ශ්‍රී ලංකා ආන්ඩුවේ "පැතිර යාමට ඉඩ හරිනු" ප්‍රතිපත්තිය කොවිඩ්-19 වසංගතයේ ඉහලයාමකට තුඩුදෙයි

[මෙය Sri Lankan government’s “let it rip” policy produces COVID-19 surge යන මැයෙන් 2023මැයි 26පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ මේ වසරේ වැඩිම දෛනික කොවිඩ්-19 ආසාදන සහ මරන සංඛ්‍යාව පිලිවෙලින් 15 ක් සහ 3 ක් ලෙස, මැයි 20 වන දින වාර්තා කෙරුනි. මෙම අවගනන වාර්තාවල නිල සංඛ්‍යා පෙර නැගීම් වලට වඩා කුඩා බව පෙනුනද, ඒවා මාරාන්තික වෛරසයේ නව රැල්ලක් පුරෝකථනය කරයි. කොවිඩ්-19 සාමාන්‍ය උනක් මෙන් යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින්, ආන්ඩුව බොහෝ කලකට පෙර මුහුනු ආවරන පැලදීම අනිවාර්ය කිරීම ඇතුලු කොරෝනා වෛරයට එරෙහි සියලුම මූලික ආරක්ෂන පියවරයන් අතහැර දැමීය.

නවතම සංඛ්‍යාලේඛන අනුව, 2020 දී මාරාන්තික රෝගය දිවයිනට කඩාපාත්වූ තැන් පටන් ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආශ්‍රිත මරන සංඛ්‍යාව 16,864 දක්වා සහ නිල වශයෙන් පිලිගත් ආසාදන සංඛ්‍යාව 627,357 දක්වා ගෙන එයි.

ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි අසල්වැසි නිවැසි ප්‍රදේශයක, කොවිඩ්-19 පරීක්‍ෂා කිරීම සඳහා මිනිසුන් තම ඛේට තරල සාම්පල ලබා දීමට පෝලිම් ගැසී සිටිති. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

වර්ල්ඩොමීටර් (Worldometer- කෝවිඩ්ද ඇතුලු විවිධ විෂයන් ගැන ලදවිගස සංඛ්‍යා දත්ත සම්පාදනය කරන අන්තර්ජාතික විමර්ශන වෙබ් අඩවියක්-පරි.) සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාව, මැයි 1 සිට 22 දක්වා, නිල වශයෙන් කොවිඩ් ආශ්‍රිත මරන 23 ක් හෙවත් සාමාන්‍යයෙන් දිනකට එක් මරනයක් වාර්තා කර ඇති අතර, රෝගීන් 195 ක් හෙවත් දෛනික සාමාන්‍ය රෝගීන් නවයක් වාර්තා කලේය. රට තුල සිදු කෙරෙන්නේ ඉතා සීමිත කොවිඩ්-19 පරීක්ෂන ප්‍රමානයක් පමනක් වන හෙයින්, සත්‍ය සංඛ්‍යා මීට වඩා බෙහෙවින් වැඩි විය යුතුය.

දැනට, ශ්‍රී ලංකාව තුල නිල දෛනික කොවිඩ්-19 යාවත්කාලීන කිරීම් නොමැත. ඇත්ත වශයෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කොවිඩ්-19 තත්ව වාර්තාව” 2022 දෙසැම්බර් 13 සිට යාවත්කාලීන කර නොමැත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂාව පිලිබඳ ආසන්තම අවර් වර්ල්ඩ් ඉන් ඩේටා (Our World in Data) සංඛ්‍යාලේඛන වාර්තාව නිකුත් කර ඇත්තේ වසරකට පමන පෙර, එනම් 2022 ජූනි 14දා ය. එය දෛනික කොවිඩ් පරීක්ෂන අනුපාතය දහසකට 0.06 ක් පමනක් පෙන්නුම් කරයි. වසංගතයේ අවසාන උච්චතම අවස්ථාව වන 2021 මැයි 21 දින ද ඇතුලත්ව, රට කිසි විටෙකත් පරීක්ෂන අනුපාතය දහසකට 1.18 ඉක්මවා නැත.


ආන්ඩුවේ සෞඛ්‍ය බලධාරීන් දිවයිනේ කොවිඩ් තත්වය අවතක්සේරු කිරීමට උත්සාහ කරන නමුත්, වසංගතය ආරම්භ වූ දා සිට ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) වාර්තා කල රටවල් 231 ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 80 වැනි ස්ථානයේ හෙවත් වාර්තාවූ කෝවිඩ් ආසදනවලින් ඉහලම තුනෙන් එක අතර සිටියි.

ඩේලි මිරර් මෑතකදී ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු උපුටා දක්වමින් කියා සිටියේ, “සැම විටම නව රෝගීන් වැඩිවීමේ හැකියාව ඇති බැවින් (බලධාරීන්) තත්වය නිරීක්ෂනය කරමින් සිටින” බවයි. තත්වය අවමකොට පෙන්වීමට උත්සාහ කරමින් නිලධාරියා මෙසේ පැවසීය: 'කෙසේ වෙතත්, සාර්ථක එන්නත් කිරීමේ මෙහෙයුමක් හරහා විශාල ජනකායක් කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරනය කර ඇති බැවින් සිදුව ඇත්තේ සුලු වෙනසකි.'

කෙසේ වෙතත්, මොඩර්නා සහ ෆයිසර් ඇතුලු එන්නත් කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දෙන්නේ මාස හයක කාලයකට පමනක් බවට පැහැදිලි සාක්ෂි ඇති බවට සඳහන් කිරීමට නම සඳහන් නොකල නිලධාරියා අපොහොසත් වූයේ ය. මාස හතකට පමන පෙර, එනම් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සාමූහික එන්නත්කරනය අත්හිටුවිනි. 2022 ඔක්‌තෝබර් 23දා මිලියන 15 කට ආසන්න ප්‍රමානයක්‌ හෙවත් ජනගහනයෙන් සියයට 67.6 ක්‌ සම්පූර්නයෙන් එන්නත් කල බව පැවසුවද, දැන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් XBB.1.16 හි ප්‍රතිශක්‌තිය මගහැරයාමේ ඉහල හැකියාවක් ඇති සහ සීග්‍රයෙන් බෝවන ආක්‌ටරස් (Arcturus ) උපප්‍රභේදයට මුලු ජනගහනයම ගොදුරු වීමේ අවදානමට මුහුන දී සිටියි.

කොලඹ ආනඩුව, මිනිස් ජීවිතවලට ඉදිරියෙන් ලාභය තබන සිය සාපරාධී වෛරසය 'පැතිර යාමට ඉඩ හරිනු' ප්‍රතිපත්ති පවත්වාගෙන යන අතරම, වැඩෙන අන්තරාය වසන් කරයි. සෞඛ්‍ය බලධාරීන් මෑතකදී උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ නව වැඩිවීමකට ප්‍රතිචාර දැක්වූයේ, මූලික කොවිඩ්-19 ආරක්ෂක පියවරයන් පැනවීම අවහිර කිරීමෙනි.

යාපනය රෝහලක රෝගීන්ගෙන් පිරී ගිය වාට්ටුවක වැතිර සිටින රෝගීන්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ආසාදන ප්‍රථම වරට දිවයිනට කඩාවැදුනු 2020 මාර්තු-අප්‍රේල් වලදී පැනවූ කෙටිකාලීන අගුලු දැමීමට අමතරව, සියලුම මූලික කොවිඩ් ආරක්ෂන පියවරයන් අනුප්‍රාප්තික ආන්ඩු විසින් අතහැර දමා ඇත. රෝහල්වල හා අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් සහ හෙදියන් ද ඇතුලු බොහෝ පුද්ගලයින් තවදුරටත් මුහුනු ආවරන පලඳින්නේ නැත.

2020 ජනවාරි මාසයේදී ලෝසෞසං විසින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර තිබූ, කොවිඩ්-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව පිලිබඳ ජාත්‍යන්තර ව්‍යාපාරය (පීඑච්ඊඅයිසී) අවසන් කිරීම, ශ්‍රී ලංකාව ඇතුලු සෑම තැනකම ධනේශ්වර ආන්ඩුවලට, කලින් තිබූ කොවිඩ් වැලැක්වීමේ සියලුම සීමා සහිත පියවරයන් අත්හැරීමට මාර්ගය විවෘත කලේය.

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා ප්‍රකාශනයට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය පැමිනියේ වසංගතය හේතුවෙන් සිදුවන දෛනික ගෝලීය අතිරික්ත මරන 12,000 නොතකා ය. ආක්‌ටරස්‌ උප ප්‍රභේදය ඉන්දියාව තුල ප්‍රමුඛත්වයට පැමිනීමත් සමග මෙම අගය මාර්තු මාසයේ සිට සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.

මාරාන්තික රෝගය වේගයෙන් පැතිරීම සහතික කරමින්, ලංකාවේ පාසල් සිසුන් ඇතුලු, සියගනනක් සහ බොහෝ අවස්ථාවන්හිදී දහස් ගනනක් ජනයා රැස්වෙන ආගමික උත්සව වලදීත්, රෝහල්, තදබද වූ බස් රථ සහ දුම්රිය තුලදීත් මුහුනු ආවරන පලඳින්නේ නැත.

කොවිඩ්-19 හි ඊටත් වඩා දරුනු නව ප්‍රභේදවල අන්තරාය පිලිබඳව වසංගත රෝග විද්‍යාඥයින් සහ බැරෑරුම් වෛද්‍ය විද්‍යාඥයින් විසින් කරන ලද අනතුරු ඇඟවීම්, වික්‍රමසිංහ ආන්ඩුව විසින් නොසලකා හරිනු ලැබේ.

ඒ අතරම, අනුප්‍රාප්තික ආන්ඩු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම්වලට අනුකූලව, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට එරෙහිව අයවැය කප්පාදු ප්‍රහාර දියත් කරමින්, එය බිඳවැටීමේ අද්දරට තල්ලු කර ඇත. දිවයින පුරා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරනවල සහ ජීවිතාරක්ෂක ඖෂධවල දරුනු හිඟයක් වාර්තා වේ.

අනෙකුත් සියලුම ධනේශ්වර ආන්ඩු මෙන්ම—කප්පාදුවේ, ප්‍රචන්ඩත්වයේ සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනයේ පාලන තන්ත‍්‍රයක් වන—වික‍්‍රමසිංහ ආන්ඩුවට ද, මෙම සමාජ ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන්ගේ ඒකාබද්ධ ස්වාධීන අරගලයක් අවහිර කරන වෘත්තීය සමිතිවලට ද, මිලියන ගනනක් වූ එහි පුරවැසියන්ගේ දුක්ඛිත තත්වය ගැන අබමල් රේනුවක හැඟීමක් ඇත්තේ නැත.

අතිශයින් මූලික ම සෞඛ්‍ය පිලිවෙත් පවා ලබා දීම ප්‍රතික්ෂේපකරන හෙයින්, පූර්වයෙන් මර්දනය කොට තිබූ වෙනත් රෝග ද නැවත මතුවෙමින් තිබේ. මෙම වසරේ මේ දක්වා පුද්ගලයින් 33,000 කට අධික පිරිසක් ආසාදනය වී ඇති භයානක ඩෙංගු උන රෝගය මෙයින් නවතම එකයි. වසර 14 කට පසු, පසුගිය මාසයේ වාර්තා වූ පලමු මැලේරියා මරනයත් සමඟ මැලේරියාව ද යලි හිස ඔසවා තිබේ.

මෙම නරක අතට හැරෙන සමාජ ව්‍යසනය ධනේශ්වර ක්‍රමයේ ඓතිහාසික අර්බුදයේ තවත් උදාහරනයකි. එය, මිනිස් ජීවිතයත්, කම්කරු පන්තියේ සහ ගම්බද ජනයාගේ මූලික අවශ්‍යතාත් පුද්ගලික ලාභයට ඉහලින් තබන සහේතුක සමාජ ක්‍රමයක්—එනම් සමාජවාදය—මගින් විස්ථාපනය කල යුතු ය. මෙම ඉදිරිදර්ශනය සඳහා අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයකට පමනි.

Loading