ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහි ප්‍රහාරයක්

“මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනකදී ජයනි නතාෂා එදිරිසූරිය ශිල්පිනිය “බෞද්ධාගමට අපහාස කලේය” යන චෝදනා මත රහස් පොලිසිය විසින් මැයි 27දා කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුනි.

නතාෂා එදිරිසූරිය (ෆේස්බුක් )

අර්බුදයේ කිඳීසිටින මෙරට ප්‍රතිගාමී බෞද්ධ සංස්ථාපිතයේ කොටස් හා ආන්ඩුව, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙටීම තීව්‍ර කිරීමට මෙම සිදුවීම දඩමීමා කරගනිමින් බුද්ධාගම රැකීමේ නමින් උද්ඝෝෂනයක් අරඹා ඇත.

පොලිස් පරිගනක අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුදා කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඇය ජූනි 7දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේ ය. එදිරිසූරියට, මෙම ප්‍රකාශය සිදුකිරීම සඳහා “ආධාර අනුබල දුන් තැනත්තන්ට” සහ එම ප්‍රහසනය නැරඹීමට ගිය පුද්ගලයන් පිලිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍යට කීවේ ය.

එදිරිසූරියට එරෙහිව බුද්ධාගමට අපහාස කිරීම පිලිබද උද්ඝෝෂනයට ආසන්නතම හේතුවවූයේ, ඇය මෑතකදී ඉදිරිපත්කල ස්ටෑන්ඩ්-අප් (Stand up) ප්‍රහසනාත්මක වැඩසටහනකදී, බෞද්ධ සාහිත්‍යයේ එන ජනප්‍රවාදමය කාරනයක් ද බෞද්ධ පාසැල්වල ශිෂ්‍යාවන්ගේ පැවැත්ම සම්බන්ධ අචාරධර්ම ද පිලිබඳව සෝපාහසය දනවන ආකාරයෙන් කරනු දැක්වීම යි.

ඇයට එරෙහිව බුද්ධාගමට අපහාස කිරීම පිලිබදව ගෙන යන වර්ගවාදී ප්‍රකෝපකාරී උද්ඝෝෂනය හමුුවේ එදිරිසූරිය අන්තර්ජාල වීඩියෝවක් මගින් තමන් සිදුකල 'විවාදාත්මක' ප්‍රකාශ පිලිබඳව සමාව ඉල්ලා ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම හෙලාදකින සමාජවාදී සමානතා පක්ෂය, එදිරිසුරිය වහා නිදහස් කල යුතුයැයි ඉල්ලා සිටියි.

පොලිස් ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍යයට කීවේ, බෞද්ධ කටයුතු පිලිබඳ මහකොමසාරිස් මැයි 27දා එදිරිසූරියට එරෙහිව පොලිස්පතිට ලිඛිතව පැමිනිල්ලක් සිදුකර තිබුනු බවත් එයට අමතරව පැමිනිලි අටක් පමන පොලිස් විමර්ශන කොට්ඨාසයට සහ අපරාධ විමර්ශන ඒකකයට ලැබී තිබූ බවයි.

මෙයින් එක පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබුනේ, බලංගොඩ කස්සප නම් භික්ෂුව විසිනි. “බුදුරජානන් වහන්සේගේ චරිතයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කල අයට ... ප්‍රසිද්ධියේ දඬුවම් කරන්නැයි” බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බව මෙම භික්ෂුව මාධ්‍යයට කීවේ ය.

අවුරුදු කිහිපයකට පෙර, සිංහල-බෞද්ධ ස්වොත්තේමවාදී උද්ඝෝෂනවල මුලින්ම සිටි අන්තවාදී සංවිධානයක් වන සිහලරාවය ඇයට එරෙහිව පැමිනිලි දැමූ තවත් සංවිධානයකි.

මෙම ප්‍රකෝපකාරී උද්ඝෝෂනය ඇවිලෙද්දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ආගමික සහජීවනය කඩාකප්පල් කරන පුද්ගලයින් හෝ කන්ඩායම්වල ක්‍රියාවන් විමර්ශනය කිරීමට හා ඒවා ගැන ක්‍රියකිරීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ක්ෂනික පියවර ගන්නා ලෙස” මැයි 29දා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට උපදෙස් දුන්නේ ය. පොලිස් ඒකකය පිහිටුවීම යන්නෙන් අදහස් කෙරෙන්නේ, ප්‍රකාශනයේ සහ භාෂනයේ නිදහස සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පොලිස් හමුදා යකඩ සපත්තුවෙන් පාගා දැමීම මිස අන් කිසිවක් නොවේ.

මීට දින කිහිපයකට පෙර ක්‍රිස්තියානි නිකායක නායක පුජකයෙකු වන ජෙරොම් ප්‍රනාන්දු තම නිකාය ඔසවා තැබීම සඳහා පැවැත්වූ දේශනයක දී බුද්ධාගමට, හින්දු ආගමට හා ඉස්ලාම් ධර්මයට අපහාස කලේය යන ප්‍රචාරය පැතිරෙත්ම වික්‍රමසිංහ ඒ පිලිබඳව පරීක්ෂන පැවැත්වීමට ආරක්ෂක ප්‍රධානීන්ට නියෝග කලේය. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඒ පිලිබඳව විමර්ශන කරන බව ද දැනට පිටරට සිටින පූජකයා ලංකාවට පැමිනි වහාම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද වාර්තා වී ඇත. ආන්ඩුවේ මැති ඇමතියන් රොත්තබුරුත්ත පිටින් බුද්ධාගම හා ආගමික හා වාර්ගික සංහිඳියාව ආරක්ෂා කිරීම පිලිබඳ ප්‍රකාශ දෙමින් උද්ඝෝෂනයට පෙරට පැන ඇත.

ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන් ලෙයින් මැඩීමට සපථකර වැඩට බැස සිටින වාචාල මැති ඇමතියන් ගනනාවක් ම ඔවුන්ගේ ප්‍රකාශ එල්ල කලේ හුදෙක්ම එදිරිසූරියට පමනක් නොවේ. සමස්ත දේශපාලන විරුද්ධත්වයට ම ය. මෙය පැහැදිලිව ඉදිරිපත් කෙරුනේ, පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අන්ත බෞද්ධ ස්වෝත්තමවාදියෙකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර විසිනි. “ අරගලයේදීත් අපි දැක්කා කොහොමද බුදු දහමට..බුදුරජානන් වහස්සේට නිගාකරන අයුරු” යැයි වීරසේකර කීවේ ය. මහජන අරගලය අපකීර්තියට ලක් කිරීමේ අරමුනින් මන්ත්‍රීවරයා කීවේ එය “සම්පූර්නයෙන්ම සංවිධානය කලේ, ලංකාව බෞද්ධ රටක්වීම ගැන හිසරදයක්වූ බටහිර රටවල්” විසින් බවයි. ව්‍යවස්ථාවේ 9 වැනි පරිච්ඡේදයේ සහ දන්ඩනීති සංග්‍රහයේ 289 යටතේ එදිරිසූරිය ඇතුලු පුද්ගලයන්ට “දැඩි දඬුවම් ලබා දිය යුතු” බව වීරසේකර සඳහන් කලේ ය . “එහෙම නැත්තම් බෞද්ධයෝ මේ නීතිය අතට ගනී” යනුවෙන් ඔහු තර්ජනාත්මකව ප්‍රකාශ කලේය.

ආර්ථික හා දේශපාලන අර්බුදයේ ගිලි සිටින වික්‍රමසිංහ ආන්ඩුව හා සමස්ත පාලක පන්තිය ගිය අවුරුද්දේ පුපුරා ගිය මහජන නැගිටීම බඳු නැගිටීමක් පිලිබඳව බියෙන් ග්‍රස්තවී සිටිති. ඒකාධිපති පාලන බලතල ගොනු කරගනිමින් සිටින වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වල දමමින් නීතිරීති තදකර ගැනීමට හා පොලිස්-මිලිටරි මර්දනය උසිගැන්වීමට හැරී සිටී. එනිසා එදිරිසුරියගේ ප්‍රහසනය ඩැහැගැනීම අහම්බයක් නොවේ.

ආගමික හා වාර්ගික සංහිඳියාව රැකීමේ මහාර්ඝ ක්‍රියාවක යෙදන බවට ආන්ඩුවේ හා ජනමාධ්‍යවල දෙසාබෑම් අමු පචයකි. එවන් ඉතිහාසයක් හෝ වර්තමානයක් පාලක පන්තියේ කිසිදු කොටසකට නැත. ඉන් පෙර කාලය පසෙක තැබුවත්, බ්‍රිතාන්‍ය විජිත පාලකයන් අතින් තමන් අතට බලය මාරුකර ගත් 1948 පටන් අධිරාජ්‍ය ගැති බෙලහීන මේ පාලක පන්තිය හා එහි අනුප්‍රාප්තික ආන්ඩු, කම්කරු පන්තියේ අරගල හා අභියෝග මතුවන පමනට, ඒවා භේද කොට තම පාලනය රැක ගැනීමට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී හලාහල විස වඩවඩාත් උත්සන්න කර පතුරුවා හැරියෝය.

එවක යුඇන්පී ආන්ඩුව, 1948 ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසිකල අතර එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආන්ඩුව 1956 දී දෙමල ජනයාට එරෙහි වෙනස්කම් කිරීම තවත් එහා ගෙනයමින් සිංහල පමනක් රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාගත කලේය. 1972 දී එවක ශ්‍රීලනිප, ලංකා සමසමාජ පක්ෂය හා ස්ටැලින්වාදීන්ගේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලත් ධනපති සභාග ආන්ඩුව සිංහල භාෂාවට මුල්තැන දීමට අමතරව බුද්ධාගමට ප්‍රමුඛතාව සහිත ව්‍යවස්ථාවක් තහවුරු කර වාර්ගික බෙදීම් තවත් ගැඹුරු කිරීමට පියවර ගති.

ජේ.ආර්.ජයවර්ධනගේ ආන්ඩුව සැලසුම් සහගත ප්‍රකෝපකරනයන් මගින් බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි අවුරුදු 26ක දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයක් අවුලුවන ලද්දේ මෙම වාර්ගික බෙදුම්කරනයන් අලුත් මට්ටමකට කුලු ගන්වමිනි. මේ සමගම, මුස්ලිම් ජනයාට එරෙහි විෂඝෝර ප්‍රකෝපකරනය ද ඉහල නංවා ඇත. ප්‍රකෝපකරනයන්ගේ ලැයිස්තුව තවත් දීර්ඝ ය.

ආරක්ෂක හමුදා සහ බෞද්ධ භික්ෂූන් ඇතුලු ආන්ඩුවේ පිටුබලය ලද කොටස්, පසුගිය සති කීපය පුරා, උතුරු නැගෙනහිර පලාත්වල
වාර්ගික ප්‍රකෝපකරනයන් යලි තීව්‍ර කර ඇත.

එදිරිසූරිය, මෙම ආගමික හා වාර්ගික උමතුවෙන් දන්ඩනයට පත්වූ මෑතම ගොදුර පමනි. ෆේස්බුක් ගිනුමේ පලකරෙුනු ඔහුගේ කෙටිකතාවකින් බුදුදහමට අපහාස කල බවට චෝදනා කරමින් බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල පැමිනිලි මත ශක්තික සත්කුමාර ලේඛකයා පොලිසිය විසින් 2019 වසරේ අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබිනි. සත්කුමාරට සමාන ආකාරයෙන්ම, චිත්‍රපට අධ්‍යක්ෂ හා නාට්‍යවේදී මාලක දේවප්‍රියට එරෙහිව “බුදුදහමට අපහාස කලේය” යන අභූත චෝදනා නගමින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කලේ ය.

2020 මැයි 16 දින කවියෙකු වූ අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදය වැලැක්වීමේ වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද්දේ ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන්නෙකැයි යන අභූත චෝදනාවක් මතය. ඔහු ඇප මත මුදා හරින ලද්දේ මාස 19කට පසුවය.

තවත් කලාකරුවන් හා පුද්ගලයන් ගනනාවක්ම මෙයාකාරයෙන් අත්අඩංගුවට ගැනුනු අතර, බෞද්ධ-ස්වෝත්තමවාදීන්ගෙන් ලද පැමිනිලි මත රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම, ක්‍රමයෙන් උත්සන්න කෙරෙන බෞද්ධ ස්වෝත්තවාදී උද්ඝෝෂනයේ කොටසකි.

ප්‍රතිගාමී ආගමික දෘෂ්ටිවාදීන්ට හා කම්කරු පන්තියේ විඤ්ඤානය දූෂ්‍ය කරන අදහස්වලට එරෙහිව සටන් කිරීම බැරෑරුම් මෙන්ම විප්ලවවාදී කටයුත්තකි. රාජ්‍ය විසින් දැනුවත්ව පෝෂනය කරන එම අදහස්වලට අභියෝගකිරීමේදී විප්ලවවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍ය වන්නේ එහෙයිනි.

සමාජවාදී සමානතා පක්ෂයට පමනක්, උක්ත ප්‍රහාරයන්ට සහ කම්කරු පන්තියට එරෙහි පොදු රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමෙහිලා කීර්තිමත් ඉතිහාසයක් ඇත. පන්ති අරගලය තීව්‍රවීමත් සමග, ආඥාදායක සහ ඒකාධිපති විධික්‍රමයන්ට පාලක පංතීන් වේගයෙන් මාරු වීමත්, කම්කරු පන්තියට කෙටීම සඳහා අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් නඩ උසිගැන්වීමත් දැන් සෑම රටකම පාහේ දැකගත හැක. මේවාට එරෙහිව සටන් කල හැක්කේ, කම්කරු පංතික නායකත්වය යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයටම එරෙහිව කෙරෙන විප්ලවවාදී අරගලයේ කොටසක් ලෙස පමනි.

Loading