ඕපන්හයිමර්: “පරමානු බෝම්බයේ පියා” පිලිබඳ දෘශ්‍ය කාව්‍යයක්

[මෙය 2023 ජූලි 27 දින Oppenheimer: A drama about “the father of the atomic bomb”යන මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි. ]

භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඕපන්හයිමර් පිලිබඳ සිනමා චරිතාපදානයක් වන ක්‍රිස්ටෝෆර් නොලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටයට, එය සිනමාහල්වල තිරගත වීම ඇරඹූ ජූලි 21 වැනි දාට පෙර සතිවල දැඩි ප්‍රචාරයක් දෙනු ලැබී ය. ප්‍රේක්ෂකයින් වැඩි දෙනා තමන් දැවැන්ත පරිමානයේ බැට්මෑන් චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරයාගේ තවත් තාක්ෂනික-විශේෂ ප්‍රයෝග හරඹයක් නරඹන්නට යන බවක් සිතාගත්තේ නම් ඔවුන්ට ඒ ගැන සමාව දිය යුතු ය.

මුලින් කුමන වැරදි වැටහීම් හටගත්තේ වුව ද, ඕපන්හයිමර් නොකඩවා ලබන බොක්ස් ඔෆිස් සාර්ථකත්වය ඇඟවුම් කරන්නේ ප්‍රේක්ෂකයින් විචිත්‍ර දර්ශනයකට වඩා වැඩි යමක් වෙත ආකර්ෂනය වෙමින් සිටින බව ය. පූර්නනිමග්න අත්දැකීමක් (immersive experience) සඳහා අයිමැක්ස් (IMAX) කැමරා මඟින් පටිගත කර ඇති චිත්‍රපටය දෘශ්‍යමය වසයෙන් සිත් පැහැරගනී. එහෙත් ඕපන්හයිමර් වනාහි න්‍යෂ්ටික ආයුධ හා න්‍යෂ්ටික යුද්ධය පිලිබඳ බැරෑරුම් වූ ද නියමාකාරයෙන් සිත් කලඹනසුලු වූ ද චිත්‍රපටියකි. නරඹන්නා කම්පිත කිරීම අරමුනු කරගත් එය එම කාර්යයෙහි සාර්ථක වෙයි.

ඕපන්හයිමර්

චිත්‍රපටියෙහි නිර්ව්‍යාජ දුබලතා බොහෝ දුරට තිරරචක-අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික අඩුපාඩු නො වේ. ඒවා අනාවරනය කරන්නේ දෙවැනි ලෝක යුද්ධය හා 20 වැනි සියවස මැද භාගයේ දේශපාලන යථාර්ථයන් අවබෝධ කරගැනීම හා බැඳුනු වඩා පොදු ප්‍රශ්න යි.

නොලන් නිසැකව ම අත ගසා ඇත්තේ න්‍යෂ්ටික ලෝක විනාශයක අන්තරායන් හා සන්ත්‍රාසයන් ගැන පවතින බලගතු භීතීන්ට ය, ඇතැම් විට ඒ හිරෝෂිමා, මොන් අමෝර් (1950), ඔන් ද බීච් (1959), ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව් (1964) හා ෆේල් සේෆ් (1964) වැනි චිත්‍රපට බිහි කල යුගය වූ 1950 ගනන් අග හා 1960 ගනන්වල මුලින් මෙපිට කිසි දා නො වූ විරූ තරමට ඉහල නැඟ ඇති භීතීන්ට ය. තමන් න්‍යෂ්ටික ගැටුමක තර්ජනයෙන් “පසු නොබසින” බව බයිඩන් තන්ත්‍රය සහ එහි නේටෝ සගයින් නොතැකීමෙන් යුතුව අවධාරනය කරන අතර එවැන්නක විය හැකියාව එක්සත් ජනපද පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන්වල එලිපිට සාකච්ඡා කරනු ලැබේ.

ඕපන්හයිමර් පුලුල් ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන තිබීම, පොදු ජනගහනය තුල පවතින ඊට වඩා වෙනස් හැඟීමක් ගැන, න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කිරීමේ ඉඩ පිලිබඳ පවතින ගැඹුරු තැතිගැනීමක් ගැන කියා පායි. කෙනෙකුට නොලන්ගේ චිත්‍රපටය දෘෂ්ටි කෝන ගනනාවකින් විවේචනය කල හැකි වුව ද එය එම මනෝගතිය දිරිමත් හා ගැඹුරු නොකරතියි කිසිදු වෛෂයික නිරීක්ෂකයකුට තර්ක කල නො හැකි ය. පැහැදිලිව ම යුද විරෝධී වූ ව්‍යාපෘතියකට දැක්වූ කැපවීම ගැන කිලියන් මර්ෆි, මැට් ඩේමන්, රොබර්ට් ඩව්නි (කනිෂ්ට), එමිලි බ්ලන්ට්, ෆ්ලොරන්ස් පියු, කෙනත් බ්‍රනැග්, ගැරී ඕල්ඩ්මන්, රාමී මලෙක් ඇතුලු විශිෂ්ට නලුනිලි කැලට ප්‍රශංසා කල යුතු ය.

චිත්‍රපටයේ ආරම්භක සිදුවීම් පෙල තරුන භෞතික විද්‍යාඥ ඕපන්හයිමර් (මර්ෆි) පොරබදමින් සිටි න්‍යායික විද්‍යාත්මක විරුද්ධාභාසයන් පිලිබඳ දර්ශන මාත්‍ර ඉදිරිපත් කරයි. පොකුනක් මත රැලි නංවමින් විහිද යන වැහි බිඳු, අංශු හා තරංග. අඳුරු අහස හරහා ඇදෙන ආලෝක සැනෙලි. විදාරනය වන යෝධ අග්නි ගෝලයක්, අතරින් පතර දිස් වන කුඩා දිදුලන තාරකා. සමහර විට සූර්යයා, සමහර විට ඉදිරියේ දී සිදු වීමට ඉඩ ඇති න්‍යෂ්ටික පිපිරුම. මේ රූප චිත්‍රපටය පුරා පුනර්කරනය වන්නේ සෑම වතාවක ම ඕපන්හයිමර්ගේ ජීවිතයේ සංක්‍රාන්තියක් ප්‍රතිරාව නංවමිනි.

නොලන්, ඕපන්හයිමර්ගේ තුරුනු වියේ විප්ලවකාරී න්‍යායයන්, විද්‍යාව තුල මෙන් ම කලාව, සාහිත්‍යය හා සංගීතය තුල ද නවෝත්පාදක අත්හදාබැලීම් සිදු වූ කාලපරිද්ඡේදයක් වූ ඒවා අයත් යුගය තුල වහා ස්ථානගත කරයි. චිත්‍රපටය අවධානය පැහැරගන්නා කතාන්තරයත් තුල ප්‍රේක්ෂකයා නිමග්න කරගන්නා නමුත් එය කිසි විටෙක රේඛීය නො වේ. එහි එකිනෙක හා බැඳුනු හුයපට තුනකි: 1930 ගනන්වල අග හා 1940 ගනන්වල මුල ඕපන්හයිමර්ගේ ජීවිතය හා වෘත්තිය. මෙය 1943 හා 1945 අතර නිව් මෙක්සිකෝවේ ලොස් ඇලමොස්හි පරමානු බෝම්බය නිර්මානය කිරීමෙහිලා ඔහුගේ භූමිකාව කරා දිවෙයි; ඕපන්හයිමර් එක්සත් ජනපද ආන්ඩුව සමඟ නිරත වූ වෘත්තීය ජීවිතය අවසන් කරමින් ඔහුගේ ආරක්ෂක නිෂ්කාශනය අහිමි කල 1954 පරමානුක බලශක්ති කොමිසමේ (ඒඊසී) විභාගය; සහ ඕපන්හයිමර්ගේ ප්‍රතිවාදියා වූ ලුවිස් ස්ට්‍රවුස්ගේ (ඩව්නි, කනිෂ්ට) ඇද වැටීම.

1954 විභාගය - එමිලි බ්ලන්ට් සහ කිලියන් මර්ෆි

නොලන්ගේ චිත්‍රපටය, කායි බර්ඩ් හා මාර්ටින් ශර්වින් විසින් රචිත 2005 පුලිට්සර් ත්‍යාගලාභී ඇමරිකානු ප්‍රොමිතියස්: ජේ . රො බර්ට් ඕපන්හයිමර්ගේ ජයග්‍රහනය සහ ඛේදවාවය (American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheimer) නමැති චරිතාපදානය මත පදනම්ව තිබේ. චිත්‍රපට තිරනාටකයේ සම-කතුවරුන් ලෙස බර්ඩ් හා ශර්වින් සඳහන් ය.

පරමානුක බලශක්ති කොමිසම විසින් පවත්වනු ලැබූ ප්‍රතිකොමියුනිස්ට් දඩයම දිගේ ආඛ්‍යානය දිගහැරෙන්නේ කතාවේ කාල රාමුව මේ විසකුරු ප්‍රශ්න කිරීමේ රැහැන් පට හරහා නවා දමමිනි. ප්‍රධාන කතා හුයපට ඕපන්හයිමර්ගේ දෘෂ්ටි කෝනයෙන් නිරූපනය කෙරේ. සත්තකින් ම, සහභාගී නලුවන් වැඩිදෙනා පුදුමයට පත් කරමින් නොලන් තිරරචනය ලියා ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝනයෙනි.

1942 දී නැඟී එන ක්ෂේත්‍රයක් වූ ක්වොන්ටම් යාන්ත්‍රනය පිලිබඳ මහාචාර්යවරයකු හා වාමාංශික අදහස් හා සම්බන්ධතා සහිත පුද්ගලයකුව සිටින ඕපන්හයිමර්, මෑන්හැටන් ව්‍යාපෘතිය නමින් ප්‍රකට වූ, පරමානු බෝම්බයක් නිර්මානය කිරීමේ අතිරහසිගත මිලිටරි ස්ථාපනයක් සංවිධානය කිරීම සඳහා ජෙනරාල් ලෙස්ලි ග්‍රෝව්ස් (ඩේමන්) විසින් බඳවාගනු ලැබේ.

වාමාංශික ව්‍යාපාරවලට ඔහුගේත් ඔහුගේ සගයන්ගේත් සම්බන්ධතා, 1930 ගනන්වල ස්පාඤ්ඤ ජනරජවාදීන් සමඟ ඔහුට පැවති සබඳතා හා ඇමෙරිකානු කොමියුනිස්ට් පක්ෂය සමඟ ඔහුට පැවති සමීප “සහගාමීත්වය” (මෙය කෙතරම් සමීප වී ද යත් ඕපන්හයිමර් කිසි දාක පක්ෂ සාමාජිකයකු වී ද යන්න පිලිබඳ දිගට ම විවාද පවතී. ඔහුගේ සොහොයුරා, නෑනා, බිරිඳ හා පෙම්වතිය යන සියලු දෙනා නිසැකව ම සාමාජිකයෝ වූහ.) ආදිය ගැන ඕපන්හයිමර් බොලඳ අන්දමින් නොවලහා අවංක වෙයි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය සඳහා ඕපන්හයිමර් අත්‍යවශ්‍ය බව ග්‍රෝව්ස් අවධාරනය කරන අතර ඔහුට ආරක්ෂක නිෂ්කාශනය ප්‍රදානය කෙරේ.

මෙම ජන සංහාරක අවිය නිපදවීමෙහි දී නාසීන් එක්සත් ජනපදයට හා බ්‍රිතාන්‍යයට වඩා මාස 18ක් ඉදිරියෙන් සිටිතියි ඒත්තු ගෙන සිටි ඕපන්හයිමර් හා ග්‍රෝව්ස් නිව් මෙක්සිකෝවේ “ඈත එපිට තැනක” දහස් ගනනක් වාසය කල නගරයක් බවට පත් වූ ස්ථානය ඉදි කිරීම සඳහා ඉහල ම විද්‍යාඥයින්ගේ හා ඉංජිනේරුවන්ගේ ජාත්‍යන්තර කන්ඩායමක් රැස් කරති. ඕපන්හයිමර් “පරමානු බෝම්බයේ පියා” ලෙස ඉස්මතු වන්නේ මෙහි දී ය.

මෙයට සහභාගි වීම ප්‍රතික්ෂේප කරන එක් කීර්තිධර විද්‍යාඥයකු වන්නේ නීල්ස් බෝර් (බ්‍රනැග්) ය. “ඔවුන්ට තමන්වම විනාශ කරගැනීමේ බලය දුන් මිනිසා ඔබ යි. ලෝකය එයට සූදානම් නැහැ” යි බෝර් පවසයි.

ව්‍යාපෘතියෙහි ආත්මවිශ්වාසයෙන් යුතු, ඉහලින් ම ගරු කෙරුනු නායකයා හා සංවිධායකයා බවට ඕපන්හයිමර් පත් වෙයි. යුරෝපයේ යුද්ධය අවසන් කිරීම සඳහා ජර්මනියට එරෙහිව බෝම්බය යොදාගැනෙනු ඇතැයි ඔහුගේ සගයින් සියලු දෙනා ම පාහේ ද ඔහු ද ඒත්තු ගෙන සිටිති. එහෙත් බර්ලිනයට එරෙහි සෝවියට් අභිගමනය හා 1945 අප්‍රේල් අග හිට්ලර්ගේ සියදිවි නසාගැනීම සමඟ ජර්මනිය යටත් වෙයි. මුලුමනින් ම බෝම්බය නිර්මානය කිරීමේ කාර්යයෙහි ආයෝජිතව සිටින ඕපන්හයිමර් එය ජපානයට හෙලීම පිලිබඳ උද්‍යෝගී පක්ෂවාචකයකු බවට පත් වෙයි. සත්තකින් ම, එක බෝම්බයකින් සියලු යුද්ධ සදහට ම අවසන් වනු ඇත යන නිරර්ථක අපේක්ෂාවෙන් යුතු ඔහු විශාල නගරයක් ඉලක්ක කරගැනීමට පක්ෂ වෙයි.

බෝම්බය නිපදවීමේ කාර්යය වේගවත් කිරීම සඳහා අඛන්ඩ පීඩනයකට ලක් වන ඕපන්හයිමර් සහ ඔහුගේ සගයෝ ට්‍රිනිටි යන කේත නාමය දුන් පලමු අත්හදාබැලීම සඳහා 1945 ජූලි 16 දින නියම කරගනිති. යම් තාක් දුරකට එසේ කලේ ඉන් පසු දා පැවැත්වීමට නියමිතව තිබූ පෝස්ට්ඩෑම් සමුලුවේදී ජනාධිපති ටෲමන්ට එහි බලය පාමින් සෝවියට් නායක ස්ටැලින්ට තර්ජනය කල හැකි වනු පිනිස ය.

එක්තරා දුරකට, ට්‍රිනිටි අත්හදාබැලීම නාටකීකරනය වූ කලි හිරෝෂිමා හා නාගසාකි මතට සැබෑ බෝම්බ හෙලීම හා එහි ප්‍රතිවිපාක නිරූපනය කිරීම වෙනුවට යොදාගෙන ඇති සෑහීමකට පත් විය නො හැකි ආදේශකයකි. ඒ කෙසේ වුව ද එය භයංකර දර්ශනයකි.

අතුරු වියන ලද කතා පෙරට ධාවනය කරවන තරුන ස්වීඩන් ජාතික සංගීතඥ ලුඩ්විග් ගොරන්සන්ගේ සිත් සසල කරන සංගීත රචනය, දැවැන්ත පිපිරුමෙන් නිකුත් වූ ක්ෂනික ආලෝකය ශබ්දයට කලින් ලඟා වෙද්දී පූර්න නිශ්ශබ්දතාවෙන් යුතු අතිශය ආතතිකර නිමේෂයකට සේන්දු වෙයි. මෙය දුෂ්ස්වප්නවල අමුද්‍රව්‍යය බවට පත් වෙයි. ඇමෙරිකානු ප්‍රොමිතියස් කෘතියේ කතුවරු මෙසේ ලියති: “ට්‍රිනිටියට පසු ගැජට්ටුව [බෝම්බය එය නිෂ්පාදනය කෙරුනු අදියරේ දී හැඳින්වුනේ ‘ද ගැජට්’ යන නමිනි - පරිවර්තක] අවියක් බවට පත්ව ඇති බව ද, අවි මිලිටරිය විසින් පාලනය කෙරුනු බව ද ඔවුහු දැන සිටියහ.” ඕපන්හයිමර්ගේ මනෝගතිය වෙනස් වන්නට පටන්ගනී.

කැලඹුම්කාරී සමාඝාතයක් (තට්ටු කරන හඬක්), 1945 අගෝස්තු 6 හිරෝෂිමාවේ දසදහස් සංඛ්‍යාත ජනයා දවා හලු කිරීම සමරමින් ලොස් අලමෝවේ දෙපා සියගනනක් බිම ගසන ගිගුම් හඬක් බවට පත් වන තුරු, මතුපිටට යටින් ගමන් කරයි. ඕපන්හයිමර් වේදිකාවට නැඟ නැවති නැවතී කතාවක් කරයි. “ලෝකය මේ දිනය මතකයේ තබාගනු ඇති…” ඔහුගේ කටහඬ වියැකෙයි. බෝම්බයේ සාර්ථකත්වය කුමක් වුව ද “ජපන්නු ඒකට කැමති වුනේ නැති බව මට විශ්වාසයි.” යි ඔහු කර්කශ ලෙස ප්‍රකාශ කරයි. සෙනඟ ඔල්වරසන් දෙති.

මැට් ඩේමන් සහ කිලියන් මර්ෆි

එහෙත් දර්ශනයේ මනෝගතිය ඉක්මනින් වෙනස් වෙයි. ඔහුට ප්‍රශංසා හිමි විය යුතු තවත් කලාත්මක තීරනයක් ගන්නා නොලන්, ඕපන්හයිමර් අබියස ප්‍රාදූර්භූත වන ලෙලිගැසී ගැලවෙන සම, අඟුරු වූ සිරුරු, ජපානයේ මිය ගිය දසදහස් සංඛ්‍යාත දෙනා පිලිබඳ දර්ශන හරහා බෝම්බ හෙලීමේ සන්ත්‍රාසය ඉදිරිපත් කරයි. ලොස් ඇලමෝස් සමරුව වැලපෙන හා වමනය දමන පිරිමින්ගෙන් හා ගැහැනුන්ගෙන් සමන්විත වේදනාවෙන් ඇඹරෙන ජනකායක් බවට පෙරලෙයි. කායි බර්ඩ්ට අනුව නිව් මෙක්සිකෝවේ එම රාත්‍රිය පිලිබඳ මේ නිරූපනයෙහි ලොකු ඇත්තක් තිබේ.

නාගසාකි බෝම්බ හෙලීමෙන් සති ගනනක් ඇතුලත ඕපන්හයිමර් න්‍යෂ්ටික අවි තහනම් කරනු දැකීමේ අපේක්ෂාව පල කරන ලිපියක් යුද කටයුතු ලේකම් හෙන්‍රි ස්ටිම්සන් වෙත යවයි. 1945 ඔක්තෝබරයේ ඕපන්හයිමර් හා ටෲමන් (ගැරී ඕල්ඩ්මන්) අතර සුප්‍රකට හමුවක් සිදු වෙයි. අවි තරගය සදහට ම නතර කල යුතු බවට ජනපති ඒත්තු ගන්වන අදහසින් ඕපන්හයිමර් “මට දැනෙන්නේ මගේ අත්වල ලේ ගෑවිලා තියෙනව කියලයි” යනුවෙන් සඳහන් කරයි. ටෲමන් ඔහු දොට්ට දමන්නේ “මට ආයෙ කිසි ම දවසක මේ අඬන-බබා විද්‍යාඥයා දකින්න ඕන නැහැ” යි කියමිනි.

ඕපන්හයිමර් දැන් ඇමෙරිකාවේ වඩාත් ම කීර්තිමත් හා සම්මානිත විද්‍යාඥයා යි. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමඟ සීතල යුද්ධය දැනට මත් පටන්ගෙන ඇත. යුද සමයේ සෝවියට් සංගමය සමඟ පැවති සන්ධානය මෙන් ම ස්ටැලින්වාදී හිතපක්ෂපාතකම් තිබූ හෝ තව මත් තිබෙන විද්‍යාඥයින් හා කලාකරුවන්ට තිබූ තාවකාලික සමාව ද අවසන් ය. ඕපන්හයිමර්ගේත් ඔහුගේ සගයින් හා ඥාතීන්ගේත් දේශපාලන අතීතය අලුත් වුනු සුපරීක්ෂාවකට ලක් වෙයි. ඔහු ඇමෙරිකානු පාලක පන්තියේ වඩාත් ම දක්ෂිනාංශික කොටස්වල, සෝවියට් සංගමයට හා චීනයට එරෙහිව පූර්වභංග න්‍යෂ්ටික අවි භාවිතය ඇතුලු “ආපසු පහර දීම” සඳහා පීඩනය යෙදූවන්ගේ උදහසට පාත්‍ර වෙයි. මේ වන විට ඊට වඩා බෙහෙවින් බලගතු හයිඩ්‍රජන් බෝම්බය (H-bomb) නිපදවීම වෙනුවෙන් අද්වකාත්කම් කරන්නට පටන්ගෙන සිටි අධම එඩ්වඩ් ටෙලර් (බෙනී සැෆ්ඩී) ඔහුගේ විරුද්ධවාදියකු බවට පත් වෙයි.

ඕපන්හයිමර්ගේ ආරක්ෂක නිෂ්කාශනය ඉවත් කිරීමෙන් හා ඇමෙරිකානු ධනේශ්වර මහජන මතය හමුවේ ඔහු දේශපාලන අපකීර්තියට පත් කිරීමෙන් කෙලවර වුනු 1954 පරමානුක බලශක්ති කොමිසමේ සංවෘත විභාගය පිලිබඳ දර්ශන මත් සිත් සසල කරනසුලු ය. නොලන් ආන්ඩුවේ ප්‍රශ්න කරන්නන් නිරූපනය කරන්නේ අධිකාරිවාදී හා ප්‍රතිපත්ති විරහිත ජනාන්දෝලකයින් වසයෙනි. මේ සමස්ත ක්‍රියාවලිය, 1950 ගනන්වල “නිදහස් ලෝකයේ නායකයා” ලෙස ඇමෙරිකාව සම්බන්ධයෙන් කෙරෙන නිල ඉදිරිපත් කිරීම බිඳදමයි. ඊට ප්‍රතිකූලව, ඇමෙරිකානු රාජ්‍යය නිරූපනය කෙරෙන්නේ අර්ධ හෝ අනාගත ෆැසිස්ට්වාදීන් රොද බැඳගත් තැනක් ලෙසිනි.

ඕපන්හයිමර්ට බලපෑම්, බියගැන්වීම් කරන හා ඔහු වරද කරා තල්ලු කරන විසකුරු මැකාර්තියානු දඩයමක යෙදෙන ආන්ඩුවේ අභිචෝදකයෝ තිදෙන ඕපන්හයිමර්, ඔහුගේ බිරිඳ සහ මිතුරන් හා සතුරන් යන දෙවර්ගයේ ම සගයින් ආක්‍රමනකාරී ප්‍රශ්න කිරීමකට ලක් කරති. 1938 පටන් ඔහුගේ දුරකථනයට ටැප් කරමින් ද රැස්වීම් හා සමාජ සම්භාෂනවල ඔහු සහ ඔහුගේ සගයින් පසුපස යමින් ඔහුගේ සංවාදවලට හොරෙන් සවන් දෙමින් ද එෆ්බීඅයි ආයතනය ඔහු පිලිබඳ ලිපිගොනුවක් පවත්වාගෙන ගිය බව අපට දැනගන්නට ලැබේ. ඔහුගේ නීතිඥයා (මේකන් බ්ලෙයාර්) එම වාර්තා වෙත ප්‍රවේශය ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප වෙයි. තිරය පසුපස සිට මේ කැංගරූ උසාවිය මෙහෙයවන්නේ පරමානුක බලශක්ති කොමිසමේ කොමසාරිස් හැටියට සිය බලතල ප්‍රකාර ක්‍රියාත්මක වන ප්‍රතිගාමී ස්ට්‍රවුස් ය.

නොලන්ගේ චිත්‍රපටිය, ද්‍රෝහිත්වය හා සෝවියට් සංගමය වෙනුවෙන් ඔත්තු බැලීම පිලිබඳ චෝදනා එල්ල කෙරුනු විද්‍යාඥයින්ට එරෙහි මැකාර්තියානු දඩයමට පැහැදිලිව ම සතුරු ය; 1950 ගනන්වල උමතු ප්‍රතිකොමියුනිස්ට්වාදයේ ගොදුරු බවට පත් හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට, ලේඛකයින්ට හා නලුනිලියන්ට එරෙහි මීට සමාන දඩයම්වලට ද අනුමිතියෙන් සතුරු ය. එෆ්බීඅයි සංවිධානයේ ජේ. එඩ්ගාර් හූවර්ගේ සහ පරමානුක බලශක්ති කොමිසමේ ස්ට්‍රවුස්ගේ ප්‍රයත්න තිබිය දීත් ඕපන්හයිමර් කිසි දාක සෝවියට් සංගමය වෙනුවෙන් ඔත්තු බැලීම පිලිබඳ චෝදනාවලට ලක් වූයේ නැත. එවක, එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත දෙනා සමඟ ඔහු සෝවියට් සංගමය දුටුවේ මිතුරකු ලෙස ය. ඇමෙරිකානු ස්ටැලින්වාදීහු ක්‍රෙම්ලිනයේ අවශ්‍යතාවන්ට අනුකූලව යුද්ධයට හා එක්සත් ජනපද-සෝවියට් සන්ධානයට අනුබල දුන්නෝ ය.

රොබර්ට් ඕපන්හයිමර්ගේ ජීවිතය තුල ගැබ්ව පවතින බැරෑරුම් ඓතිහාසික ගැටලුවලට අවංකභාවයෙන් හා බලවත් උත්සුකයෙන් යුතුව සැලකීම සම්බන්ධයෙන් නොලන්ට ප්‍රශංසාව හිමි විය යුතු ය. තව ද 1930 ගනන්වල හා 1940 ගනන්වල වාමාංශික බුද්ධිමය ජීවිතයේ දර්ශන ප්‍රතිකොමියුනිස්ට්වාදයක සලකුනකින් පවා තොරව විස්තරාත්මකව සංග්‍රහ කර තිබේ. (පියු විසින් නිරූපනය කෙරෙන) ජීන් ටැට්ලොක්ගේ අසන්තුෂ්ටිය හා මරනය විශේෂයෙන් කම්පනය දනවයි.

චිත්‍රපටය සම්බන්ධ දුෂ්කරතා තරමක් දුරට පැනනඟින්නේ කතාවෙන් වැඩි කොටස කථානායකයාගේ ඇසින් කීමටත්, එහි දී තිරය මත දිස්වන ප්‍රබන්ධිත ඕපන්හයිමර් මෙන් සිතීමට හා හැඟීමට ප්‍රේක්ෂකයින් දිරිමත් කිරීමටත් අධ්‍යක්ෂවරයා ගත් තීරනයෙනි. සිය තිරනාටකය උත්තම පුරුෂ දෘෂ්ටි කෝනයෙන් (ඕපන්හයිමර්ගේ දෘෂ්ටියෙන්) ලිවීමට නෝලන් ගත් තීරනය මෙය පිලිබිඹු කරයි. කලු-සුදෙන් ඉදිරිපත් කර ඇති 1958 දී ස්ට්‍රවුස් වඩා හටගත් සිදුවීම් හැරුනු කොට සෑම දර්ශනයක ම පාහේ ඕපන්හයිමර් සිටී.

මේ විද්‍යාඥ-දේශපාලනඥයා පිලිබඳ වඩා දැඩි, වඩා වෛෂයික දැක්මක් අවශ්‍ය ය. කම්කරු පන්තියට ඕපන්හයිමර් තමන්ගේ වීරයකු ලෙස භාරගත නො හැකි ය. ඔහු 1930 ගනන්වල අග අවංකව වාමාංශික අදහස් දැරුව ද, ඕපන්හයිමර් ඇමෙරිකානු මිලිටරි-ඔත්තු සේවා සංවිධාන ව්‍යුහයේ වැදගත් චරිතයක් බවට පත් විය. ප්‍රමුඛ වසයෙන් කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලුව ඇමෙරිකාවේ “වාමාංශය” සමස්තයක් ලෙස හිරෝෂිමා සහ නාගසාකි දවා හලු කිරීම පිලිබඳ ඔල්වරසන් දුන්නේ ය යන්න ද ඕපන්හයිමර්ට අඩු වැඩි වසයෙන් රූසවෙල්ට්-හිතවාදී මහජන පෙරමුනුවාදයේ සිට ඇඟට නොදැනී යුද යන්ත්‍රයට ඍජුව සහභාගි වීම වෙත ගමන් කල හැකි වී ය යන්න ද, යන මේ කිසිවක් ඔහුගේ භූමිකාවට ක්ෂමාව ප්‍රදානය නො කරයි.

ඇමෙරිකන් ප්‍රොමිතියස් කෘතියට අනුව 1950 ගනන්වල මුල වෙද්දී ඕපන්හයිමර් “කොරියාව තුල පරමානුක අවි යොදාගැනීමට පක්ෂව කතා නො කල අතර,”සටන් බිමක කුඩා, උපායික න්‍යෂ්ටික අවි සඳහා ‘පැහැදිලි අවශ්‍යතාවක්’ පැවති බවට” ඔහු තර්ක කලේ ය. “…ඕපන්හයිමර් ජනසංහාරක සංග්‍රාමයට ප්‍රතිජීවකයක් වසයෙන් උපායික න්‍යෂ්ටික අවි තෝරාගැනීම අනපේක්ෂිත ප්‍රතිවිපාක සහිත විය. ‘සටන සටන් භූමිය වෙත පෙරලා ගෙන ඒම’ මඟින් ඔහු න්‍යෂ්ටික අවි සැබැවින් ම යොදාගැනීමේ ඉඩකඩ වැඩි කරමින් සිටියේ ය.”

අඩු තරමේ 1945 නාසීන්ගේ යටත් වීමෙන් පසු අවස්ථාව දක්වා මෑන්හැටන් ව්‍යාපෘතියෙහි ඕපන්හයිමර්ගේ භූමිකාව සම්බන්ධයෙන් නොලන් දක්වන පොදුවේ අනුමත කරනසුලු ආකල්පය පැනනඟින්නේ දෙවැනි ලෝක යුද්ධය පිලිබඳ සාවද්‍ය සංකල්පනයකිනි: ඒ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි “එක්සත් හා ප්‍රජාතන්ත්‍රවාදී ඇමෙරිකාවක්, අනවග්‍රාහ්‍ය වූ විදේශික නපුරක් සමඟ යුද වැදී සිටියහ” යන රැවටිල්ල යි.

මිලියන ගනනක් දෙනා “හිට්ලර් හා ෆැසිස්ට්වාදය පරාජය කිරීමේ අභිලාෂයෙන් උත්තේජිතව සටනට ගිය ද, දෙවැනි ලෝක යුද්ධය එහි සමාජ හා ආර්ථික හරයෙන් ගත් විට අධිරාජ්‍යවාදී යුද්ධයක් ලෙස ම, මහා බලගතු රටවල් කාන්ඩ අතර ලෝකය බෙදාගැනීමේ හා යලි බෙදාගැනීමේ අරගලයක් ලෙස ම පැවතුනි. දැවැන්ත කාර්මික බලශක්තිය හා සම්පත් සහිත ඇමෙරිකානු ධනවාදයට”1930 ගනන්වල රූසවෙල්ට්ගේ ප්‍රතිසංස්කාරක අත්හදාබැලීම් දරාගැනීමේ හැකියාව තිබුන ද එයින් ඇමෙරිකානු පාලක ප්‍රභූවේ යුද අරමුනුවල හෝ පශ්චාත් යුද ලෝකය සම්බන්ධයෙන් එයට පැවති සැලසුම්වල හෝ කොල්ලකාරී බවත් සාපරාධි බවත් අඩු නො කෙරේ.”

ඇල්බර්ට් අයින්ස්ටයින් (ටොම් කොන්ටි) සහ ජේ. රොබර්ට් ඕපන්හයිමර් (කිලියන් මර්ෆි)

එක්සත් ජනපදය හා එහි මිත්‍ර පාර්ශ්වයන් යුද්ධය ක්‍රියාවට දැමූ ගොරතර, ලේවැකි ආකාරයෙන්, එනම් 1945 දී ජර්මනියේ ඩ්‍රෙස්ඩන් හා ජපානයේ තෝකියෝ සහ වෙනත් නගරවල කරන ලද සිය දහස් ගනන් සාමාන්‍ය ජනතාවගේ මරනවලට තුඩු දුන් භයංකර ගිනි බෝම්බ හෙලීම්වලින් මෙන් ම සත්තකින් ම හිරෝෂිමා හා නාගසාකි වෙත පරමානු බෝම්බ හෙලීමෙන් මෙය යම් දුරකට ප්‍රදර්ශනය විය.

මෑන්හැට්න් ව්‍යාපෘතිය සම්බන්ධ ඔහුගේ වැඩකටයුතු වෙත ඕපන්හයිමර්ගේ චිත්තවේගාත්මක මෙන් ම බුද්ධිමය ප්‍රතිචාරය යුද්ධයෙන් පසු වඩවඩාත් ඔහුට පීඩා ගෙනදෙන්නට වුව ද ඔහු කිසි දා සමාව ඉල්ලා සිටියේ හෝ පසුතැවිල්ල පල කලේ නැත. ජපානයට පරමානු බෝම්බය හෙලීම වූ කලි ඔහු සම්පූර්නයෙන් සහභාගී වූ යුද අපරාධයක් විය. ඔහුගේ අත්වල ලේ තිබිනි.

ඉතිහාසඥ ගේබ්‍රියල් ජැක්සන් උචිත අන්දමින් තර්ක කල පරිදි “පරමානු බෝම්බය භාවිත කිරීම පෙන්වා දුන්නේ මනෝවිද්‍යාත්මකව ඉතා සාමාන්‍ය වූත් ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් පත් කරගත්තා වූත් ප්‍රධාන විධායකයකුට ද නාසි ආඥාදායකයකු කරනු ඇති පරිද්දෙන් ම එම අවිය භාවිත කල හැකි බව යි. මේ අයුරින්, එක්සත් ජනපදය - විවිධ වර්ගවල ආන්ඩු අතර සදාචාරාත්මක වෙනස්කම් ගැන උත්සුක වන ඕනෑ ම ගෙනෙකුට - ෆැසිස්ට්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර වෙනස බොඳ කර දුන්නේ ය.”

එක ම එක දේශපාලන ප්‍රවනතාවක් පමනක් අධිරාජ්‍යවාදී සංහාරයක් හා ගෝලීය අධිකාරය සඳහා අරගලයක් හැටියට යුද්ධය හෙලාදැක්කේ ය. හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දැමීම්වලින් පසු එවක එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වූ සමාජවාදී කම්කරු පක්ෂයේ ප්‍රකාශනය වූ ද මිලිටන්ට් පුවත්පත “සාමයක් නැත! තවත් අධිරාජ්‍යවාදී යුද්ධයක පරමානුක විනාශයෙන් මනුෂ්‍ය වර්ගයා බේරාගත හැක්කේ ලෝක සමාජවාදයට පමනි! ඇමෙරිකාවේ කම්කරුවනි! ඔබ බලය සියතට ගත යුතු ම යි!” යන සිරස්තලය පල කලේ ය.

හිරෝෂිමා බෝම්බ හෙලීමේ 75 වැනි සංවත්සරය සලකුනු කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට්‍රොට්ස්කිවාදී නායක ජේම්ස් පී. කැනන් 1945 අගෝස්තු 22 දින කල ප්‍රකාශය උපුටා දැක්වී ය:

පරමානු බෝම්බ දෙකක් යොදාගනිමින් ගනන් බලා එල්ල කර ප්‍රහාර දෙකකින් ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මිලියන බාගයක් මිනිසුන් මරා දැමී ය, නැතහොත් තුවාල කලේ ය. වෝල් වීදියේ අධිරාජ්‍යවාදීන් ද ජපානයේ ඊට සමාන කල්ලියක් ද අතර ආරාවුලක් හේතුවෙන් තරුනයින් ද මහල්ලන් ද ආබාධිතයින් ද, තොටිල්ලේ සිටින දරුවන් ද, අලුතින් විවාපත් වූවන් ද, නිරෝගීන් ද රෝගීන් ද, පිරිමින්, ගැහැනුන් හා ලමුන් - මේ සියලු දෙනාට ප්‍රහාර දෙකකින් මිය යාමට සිදු විය… මොන තරම් නම් කිව නො හැකි තරමේ කුරිරුකමක් ද! ඇමෙරිකාව, වරෙක ලෝකය ප්‍රබුද්ධත්වයට පත් කරමින් නිව් යෝක් වරායෙහි ලිබර්ටි ප්‍රතිමාවක් තැන්පත් කල ඇමෙරිකාව, පත්ව ඇත්තේ කෙතරම් ලජ්ජාවකට ද. දැන් ලෝකය ඇගේ නම අසන පමනින් සන්ත්‍රාසයෙන් හැකිලෙයි…

බොහෝ කලකට පෙර විප්ලවවාදී මාක්ස්වාදීන් ප්‍රකාශ කලේ මිනිස් වර්ගයා මුහුන දී සිටින විකල්ප වන්නේ එක්කෝ සමාජවාදය, නැතහොත් අලුත් ම්ලේච්ඡත්වයක් බව යි; එනම් ධනවාදය නටබුන් බවට පත් වෙමින් ශිෂ්ටාචාරය ඒ සමඟ ඇදගෙන යාමට තර්ජනය කරන බව යි. එහෙත් මේ යුද්ධයෙහි දී වර්ධනය කෙරී ඇති දෙයෙහි සහ අනාගතය සඳහා ප්‍රක්ෂේපනය කර ඇති දෙයෙහි එලියෙන් බලන විට විකල්පයන් ඊටත් වඩා නිශ්චිත ලෙස ඉදිරිපත් කල හැකි බව මම සිතමි: මිනිස් වර්ගයා හමුවේ ඇති විකල්ප වන්නේ සමාජවාදය නැතහොත් මූලෝත්පාටනය යි!…

අද දවසේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ වැඩෙහි නිරත විද්‍යාඥයින් තමන්ගේ “ඕපන්හයිමර් නිමේෂය” අත්විඳිමින් සිටිතියි ක්‍රිස්ටෝෆර් නොලන් කියා ඇත. එහෙත් ලෝක ගෝලයෙහි සමස්ත ජනගහනය වසර 75කට වැඩි කාලයක් මුලුල්ලේ ඕපන්හයිමර්ගේ උරුමයෙහි සෙවනැල්ලේ ජීවත්ව තිබේ. නොලන් මේ ගැන තියුනු අන්දමින් දැනුවත් ය. ඔහු උපදේශ දීමෙන් වලකින නමුත් “අවවාදාත්මක කතාන්තරයක්” ලෙස ඔහු හඳුන්වන චිත්‍රපටියේ අවසානය එහි පනිවිඩය සම්බන්ධයෙන් බෙහෙවින් නිශ්චිත ය.

ඇල්බර්ට් අයින්ස්ටයින් හා ඕපන්හයිමර් අතර ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි දී පුනර්කරනය වන ගුප්ත මුනගැනීමකට යුද්ධයෙන් පසු චිත්‍රපටය පෙරලා පැමිනෙයි. අවසානයේ සංවාදය අනාවරනය කරන පරිදි, දාම ප්‍රතික්‍රියාව ජ්වලනය කෙරුනු පසු පාලනයකින් තොරව වායුගෝලය සිසාරා පැරිරෙනු ඇතැයි ඔහුගේ විද්‍යාඥයින් කන්ඩායම අතර මුල් අවධියේ පැවති බියක් පිලිබඳ ඔහු අයින්ස්ටයින්ගේ උපදෙස් පැතූ අයුරු ඕපන්හයිමර් සිහිපත් කරයි.

සාමය හා සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින මහා විද්‍යාඥයාට ඔහු මෙසේ කියයි: “මම ගනනය කිරීම් අරගෙන ඔබ ලඟට එද්දී, අපි හිතුවේ අපි මුලු ලෝකය ම විනාශ කරන්න ඉඩ තියෙන දාම ප්‍රතික්‍රියාවක් පටන්ගන්න ඉඩ තියෙන බව යි. … මං විශ්වාස කරන්නෙ අපි ඒක කලා කියලයි.”

න්‍යෂ්ටික අවිවල භයංකර බව හා ධනවාදයේ මර ලතෝනිය තුල ඒවා මනුෂ්‍යත්වයට එල්ල කරන තර්ජනය අනාවරනය කිරීම සම්බන්ධයෙන් නොලන්ට සහ ඕපන්හයිමර් චිත්‍රපටියට ප්‍රසාදය හිමි වෙයි.

Loading