල සුවිශේෂ හදිසිභාවයකින් යුතුව අදාල වේ. අපේ කාලයේ මූලික ප්‍රශ්න විසඳන්නේ කලු ජාතික බලය හෝ රට පුරා පැතිර යන දුසිම් ගනනක් සාම සහ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර නොව, විප්ලවවාදී පක්ෂයක් විසින් නායකත්වය දෙන කම්කරු පන්තියයි.

සංශෝධනවාදීන්ගෙන් අප සම්පූර්නයෙන්ම වෙන් වන්නේ මේ කාරනයේදී ය. නීග්‍රෝවරුන්ට මෙන්ම මධ්‍යම පන්තික ව්‍යාපාරවලට ද ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ ගනුදෙනු බේරා ගත හැකිය යන ඔවුන්ගේ අදහස අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. එවැනි ව්‍යාපාරවලට අප විසින් වරින් වර කුමන විවේචනාත්මක සහයෝගයක් ලබාදුන්නද, අපගේ සහයෝගයේ හරය පදනම් විය යුත්තේ, ඒවායේ දුර්වලකම් පිලිබඳ අපගේ විවේචන පැහැදිලි කරදීම මත ය.

පසුකාලීනව හීලි සහ බන්ඩා පැබ්ලෝවාදී දේශපාලනයට යටත් වීම, 1950 ගනන්වල සහ 1960 ගනන්වල ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් ගෙන ගිය අරගලයේ සහ 1960 සහ 1970 ගනන්වල මුල් භාගයේදී වර්කර්ස් ලීගය පිහිටුවීමට සහ ට්‍රොට්ස්කිවාදයට දිනාගත් කේඩරයේ අධ්‍යාපනයට ඔවුන් විසින් කරන ලද තීරනාත්මක දායකත්වයේ වැදගත් කම අඩු නොකරයි.

ඇත්ත වශයෙන්ම, කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදීමට එරෙහි අරගලයේදී, 1980 ගනන්වල අප භාවිතා කල ආයුධ අපට සැපයනු ලැබූවේ ඔවුන් ය.

පසුගිය දශක දෙක පුරා ජාත්‍යන්තර කමිටුව විසින් මෙහෙයවන ලද අරගලයේ පදනම මත ට්‍රොට්ස්කිවාදයට දිනාගත් අය අතර හෙලන් ද විය. හජාජාක හා වර්කර්ස් ලීගයේ/සමාජවාදී සමානතා පක්ෂයේ පසුකාලීන වැඩකටයුතු සියල්ල ඉනික්බිති දශක වලදී වර්ධනය වූ පදනම එයයි.

හෙලන්, ශ්‍රී ලංකාවේ අගනුවර වන කොලඹට උතුරින් පිහිටි කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් සමඟ කතා කරමින්.


හෙලන් පිලිබඳ මගේ පලමු මතකය 1971 දෙසැම්බර් 18 වැනි දින වර්කර්ස් ලීගයේ (සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුන සහ ශිෂ්‍යය ව්‍යාපාරයේ පූර්වගාමියා වූ) තරුන සමාජවාදීයෝ ආරම්භක සමුලුව දක්වා දිව යයි. 1972 ජනවාරි මාසයේදී වර්කර්ස් ලීගයේ කාර්ය මන්ඩලයට බැඳීමෙන් වසරකට පසුව එහි දේශපාලන කමිටුවේ සාමාජිකයන් බවට පත්වීමු. වර්කර්ස් ලීගයේ නායකත්වය තුල අපගේ ක්‍රමානුකූල දෛනික සහයෝගීතාවය පවත්වාගෙන යාමට හැකි වූයේ, 1974 අගෝස්තු මාසයේදී වූල්ෆෝර්ත් ජාතික ලේකම් ධූරයෙන් ඉවත් කර, ප්‍රතිපත්තිමය සහ සහෝදරාත්මක සබඳතා සහ වැඩ කිරීමේ ක්‍රම ස්ථීර ලෙස යලි ස්ථාපිත කල, ෆ්‍රෙඩ් මාසෙලිස් සහෝදරයා ඔහු වෙනුවට පත් කිරීමෙන් පසුව පමනි.

වර්කර්ස් ලීගය, සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට හෙලන්ගේ දායකත්වය ප්‍රමානවත් ලෙස සාරාංශගත කිරීම, මෙම අනුස්මරන රැස්වීමේ සීමාව තුල කල නොහැක. අද කතා කරන අය ඇගේ කාර්යයේ එක් හෝ තවත් අංගයක් සහ ඇගේ පෞරුෂයේ විවිධ පැති සිහිපත් කරනු ඇත. ඇයගේ දායකත්වයේ විස්තීර්න සම්පින්ඩනයක් සඳහා පසුගිය දශක පහ තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන කටයුතු පිලිබඳ සමාලෝචනයක් අවශ්‍ය වේ. මෙම ව්‍යාපාරයේ ඉතිහාසයේ සෑම අංශයක් තුල ම, ඇගේ ජීවිතය ගැඹුරින් කාවැදී ඇත. පන්ති අරගලය තුල අසංඛ්‍යාත මැදිහත්වීම් අතරතුර, අසාධාරන හා කුරිරු සූරාකෑමේ ක්‍රමයකට එරෙහි සටනේදී ඇයගේ නිර්භය ආත්ම පරිත්‍යාගයට ගරු කල සහ අගය කල නොගිනිය හැකි තරම් කම්කරුවන් සංඛ්‍යාවකගේ අධ්‍යාපනයට, හෙලන් වැදගත් දායකත්වයක් ලබා දුන්නාය.

එහෙත්, ඇයගේ දේශපාලන ක්‍රියාකාරකම් පිලිබඳ සවිස්තර වාර්තාවකින් පවා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සහ එහි කේඩරයට ඇය ලබාදුන් ප්‍රතිපදානයේ තරම ප්‍රමානවත් ලෙස ප්‍රකාශයට පත් නොවනු ඇත. විප්ලවවාදී පක්ෂය පවතින්නේ, විධිමත් දේශපාලන සිදුවීම්වල සහ සංවිධානාත්මක චර්යාවන්ගේ සන්තතියක් ලෙස පමනක් නොවේ. එය පවතින්නේ, ලාලසාවන් සහ ගැටලු ඇති, ජීවිතයේ ප්‍රීතිය සහ අවාසනාවන් මධ්‍යයේ තම වැඩ කටයුතු කරගෙන යන, 'අපගේ ශරීරයට ආවේනික දහසක් ස්වභාවික කම්පනයන් අත්විඳින' සැබෑ මිනිසුන්ගෙනි. වසර ගනනාවක් පුරා විප්ලවවාදී වැඩකටයුතුවල අඛන්ඩ පැවැත්ම සහෝදරයන්ගේ මිත්‍රත්වය නොමැතිව කල නොහැකි වනු ඇත; කෙනෙකුට විශ්වාස කල හැකි, සහ මහා අරමුනක් බෙදාහදා ගන්නා, අරගලයේදී ගොඩනැගුනු මිත්‍රත්වයන්, ශක්තිමත්ම සහ කල් පවතින ඒවා වේ.

මිතුරන් අතර හෙලන්, සැබෑ මිතුරියක විය. තමන්ගේ විනිශ්චයන්හිදී ඇය දැඩි විය හැකිය. යමෙකුට දේශපාලන හෝ පෞද්ගලික ගැටලුවකට මිහිරි ප්‍රතිචාරයක් අවශ්‍ය නම්, හෙලන්ගෙන් ඈත් වන ලෙස කෙනෙකුට උපදෙස් දිය හැකිය. ප්‍රශ්න වලදී ඇය සෘජු වූ ඇය සෑම විටම අවංක වූවාය. නමුත් එම අවංකකම තුල සැබෑ සහානුකම්පාව සහ උත්සුකය ගැබ්විය.

හෙලන් 2015 නොවැම්බර් 24 වන දින ඇගේ 65 වැනි උපන්දිනයේදී මිතුරන් සමඟ කතා කරමින්

වැඩිවන සෞඛ්‍ය ගැටලුවලට මුහුන දුන් හෙලන්ට පසුගිය වසර කිහිපය දුෂ්කර කාලයක් විය. එහෙත් පන්ති අරගලයේ නැගී එන රැල්ල සහ පක්ෂයේ වැඩෙන බලපෑම හඳුනාගත් ඇය ඉන් ඉමහත් තෘප්තියක් ලැබුවාය. අපේ ව්‍යාපාරයේ ප්‍රගතිය මැනගැනීමට ඇය හොඳින් සන්නද්ධ වූවාය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථික පද්ධතියේ පදනම ලෙස ක්‍රියාත්මක වූ බ්‍රෙටන්වුඩ්ස් පද්ධතිය 1971 අගෝස්තු 15 දා බිඳවැටීමෙන් යන්තම් මාස හතරකට පසු හෙලන් වර්කර්ස් ලීගයට සම්බන්ධ විය. එහි පදනම වූයේ අවුන්සයකට ඩොලර් 35 ක අනුපාතයකින් ඩොලරය රන් බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි, එය රත්‍රන් අවුන්සයක අද වටිනා කමට වඩා ඩොලර් 2,000 ක් අඩුය.

1971 දේශපාලන ලෝකය අදට වඩා බෙහෙවින් වෙනස් විය. ස්ටැලින්වාදී තන්ත‍්‍රය—නැතහොත් 'සැබෑ, පවතින සමාජවාදය' ලෙස හැඳින්වූ දේ—තවමත් සෝවියට් සංගමය තුල පැවති අතර, ස්ටැලින්වාදය හෝ එහි එක් ජාතික ප්‍රභේදයක් මත පදනම් වූ පක්ෂ නැගෙනහිර ජර්මනියේ ඕඩර් ගඟේ සිට උතුරු පැසිෆික් සහ දකුනු චීන මුහුද දක්වා බලය අල්ලාගෙන සිටියේය. න්තම් වසර 20 ක් ඇතුලත මෙම පාලන තන්ත‍්‍ර බලයෙන් අතුගා දැමෙනු ඇති බවත්, බටහිර යුරෝපයේ බහුජන ස්ටැලින්වාදී පක්ෂ සැලකිය යුතු දේශපාලන බලවේගයන් ලෙස පැවතීම නවත්වනු ඇති බවත් සිතූ එකදු පක්ෂයක්වත් ජාත්‍යන්තර කමිටුවෙන් පිටත සිටියේ නැත.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සහ ඔවුන් සමග සන්ධානගතව සිටි වෘත්තීය සමිති තවමත් කම්කරු පන්ති සටන්කාමීන්ගේ සක්‍රීය සහයෝගයට අන දුන්හ. ට්‍රොට්ස්කිවාදයට අව්‍යාජ විප්ලවවාදී විකල්ප ලෙස, පැබ්ලෝවාදීන් විසින්, කැස්ත්‍රෝවාදය සහ පෙරෝනිවාදය වර්නනා කරන ලදී. චිලියේ බලය පැවතියේ සැල්වදෝර් ඇලෙන්ඩේ අත ය. ව්‍යාජ විප්ලවවාදී ඇඳුමෙන් සැරසුනු අප්‍රිකාව හා මැද පෙරදිග පුරා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර පැබ්ලෝවාදීන්ගේ වර්නනාවට පාත්‍ර වූයේ, නොනවතින විප්ලවයේ න්‍යාය ප්‍රතික්ෂේප කරන, සමාජවාදය සඳහා නව ජාතික මාවතක අවිඥානික පුරෝගාමීන් ලෙස ය. මාඕ යටතේ චීනය තවමත් සංස්කෘතික විප්ලවයේ නියැලෙමින් සිටියේය.

ජාත්‍යන්තර කමිටුව පමනක් ම ධනවාදයේ ගෝලීය අර්බුදය, ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික යල්පැන යාම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පරිහානිය සහ ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී බලය පිලිබඳ අවබෝධයක් මත පදනම් විය.

සියලු ස්ටැලින්වාදී, සංශෝධනවාදී හා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල ඉරනම ට්‍රොට්ස්කිගේ ප්‍රකාශය සනාථ කර ඇත: 'හතරවන ජාත්‍යන්තරයේ කේඩරයෙන් පිටත, එහි නමට සුදුසු විප්ලවවාදී පක්ෂයක් නොමැත.' හෙලන්, එම ප්‍රකාශය සත්‍යාපනය කිරීමට තරම් සෑහෙන කාලයක් ජීවත් වූවාය.

ජීවිතයක වැදගත්කම පිලිබඳ සැබෑ මිනුම වන්නේ එය ඉතිරි කර යන දෙයයි, ලෝකය මත එහි කල්පවත්නා බලපෑමයි. මෙම අභියෝගාත්මක මිනුම්දන්ඩට අනුව, හෙලන් හෙල්යාර්ඩ්ගේ ජීවිතය කල්පවත්නා චරිතයකි. ඇය කිසිදා අමතක නොවනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඇයගේ උරුමයයි. එය, හෙලන් සිය කය සහ ආත්මය කැප කල කම්කරු පන්තියේ සහ මනුෂ්‍යත්වයේ විමුක්තිය සඳහා අරගලය දිගටම කරගෙන යනු ඇත.

හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය පිලිබඳ මතකය දිගුකල් දිනේවා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දිගුකල් දිනේවා!

ලෝක සමාජවාදී විප්ලවය කරා පෙරට!

Loading