සංගීතඥ රොජර් වෝටර්ස් ජර්මනිය තුල දඩයමට ලක් වී ඇත්තේ මන්ද?

[ මෙය 2023 ​ජුනි 3 වැනි දා Why is musician Roger Waters being witch-hunted in Germany? යන මැයෙන් පල කෙරුනු ඉංග්‍රීසි ලිපියේ පරිවර්තනයයි.]

රොක් සංගීතඥ රොජර් වෝටර්ස්ගේ ජර්මනි සංචාරය ෆ්‍රැන්ක්ෆර්ට් හි මැයි 28 වනදා පැවැත්වුනු සංදර්ශනයකින් සාර්ථක ව නිමාවකට පත් විය. දස දහස් ගනනින් රසිකයන් ඔහුට ඔල්වරසන් දෙද්දී, දේශපාලනඥයන් සහ මාධ්‍ය පෙර නොවූ විරූ දඩයමක් ඔහුට එරෙහි ව මුදා හැර ඇත. වාම පක්ෂයේ සිට අන්ත දක්ෂිනාංශික ජර්මනිය උදෙසා විකල්පය (ඒඑෆ්ඩී) දක්​වා බුන්ඩ්ස්ටාගය (ෆෙඩරල් පාර්ලිමේන්තුව) නියෝජනය කරන සියලු පක්ෂ සහ අතිමහත් බහුතර මාධ්‍ය මෙයට සම්බන්ධ වී ඇත. 79 හැවිරිදි පින්ක් ෆ්ලොයිඩ් සංගීත කන්ඩායමේ සම-නිර්මාතෘවරයා වෙත එල්ල කල මොන ම අවලාදයක් හෝ, අභූත බොරුවක් හෝ ඔහු සම්බන්ධ ව වලංගු නැත.

ෆ්‍රෑන්ක්ෆර්ට් නගරාධිපති වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මයික් ජොසෙෆ් විසින් වෝටර්ස් “යුදෙව් විරෝධියෙකු” ලෙසත් ඔහුගේ සංදර්ශනය “ශිෂ්ටාචාරය උල්ලංඝනය කරනු ලැබීමක්” (breach of civilization) ලෙසත් හෙලා දකිනු ලැබූ නමුත්‍, වෝටර්​ස් සිය නම සලකුනු කොට ඇත්තේ හුදෙක් විශිෂ්ට සංගීතඥයෙකු ලෙස පමනක් නොව අයුක්තියට, මර්දනයට, යුද්ධයට සහ ෆැසිස්ට්වාදයට එරෙහි සටන් කරුවෙකු ලෙස ය. මේ වන තෙක් ම ජර්මනිය තුල “ශිෂ්ටාචාරය විනාශ කිරීම” ලෙස හැඳින් වූයේ හොලෝකෝස්ටයයි. ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් “අපේ කාලයේ ප්‍රමුඛ ම යුදෙව් විරෝධීන්ගෙන් කෙනෙකු” යැයි වෝටර්ස්ව හෙලා දුටුවේ ය.

රොජර් වෝටර්ස් බර්ලින් හි දී

වෝටර්ස් නැවත නැවතත් තමන් යුදෙව් විරෝධියෙකු නොවන බවත් වර්ගවාදයේ සහ පීඩනයයේ සෑම රූපාකාරයක ම විරුද්ධවාදියෙකු බවත් පවසා ඇත. කෙසේ වෙතත් ඔහුට එරෙහි ප්‍රහාර ක්‍රමයෙන් වැඩෙමින් පවතී. ඔහුගේ ප්‍රසංගය තහනම් කිරීමට ප්‍රාන්ත රජය උත්සාහ කිරීමෙන් පසු, ෆ්‍රැන්ක්ෆර්ට්හි අධිකරනයෙන් ඔහුට පක්ෂ ව තීන්දුවක් ලැබුනද එය ඔහුගේ විරුද්ධවාදීන් වලක්වා නැත.

බොරු සහ විකෘති කිරීම් කෆ්කියානු ගති ලක්ෂන දරයි. උදාහරනයක් ලෙස, ප්‍රසිද්ධ විද්‍යුත් විකාශන ආයතනයක් වන ඩොයිෂ්ලන්ඩ්ෆුන්ක් (Deutschlandfunk) සෙබස්ටියන් එන්ගල්බ්‍රෙච්ට් ගේ විවරනයක් “යුදෙව් විරෝධී ලෝක දෘෂ්ටියක අරුත් තේරීම” යන මැයෙන් පල කලේ ය. “ධනවාදය එපා! ෆැසිස්ට්වාදය එපා! යුද්ධය එපා!” යනුවෙන් යන සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් වෝටර්ස් සංදර්ශනයේ දී කල කැඳවුම් “ෆැසිස්ට් වාචාලකම්” ලෙස නිර්වචනය කල ඔහු, මෙසේ තම තර්කය ඔප්පු කලේ ය: “වෝටර්ස් අන්ත දක්ෂිනාංශික ජනතාවාදීන්ගේ අදහස්වල ග්‍රාම්‍ය සරලකරනයන් ඉදිරිපත් කරන්නෙක්.” මෙම පදනම් විරහිත තර්කනයට අනුව, ඔබට සුදු කලු ලෙස සහ කලු සුදු ලෙස වුව ද ‘අර්ථ ගන්වා’ ගත හැකි ය.

මාධ්‍ය විසින් කෑදර ලෙස ගසාකන ලද වෝටර්ස්ට එරෙහි උසිගැන්වීම් පිලිබඳ සැකය මත බර්ලින් පොලිසිය නිල වශයෙන් පරීක්ෂන පවා ආරම්භ කර ඇත. පොලිස් සැකයන්ට අනුව, වෝටර්ස්ගේ වේදිකා ඇඳුම ජාතික සමාජවාදයට (නාසිවාදය) ගොදුරු වූවන්ගේ ආත්ම ගෞරවය කෙලෙසන අතර නාසි පාලනය උත්කර්ෂයට නංවන්නකි.

පොලිසියේ “සැකය” එල්ල ව ඇත්තේ, මුග්ධ ෆැසිස්ට් වාචාලයෙකු ගේ චරිතය නිරූපනය කරමින් වෝටර්ස් 'ඉන් ද ෆ්ලෙෂ්' ගීතය අතරතුර පැලඳ සිටි ලෙදර් කබාය ගැනයි. වෝටර්ස් වසර 43 ක් තිස්සේ මෙම ගීතය ගායනා කර ඇත. එය පින්ක් ෆ්ලොයිඩ් සංගීත කන්ඩායමේ ද වෝල් නම් රොක් ඔපෙරාවෙන් උපුටා ගත්තකි. ද වෝල් චිත්‍රපටයේ දී සංගීතඥ බොබ් ගෙල්ඩොෆ්—දැන් සර් බොබ් ගෙල්ඩොෆ්— චරිතයට පන පෙවීය. සියලු ආකාරයේ ෆැසිස්ට්වාදයට, අයුක්තියට සහ ආගම්වාදයට එරෙහි ව මෙහෙයවන ලද ගීතය නාසිවාදීන් හෙලා දකිනවාට වඩා ඔවුන් උත්කර්ෂයට නංවන බව මේ වසර 43 තුල කිසිවකු නොසිතන්නට ඇත. මෙම නිගමනයට එලඹීමට සමත් වූයේ බර්ලින් පොලිසිය සහ ඔවුන්ගේ දේශපාලන අනුග්‍රාහකයන් පමනි.

දකුනු අප්‍රිකානු වර්නභේද විරෝධී ව්‍යාපාරයේ ක්‍රියාවන් මත පදනම් වන පලස්තීනුවන් මර්දනයට එරෙහි බීඩීඑස් (වර්ජනය, ඉවත් කිරීම සහ සම්බාධක) ව්‍යාපාරයට වෝටර්ස්ගේ සහයෝගය ද යුදෙව්-විරෝධයේ ප්‍රකාශනයක් නොවේ. යථාර්ථයේ දී, වෝටර්ස්ගේ විරුද්ධවාදීන් උත්සුක වන්නේ, පොලිස් ඇමති ඉටාමර් බෙන් ග්විර් වැනි විවෘත වර්ගවාදීන් සහ දක්ෂිනාංශික අන්තවාදීන් සමග ඊශ්‍රායල ආන්ඩුව පිලිබඳ ඕනෑ ම විවේචනයක් යටපත් කිරීමට ය.

වෝටර්ස්ට එරෙහි ව මෙතරම් දරුනු ලෙස සටන් කර පහර දෙන්නේ ඇයි? නිසැක ව ම, එය පුද්ගලික ප්‍රහාරයක් පමනක් නොවේ. වෝටර්ස්ව දඩයම් කරමින් සිටින නමුත් සැබෑ ඉලක්කය වන්නේ යුද්ධයට, ෆැසිස්ට්වාදයට සහ සමාජ අසමානතාවයට පුලුල් ව පැතිරුනු විරුද්ධත්වයයි.

අමාත්‍යංශ වල උපදේශකයන්, පක්ෂ කාර්යාල සහ කර්තෘ මන්ඩල ප්‍රංශයේ මිලියන ගනනක් සති ගනන් තිස්සේ ජනාධිපති මැක්‍රෝන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු ආඥාවට එරෙහි ව කැරලි ගැසීම දෙස බලා සිටියේ භීතියෙනි. පැය 24 පුරා නොනවතින පච ප්‍රචාරන ව්‍යාපාර තිබියදීත්, නැටෝ මිලිටරි සන්නද්ධ කරනය සහ යුක්‍රේනය තුල යුද්ධය සැකයට සහ විරුද්ධත්වයට පාත්‍ර වී ඇති බව ඔවුහු දනිති. එමෙන්ම ඔවුහු උද්ධමනය සමග ඈඳුනු සැබෑ වැටුප් කප්පාදුවට එරෙහි දැවැන්ත විරුද්ධත්වය වෘත්තීය සමිති පාලනයෙන් පිට පනිනු ඇතැයි බිය වී සිටිති. ඔවුහු සිටින්නේ සමාජ නැගිටීමක් පිලිබඳ භීතියෙනි.

එබැවින්, වෝටර්ස් උදාහරනයක් ලෙස ගත යුතු ය. නුදුරේදී ම වයස අවුරුදු අසූවට එලඹීමට නියමිත ඔහු තම වෘත්තිය ජීවිතය ගොඩනගාගෙන පසු ව ධනවත් වූ ඔහුගේ පරම්පරාවේ අනෙක් අය මෙන් නොව, සිය තරුන කාලයේ කැරලිකාරී ජීව ගුනය රඳවා ගනිමින් වෘකයන් රැලට එක් ව කෑ ගැසීමට ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ කෝපය අවුලුවා ඇත.

වෝටර්ස්ට එරෙහි අපහාසයන් වනාහි විශේෂයෙන්ම ධනපති පාලනයේ වඩාත් වැදගත්ම දෘෂ්ටිවාදාත්මක කුලුනු වන සංස්කෘතික සහ විද්‍යාත්මක සංස්ථාපිතය සහ මාධ්‍ය තුල විකල්ප අදහස් ප්‍රකාශ කරන හෝ ඒ වෙනුවෙන් ආස්ථානයන් දරන ඕනෑම අයෙක් බිය ගැන්වීම එල්ල කොට ඇත. එම නිසා, යටත් වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වෝටර්ස්ට ගෞරවය හිමි විය යුතු ය.

දෙවනු ව, වෝටර්ස්ට එරෙහි උද්ඝෝශනය එල්ල කොට ඇත්තේ නාසීන්ගේ ඓතිහාසික අපරාධ සුලු කොට තැකීම සඳහා සහ ඒ අතර ම නව අපරාධ සඳහා සූදානම් වීමට ය. ජර්මනිය යලි සන්නද්ධ කිරීම සහ මිලිටරිවාදයේ මහා බලයේ ප්‍රතිපත්තියට ආපසු පැමිනීම සඳහා නම් ඉතිහාසය යලි අර්ථ නිරූපනය කිරීමක් සහ සියලු වටිනාකම් යලි ඇගයුමක් අවශ්‍ය වේ. 1970 ගනන් වල පටන් සාමාන්‍ය සමාජ සම්මුතියෙන් ගොඩ නැගුනු “නැවත යුද්ධය එපා, ෆැසිස්ට්වාදය ද නැවත එපා” වැනි මූලධර්ම තව දුරටත් ඉවසනු ලබන්නේ නැත.

ජර්මනියේ නරක ම ඓතිහාසික අපරාධ හා සම්බන්ධ සංකල්පයන් වන “ශිෂ්ඨාචාරය විනාශ කිරීම කිරීම”, “යුදෙවු විරෝධය” මුලුමනින් ම කටුගා දමා ඇත. හොලෝකෝස්ටය නැතහොත් නාසීන් විසින් දියත් කරනු ලැබූ යුදෙවු ජන සංහාරය නොතැකිය යුත්තක් සේ සුලු කොට තකන ඒඑෆ්ඩීයේ නාසීන් වෙනුවට ඔවුන්ගේ විරුද්ධවාදීන්ට යුදෙවු විරෝධීන් ය යන හංවඩුව ගසනු ලබන්නේ එ නිසා ය. ෆැසිස්ට් විරෝධී වෝටර්ස් යුදෙව් විරෝධී ලෙස ලේබල් කරනු ලැබ ඇති අතර සැබෑ යුදෙව් විරෝධීහු සහ ෆැසිස්ට්වාදීහු සමාජ බුහුමනට ගෙන එනු ලැබෙති.

මෙය ස්ටෙපාන් බන්ඩේරා වැනි නාසි සහයෝගීතාකරුවන් හා සමූහ ඝාතකයන් ගේ ප්‍රතිමා ඉදි කරන සහ ඔවුන් නමින් වීදි ගනනාවක් නම් කර ඇති යුක්‍රේනයේ සෙලෙන්ස්කි ආන්ඩුව සම්බන්ධයෙන් වඩාත් විශද ය. ජර්මානු ආන්ඩුව මෙම යුක්රේන ආන්ඩුව සමග සමීප ව වැඩ කරයි. එස්එස් සලකනු පැලැඳ සිටින ඇසොව් බැටෑලියන් වැනි රැඩිකල් දක්ශිනාංශික කන්ඩායම් සන්නද්ධ කෙරෙන අතර ඔවුහු විමුක්ති සටන් කරුවන් ලෙස උත්කර්ෂයට නැංවෙති.

යුරෝපය නාසි තස්ත්‍රයෙන් ගලවාගත් රතු හමුදාවේ නායකයින් යුද අපරාධකරුවන් ලෙස හෙලා දැකීම එල්ල කොට ගත් ඓතිහාසික මතකයන් පිලිබඳ එස්තෝනියානු ආයතනය පැවැත් වූ ගිම්හාන පාසලෙහි සම සංවිධායකයා වූයේ එස්තෝනියාවේ ජර්මානු තානාපති කාර්යාලයයි.

සමාජවාදී සමානතා පක්ෂය වසර ගනනාවක් පුරා ෆැසිස්ට්වාදයේ යලි මතුවීමට සහ පුනරුත්ථාපනයට එරෙහි ව සටන් වැද ඇත. අපි අපගේ පාඨකයින්ට මෙම වර්ධනයන් සවිස්තර ව පැහැදිලි කරන ජර්මනියේ සසප සභාපති ක්‍රිස්ටෝපර් වැන්ඩ්‍රියර් විසින් රචිත ඔවුන් නැවත පැමින ඇත්තේ මන්ද? ඓතිහාසික මුසාකරනය, දේශපාලන කුමන්ත්‍රන සහ ජර්මනියේ ෆැසිස්ට්වාදයේ යලි නැගීම කෘතිය හදාරන ලෙස නිර්දේශ කරන්නෙමු. අද දිනයේ සිදුවීම් වටහා ගැනීමට තීරනාත්මක පදනම් විස්තාරනය කරන එය 2018 ඔක්තෝබර් මාසයේ දී මෙහ්රින්ග් ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කෙරිනි.

මාධ්‍ය සහ සුලු ධනේශ්වර කන්ඩායම් අතර රොජර් වෝටර්ස් ආරක්ෂා කිරීමට හෝ ඔහුව වෛෂයික ව නියෝජනය කිරීමට උත්සුක වන කිසිවෙකු හෝ සොයා ගැනීම අසීරු වීම සුවිශේෂී ය. හරිතයන්ගේ ප්‍රකාශනය වන ටාස් ඔහුව “පුටින්ගේ බ්‍රිතාන්‍ය රාත්‍රී වෘකයෙක්” ලෙස හෙලා දැක්කේ ය.

ෆැසිස්ට් විරෝධී සහ සාමවාදී කන්ඩායමක් ලෙස මතුවුනු හරිතයන් රුදුරු ම යුද කාමීන් බවට පත් ව ඇත. ඔවුහු පලල් මහජනතාවගේ ජීවන තත්වයන් කඩා වැටෙද්දී ම, “නිදහස් වෙලඳපොල” පිලිවෙත්, කොටස් වෙලඳපොල සහ ඉඩම් උත්පාතයෙන් තර කෙරුනු නාගරික මධ්‍යම පන්තිය නියෝජනය කරති. ඔවුන්ගේ ඉරනම ජර්මානු අධිරාජ්‍යවාදයේ රුදුරු කොල්ලකාරී අවශ්‍යතා සමග අවියෝජනීය ව බැඳී ඇත.

මිලිටරිවාදයේ, යුද්ධයේ සහ ෆැසිස්ට්වාදයේ යලි මතුවීම නැවත්විය හැක්කේ ධනවාදය පෙරලා දැමීම සඳහා සටන් වදින කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයකින් පමනි.

Loading