සතොස කම්කරුවන් සියලුදෙනාගේ රැකියා අහෝසිකිරීමට ආන්ඩුවගත් තීරනය අභියාචනාධිකරනය අනුමත කරයි

සමූපකාර තොග වෙලඳ සංස්ථාව (සතොස) වසා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගත් තීරනයේ කොටසක් ලෙස එම ආයතනයේ සේවකයන් 300ක් පමන අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් යටතේ සේවයෙන් පහ කිරීමට එරෙහිව ගොනු කල රිට් පෙත්සමක් ශ්‍රී ලංකා අභියාචනාධිකරනය අඟහරුවාදා ප්‍රතික්ෂේප කලේය. රජය සතු ව්‍යවසායයක් (එස්ඕඊ) ලෙස 1950 දී පිහිටුවන ලද සතොස පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය භාන්ඩ, ප්‍රධාන වශයෙන් ආහාර ද්‍රව්‍ය, තොග සහ සිල්ලර වෙලඳාමේ නිරත විය.

2023 සැප්තැම්බර් 27දා කොලඹ වොක්ෂෝල් වීදිය සතොස ශාඛාවේ සත්‍යග්‍රහ විරෝධතාවක නිරත වන සතොස කම්කරුවෝ

පිලිවෙලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) ට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස) සහ ශ්‍රී ලංකා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය (ශ්‍රීලපොප්‍රසේස) විසින්, සතොස සේවකයින් 292ක් සේවයෙන් පහ කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම 'ගාස්තුවට යටත් නොකොට' නිෂ්ප්‍රභ කරන ලදී. තීන්දුවේ මෙසේ සඳහන් විය: “නීත්‍යානුකූලභාවයේ සහ සාධාරනත්වයේ සීමාවන් තුල ආන්ඩුවේ ප්‍රතිපත්ති පවතිනතාක්, ආර්ථික කටයුතුවලදී, විශේෂයෙන් අර්බුදකාරී කාලයන්හි දී, විධායක බලයට ගරු කිරීමේ වැදගත්කම පිලිගනිමින් මෙවන් නඩු වලදී ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට මැදිහත් නොවීමේ මූලධර්මය අධිකරනය විසින් තහවුරු කර ඇත.' ඒ අනුව, අධිකරනය 'විධිමත් දැනුම්දීමක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කලේය.'

රැකියා විනාශ කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල අධිකරනය අනුමත කර ඇති බව මෙම තීන්දුවෙන් පැහැදිලිවෙයි. කම්කරුවන්ගේ රැකියා සහ අනෙකුත් අයිතීන් අධිකරනය හරහා ආරක්ෂා කල හැකි බවට වෘත්තීය සමිති විසින් ප්‍රවර්ධනය කරන ලද මිත්‍යාව හෙලිදරව් වී ඇත.

සේවය අහෝසි කිරීමට එරෙහිව සතොස සේවකයෝ සැප්තැම්බර් 25 වෙනිදා සිට කොලඹ වොක්ෂෝල් විදියේ සතොස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක යෙදී සිටියහ. සත්‍යග්‍රහයට සහ අධිකරනයෙන් විසඳුමක් ලබා ගැනීමේ මිත්‍යාවට ඔවුන් ව කොටුකර තැබූ ශ්‍රීලනිසේස සහ ශ්‍රීලපොසේස නායකයෝ කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීමේ වෙනත් පන්ති ක්‍රියාවන් සංවිධානය කිරීම හෝ අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය බලමුලුගැන්වීම මුලුමනින් ම ප්‍රතික්ෂේප කලහ.

අභියාචනාධිකරනය නඩුව ඉවත දැමීමෙන් පසු සත්‍යග්‍රහයේ යෙදී සිටි කම්කරුවන් හමුවට පැමිනි ශ්‍රීලපොසේස උපසභාපති උදයංග පුෂ්පකුමාර කොස්තා අධිකරන තීන්දුවට හිස නැමීම හැර වෙනත් කල හැකි දෙයක් නැති හෙයින් වන්දි ලබාගෙන රැකියාවෙන් ඉවත් වන ලෙස ඔවුන්ට පවසා ඇත.

සතොස ඉදිරිපත්කර තිබෙන වන්දි සුත්‍රයට රැකියා අහිමි වන කම්කරුවන් ට ලැබෙන උපරිම වන්දිය රුපියල් 16,73,700 කි. ඔවුන් විසින් ගෙවිය නය සහ වෙනත් අයකර ගන්නීම් වලින් පසුව අතට ලැබෙන මුදල් සොච්චමකි. රැකියාවෙන් ඉවත්වීමට සතොස කිසිදු කම්කරුවෙකු කැමති නැත. එහෙත් සමිති නායකයන් ගේ පාවාදීම ඉදිරියේ සොච්චම් වන්දිය පිලිගෙන රැකියාවෙන් ඉවත්වීමට ඔවුන්ට බලකෙරී ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෝ පසුගිය දින කිහිපය තුල සත්‍යග්‍රහයේ නිරතව සිටි සතොස කම්කරුවන් අතර අඛන්ඩව මැදිහත් වුහ.

රැකියාව අහිමිවන සතොස රියදුරෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: “මම රියදුරෙක් විදියට අවුරුදු 6ක් සේවය කරලා තියෙනවා. තව අවුරුදු 20 විතර සේවය කරන්න තියෙනවා. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා එක වසරේ. මට මාසික වැටුප රුපියල් 40,000 විතර ලැබෙනවා. අතිකාල එක්ක 60,000 ක් 70,000ක් විතර ලැබෙනවා. දැන් මාස ගානක් තිස්සේ අතිකාල නවත් වලා. වෛද්‍ය දීමනා, උත්සව පූර්වක දීමනා මොනවත් දැන් ලැබෙන්නේ නැහැ. මම කැමති නැහැ රක්ෂාවෙන් අයින් වෙන්න. තව අවුරුදු ගනනක් රස්සාව කරන්න පුලුවන්. වන්දිය කෝටියක් දුන්නත් මදි. වන්දි සුත්‍රය හරිම අසාධාරනයි. දොට්ට දාන්න හදන්නේ ලක්ෂ 8-9 ක් දීලා.'

සතොස කම්කරුවන්ගේ රැකියා අහෝසි කිරීම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ විවිධ ක්ෂේත්‍ර වල කම්කරුවෝ ආන්ඩුවේ ප්‍රහාරය සහ වෘත්තීය සමිති නිලධරයේ ක්‍රියා කලාපය දැඩිව හෙලා දුටු අතර ඔවුන්ගේ අරගලයට සිය සහයෝගය ප්‍රකාශ කලහ.

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසලක විද්‍යාගාර සහායකයෙක් වන නන්දන: “මේක සතොස කම්කරුවන්ට පමනක් සීමා වූ ප්‍රහාරයක් නෙමෙයි. අනෙකුත් අංශවල කම්කරුවන්ටත් ආන්ඩුව මේ හැන්දෙන්ම තමයි බෙදන්නේ. ජාමූඅ කොන්දේසි ක්‍රියාවට නගනවා කියන්නේ මේ ප්‍රහාර අනිවාර්යෙන් එල්ල කරනවා” යනුවෙන් පැවසීය.

“බහුතරයක් රාජ්‍ය සේවකයෝ නය වෙලා ඉන්නේ. මේ ආර්ථික අර්බුදය මැද්දේ වෙනත් රැකියාවක් සොයා ගන්න බැහැ. ආන්ඩුව සැරසෙන්නේ 1980 ජූලි වැඩවර්ජනයෙදි වගේ විශාල ප්‍රහාරයකට. 1980 ප්‍රහාර එල්ල කරපු එජාප ආන්ඩුවේ වික්‍රමසිංහ හිටියා“

ඔහු දෙදරු පියෙකි. නය වාරික කැපී ගිය පසු ඔහුගේ අතට ලැබෙන්නේ රුපියල් 27,000 ක පමන සොච්චම් වැටුපකි. ඉහල ජීවන වියදම හමුවේ දරුවන් හා සිය වැඩිහිටි දෙමාපියන් රැකබලා ගැනීම සිදු කල නොහැකි තත්වයකට පැමින ඇති බව ඔහු ප්‍රකාශ කලේ ය.

“කම්කරු පන්තියට තම දරු පවුල් රැක ගැනීමට නම් ඒකාබද්ධව සටන් කරන්න ඕන. ඒ කියන්නේ, වරාය, විදුලිබල, ඛනිජතෙල් වගේ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානවල කම්කරුවන් ඒකබද්ධ කරගැනීම වගේම ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය දිනාගත යුතුයි.

විශ්විද්‍යාල කාර්මික නිලධාරියෙකු වන තිසර සතොස කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීම දැඩි ලෙස දුටුවේය. 'වෘත්තිය සමිති ඔවුන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් සටන් කරයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා කම්කරුවන් ඔවුන්ව ආරක්ෂා කිරීමට සටන් කලයුතුයි. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමය වැඩ කරන ආකාරය අනුව වෘත්තීය සමිති කෙබඳු ද කියන එක මට හිතාගන්න පුලුවන්. එහි නව සභාපති මංගල දාබරේ ධනපති ආන්ඩුවේ වැඩපිලිවෙලට ආවඩනවා. සාමාජිකත්වය ගැන තැකීමක් නැහැ. පහල නිලධාරීන් කරන්නේ එයාගේ කටු කන එක. බොහෝ කම්කරුවන් ඒ ගැන දන්නවා නමුත් කතා කරන්නේ නැහැ ඔවුන් ට විරුද්ධව සංවිධානය වූ ව්‍යාපාරයක් නැති නිසා”.

කම්කරුවන් දැනටමත් දරුනු ඉරනමකට මුහුන දී සිටින බවත් බොහෝ දෙනෙක් යන්තම් එදාවේල ගැට ගහගන්න බවත් දරුවන් ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට පවා ඔවුන් ට නොහැකි බවත් ඔහු පැවසීය.

“සමාජයේ පහලින් ම ඉන්න කම්කරුවන් කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බැහැ. අපට මෙහෙම තවත් ඉස්සරහට යන්න බැහැ. අපි හුදෙක් උද්ඝෝෂනය කලාට මේ ප්‍රශ්න විසඳගන්න බැරි බව පැහැදිලියි. කම්කරු පන්තියට විකල්ප වැඩපිලිවෙලක් අවශ්‍යයි'

ලෝක යුද්ධය හා කොවිඩ් වසංගතය නිසාවෙන් කම්කරුවන් මුහුනදෙන ව්‍යසනය හෝ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල ගැන වෘත්තීය සමිති කතා නොකරන බවත් ඒ ප්‍රශ්න කම්කරු පන්තිය තුල සාකච්ඡා කිරීම අවශ්‍යය බවත් ඔහු පැවසීය.

'ඇමරිකා එක්සත් ජනපද වාහන කර්මාන්තය තුල වගේම ලොව පුරා වෘත්තීය සමිති නායකත්වය ඉටුකරන ද්‍රෝහී භූමිකාවේ පොදු අත්දැකීම ධනපති ප්‍රහාර වලට ඉඩදීමයි. වෘත්තීය සමිති වලටත් ධනපති ප්‍රහාරවලටත් එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තරව එකාබද්ධ විය යුතුයි කියන කාරනාවට මම එකඟයි'.

රත්මලාන දුම්රිය වැඩපොලේ කම්කරුවෙක් වන වසන්ත මෙසේ පැවසීය:

“සතොස කම්කරුවන්ව දොට්ට දැමීමට මම විරුද්ධයි. කම්කරුවන් රැකියා නැතිවුනහම ජීවත් වන්නේ පවුල් නඩත්තු කරන්නේ කොහොමද? අප ඔවුන්ට රැකියා රැක ගන්න සහය දෙන්න ඕන”. 'පාඩු ලබනව කියල රාජ්‍ය ආයතන සියල්ල විකුනන්න ආන්ඩුව වැඩ කරන' බවත් 'උසාවි වලින් ප්‍රශ්නෙ විසඳෙතැයි විශ්වාසයක් නැති' බවත් ඔහු පැවසීය.

'වෘත්තීය සමිති කම්කරුවන්ව හැම පැත්තකින්ම බෙදල තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවෙ සමිති එකසිය ගනනක් තියෙනව. පහුගිය අවුරුද්දෙ ගෝල්ෆේස් සටනට මමත් සහය දුන්න. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ දමා ගත්ත. දැන් ඒ්කෙ ප්‍රතිපල වලටයි අපි මුහුන දෙන්නේ.

එම වැඩපලේ ම තවත් කම්කරුවෙකු වන සුජිත් සඳහන් කලේ: ආන්ඩුවේ ප්‍රහාර වලට එ රෙහිව කම්කරුවන් එකමුතු වියයුතු බවත් 2001දි දුම්රිය කම්කරුවො ඒ්කාබද්ධව සටන් වැදුනු නිසා දුම්රිය අධිකාරියක් පිහිටුවීම ආන්ඩුවට කර ගන්න නොහැකි වූ බවත් ය.

'වෘත්තීය සමිති අද නිහඬයි. කම්කරුවන් තමන්ගේ ජීවන ප්‍රශ්න වලින් මිරිකිල අතිකාල කරල හරි යම් විධියකට කීයක් හරි හොයා ගන්න උත්සාහ කරනවා. දේශපාලනය පිලිබඳව කම්කරුවන් හොඳටම කලකිරිල. නමුත් මේ විධියෙ ප්‍රහාර එල්ල වෙනකොට අප ඉදිරියට ආ යුතුයි'.

තෙල් සංස්ථාවේ කම්කරුවෙක් ද සතොස කම්කරුවන්ගේ අරගලයට සහාය දෙන බව පැවසීය. “රැකියා ආරක්ෂා කරන සටනට කම්කරුවන් ඒකාබද්ධ වෙන්න ඕන. නමුත් හරි නායකත්වයක් නැහැ. ලබන අවුරුද්දේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න තියෙනවා. ඒ ගැන කතා කරා කියලා අපේ අතිකාල පැය ගනන අඩු කරලා. ඔෆිස් වලට උපරිම පැය 60 යි. අනිත් අයට පැය 80 යි. තෙල් සංස්ථාවේ කොටස් එකින් එක වහලා කම්කරුවෝ අඩු කරන්න යන්නේ. ගබඩාවල් හතරෙන් දැන් තියෙන්නේ එකයි. ඒ තැන් වල හිටිය කම්කරුවො ආයතනයේ වෙන තැන් වලට දාලා.'

රක්ෂන සංස්ථාවේ සේවකයෙක්: “අපි මේ සතොස අරගලයට සහයෝගය දෙනවා. ජනවාරි මාසේ ඉඳල රක්ෂනයෙත් සේවකයො අයින් කරන්න යන්නේ. කම්කරුවන්ගේ එකමුතුව අවශ්‍යයි. සමිති නායකයෝ කියන විදියට කරල හරි යන්නේ නැහැ. ඔවුන් දැන් පාලකයන්ට විකිනිලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ අලුත් මර්දන නීති දාලා කම්කරුවන්ට පහර දෙන්න හදනවා. ඒක නවත්වන්න ඔින'

සතොස කම්කරුවන්ගේ රැකියා අහෝසිය රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය හරහා රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයේ කොටසකි. ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබාදීමට හිලව්වට ජාමූඅ රුදුරු කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන ලෙස වික්‍රමසිංහ ආන්ඩුවට අන කර ඇත. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය, බදු ඉහල දැමීම, තෙල්, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩවල මිල, විදුලිය හා ජල ගාස්තු ඉහල දැමීම හා සමාජ සහන කප්පාදුව ඇතුලු ප්‍රහාර ඊට ඇතුලත් වෙයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරනය, පුද්ගලීකරනය හෝ වසා දැමීම යටතේ පන්ල ලක්ෂයට අධික කම්කරුවන්ගේ රැකියා අහෝසි කෙරෙයි. සතොස කම්කරුවන් එහි ප්‍රථම ගොදුරයි. එහෙත් සතොස සමිති නායකයන් මෙන් ම, කම්කරු පන්තියේ අයිතීන් රැකීමේ නමින් විවිධ පෙරමුනු අටවාගෙන සිටින සියලු වෘත්තීය සමිති නායකත්වයන් සතොස කම්කරුවන් මුලුමනින් ම හුදකලා කර ඇත.

වෘත්තීය සමිති හෝ ඔවුන් සම්බන්ධ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ඊනියා විපක්ෂයේ ධනපති පක්ෂ කිසිවක් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. සජබ තමන්ගේ රජයක් යටතේ ජාමූඅ ගිවිසුම සංශෝධනය කරන බවට සජිත් ප්‍රේමදාස බොරු ප්‍රචාරයක් ගෙනයන අතර තමන්ගේ ආන්ඩුවක් යටතේ කිසිදු පැකිලීමක් නැතිව ජාමූඅ සමග ගනුදෙනු කරන බව ජවිපෙ ප්‍රමුඛ නායකයෙකු වන නලින්ද ජයතිස්ස පවසා ඇත.

සතොස සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන්හි කම්කරුවන් මෙම අත්දැකීම් වලින් අවශ්‍ය නිගමන උකහා ගත යුතු අතර ආන්ඩුවේ කප්පාදුවට එරෙහිව තම රැකියා සහ අනෙකුත් අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලය තමන් අතට ගැනීමට වෘත්තීය සමිති නිලධරයන්ගෙන් හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය. ධනේශ්වර පාලනය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදයේ ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරමුන ඇතිව ග්‍රාමීය දුගීන් පෙලගස්වන කම්කරු පන්තියේ එක්සත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.

Loading