කැලනිය විශ්වවිද්‍යාලයේ අවිශිබම, සසජාතශි යුද විරෝධි උද්ඝෝෂකයින්ට එරෙහිව කායික ප්‍රචන්ඩත්වය මුදාහරින බවට තර්ජනය කරයි

[මෙය IUSF at Kelaniya University in Sri Lanka threaten physical violence against IYSSE anti-war campaigners යන මැයෙන් 2023 ඔක්තෝබර් 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද නැටෝ යුද්ධය සහ ගාසාවට එරෙහි ඊශ්‍රාලයේ මිනීමරු යුද්ධය පිලිබඳව සාකච්ඡා කිරීමට සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ගෙන ගිය උද්ඝෝෂනය කඩා කප්පල් කිරීමට කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය (මශිසං) වෑයම් කලේ ය.

කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නායකයෝ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ සාමාජිකයෝ වෙති.

සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂය “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නැවැත්විය හැක්කේ කෙසේද” ශීර්ෂය යටතේ ඔක්තෝබර් 19 දා සවස 3ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත යුද විරෝධී රැස්වීම පිලිබඳව උද්ඝෝෂනය කරමින් සිටියේ ය.

ඔක්තෝබර් 12දා, සසජාතශි/සසප සාමාජිකයෝ විශ්වවිද්‍යාල පරිශ්‍රය හරහා දිවෙන ප්‍රසිද්ධ මාර්ගයක අත් පත්‍රිකා බෙදා හරිමින් ශිෂ්‍යයින් සමග සාකච්ඡා කරමින් සිටියෝ ය. සවස 4.15ට පමන තමන් අවිශිබම යේ සහ මශිසං යේ යැයි කියාගත් ශිෂ්‍ය කන්ඩායමක් සසජාතශි/සසප උද්ඝෝෂකයින්ට වහා ඉවත් වන ලෙස තර්ජනය කලේ ය.

අවිශිබම-මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් කන්ඩායම සසජාතශි යුද විරෝධී උද්ඝෝෂනයට බාධා කිරීමට උත්සාහ දරමින්

මෙම මාර්ගය විශ්වවිද්‍යාලයට අයත් බව කියාපෑ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයට ඉඩ නොමැති බවත්, ඇත්තේ “ශිෂ්‍ය දේශපාලනය” -ඉන් ඔවුන් අදහස් කරන්නේ අවිශිබම/පෙසප දේශපාලනයයි- පමනක් යැයි කියමින් බුරා පැන්නෝ ය. බොහෝ විශ්වවිද්‍යාල තුල අවිශිබම නායකයෝ ඔවුන්ගේ ආධිපත්‍යය පවත්වා ගැනීමට අනෙකුත් දේශපාලන ප්‍රවනතාවලට එරෙහිව මෙලෙස මැර ක්‍රියා යොදා ගනිති.

විශ්වවිද්‍යාලය තුල සහ වේවැල්දුව පාර වැනි ප්‍රසිද්ධ ස්ථාන වල දේශපාලනයේ නියැලීමට ඇති සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවධාරනය කරමින් සසප/සසජාතශි සාමාජිකයෝ පිටත් වීම ප්‍රතික්ෂේප කලහ. ඔවුහු විශ්ව විද්‍යාල දිගු කාලයක් තිස්සේ පැවති නිදහසේ දේශපාලන සාකච්ඡා ගෙන යෑමට ඉඩ දීමේ -අවිශිබම විසින් පාගා දමා ඇති- ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය පිලිබඳව සඳහන් කරමින් ඊට විරුද්ධත්වය පල කලහ.

අවිශිබම ක්‍රියාධරයෝ කියා සිටියේ එවන් අයිතියක් ලබා දුනහොත් “ගැටුම්” ඇතිවිය හැකි බවයි. අතීතයේ සිදුවු දෑ ගැන තමන් නොතකන බව කියා සිටි ක්‍රියාකාරිකයෝ, “ඔබලා විනාඩි පහක් ඇතුලත මෙතනින් අයින් වුනේ නැත්තම්, මීලඟට සිද්ධ වෙන දේ බලාගන්න පුලුවන් වෙයි” යැයි කියමින් තර්ජනය කලහ.

සසජාතශි උද්ඝෝෂනයට ශිෂ්‍යයින් අතර සැලකිය යුතු සහයෝගයක් හිමි විය.

ශිෂ්‍ය සංගම් නායකයෝ ඒ වන විටත් විශ්ව විද්‍යාල ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබුනි. කායික ගැටුමක් ඇතිවීම වැලැක්වීම සඳහා, සසප/සසජාතශි සාමාජිකයෝ උද්ඝෝෂනය විශ්ව විද්‍යාල පිවිසුම අසල මහා මාර්ගයට ගෙන ගියහ.

කැලනිය විශ්වවිද්‍යාලයේ සහ අනෙකුත් විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයින්ගෙන් අවිශිබමයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හෙලාදකින ලෙසත්, අපගේ සාමාජිකයින්ට සහ සිසුන්ට අධිරාජ්‍යවාදී යුද්ධයේ තීරනාත්මක දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

මෙම සිදුවීම, 1990 දී මේ ස්ථානයේදීම සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයන්‍ අත් අඩංගුවට ගැනීම සිහි කැඳවයි. පොලීසිය කියාපෑවේ, සසප සාමාජිකයන්‍ විශ්වවිද්‍යාල පරිශ්‍රයට අනවසරයෙන් ඇතුලු වී පක්ෂයේ පුවත්පත වූ කම්කරු මාවත අලෙවි කරන බවයි.

විකොස ප්‍රසිද්ධ ස්ථානයක උද්ඝෝෂනයේ නියැලීමට තමන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සටන් වැදුනු අතර එම වකවානුවේදී පොලිස් ක්‍රියාව පිලිබඳ කෝපයට පත්වූ නීතීඥයන් විසින් ඊට සහය දුනි. අධිකරනය විකොස සාමාජිකයාට පක්ෂ ලෙස තීන්දුව ලබාදුනි. දැන් අවිශිබම නායකයින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීමේ පොලීස් භූමිකාව ඔවුන් වෙත පවරාගෙන තිබේ.

මෙය අවිශිබම, සසජාතශිට එරෙහිව කායික තර්ජන එල්ල කල පලමු අවස්ථාව නොවේ.

  • ඔක්තෝබර් 5දා මහා ශිෂ්‍ය සංගමයේ/අවිශිබම මැරයෝ එම ස්ථානයේම උද්ඝෝෂනයේ නියැලුනු සසප සහ සසජාතශි සාමාජිකයොන්ට තර්ජනය කලහ.
  • 2023 පෙබරවාරි 23දා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිශිබම ක්‍රියාධර කන්ඩායමක් සසජාතශි සාමාජික සකුන්ත හිරිමුතුගොඩට තර්ජනය කර ඔහුව විශ්ව විද්‍යාලවිනය නිලධාරීන්ට භාර දුනි. සසප සාමාජිකයන් දෙදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට පැමිනි විට එම මැර කන්ඩායමම ඔවුන්ට කායිකව පහර දීමට උත්සාහ දැරීය. විශ්වවිද්‍යාල විනයභාර නිලධාරියා පොලීසියට කතා කරන බවට තර්ජනය කලේය.
සසජාතශි උද්ඝෝෂකයෙකු සමග සාකච්ඡා කරන ශීෂ්‍යයෙක්

සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු මෙම ක්‍රියාව හෙලා දකිමින්, අවිශිබමට, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට සහ පෙසපට විවෘත ලිපියක් යැවීය. එය මෙසේ සඳහන් කලේය.

“සරසවි තුල පක්ෂ දේශපාලනයට ඉඩ නැතැයි සඳහන් කරන ඔබේ සංවිධානයන්, විශ්වවිද්‍යාල තුල සහ ඉන් පිටත නිශ්චිත පක්ෂ දේශපාලනයක නිරතව සිටී. එය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය බව, ඔබ මෙන්ම, අනෙකුත් සිසුන් සහ මහජනතාව හොඳින්ම දන්නා කරුනකි.”

“ඔබ සංවිධානයන් විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයේ යෙදී සිටියදී, අනෙකුත් දේශපාලන පක්ෂ, විශේෂයෙන්ම කම්කරු පංතික ජාත්‍යන්තරවාදය මත පාදකවූ සසප සහ සසජාතශි, විශ්වවිද්‍යාල තුල දේශපාලනයේ නිරතවීම බලහත්කාරයෙන් වලකාලීමේ මෙම පිලිවෙත් මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ය, වංචනිකය.”

ලිපිය, සසප/සසජාතශි දේශපාලනය විශ්වවිද්‍යාල තුල තහනම් කිරීම මගින් අවිශිබම භාෂනයේ නිදහස සඳහා ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කොට ඇති බවට අවධාරනය කලේය.

“මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඔබේ සංවිධානවල ශක්තිය නොව, ඒවායේ දුර්වලකම යි. ධනපති ක්‍රමයේ ගැඹුරු වන අර්බුදය හමුවේ ආන්ඩුවලට බලපෑම් දමා ඉල්ලීම් දිනාගැනීමේ ඔබේ ඉදිරි දර්ශනයේ බංකොලොත්භාවය වඩාත් තියුනු ලෙසින් හෙලිදරව් වෙමින් පවතින තතු තුල, සසජාතශිහි ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය ශිෂ්‍යයින් අතර තහවුරු වෙතැයි ඔබ බියට පත්ව සිටී” යැයි එය සඳහන් කලේය.

කැලනිය විශ්ව විද්‍යාලයේදී එල්ල කල කායික ප්‍රචන්ඩත්වය පෙන්නුම් කරන්නේ අවිශිබම සහ එහි උපදේශකයින් වන පෙසප ආපසු හැරී නොමති බවයි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ගලා එන්නේ ඔවුන්ගේ ධනපති ගැති කම්කරු පන්තියට හතුරු දේශපාලනයෙනි. පෙසප ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන අතර එය ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට පරම වශයෙන් සතුරුය.

ශිෂ්‍යයන් අතරේ යුද විරෝධී උද්ඝෝෂනයේ යෙදෙන සසප සාමාජිකයෙක්

සසප/සසජාතශි ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගය නියෝජනය කරන්නේ කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් ය. කැලනිය විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂනය තුල අප බෙදාහරිමින් සිටියේ, නෙතන්‍යාහු ආන්ඩුව භංග වේවා! ගාසා තීරයට එරෙහි, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සියොන්වාදී ප්‍රහාරය නවත්වනු!” මැයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිකුත්කල ප්‍රකාශය යි.

හජාජාක ප්‍රකාශය මෙසේ සඳහන් කලේය. “පලස්තීනයේ නැගිටීම, ලෝකය පුරා මහජන වැඩ වර්ජන හා විරෝධතා ස්වරූපයෙන් වර්ධනය වෙමින් පවතින කෝපය හා විරුද්ධත්වය පුපුරා යාමේ කොටසකි. සවිඥානික සමාජවාදී හා විප්ලවවාදී වැඩපිලිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් මෙහෙයවනු ලබන මෙම සමාජ ව්‍යාපාරය අධිරාජ්‍යවාදී යුද්ධය, අසමානතාවය සහ සියලු ආකාරයේ පීඩනයන් අවසන් කිරීමට බලමුලු ගැන්විය යුතුය. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල මෙයයි.”

ශිෂ්‍යයින්ට ධනපති ගැති අවිශිබම/පෙසප නායකත්වය යටතේ පෙරට යා නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමා ඇති නිදහස් අධ්‍යාපනයට සහ සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතින්ට එල්ල කරන ප්‍රහාර පරාජය කල හැකි සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කල හැකි එකම මාවත වන්නේ ශිෂ්‍යයින් කම්කරු පන්තිය දෙසට හැරී සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වැදීමයි. කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම මෙම අරගලයේ තීරනාත්මක කොටසකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන පෙරට ගැනීම සඳහා තමන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල තුල සසජාතශි ශාඛා පිහිටුවන ලෙස අපි ඉල්ලා සිටිමු.

Loading