"හෙලන් සහෝදරියගේ ජීවිතය පෙන්නුම් කරන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ බලයයි"

[මෙය “What the life of Comrade Helen shows is the power of the Trotskyist movement itself” යන මැයෙන් 2023 දෙසැම්බර් 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

දෙසැම්බර් 3දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පැවැති අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් කල උපහාරය අපි මෙහි පල කරන්නෙමු.

සහෝදරවරුනි/සහෝදරියනි,

හෙලෙන් සහෝදරියගේ බලාපොරොත්තු විරහිත නික්මයාම පිලිබඳව මාගේත් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේත් ගැඹුරුතම ශෝකය මම ප්‍රකාශ කරන්නෙමි. දශක පහකට වැඩි, වෙනත් විදියකින් කිවහොත් ඇගේ සම්පූර්න වැඩහිටි ජීවිතයම ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව වෙනුවෙන් කැපකල ඇගේ වික්‍රමාන්විත විප්ලවවාදී ජීවිතයට අපි අපේ ආචාරය පුද කරන්නෙමු.

අවස්ථා ගනනාවකදී ම හෙලන් සහෝදරිය හමුවීමට මම වාසනාවන්ත වුනා. මට ඇයව අවසන්වරට මුනුගැසුනේ, ජයසේකර සහෝදරයාත් මමත් එක්සත් ජනපදයේ සසප විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ගිම්හාන පාසල සඳහා 2019 දී ඩෙට්‍රොයිට් වෙත ගිය අවස්ථාවේදී. 2020 මුල් භාගයේදී මාරාන්තික කෝවිඩ්-19 වසංගතය පැතිරීයාමත් සමග ම, එවැනි සංචාරයන් ද නැවත පෞද්ගලිකව හමුවීමෙන් ද අපව වලක්වනු ලැබුවා.

ප්‍රමුඛ හජාජාක සාමාජිකයන් වන වසන්ත රූපසිංහ (ශ්‍රී ලංකාව) සහ හෙලන් හෙල්යාර්ඩ් (එක්සත් ජනපදය) 2019

පසුගිය වසර තුන පුරා, නව තාක්‍ෂනය මගින් අපගේ දේශපාලන සහයෝගීතාව දෛනික පදනමින් ගැඹුරු කර ගැනීමට හැකි වුවද, ජාත්‍යන්තර කමිටු සහෝදරවරුන්ට භෞතිකව එකිනෙකා හමුවීමට හැකියාවක් ලැබුනේ නැහැ.

අවසන් වරට අපට හෙලන් සහෝදරිය මුනගැසුනු අවස්ථාව අතිශයින් මතකයේ රැඳී පවතින්නක්. ගිම්හාන පාසලේ දී සාකච්ඡා කෙරුනේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරු විප්ලවවාදී පක්ෂය සමග බෙදීමේ ඓතිහාසික මූලාරම්භය සහ දේශපාලන ප්‍රතිවිපාක සම්බන්ධයෙන්වීම නිසා එය විශේෂයෙන්ම වැදගත් වුනා.

මීට පෙර මා සහභාගී වූ එක්සත් ජනපදයේ එවැනි අධ්‍යන අවස්ථාවලදී මෙන්ම, මෙම පාසල පුරාමත් හෙලන් සහෝදරිය සාකච්ඡා අතරතුර සිදුකල බලගතු එකතුකිරීම් පිලිබඳව මට ඉතා හොඳින් මතකයි. පක්ෂය තුල ඇයගේ දශක ගනනාවක අත්දැකීම් වලින් උකහා ගත්, මාක්ස්වාදය සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ ගැඹුරු අවබෝධයකින් සහ දැඩි විශ්වාසයකින් යුතුව ඇය කතා කලා.

වසන්ත රූපසිංහ සහ හෙලන් හෙල්යාර්ඩ් ඩිට්‍රොයිට් ගංගාධාරයේ බිම්ගත දුම්රියමාර්ගයට වැටී ඇති ස්මාරකය ඉදිරිපිට 2018 වසරේදී.

එම අවස්ථාවේදී, චිරප්‍රකට ඩිට්‍රොයිට් මෝටවුන් කෞතුකාගාරයටත් ඩිට්‍රොයිට් කලාගාරය වෙතත් ඇය අපව කැටුව ගියා. ඇය ඉතාම ආස්වාදජනක ආකාරයෙන් කලාකෘති පැහැදිලි කලා. ඒ වගේම ඒවා හා බැඳී ඇති ආහ්ලාදජනක ඉතිහාසයත් ඇය විස්තර කලා. කලාකෘති පිලිබඳ ඇයගේ දැනීම සම්බන්ධයෙන් මුලුමහත් ගමන පුරාම මම මවිතයට පත්ව සිටියා.

එක්සත් ජනපද සසපයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇයගේ ලෝක සංචාරයේ කොටසක් වසයෙන්, හෙලන් 1992 අග භාගයේ දී ශ්‍රී ලංකාවට සිදුකල සංචාරයේ අපූරු අත්දැකීම ශ්‍රී ලංකාවේ වඩාත් ජ්‍යෙෂ්ඨ සහෝදරවරුන් නිතර සිහිපත් කරනවා. එය ඉතා බලගතු දේශපාලන සංසිද්ධියක් වුනා.

එක්සත් ජනපදයේ ජනාධිපති සඳහා වර්කස් ලීගයේ අපේක්ෂිකාව වසයෙන් ඉදිරිපත්වූ හෙලන් හෙල්යාර්ඩ් කොලඹ විශ්වවිද්‍යාලයේ රැස්වීමකදී. දකුනු පසින්, විජේ ඩයස්.

ශ්‍රී ලංකාවේ සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) විසින් සංවිධානය කරන ලද සැලකියයුතු සහභාගිත්වයක් සහිත මහජන රැස්වීම් හයක් ඇය ඇමතුවා. පලමු රැස්වීම පැවැත්වුනේ දකුනු පලාතේ අම්බලන්ගොඩ දී. පසුදින ඇය, මධ්‍යම පලාතේ මහනුවර දී රැස්වීමක් ඇමතුවා. ඊලඟ දිනයේදී, ඇය මහනුවර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන්, තරුනයින්, කම්කරුවන් සහ විද්වතුන් 350ක පමන පිරිසක් ඉදිරියේ කතා කලා.

ඉන්පසුව ඇය කොලඹ සිට කිලෝමීටර් 200ක් පමන දුරින් පිහිටි බන්ඩාරවෙල ප්‍රදේශයේ වතුකරයේ රැස්වීමක් ඇමතුවා. මෙම රැස්වීමේදී, ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) ප්‍රාදේශීය නායකයෙකු විසින් කරන ලද ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් හෙලන්, ජාත්‍යන්තර සමාජවාදය පිලිබඳ පොදු වැඩපිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් මත පදනම්වූ, ඇගේ පක්ෂය වන වර්කර්ස් ලීගය සහ ශ්‍රී ලංකාවේ විකොස අතර ගැඹුරින් මුල් බැසගත් සහයෝගීතාවය පැහැදිලි කලා. 1966 දී වර්කර්ස් ලීගයේ ආරම්භක සාමාජිකයින් බවට පත් වූ එම සහෝදරවරුන්, 1964දී සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ධනේශ්වර සභාග ආන්ඩුවට සම්බන්ධ වෙමින් 1964 දී ලසසප සිදුකල මහා පාවාදීම පිලිබඳ සාකච්ඡාවක් සඳහා ඔවුන් කල ඉල්ලීම මත සමාජවාදී කම්කරු පක්ෂයෙන් නෙරපා හරින ලද බව ඇය පෙන්වා දුන්නාය.

1992, එක්සත් ජනපදයේ ජනාධිපති සඳහා වර්කස් ලීගයේ අපේක්ෂිකාව වසයෙන් ඇය සිදුකල ලෝක සංචාරය අතරතුර හෙලන් හෙල්යාඩ් ශ්‍රී ලංකාවේ, අම්බලන්ගොඩදී සෙනග පිරුනු ශාලාවකදී කතා කරමින්.

ඉන් අනතුරු, ඇය කොලඹදී විකොස ප්‍රසිද්ධ රැස්වීමකදී කතා කලා. ඒ වගේම ඇය, කොලඹ විශ්වවිද්‍යාලයේ සිය ගනනකට වැඩි සිසුන්, කම්කරුවන් සහ ආචාර්යවරුන් සම්බන්ධවූ රැස්වීමක් ආමන්ත්‍රනය කලා.

නැවත ඇමරිකාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට යන අතරතුර හෙලන් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සේවකයන් සිය ගනනක් සමඟ කතා කලා. අපි ඇයව ඩිට්‍රොයිට්හිදී මුනගැසුනු විට හෙලන් මෙම අත්දැකීම නැවත නැවතත් සිහිපත් කලා. හෙලන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇයව මුනගැසුනු බොහෝ ශ්‍රී ලාංකික සහෘදයින් ඇයගේ ප්‍රබල කථික කුසලතාවයන් මෙන්ම ඇයගේ කරුනාවන්තභාවය ගැන ද සිහිපත් කරනවා.

හෙලන් හෙල්යාර්ඩ් 1992 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ වර්කර්ස් ලීගයේ අපේක්ෂිකාව ලෙස ඇයගේ ලෝක සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් සමඟ කතා කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ, හෙලන් සහෝදරියගේ විස්තීර්න සහ උපදේශාත්මක අවමංගල්‍ය ප්‍රකාශය ජාත්‍යන්තරවාදියෙකු හා ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස ඇයගේ නොසැලෙන දේශපාලන ජීවිතය පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනයක් සපයනවා. ලිපියේ සඳහන් කර ඇති පහත කරුන, විශේෂයෙන් මා කැලඹුවා: 'ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බැඳීමට ඇය ගත් තීරනය ඉතා සවිඥානික දේශපාලන ක්‍රියාවක් විය.'

අපට දැකිය හැකි දෙය නම්, පසුගිය දශක පහ පුරා ඇය විද්‍යාත්මක සමාජවාදය පිලිබඳ ගැඹුරු අවබෝධයක පදනම මත ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් නිර්භයව සටන් කල බවයි. හෙලන් සහෝදරියගේ ජීවිතය පෙන්නුම් කරන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේම බලයයි. ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙලේ පදනම මත අසාමාන්‍ය සහෘදයින් ආකර්ශනය කර ගැනීමේ බලය ද, එම විප්ලවවාදී ඉදිරිදර්ශනය සඳහා අවසන් හුස්ම පොද දක්වා සටන් කරන මහා විප්ලවවාදී නායකයින් ලෙස ඔවුන් පුහුනු කිරීමේ හැකියාව ද එයට තියෙනවා.

විජේ ඩයස් සහ හෙලන් හෙල්යාර්යාඩ් 1992 දී ශ්‍රී ලංකාවේ කොලඹ විශ්ව විද්‍යාලය තුල.

ඔවුන් මිය ගොස් විප්ලවවාදී වේදිකාවෙන් ඉවත් වන විට, ලෝකය පුරා කම්කරුවන් ශෝක වෙනවා; නමුත් ඒ සමඟම ඔවුන් සිහිපත් කරන්නේ මනුෂ්‍ය සංහතියේ විමුක්තිය සඳහා මෙම සහෝදරවරුන් ගෙන ගිය අභීත අරගලයයි. ජාත්‍යන්තර කමිටුවෙන් පිටත ලෝකයේ කිසිදු ව්‍යාපාරයකට මෙම බලපෑම ඇති කිරීමට හැකියාවක් නැහැ.

හෙලන් සහෝදරියගේ විප්ලවීය ජීවිතයෙන් මුලු පක්ෂයටම, විශේෂයෙන්ම තරුන පරම්පරාවට උගත හැකි අගනා පාඩම් තියෙනවා. අපි ඇයගේ අරගලය අවසානය දක්වාම ඉදිරියට ගෙන යනවා.

ආදරනීය හෙලන් සහෝදරිය, ඔබේ විප්ලවීය මතකය සදාකාලික වනු ඇති!

Loading