ඉදිරිදර්ශන

එක්සත් ජනපදය හිරෝෂිමාවට පරමානු බෝම්බ හෙලීමේ 78 වැනි සංවත්සරය: 2023 දී සමාජවාදය ද? ම්ලේච්ඡත්වය ද?

[මෙය 78th anniversary of US atomic bombing of Hiroshima: In 2023, socialism or barbarism යන මැයෙන් 2023 අගෝස්තු 06 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

වසර 78 කට පෙර, 1945 අගෝස්තු 6 වන දින, ජනාධිපති හැරී ටෲමන් වෙතින් මෙහෙයුමක් සඳහා නියෝග ලද එක්සත් ජනපද B-29 සුපර්ෆෝට්‍රස් බෝම්බ හෙලන යානයක්, ජපානයේ හිරෝෂිමා නගරයට 'ලිට්ල් බෝයි' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද පරමානු බෝම්බය හෙලීය.

පරමානු බෝම්බයේ ආරම්භක පිපිරවීමෙන් පසු ගින්නෙන් නැගි වලාකුලු හිරෝෂිමා අහස වසා දමන අයුරු (ඡායාරූප අනුග්‍රහය: එක්සත් ජනපද ආන්ඩුව)

දෙවැනි ලෝක යුද්ධය සඳහා වෙන් කෙරුනු ජාතික කෞතුකාගාරය ලියා ඇත්තේ, බෝම්බය 'ක්ෂනික තාපයේ හා ආලෝකයේ දීප්තියෙන් නගරය ගිල්වා දැමූ' බවයි.

එය තවදුරටත් මෙසේ ලියයි:

බිම් මට්ටමේ උෂ්නත්වය තත්පරයකටත් අඩු කාලයකදී ෆැරන්හයිට් අංශක 7,000 දක්වා ලඟා විය. බෝම්බය පතිත වූ තැන සිට සැතපුම් භාගයක් තුල සිටි මිනිසුන් වාෂ්ප වී ගියේය. ලෝකඩ ප්‍රතිමා උනු වී, වහලවල උලු කැට එකට ඇලී ගිය අතර, මුදා හැරුනු දැඩි අධෝරක්ත කිරන වලින් සැතපුම් ගනනක් ඈතින් සිටි මිනිසුන්ගේ නිරාවරනය වූ සම පිලිස්සී ගියේය. අවම වශයෙන් මිනිසුන් 80,000 ක් ක්ෂනිකව ම මිය ගියහ.

බෝම්බය නිසා හිරෝෂිමාවේ සියලුම ගොඩනැගිලිවලින් සියයට 70 ක් විනාශ වූ අතර 1945 අවසානය වන විට 140,000 ක් මිය ගොස් තිබුනි. දිවි ගලවා ගත් අයට පිලිකා සහ නිදන්ගත රෝගවලින් පීඩා විඳීමට සිදු විය.

න්‍යෂ්ඨික විද්‍යාව සහ ඉතිහාසය පිලිබඳ ජාතික කෞතුකාගාරය පැහැදිලි කරන්නේ, “පිපිරුම් අභිකේන්ද්‍රයට ආසන්නව සිටි අය තාපයේ තීව්‍රතාවයෙන් වාෂ්ප වී ගිය” බවයි.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ:

කන්ඩියක පඩිපෙල මත වාඩි වී සිටි එක් මිනිසෙක් අඳුරු සෙවනැල්ලක් පමනක් ඉතිරි කර තිබුනි.… ලිට්ල් බෝයි හි අභිකේන්ද්‍රයට වඩා ඈතින් සිටි හිරෝෂිමා හි තවත් බොහෝ දෙනෙක් ආරම්භක පිපිරුමෙන් දිවි ගලවා ගත් මුත්, ඔවුන්ගේ සිරුරේ බොහෝ ප්‍රදේශවල ආපදා හා පිලිස්සුම් ඇතුලුව බරපතල තුවාල ලැබූහ. ආහාර සහ ජලය, වෛද්‍ය ආධාර, මිතුරන් සහ නෑදෑයන් සොයා ගැනීමට සහ බොහෝ නිවස්නා ප්‍රදේශ ගිලගත් ගිනිකුනාටු වලින් පලා යාමට ඔවුන් අරගල කරන විට මෙම ජනතාව අතර භීතිය සහ ව්‍යාකූලත්වය ඉහවහා ගොස් තිබුනි.

එක් සාක්ෂිකරුවෙකු මෙසේ පැවසීය:

'මිනිසුන්ගේ පෙනුම... සත්තකින්ම, පිලිස්සුම් තුවාල වලින් ඔවුන් සියල්ලන්ගේම සම කලු පැහැ ගැන්වී තිබුනි.… හිසකෙස් පිලිස්සී ගොස් ඇති බැවින් ඔවුන්ගේ හිස් වල කෙස් නොවීය, බැලූ බැල්මට ඔබ ඔවුන් දෙස බලන්නේ ඉදිරියෙන්ද පිටුපසින්ද යන්න ඔබට පැවසිය නොහැක.… ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මහමග මිය ගියහ—මට තවමත් ඔවුන්ව මගේ මනසින් මවා ගත හැකිය—ඇවිදින අවතාර මෙනි… ඔවුන් මේ ලෝකයේ මිනිසුන් ලෙස නොපෙනුනි.'

දින තුනකට පසු, ජපාන බලධාරීන්ට තත්වය තක්සේරු කිරීමට පවා අවස්ථාව ලැබීමට පෙර, නාගසාකි නගරයේ දෙවන, තරමක් විශාල බෝම්බයක් වන 'ෆැට් මෑන්' පුපුරුවා හැරීමට ටෲමන් අවසර දුන්නේය. “න්‍යෂ්ඨික පිපිරීමෙන් පසු [නාගසාකි හි] 40,000 ත් 75,000 ත් අතර සංඛ්‍යාවක් ක්ෂනිකව මිය ගිය අතර තවත් 60,000 ක් බරපතල තුවාල ලැබූ බව ගනන් බලා ඇත. 1945 අවසානය වන විට මුලු මරන 80,000 දක්වා ලඟා විය හැකිය.” (න්‍යෂ්ඨික විද්‍යාව සහ ඉතිහාසය පිලිබඳ ජාතික කෞතුකාගාරයට අනුව) නගර දෙකේ පුද්ගලයන් 200,000 සිට 250,000 දක්වා සංඛ්‍යාවක් එක්සත් ජනපදයේ ක්‍රියාවෙන් සෘජුවම මිය ගිය අතර, තවත් නොගැනියහැකි තරම්‍සංඛ්‍යාවක් ඉදිරි වසරවලදී මිය යාමට නියමිත විය.

මෙම බෝම්බ ප්‍රහාර, එදා මෙදා තෙක් සිදු කර ඇති වඩාත්ම බිහිසුනු යුද අපරාධවලින් එකකි. අද දක්වාම න්‍යෂ්ටික අවි භාවිතා කර ඇත්තේ 'නිදහස් ලෝකයේ' ස්වයං-ප්‍රකාශිත නායකත්වය වන එක්සත් ජනපද ආන්ඩුව සහ හමුදාව පමනි.

නාසි ජර්මනිය එක්සත් ජනපද නගර දෙකකට පරමානු බෝම්බ හෙලා යුද්ධය පරාජයට පත් වූයේ නම්, “එවිට අපි නගරවලට පරමානු බෝම්බ හෙලීම යුද අපරාධයක් ලෙස නිර්වචනය කරනු ඇති බවට හෝ මෙම අපරාධයට වැරදිකරුවන් වූ ජර්මානුවන්ට නියුරම්බර්ග්හිදී මරනීය දන්ඩනය නියම කර එල්ලා මරනු ඇති බවට කිසිවෙකුට සැක කල හැකිද?” යනුවෙන් භෞතික විද්‍යාඥ ලියෝ සිලාඩ් පසුව තර්ක කලේය.

සෑම වෛෂයික නිරීක්ෂකයෙක්ම පෙන්වා දී ඇති පරිදි, සාම්ප්‍රදායික ධනේශ්වර අර්ථයෙන් ගත්කල, මොනම මිලිටරි අවශ්‍යතාවයකට අනුව හෝ හිරෝෂිමා, නාගසාකි සහ එහි ජනගහනය විනාශ කිරීම යුක්තියුක්ත කල නොහැක. ජපානය ඒ වන විට පරාජිත සතුරා විය. යුදවාදියෙකු වූ ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් පවා පසුව මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු වූ නෝමන් කසින්ස්ට පැහැදිලි කලේ “බෝම්බය හෙලීම සඳහා මොනයම් හෝ මිලිටරි සාධාරනීකරනයක්” තමා නොදුටු බවයි. “ඔහු [මැක්ආතර්] පැවසුවේ, එක්සත් ජනපදය පසුව කෙසේ හෝ කලාක් මෙන්, අධිරාජ්‍යයාගේ ආයතනය [මෙම බෝම්බ හෙලීම] වලක්වා ගැනීමට එකඟ වූවා නම්, යුද්ධය සති කිහිපයකට පෙර අවසන් වීමට ඉඩ තිබුනු බවයි.”

ඩ්වයිට් ඩී අයිසන්හවර් ඔහුගේ මතක සටහන් වල තම 'බරපතල සැකයන්' ගැන ලිවීය. 'ජපානය දැනටමත් පරාජය වී තිබූ අතර... බෝම්බය හෙලීම සම්පූර්නයෙන්ම අනවශ්‍ය දෙයක් විය... මා සිතුවේ, ඇමරිකානු ජීවිත බේරා ගැනීමේ පියවරක් ලෙස තවදුරටත් අනිවාර්ය නොවන ආයුධයක් භාවිතා කිරීමෙන් අපේ රට ලෝක මතය කම්පනයට පත් කිරීමෙන් වැලකී සිටිය යුතු බවයි.'

එක්සත් ජනපද මාධ්‍ය තවමත් ප්‍රචාරය කරන, බෝම්බ ප්‍රහාරයෙන් “ඇමරිකානු ජීවිත” බේරුනු බවට වන අවසාන තර්කය, බිහිසුනු, ලේවැකි ක්‍රියාවට සමාව දීම සඳහා නිෂ්පාදනය කරන ලද අතීතාවලෝකන ප්‍රබන්ධයකි.

බෝම්බ හෙලීම පිටුපස පැවති වඩාත් ප්‍රගාඪ අභිප්‍රායන් වූයේ දැනටමත් දිගහැරෙමින් පවතින සීතල යුද්ධයේ කොටසක් ලෙස සෝවියට් සංගමය ත‍්‍රස්ත කිරීමේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉලක්කයයි. මෑතකාලීන ඔපන්හයිමර් චිත්‍රපටිය පැහැදිලි කර ඇති පරිදි, සංකේත නාමය “ට්‍රිනිටි” නම් වූ න්‍යෂ්ටික අවියක පලමු අත්හදා බැලීම 1945 ජූලි 16 වන දිනට නියමිතව තිබුනි. පසුදින ආරම්භ කිරීමට නියමිතව තිබූ පොට්ස්ඩෑම් සමුලුවේ දී ස්ටාලින් සහ සෝවියට් නියෝජිත පිරිස බෝම්බයේ පැවැත්මෙන් අන්දමන්ද කිරීමට ටෲමන් අපේක්ෂා කලේය. මෙම චින්තන රටාවට අනුව, සහන ලබා දීමේ අවශ්‍යතාවයක් එක්සත් ජනපදයට නොමැති අතර තම ඉල්ලීම් වලට යටත් වන ලෙස සෝවියට් නායකත්වයට බල කල හැක.

මෑන්හැටන් ව්‍යාපෘතියේ කොටසක් ලෙස බෝම්බය නිමැවුනු විට, ටෲමන් පරිපාලනය සිතුවේ, තමාගේ යැයි කියනු ලබන න්‍යෂ්ටික ඒකාධිකාරය ඉදිරි වසර සඳහා එක්සත් ජනපදයේ අධිපතිවාදී භූමිකාව සහතික කරනු ඇති බවයි. සෝවියට් සංගමයට පෙර බෝම්බයක් නිපදවීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනක් බව වටහා ගත් විද්‍යාඥයින් විසින් මෙම සංකල්පය මුලාවක් ලෙස සලකනු ලැබීය. “එම ආසියාතිකයන්ට” (සෝවියට් සංගමයේ) කිසිදා මෙතරම් සංකීර්න අවියක් තැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට තරම් ටෲමන් අඥාන විය.

1949 අගෝස්තු මාසයේදී සෝවියට් සංගමය සිය පලමු සාර්ථක න්‍යෂ්ටික අවි අත්හදා බැලීම අවසන් කිරීම එම කාලය වන විට හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවති ක්‍රියාවලියක කොටසක් වූ කොමියුනිස්ට් විරෝධී වියරුවට හේතු විය.

ඉන් ටික කලකට පසු, ජෙනරාල් කර්ටිස් ලෙමේ වැනි ෆැසිස්ට්වාදී චරිත සමග සම්බන්ධීකරනයෙන්, එක්සත් ජනපද ගුවන් හමුදා යුධ සැලසුම් අංශය, 1995 නිව් යෝර්කර් සඟරාවේ ලෙමේ පිලිබද විස්තරයකට (profile) අනුව, “පරමානු බෝම්බ එකසිය තිස් තුනක් සමඟින්, මිලියන 2.7 ක් දක්වා මිය යන සහ තවත් මිලියන හතරකට තුවාල සිදු වන පරිදි දින තිහක් තුල සෝවියට් නගර හැත්තෑවක් විනාශ කල යුතු බවට වන” යෝජනාවක් සකස් කලේය. “ඇමරිකානු ගුවන් බල මූලෝපායඥයින්ට එවැනි ප්‍රහාරයක් සඳහා ලෙමේ යෝජනා කරන නමක් තිබුනි: 'ජාතියක් නසා දැමීම'.”

1956 අප්‍රේල් මාසයේදී ඔහු ජාතික යුධ විද්‍යාලයේ පැවැත්වූ දේශනයකදී, 'අද රාත්‍රියේ හිරු බැස යෑමත් හෙට උදෑසන හිරු උදාවත් අතර සෝවියට් සංගමය ප්‍රධාන මිලිටරි බලයක් වීම හෝ ඇතැම් විට ප්‍රධාන ජාතියක් වීම පවා... නැවැත්වීමට ඉඩ ඇති බවට ඇති හැකියාව ගැන කල්පනා කරමින්, සෝවියට් සංගමයට එරෙහි ප්‍රහාර සඳහා ලෙමේ තර්ක කලේය. ඇතැම් විට හෙට හිරු උදාවනු ඇත්තේ, චීනයට වඩා අසීමිත ලෙස දුප්පත්—එක්සත් ජනපදයට වඩා අඩු ජනගහනයක් සිටින සහ සමහර විට අනාගත පරම්පරාවන් සඳහා කෘෂිකාර්මික පැවැත්මකට ඇද දැමූ ජාතියක් මත විය හැකිය.”

සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව එහි ගුවන් ආරක්ෂාව වර්ධනය කර ගැනීමට පෙර “පූර්වභංග” ප්‍රහාර එල්ල කලයුතු බවට ලෙමේ වැනි පුද්ගලයින් තර්ක කලද, 1945 අගෝස්තු බෝම්බ ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය විසින් න්‍යෂ්ටික බෝම්බ භාවිතා නොකල බව තීරනය කරන ප්‍රධාන සාධකය වූයේ සෝවියට් සංගමය විසින් පලිගනු ඇතැයි යන බියයි. සෝවියට් ප්‍රතිප්‍රහාර පිලිබඳ භීතිය හැරුනු විට, එක්සත් ජනපද පාලක ප්‍රභූව තුල පැවති අතිශය සීමිත චකිතයන් කවරක් වුව ද, ඒවා 1945 දී සිදුවූ ආකාරයෙන්ම කර්කශ නොතැකීමෙන් යටපත් වනු ඇති බව නිසැක විය.

සීතල යුද්ධයේ දශක කිහිපය තුල, මෑඩ් (MAD) හෝ “අන්‍යෝන්‍යව සහතික කෙරුනු විනාශය” ලෙස හැඳින්වෙන සම්බන්ධතාවය තුල එක්සත් ජනපදය හෝ සෝවියට් සංගමය මෙම විනාශකාරී ආයුධ භාවිතා කලේ නැත. කෙසේ වෙතත්, න්‍යෂ්ටික අවි පැවතීම අනිවාර්යයෙන්ම ඒවායේ ව්‍යාප්තියට හේතු වනු ඇති බවට විද්‍යාඥයෝ නිරන්තරයෙන් අනතුරු ඇඟවූහ.

නිල වශයෙන් න්‍යෂ්ටික අවි 13,000 ක පමන එකතුවක් අද එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, එක්සත් රාජධානිය, පකිස්ථානය, ඉන්දියාව, ඊශ්‍රායලය සහ උතුරු කොරියාව අතර බෙදාගෙන ඇති අතර, ඒවාට සත්කාරකත්වය දරන තවත් රටවල් හයක් පවතී: ඉතාලිය, තුර්කිය, බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය සහ බෙලරුස්.

මෙම මහා විනාශකාරී ආයුධ පැවැතීමෙන් ම යම් අවස්ථාවක දී, දැඩි අර්බුදකාරී අවස්ථාවක, විදේශීය සතුරන්ට හෝ දේශීය විරුද්ධත්වයට එරෙහිව පවා ඒවා භාවිතා කිරීමේ බරපතල අනතුරක් පවතී.

හිරෝෂිමා බෝම්බ ප්‍රහාරයේ සංවත්සරය සහ පැහැදිලිවම ප්‍රේක්ෂකයින් කම්පනයට පත් කල ඔපන්හයිමර් (චිත්‍රපටය ගෝලීය බොක්ස් ඔෆිස් හි ඩොලර් මිලියන 550 ඉක්මවා ඇත) මුදා හැරීම වර්තමාන වර්ධනයන්හි සන්දර්භය තුල දැකිය යුතුය.

බයිඩන් පරිපාලනය සහ එහි නැටෝ සහචරයින් සියල්ලෝම මෑඩ් (MAD) මූලධර්මය විවෘතව ප්‍රතික්ෂේප කර ඇති අතර, න්‍යෂ්ටික යුද්ධයේ අන්තරායෙන් තම යුද ධාවනය “වලක්වනු නොලබන” බවට නැවත නැවතත් තර්ක කරති. මෙය එක්සත් ජනපද හා යුරෝපීය මාධ්‍ය විසින් අභියෝගයට ලක් නොවන අතර පැසසුමට පවා ලක් වේ. එවන් ප්‍රකාශයන් සිදු කෙරී ඇත්තේ, එක්සත් ජනපදය “න්‍යෂ්ටික අවි සහ තුන්වන ලෝක යුද්ධය ගැන කොතරම් කනස්සල්ලට පත්ව සිටිනවාද යත්, එය වලක්වා ගැනීමට අපට සම්පූර්නයෙන්ම ඉඩ දී තිබේ” වැනි උත්සුකයන්ට ප්‍රතිචාරී වසයෙනි. එම උත්සුකය පලකලේ, යුරෝපයේ එක්සත් ජනපද හමුදාවන්ට නායකත්වය දුන්, 2013 සිට 2016 දක්වා නැටෝවේ උත්තරීතර මිත්‍ර හමුදාපතිවරයා ලෙස සේවය කල, එක්සත් ජනපද තරු හතරේ විශ්‍රාමික ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු වන පිලිප් බ්‍රීඩ්ලෝව් විසිනි.

භාෂාවට කිසියම් වැදගත්කමක් තිබේ නම්, එක්සත් ජනපදය තවදුරටත් “න්‍යෂ්ටික අවි සහ තුන්වන ලෝක යුද්ධය ගැන කනස්සල්ලට පත් නොවේ” යන සංකල්පයෙන් අදහස් කල හැක්කේ, ඇමරිකානු පාලක ප්‍රභූව එහි ප්‍රතිවිපාක නොතකා එහි අනුකම්පා විරහිත, කොල්ලකාරී අරමුනු හඹා යාමට අදහස් කරන බවයි. හුදෙක් භව්‍යතාව පමනක් නොව, න්‍යෂ්ටික සමූලඝාතනයේ නොවැලැක්විය හැකි බව මගින් එක්සත් ජනපද ආන්ඩුව හෝ ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ සහ නැටෝ බලවතුන්ගේ ආන්ඩු වලක්වනු නොලබයි.

පාලක කවයන් තුල දැන් පවතිනුයේ පූර්න සාහසිකත්වය යි.

හිරෝෂිමා ව්‍යසනයෙන් වසර 78 කට පසු අප පැමින ඇත්තේ මෙතැනටය. ධනේශ්වර සමාජය සම්බන්ධයෙන් ගත් කල, විශාල සමාජ, දේශපාලන හා සදාචාරාත්මක පරිහානියක් පවතී. අද විකල්පයන් වන්නේ සමාජවාදය ද ම්ලේච්ඡත්වය ද යන්නයි. එසේත් නැතිනම් කම්කරු පන්තිය බලය ගැනීම ද ධනවාදයට මානව පැවැත්මට තිත තැබීමට ඉඩ හැරීම ද යන්නයි.

Loading