සෞඛ්‍ය බලධාරියෝ මෙනින්ගොකොකල් රෝගයේ බරපතලකම වසන් කරති

මාරාන්තික බැක්ටීරියා රෝගයක් වන මෙනින්ගොකොකල් රෝගය ආසාදනයවූවන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පසුගිය සති කිහිපය පුරා වාර්තා විය. අගෝස්තු මාසයේ මැද සති වලදී ගාල්ල බන්ධනාගාරයෙන් ප්‍රථමයෙන් වාර්තා වූ ආසාදනයන් මේ වන විට රත්මලාන ප්‍රදේශය දක්වා ද ව්‍යාප්ත වී ඇත. මේ වන විට මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු මරනයට පත්ව ඇත.

මෙතෙක් ලංකාවෙන් බහුලව හමු ව නොමැති මෙම රෝගය මෑතකදී ගාල්ල බන්ධනාගාරයෙන් සොයා ගනු ලැබුවේ එහි සිට කරාපිටිය රෝහලට ඇතුලු කල “හඳුනාගත” නොහැකි රෝගයකින් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකු පිලිබඳ විමර්ශනය කිරීමෙනි. එම රෝග ලක්ෂන පෙන්නුම් කරන තවත් රැඳවියන් වාර්තා වී ඇති අතර ඔවුන්ද කරාපිටිය රෝහලට ඇතුලත් කොට ඇත. මේ හේතූවෙන් 'සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින්' බන්ධනාගාරය සති දෙකකට වසා දැමිනි. ගාල්ල බන්ධනාගාරය රැඳවියන් 1023කින් පිරී ඇත.

මෑත දින වලදී රත්මලානෙන් ආසාදිතයෙකු හමුවීම රෝගයේ වඩා පැතිරීමක් ගැන ඉඟි කරයි. මාධ්‍ය වාර්තා වලට අනුව දුසිමකට ආසන්න සංඛ්‍යාවක් රෝග ලක්ෂන වලට ප්‍රතිකාර ලබා තිබුනද තවමත් රෝගය පැතිරීමේ මූලාශ්‍රය නිශ්චිතව හඳුනාගෙන නොමැත. මෙම රෝගයට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ එය හඳුනාගත් පසු ප්‍රතිජීවක ඖෂධ එන්නත් ලබා දීම මගිනි.

ඇමරිකාවේ රෝග පාලනය කිරීමේ සහ තුරන් කිරීමේ මධ්‍යස්ථානයට අනුව “මෙම රෝගය බොහෝ විට මාරාන්තික පවා විය හැකි අතර මොලය (මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස්), සුෂුම්නාව, රුධිරය (මෙනින්ගොකොකල් සෙප්ටිසීමියා) ආසාදනය කරයි.” ඊට අනුව සාමාන්‍යයෙන් මෙය පැතිරෙන්නේ ආසාදිතයෙකුගෙන් සමීප ආශ්‍රිතයෙක්ට කැස්ස, සිප ගැනීම වැනි දේ හරහා ශ්වසන පද්ධතියේ සහ ග්‍රීවයේ (උගුරේ) ශ්‍රාවයන් හුවමාරුවීමෙනි. ඒ අනුව ආසාදිතයෙකුගෙන් එකම නිවසේ සිටින පවුලේ සාමාජිකයින්ට, එකම කාමරයේ සිටිනවුන්ට සහ ඔහු සමග සිප ගැනීම් වැනි සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන්ට පැතිරීමේ ඉඩකඩ ඉහල ය.

කෙසේ වෙතත් වික්‍රමසිංහ ආන්ඩුව මෙම ආසාදනයන් නොතකා හරිමින් සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුනවර්ධන ඊයේ මාධ්‍ය වෙත මෙම රෝගය ලංකාවේ මීට පෙර හමුවී ඇති බවත් සෑම වසරකදීම ආසාදිතයින් අවම වශයෙන් 10 දෙනෙක් හෝ වාර්තා වන බව සඳහන් කරමින් තත්වය සාමාන්‍යකරනය කිරීමට උත්සාහ දැරුවේය. ලංකාවේ පවතින මෙනින්ගොකොකල් ප්‍රභේදය “වේගයෙන් නොපැතිරෙන” ප්‍රභේදයක් බවට ගුනවර්ධන ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත් මෙනින්ගොකොකල් රෝගයේ අනතුරුදායක ස්වභාවය පවතින්නේ පැතිරීමේ සාධකයට වඩා එහි මාරාන්තික ස්වභාවය මතය. සීඩීසී පෙන්වාදෙන පරිදි ප්‍රතිජීවක ප්‍රතිකාර ලබා තිබිය දී පවා මෙනින්ගොකොකල් අසාදිත පුද්ගලයින් සියයකින් 10ත් 15 ත් අතර සංඛ්‍යාවක් රෝගයෙන් මිය යා හැක. සුව වූවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මොලයේ හානි, ස්නායු පද්ධතියේ ගැටලු වැනි දීර්ඝ කාලීන ආබාධයන් මතු විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි එය “පැය 24 තුල” අසාධ්‍ය විය හැකි ඉක්මනින් ප්‍රතිකාර කල යුතු රෝගයක් වන අතර ඕනෑම වයස් කාන්ඩයක පුද්ගලයෙක්ට බලපෑ හැක.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් රෝගය පිලිබඳ වාර්තා එලිමහනට පැමිනි අවස්ථාවේ පටන් මාධ්‍ය වෙත අඛන්ඩව සඳහන් කලේ රෝගයෙන් “සමාජයට බලපෑමක්” නොමැති බවයි. ආන්ඩුවේ මෙම මරන සහ රෝග සාමාන්‍යකරනය කිරීමේ සහ මානව ජීවිත නොතැකීමේ මිනීමරු පිලිවෙත පසුගිය කාලය පුරා සෞඛ්‍ය අර්බුද ඇතිවූ හැම අවස්ථාවකදීම ප්‍රකාශයට පත් වූවකි. බාල ඖෂධ හේතුවෙන් මිනිසුන් මියයන විට ආන්ඩුව ඒවා සාමාන්‍යකරනයට උත්සාහ දැරුවේ මෙවන් වාර්ෂිකව එවන් දෑ සිදුවන බවට සැබෑ දත්ත සහ තොරතුරු මත පදනම් නොවී, අවිද්‍යාත්මක තර්ක ඉදිරිපත් කරමිනි.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සිකුරාදා සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනේදී එවන් තර්ක වලට ප්‍රතිවිරුද්ධව පෙන්වා දුන්නේ පෙර අවස්ථාවලට වඩා මෙවර ආසාදනයන්ගේ සුවිශේෂීත්වයක් පවතින බවයි. “මේ වතාවේ තියෙන විශේෂත්වය තමයි ඒක බන්ධනාගාරෙක ඇතිවෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි මෙතන විශේෂ සැලකිල්ලක් ගත යුතු අවස්ථාවක් වෙන්නෙ. ඒකට විවිධ පැති වල අය එනවා ඔවුන් විවිධ පැති වලට යන්න පුලුවන්. මේවත් එක්ක තමා මේ ප්‍රශ්නෙ ඇතිවුනේ” යනුවෙන් ඔහු සඳහන් කලේය.

රෝගයේ මෑත වර්ධනයන් එවන් පැතිරීමක් පිලිබඳ සැක මතු කරයි. මෙවන් මාරාන්තික රෝගයක් පැතිරීමේ මුල් ලකුනු පෙන්වන තත්වයකදී තාර්කික ප්‍රතිචාරය වනුයේ සමාජය දැනුවත් කරමින් සෞඛ්‍ය ආරක්ෂන පියවරයන් ඉහල නැංවීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙනින්ගොකොකල් රෝගයේ එක් ප්‍රභේදයක් වන මෙනින්ජයිටීස් රෝගයට ප්‍රතිකර්ම සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරයි. “මෙනින්ජයිටිස් යනු වෛද්‍යමය හදිසි අවස්ථාවකි. මෙනින්ජයිටිස් පැය 24 ඇතුලත මාරාන්තික විය හැකි නිසා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අතර නිවෙස් ප්‍රතිකාර ආරක්ෂිත නොවේ.”

ලංකාවේ ආන්ඩු විසින් රෝග නොතකා සිටීමේ පිලිවෙත තියුනු ලෙස ප්‍රකාශයට පත්වූයේ කෝවිඩ් මාරාන්තික වසංගතය පතිර යද්දී ය. රෝගය වේගයෙන් පැතිරෙද්දී පවා ආන්ඩුව “රෝගයේ සමාජ පැතිරීමක්” නොමැති බවට අතේ පත්තුවන තර්ක ගෙන ආවේය. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ හා ධනපති පන්තියේ පිලිවෙත වූයේ කෝවිඩ්-19 'පැතිරී යාමට ඉඩ දෙනු' යන ඇමරිකාවේ පටන් සියලු රටවල පාලක පන්තියේ මිනීමරු ප්‍රතිපත්තියයි.

ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවසන් වරට කෝවිඩ් වසංගතය ගැන වාර්තා කර ඇත්තේ 2022 දෙසැම්බර් 13 දිනයි. ඊට අනුව, රෝගීන් 16,808 ක් වාර්තා වී ඇති අතර මුලු කාලය තුල රෝගී වූ සංඛ්‍යාව 654,910කි. එදින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 4ක් ලෙස සඳහන්වේ. මේ සංඛ්‍යා ලේඛන යථා තත්වය වසන් කිරීමකි. වසංගතය ආරම්භයේ පටන් ආන්ඩුවේ නියමය අනුව රෝගීන් සෙවීමේ පරීක්ෂන අඩුලන්සුවේ තැබීමට සෞඛ්‍ය බලධාරින් ක්‍රියා කලේ එය විවේචනය කල විශේෂඥ වෛද්‍යවරුන් දඩයම් කරමිනි. කෝවිඩ් පරීක්ෂන මුලුමනින්ම නතර කර ඇති රටවල් අතර ලංකාව ද වෙයි.

මෑත පලවූ විශේෂඥ වාර්තා හා සීමිත පරීක්ෂන අලලා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ විශ්ලේෂනයකට අනුව අපජලය පරීක්ෂාවෙන් පෙන්නුම් කෙරී ඇත්තේ ඇමරිකාවේ කෝවිඩ් ආසාදන සංඛ්‍යාව පසුගිය තුන් මාසය තුල තුන් ගුනයකින් ඉහල ගොස් ඇති අතර, එක විශේෂඥයෙකු ගනන්බලා ඇත්තේ එරට දිනකට 580,000 ආසාදනය වනබවයි. දිනපතා රෝහල් ගතවන සංඛ්‍යාව අගෝස්තු 19වන දිනෙන් අවසන් සතිය තුල 15,000ක් විය. කෝවිඩ් පැතිරීම තවත් රටවලින් වාර්තාවී ඇත.

ලංකාවේ ද තත්වය නිසැක ලෙසම එය බව කිව හැක. ලංකාවේ ධනපති පන්තියේ පිලිවෙත අනුව සෞඛ්‍ය බලධාරීන් ද වසංගතය අහවර වූ ගනනට දමා ඇත.

ඊට අනුව රෝගයෙන් ජීවිතය රැක ගැනීමේදී තීරනාත්මකම සාධකය වනුයේ රෝගය හඳුනාගෙන වහාම ප්‍රතිකාර කිරීමයි. ඒ සඳහා නම් දිවයින පුරා පැතිරුනු දියුනු රෝහල් පද්ධතියක් අත්‍යාවශ්‍යය.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග අනුව සුපිරි ධනවතුන්ගේ ලාභ ඉහල දැමීම සඳහා කුමන හෝ පිරිවැයක් දරා කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටින ලංකාවේ වික්‍රමසිංහ ආන්ඩුවට එවන් ප්‍රතිචාරයක් නොපෑහේ. අනෙක් පසින් දැනටමත් ක්‍රියාවට දමා ඇති අනුප්‍රාප්තික ආන්ඩුවල මෙම කප්පාදු පිලිවෙත් සෞඛ්‍ය සේවක, වෛද්‍ය උපකරන, ඖෂධ හිඟයෙන් සෞඛ්‍ය පද්ධතිය අඩපන කොට තිබේ. මෙම තතු තුල ව්‍යසනය කිහිප ගුනයකින් ඉහල යාමේ අනතුර මතුවී ඇත.

ජූනි මාසය වන විට අත්‍යාවශ්‍ය ඖෂධ 150 ක පමන හිඟයක් පැවතුනු අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය හැත්තෑ දහසක් වුවත් දැනට සිටින්නේ විසිදහසකට ආසන්න ප්‍රමානයක් බවයි. ඇතැම් ක්ෂේත්‍ර වල විශේෂඥ වෛද්‍යවරුන් වෙනත් රටවලට සංක්‍රමනය වීම හේතුවෙන් රෝහල් වල ඒකක වල වැඩ කටයුතු සම්පූර්නයෙන්ම නැවතී ඇත.

මෙම තතු තුල වාර්ෂිකව වාර්තා වන රෝග පවා පසුගිය මාස කිහිපය තුල පෙර නොවූ විරූ මට්ටම් වලට නැග ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා වලට අනුව මේ වසරේදී ඩෙංගු ආසාදනයන් පසුගිය වසර දෙකට සාපේක්ෂව කිහිප ගුනයකින් ඉහල ගොස් ඇත. දශක ගනනක කප්පාදුව තීව්‍ර කරමින් ආන්ඩු විසින් 2022 අය වැයෙන් ඊට පෙර වසරට සාපේක්ෂව සෞඛ්‍යය සඳහා වියදම් බිලියන හයකින් කප්පාදු කොට මේ වසර සඳහා බිලියන 322 සොච්චමක් වෙන් කොට ඇති තතු තුල මෙය පුදුමයට කරුනක් නොවේ.

මහජනතාව ඇද දමා තිබෙන මෙම අනතුරුදායක කොන්දේසි පිලිබඳව වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලුව මුලු මහත් ධනපති ක්‍රමයම වගකිව යුතුය. මෙය හුදෙක් ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. මෙම රෝගවල අසාමාන්‍ය ඉහල නැගීම් වනාහී කෝවිඩ් වසංගතයෙන් සහ යුක්‍රේනයට එරෙහිව නැටෝ සංවිධානය ගෙන යන යුද්ධයෙන් ගැඹුරු කෙරී ඇති ලෝක ධනවාදයේ අර්බුදයෙන් ගලා එන මහජන සෞඛ්‍ය පද්ධතිය මත එල්ල කර ඇති ප්‍රහාරයේ ආන්තික ප්‍රකාශනයන් ය. ලංකාව තුල එය තියුනු ප්‍රකාශනයක් අත් කර ගෙන ඇත.

මෙම ලෝක වර්ධනයන් විශ්ලේෂනය කරමින් පසුගිය මැයි මාසයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක එවාන් බ්ලේක් මෙසේ සඳහන් කලේය. ධනපති පන්තිය “මහජන සෞඛ්‍යය වර්ධනය කිරීම හරහා ආයු අපේක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර ලබාගත් ජයග්‍රහන ආපසු හරවා ඇති අතර, එන්නත්-විරෝධී ව්‍යාජ විද්‍යාවන් ප්‍රධාන ප්‍රවාහයට එක්වෙමින් මීට පෙර පාලනයේ තබාගත් රෝග යලි ඉහල යාමට සලස්වා ඇත.”

මෙනින්ජයිටීස් රෝගය පිලිබඳව පවා ගෝලීය අනතුරු ඇඟවීම් වෛද්‍ය විශේෂඥයන්ගෙන් අඛන්ඩව මතු වී ඇත. මෙම වසරේ අප්‍රේල් 23 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙනින්ජයිටිස් පිලිබඳ වාර්තාවකදී එය “තවමත් ප්‍රමුඛ ගෝලීය මහජන සෞඛ්‍ය අභියෝගයක් ලෙස පවතින” බව සටහන් කලේය. මෙනින්ජයිටීස් හි වඩාත් සුලබම අනතුරුදායකම ප්‍රභේදය වනුයේ ලංකාවේ දැන් වාර්තා වී ඇති බැක්ටීරියානු මෙනින්ජයිටීස් තත්වයයි.

කෙසේ වෙතත් ලාභ ගරන ධනපති ක්‍රමයට එවන් අනතුරු ඇඟවීම් බීරි අලීන්ට වීනා වාදනය කරනවා වැනිය. මේ වන විට එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ මෙනින්ගොකොකල් රෝගයේ පැතිරීමකට මුහුන දෙමින් සිටී. කෝවිඩ් වසංගතය අවසන් බවට ධනපති ආන්ඩු ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරයට ප්‍රතිවිරුද්ධව ලෝකය පුරා වෛරසය පරිනාමය වෙමින් පැතිරෙමින් පවතී.

මෙම පිලිවෙත් වල ප්‍රතිඵල ලෙස තාක්ෂනය, ඖෂධවේදය මෙතරම් දියුනු කාල පරිච්ඡේදයක පවා 2020 සහ 21 වසර වලදී 1950න් පසු පලමු වතාවට ගෝලීය ආයු අපේක්ෂාව පහතට ඇද වැටිනි. මෙම තතු පෙන්නුම් කරන්නේ, ලාභ සූරාකෑම මත පදනම්වන ධනපති පන්තිය අත නිෂ්පාදන බලවේග පැවතියහොත් අත්වන ව්‍යසනයේ පරිමාවයි.

Loading