වික්‍රමසිංහ ආන්ඩුවේ වැට් බදු ඉහල දැමීම: වැඩ කරන ජනයාට එරෙහි රුදුරු ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව දෙසැම්බර් 11 දින වැඩි ඡන්ද 45කින් සම්මත කල, අගය එකතු කිරීමේ බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමේ හා මෙතෙක් එම බද්දට යටත් කර නොතිබුනු අත්‍යවශ්‍ය භාන්ඩ 97ක් ඊට ඇතුලු කිරීමේ යෝජනාව වැඩ කරන ජනයා හට එල්ල කර ඇති දරුනුතම ප්‍රහාරයකි.

පාර්ලිමේන්තුව තුල ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීන් 100ක් මෙම බදු වැඩි කිරීමට පක්ෂව ඡන්දය ලබා දුන් අතර විරුද්ධ පක්ෂ මන්ත්‍රීන් 55ක් ඊට එරෙහිව ඡන්දය දුන්හ.

අලුතින්ම ඇතුලුකර ඇති භාන්ඩ වලට ඉන්ධන, පිසින ගෑස් හා පොහොරද අයත්වන අතර මෙම තියුනු බදු ඉහල දැමීම නිසා ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගනනාවක මිල සියයට 20ට ආසන්නව ඉහල යාමට තුඩු දෙනු ඇති බව බැලූ බැල්මටම පැහැදිලිය. රටේ ජනගහනයෙන් සියයට 68ක් දැනටම ආහාර සඳහා වියදම් කිරීමේ ගැටලු වලට මුහුනදී සිටියදී සහ රටේ ලමා හා සමස්ත මන්දපෝෂනය පිම්මේ ඉහල ගොස් ඇති පසුබිම තුල මෙම බදු වැඩි කිරීම දරා ගැනීම වැඩ කරන ජනයාට අතිශයින්ම දුෂ්කර වනු ඇත.

මෙම බදු වැඩිකිරීම එලැඹෙන ජනවාරි 1දින සිට ක්‍රියාත්මක කිරීමට 2024 අයවැය කතාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද්දේ, රාජ්‍ය ආදායම ජාත්‍යන්තර නය හා පොලී ගෙවීම් සඳහා ප්‍රමානවත් නොවන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනුමත කල ඩොලර් බිලියන 3ක නය මුදලේ දෙවන වාරිකය නොගෙවන බවට එම අරමුදල විසින් කල තර්ජනය සමඟය. මෙම වැඩි කිරීම ඔක්තෝබර් මාසයේදී කැබිනට් මන්ඩලය අනුමත කර තිබිනි.

මුදල් පිලිබඳ රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය ප්‍රකාශ කලේ මෙම බදු වැඩිකිරීම මඟින් දැනට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.1ක් වන රාජ්‍ය බදු ආදායම 2024දී සියයට 12.5ට ඉහල යන බවයි. රාජ්‍ය ආදායමෙන් සියයට 70ක්ම නය පොලී සඳහා ගෙවිය යුතු වන බව ඔහු කියා සිටියේය. මෙම වසරේ පලමු නව මස තුල පෙර වසරට සාපේක්ෂව ආන්ඩුවේ බදු ආදායම සියයට 51කින් ඉහල දමා ගෙන තිබුනද ඒය ජාමූඅ හි ඉලක්කයන්ට ලඟාවී නොතිබිනි.

මුදල් අමාත්‍යාංශයේ ගනන් බැලීමට අනුව වැට් බද්ද මඟින් ආන්ඩුවේ ආදායම සියයට 56කින් ඉහල දැමෙන අතර සමස්ත ආදායම 2023 පැවති රුපියල් බිලියන 2851 සිට 2024 දී බිලියන 4127 දක්වා ඉහල යනු ඇත.

සියඹලාපිටියට අනුව පසුගිය සතියේ උද්ධමනය සියයට 3.4ක් වූ අතර මෙම බදු වැඩි කිරීමෙන් තව සියයට 2.5කින් උද්ධමනය ඉහල යාමට නියමිතය. මෙම සංඛ්‍යා විජ්ජාවන් කෙසේ වෙතත් ආන්ඩුවේ සංඛ්‍යාලේඛන අනුවම 2022 වසරේ සියයට අනූවට ලඟාවූ ආහාර උද්ධමනය හා සියයට 70 ඉක්මවූ සාමාන්‍ය උද්ධමනය නිසා ඉහල ගිය මිල ගනන් එතැනින් ඉහලට මිස පහලට පැමින නැත.

පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කල මුදල් පිලිබඳ රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියා සිටියේ දෙසැම්බර් 12දා ලංකාවට දෙන නය මුදලේ දෙවන වාරිකය ලබා දීම පිලිබඳව ජාමූඅ හි විධායකය රැස්වෙන බැවින් අද මෙම වැට් බද්ද පාර්ලිමේන්තුව සම්මත නොකලහොත් එම වාරිකය නොලැබී යාමේ තර්ජනය පවතින බවයි.

ජාමූඅ හි විධායක මන්ඩලය අඟහරුවාදා දෙවන නය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 337 අනුමත කල බව ප්‍රකාශයට පත් කර තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව නොවැම්බර් අග වනවිට ඉටු කල යුතුව තිබූ ජාමූ හි නිර්දේශ වලින් සියයට 63ක් ආන්ඩුව ඉටු කර ඇත.

පලස්තීනුවන් සංහාරය කරමින් ගාසාවේ ඊශ්‍රායලය පවත්වාගෙන යන යුද්ධය මෙන්ම යුක්‍රේනය මැදිකර ගනිමින් රුසියාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ නැටෝ බලයයන් ගෙනයන යුද්ධය මගින් උත්සන්න කෙරී ඇති ලෝක පරිමාන ආර්ථික ව්‍යසනය, ලංකාවේ ආර්ථික කඩා වැටීම තියුනු කර තිබේ. ඒහි සියලු බර වැඩ කරන ජනයා මත පටවනු ලබන්නේ ජාමූඅ හි නිර්දේශ ලෙසිනි.

ජාමූඅ හි කප්පාදු වැඩ සටහනෙහි අවශ්‍යතාව පිලිබඳව සම්මුතියෙන් සිටින සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හා දෙමල ජාතික සන්ධානය වැනි සියලු විරුද්ධ පක්ෂ මෙම දරුනු ප්‍රහාරයට එරෙහිව නැගෙන මහජන කෝපය ගසා කෑමට පාර්ලිමේන්තුව තුල මේ පිලිබඳ විවාදයක් ඉල්ලා සිටියහ. දෙසැම්බර් 10 දින ඒ් සඳහා පාර්ලිමේන්තුව රැස් කලද අවශ්‍ය ඝන පූර්නය නොමැති බැවින් විවාදය පැවැත්විය නොහැකි බව විරුද්ධ පක්ෂ කියා සිටියහ.

තමන් බලයට පැමිනි විට ජාමූඅ හි ගිවිසුම පවත්වා ගෙන යන බවට තහවුරු කර ඇති මෙම විරුද්ධ පක්ෂ අතිශයින්ම කුහක ලෙස පවසන්නේ තමන් ගිවිසුමේ කොන්දේසි පිලිබඳව අරමුදල සමඟ යලි සාකච්ඡා කර සහන ලබා ගන්නා බවයි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝජිතයා ලෙස ලෝකයේ රටවල් සිසාරා නය මිරිකා ගැනීමේ ක්‍රියාවලියේ නිරත වන ජාමූඅ න් “සහන” ලබා ගැනීම යනු අමු බේගලයකි.

වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් කර හෝ වෙනත් විරුද්ධ පක්ෂයක් බලයට පත්කර මෙම ප්‍රහාරයෙන් ගැලවිය හැකි යැයි කියා සිටින වෘත්තීය සමිති නිලධරය ප්‍රතික්ෂේප කරමින්, කම්කරුවන් තමාගේම ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථාවන් ලෙස, සෑම කම්හලකම, වැඩබිමකම සහ නිවස්නා ප්‍රදේශයකම, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

එම ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ සන්ධාන ගතවන අතරම, ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කර ගැනීම සඳහා ඉදිරියට යා යුතුය. අනුප්‍රාප්තික ආන්ඩු විසින් ලබා ගන්නා ලද නය ආපසු ගෙවීම සපුරා ප්‍රතික්ෂේප කරන, මහා පරිමාන බැංකු, දැවැන්ත කම්හල් සහ සුවිසල් වතුයායයන් කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කෙරෙන සහ ප්‍රකෝටිපතීන් අත ඇති බිලියන සංඛ්‍යාත ධනය මානව අවශ්‍යතා සඳහා යොදා ගැනෙන සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ මාවත එවන් සම්මේලනයක් තුලින් සකසා ගත යුතුය.

එවන් වැඩ පිලිවෙලකට කම්කරු පන්තිය යොමු වීම වැලැක්වීමට මඟ වලහමින් ජාමූඅ හි ප්‍රහාරයන්ට මතුපිටින් ව්‍යාජ ලෙස විරුද්ධත්වය පාන නමුත් ධනපති ක්‍රමයට විකල්පයක් නොමැති බව අවධාරනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වමේ පක්ෂ වල විනාශකාරී ක්‍රියා කලාපය කම්කරුවන් මෙන්ම සමාජයේ දරුනු ලෙස බැට කන සියලු සමාජ කොටස් වටහා ගත යුතුය. මෙම ප්‍රතිගාමී ක්‍රියා කලාපය දොර විවර කරන්නේ ජාමූඅ හි කප්පාදු ප්‍රහාරය තව තවත් උග්‍ර කිරීමටයි.

වැට් බද්දට අමතරව ආනයන බදු, උපයන ආදායම මත අය කරන බදු, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ මත අය කරන විශේෂ බදු, මත්පැන් හා දුම්වැටි බදු ආදී විශාල බදු සංඛ්‍යාවකට වැඩ කරන ජනයා යටකර තිබේ. වයස 18ට වැඩි සියල්ලන් බදු ලිපි ගොනු විවෘත කල යුතු බවට වන නීතීයක් 2024 සිට ක්‍රියාවට දැමේ.

මේ වනවිටත් රාජ්‍ය ආයතන 430ක් පුද්ගලීකරනය හා වානිජකරනය, විකිනීම හෝ සම්පූර්නයෙන් වසා දැමීම සඳහා පිඹුරු පත් සකසමින් තිබේ. සමුපකාර තොග වෙලඳ සංස්ථාව දැනටම වසා දමා සේවකයන් 300ක් දොට්ට දමා තිබේ. රාජ්‍ය බැංකු වලින් සියයට 20ක් විකුනන බව වික්‍රමසිංහ 2024 අයවැය කතාවේදී නිවේදනය කලේය. මෙම ප්‍රහාරාත්මක වැඩ පිලිවෙල මඟින් ලක්ෂ පහකට ආසන්න රජයේ රැකියා විනාශ කෙරෙන අතර රාජ්‍ය සේවාවන්ට මහ ජනයා ගෙවිය යුතු මුදල් තව තවත් ඉහල යනු ඇත.

රාජ්‍ය සතු ප්‍රධානතම ආයතනයක් වන ලංකා විදුලි බල මන්ඩලය කොටස් 14කට කඩා විකිනීමට හා පුද්ගලීකරනයට අවශ්‍ය සැලසුම් කැබිනට් මන්ඩලය විසින් සම්මත කර ඇති අතර ලබන මස පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිතය. විදුලි බල ඇමති කාංචන විජේසේකරට අනුව දැනට 26,000ක් සේවකයින් සහිත මෙම මන්ඩලය සේවකයින් 5,000කගෙන් පවත්වාගෙන යා හැකිය. සැලසුම් කෙරෙන ප්‍රහාරයේ පරිමාව මෙම ප්‍රකාශයන්ගෙන් එලිමහනට පැමිනේ.

දැනටමත් විදුලි බිල ගෙවා ගත නොහැකිව නිවාස ලක්ෂ පහක විදුලිය කපා හැර ඇති බව වාර්තා වී ඇති අතර වැට් බද්දෙන් මෙම තත්වය වඩ වඩාත් දරුනුවනු ඇත. ජල බිල් තව දුරට ඉහල දැමීම සඳහා දැන් වැඩ කෙරීගෙන යයි.

ලෝක බැංකු සංඛ්‍යාලේඛන අනුව රට තුල දරිද්‍රතාව සියයට 28 මට්ටමට ඉහල නැග තිබේ. මෙලෙස සමාජයේ තුනෙන් පංගුවක් පමන දරිද්‍රතා රේඛාව වන මසකට රුපියල් 16,000 ට අඩු ආදායමක් ලබන්නේ ආන්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව බැලූ කල හතර දෙනෙකුගෙන් සමන්විත පවුලකට රට තුල යන්තම් ජීවත් වීම සඳහා රුපියල් ලක්ෂයකට අධික ආදායමක් අවශ්‍ය වන පසුබිමකය.

යුනිසෙෆ් ආයතනයට අනුව ලංකාවේ ලමුන් දස ලක්ෂ 2.3කට මානුෂීය අධාර අවශ්‍යය. සමාජයේ අතිශයින්ම දුප්පතුන්ට දුන් සමෘද්ධි සොච්චම් දීමනාවට හිමිකම් දැරූ කොටසද “අස්වැසුම” යටතේ කප්පාදු කර ඇත. වික්‍රමසිංහ 2024 අප්‍රේල් සිට රජයේ සේවකයින්ට ලබා දෙන බව පැවසූ රුපියල් 10,000ක සොච්චම දෙන්නටත් පෙර වාෂ්ප වි තිබේ.

මෙම ප්‍රහාරයන් උග්‍ර කෙරෙන්නේ දැවැන්ත සමාගම්වලට හා ප්‍රකෝටිපති ධනපතීන්ට බදු සහන සහ නය හා පොලී කපා හැරීම් ලබා දෙන අතරතුරය. සමාගම් වල ශුද්ධ ලාභය සඳහා බද්ද සියයට 30ක මට්ටමේ පවත්වා ගෙන යන අතර වරාය හා ගුවන්තොටුපල බදු කපා හැරීම සිදු කෙරේ. කෝපරේට් බදු සඳහා සහන ලබන විශාල පරිමානයේ සමාගම් අති බහුලය.

දැවැන්ත සමාගම් හා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ ධනය දිගින් දිගටම ඉහල යමින් පවතියි. නිදසුනක් ලෙස ලංකාවේ ප්‍රධාන ධනකුවේරයා වන ධම්මික පෙරේරාට අයත් වැලිබල් වන් සමාගමේ මේ වසරේ දෙවන කාර්තුවේ ශුද්ධ ලාභය පසුගිය වසරේ එම කාර්තුවට වඩා සියයට 4.5කින් ඉහල ගොස් ඇති අතර එම ලාභය රුපියල් බිලියන 13.7කි.

මෙනයින් සමාජයේ ඇති නැති පරතරය අතිශයින් උග්‍ර කෙරෙමින් දරිද්‍රතාව හා සමාජ ව්‍යසනය පෙර නොවූ විරූ මට්ටමට ඉහල නංවා ඇති පසුබිමක පසුගිය වසරේ සිදුවූවාටත් වඩා බලගතු සමාජ නැගිටීමක් හා පුපුරායාමක් වලක්වා ගැනීම සඳහා රුදුරු ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ගෙන ඒ්මට ආන්ඩුව වැඩ කරමින් සිටියි. මෑතදී ගැසට් කරන ලද ත්‍රස්ත විරෝධී පනත හා සමාජ මාධ්‍ය මැඩීමේ පනත මීට නිදසුන්‍ ය. වැඩ කරන ජනයාගේ හා තරුන - ශිෂ්‍ය කොටස්වල විරෝධතා හා උද්ඝෝෂන මැඩීමට පොලිසිය හා මිලිටරිය මෙන්ම උසාවි හා හිරගෙවල් යහමින් යොදා ගනිමින් තිබේ.

කෙසේ නමුත්, එවන් මහජන නැගිටීමක් සඳහා වෛෂයික කොන්දේසි හාත්පසින්ම වැඩෙන කොන්දේසි යටතේ, පසුගිය වසරේ මහජන නැගිටී‌ම තම ජයග්‍රහනයක් බවට පත් කර ගැනීමට නොහැකිවූයේ මන්ද යන්න කම්කරු-පීඩිත මහජනතාව විසින් ගැමුරින්ම විමසා බැලිය යුතුය. එම මහජන නැගිටීමට, පීඩක ධනවාදය පෙරලා දැමීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් සහ විප්ලවවාදී නායකත්වයක් නොතිබීම එයට අතිමූලික හේතුව බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) යලියලිත් පෙන්වා දී ඇත. ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට එක්වන ලෙස හිතන මතන කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

අමතන්න: 0773562327
Loading