මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම දිගටම ක්‍රියාත්මක වෙයි

වැටුප් ඉල්ලීම් මත සහ රුදුරු වැඩ කොන්දේසිවලට එරෙහිව අරගලයේ යෙදුන මස්කෙලිය අප්කොට් හි ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහිව හොරන වතු සමාගම විසින් මුදාහැරුන දඩයම වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ දිගටම ක්‍රියාත්මක වෙයි. ඔවුන් ට එරෙහි දඩයම වතු හාම්පුතුන්ගේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්‍රනයකි.

ඕල්ටන් වත්ත [මූලාශ්‍රය: ෆේස්බුක්]

රැකියාවෙන් නෙරපීමට විරුද්ධව හැටන් කම්කරු උසාවියේ කම්කරුවන් පවරා ඇති නඩුව සම්බන්ධ ජුනි 7 වෙනිදා පැවැති නඩු විභාගයේ දී රැකියාව අහිමි කර සිටින කම්කරුවන් 38 දෙනාගෙන් ආර්.මාරිජාජි, පී. පත්මාජෝති, පී. මුත්තුමාරි සහ පී. අන්නාලෙච්චමි යන කාන්තා කම්කරුවන් හතරදෙනා නවක කම්කරුවන් ලෙස යලි සේවයේ පිහිටුවන ලෙස උසාවිය නියෝග කර ඇත. ජුලි 12 වෙනිදා විභාග කිරීමට නියමිතව තිබුන ඉතිරි 34 දෙනා සම්බන්ධ නඩු විභාගය අගෝස්තු 2 සහ 4 යන දිනයන්ට කල් තැබුනි.

නවකයන් ලෙස සේවයේ පිහිට වූ හතරදෙනා සේවයෙන් නෙරපා නොතිබූ බවට සහ ඔවුන් විසින් ම වැඩට නො පැමිනි බවට වතු පාලකයන් විසින් උසාවියට කරුනු ඉදිරිපත් කර ඇත. ඉහත නියෝගය නිකුත් කර ඇත්තේ ඒ අනුවය.

එහෙත් එම කම්කරුවෝ වතු පාලකයන් ගේ චෝදනාව ප්‍රතික්ෂේප කරති. තමන් වැඩට රපොර්තු කිරීමට කිහිප විටක්ම ගිය නමුත් වතු පාලකයන් ඔවුන්ට වැඩ දීම ප්‍රතික්ෂේප කල තතු යටතේ වැඩට නොගිය බව ඔවුහු පැවසූහ. රැකියාවෙන් නෙරපූ බවට සෙසු කම්කරුවන් 34 දෙනාට ලිඛිතව දැනුම් දී ඇතත් මෙම හතරදෙනාට එබඳු දැනුම්දීමක් කර නැත. ඔවුන් ද රැකියාවෙන් නෙරපන බව වැඩ පරීක්ෂක (සුපවයිසර්) වාචිකව පැවසූ බව එම කම්කරුවෝ කීහ. ඔවුන් ට වැඩ දුන් නමුත් වැඩට නොපැමිනි බවට වතු පාලකයන් කම්කරු උසාවියේ දී කල ප්‍රකාශය අමූලික ‌බොරුවකි.

ඕල්ටන් වත්තේ ලයින් කාමර පෙලක් [ලෝසවෙඅ මාධ්ය]

නවක කම්කරුවන් ලෙස සේවයේ පිහිටුවීමෙන් අදාල කාලය තුල ඔවුන්ට හිමිවිය යුතු වැටුප, විශ්‍රාම වැටුප් ලෙස හිමිවිය යුතු අර්ථසාධක හා පාරිතෝෂික ද අහිමි වන බව ද කම්කරුවෝ කීහ. එහෙත් වසර එක හමාරකට වැඩි කාලයක් රැකියාව අහිමි වී අතිශය දුෂ්කර කොන්දේසිවලට මුහුනු දීමට සිදු වූ තතු තුල උසාවි නියෝගය පිලිගෙන නවක සේවකයන් ලෙස වැඩට යාමට බලකෙරුන බව ද ඔවුහු පැවසුහ.

පසුගිය වසරේ පෙබරවාරි 2 වැඩ වේගවත් කිරීමට විරුද්ධව සහ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඕල්ටන් වත්තේ වතුකම්කරුවෝ වර්ජනයක් ආරම්භ කලහ. වර්ජනයට කම්කරුවෝ 500 පමන සහභාගී වූහ. ඔවුන් පෙබරවාරි 5 වැටුප් ඉල්ලීම මත ලංකා කම්කරු කොංග්‍රසයෙන් කැඳවුම් කල ජාතික වතු කම්කරු වර්ජනයටද සහභාගී විය. වර්ජනයට සම්බන්ධවූවන්ට එරෙහිව වතු හාම්පුතුන් මර්දනයක් මුදාහල අතර කම්කරුවෝ ඊට විරුද්ධව මාර්තු 22 දක්වා අඛන්ඩ වර්ජනයක නිරත වූහ. වතු කලමනාකරුට කායිකව පහර දුන්නේය යන චෝදනාව මත කම්කරුවන් 24 දෙනෙකු සහ තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලීසිය පසුව තවත් කම්කරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

කම්කරුවෝ 38 දෙනෙකු රැකියාවෙන් නෙරපනු ලැබ සිටිති. වතු කලමනාකරුට පහර දුන්න බවට ඔවුන්ට චෝදනා කරතත්, ඔවුන්ට එරෙහිව උසාවියේ කිසිදු චෝදනාවක් ගොනු කිරීමට පොලීසිය අසමත් වීමෙන් යලිත් සනාත කෙරෙන්නේ මෙම කම්කරුවන්ට එරෙහිව වතු හාම්පුතුන් සහ පොලීසිය එක්ව ව්‍යාජ චෝදනා මත දඩයමක් දියත් කර තිබෙන බවයි.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි මෙම රුදුරු දඩයම දියත් කෙරී ඇත්තේ ඔවුන් සාමාජිකත්වය දරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සංගමයේ (එන්යූඩබ්ලිව්) ඍජු සහයෝගය ඇතිවය. කඳුරට ජනතා පෙරමුන, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුළු සෙසු සියලු වතු වෘත්තීය සමිති මෙම දඩයම සම්බන්ධයෙන් මුළුමනින් ම නිහඬ පිලිවෙතක් අනුගමනය කරමින් දඩයමට වක්‍රව සහය දෙති.

එයින් ගැම්මගත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ එවකට සභාපති රොෂාන් රාජදුරෙයි තර්ජනාත්මකව කියා සිටියේ, ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම සෙසු වතු කම්කරුවන් ට ද 'පාඩමක්' බවයි. එම තර්ජනය හමුවේ පවා, මෙම මෘග දඩයමට එරෙහිව සහ කම්කරුවන්ගේ රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කවර හෝ අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය සමිති සපුරාම ප්‍රතික්ෂේප කර ඇත.

වතු කම්කරුවන් ට එරෙහි මර්දනයේ දිගුවක් ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ තලවකැලේ කටුකැලේ වත්තේ කම්කරුවන් 11 දෙනෙකු ද වතු පාලකයන්ගේ පැමිනිල්ලකට අනුව පොලීසිය විසින් අත් අඩංගුවට ගත්තේය. ඔවුන් අත් අඩංගුවට ගැනුනේ දෛනික තේ දළු නෙලීම කිලෝ 16 සිට 20 දක්වා දැරිය නොහැකි මට්ටමක ට ඉහල දැමීමට විරුද්ධව අගෝස්තු 18-24 දින හයක වැඩ වර්ජනයක් කිරීමෙන් පසු වතු පාලකයන් විසින් නිර්මානය කල ප්‍රකෝපකරනයක් හරහාය.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ අතිශය දරිද්‍රතා ජීවන කොන්දේසි වලට මුහුන දී සිටිති. දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් අතර මතු වූ අරගල යටපත් කිරීමේ එල්ලය ඇතිව එම වැටුප ගෙවන ලෙස රාජපක්ෂ ආන්ඩුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වතු සමාගම් වලට නිර්දේශ කල ද සමාගම් එම වැටුප ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. සමාගම් ඊට විරුද්ධව නඩු පවරා ඇති අතර දෛනික වැඩ ඉල්ලක්කයන් ඉහල දමා තිබේ.

එම වැටුප ගෙවීමට නම් වතු පාලකයන් නිර්දේශ කරන දෛනික වැඩ ඉලක්කයන් සම්පුර්න කල යුතුය. වැටුප තීන්දු කෙරෙන්නේ නෙලන තේ දළු ප්‍රමානයට අනුවය. ඉලක්කය සම්පූර්න නොකලොත් රුපියල් 1000 වැටුප ලැබෙන්නේ නැත. එවිට කම්කරුවන්ට ගෙවනු ලබන්නේ කිලෝවකට රුපියල් 40 බැගින් නෙලන ලද දළු ප්‍රමානයට පමනි. එය රුපියල් 700-800 හෝ ඊටත් අඩු මුදලකි.

අත්‍යවශ්‍ය බඩු මිල පිම්මේ ඉහල යන කොන්දේසි යටතේ වතු කම්කරුවෙකුට දිනකට ලැබෙන සොච්චම් වැටුප ජීවන වියදමට අලඟු තැබීමටවත් නොසෑහෙයි. විරක්ෂාව වතුකරය තුල තීව්‍ර වී ඇත. කෝවිඩ් වසංගතය සහ රුසියාවට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ නැටෝව විසින් මෙහෙය වන යුක්රේන යුද්ධයෙන් ගැඹුරු කෙරී ඇති ලෝක ධනවාදයේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුල කොලඹ සහ ප්‍රධාන නගරවල සුළු වැටුපකට දෛනික රැකියාවල යෙදුන දහස් ගනනක් වතු කම්කරු තරුන ජනයාගේ රැකියා ද අහිමි වී තිබේ.

වතු සමාගම් කම්කරුවන්ට එරෙහිව වැටුප් කප්පාදු කිරීමේ, වැඩ වේගවත් කිරීමේ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමේ ප්‍රහාරයන් තීව්‍ර කරනු ලැබ ඇත්තේ මෙම අර්බුදයේ ම ප්‍රතිවිපාකයක් ලෙස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සහ ලාබ කඩා වැටීමේ කොන්දේසි තුලය.

ශ්‍රී ලංකා තේ කම්හල් හිමිකරුවන්ගේ සංගමය ට අනුව ආන්ඩුවේ පොහොර තහනම නිසා තේ නිෂ්පාදනය සියයට 20-30 පහත වැටී ඇත. ඉන්ධන අර්බුදය හේතු කොට ගෙන තේ කම්හල් 500 අධික සංඛ්‍යාවක් වැසී යාමේ තර්ජනයට මුහුන පා ඇති බව ද සංගමයේ සභාපති ලයනල් හේරත් මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

ඕල්ටන් වතු පාලකයන්ගේ දඩයමට ගොදුරුව සිටින කම්කරු කාන්තාවක් වන එම්. පරිමාලදේවි මෙසේ පැවසුවාය: හතර දෙනෙකුට නැවත වැඩ දුන්නේ අලුත් සේවකයන් විදිහට. ඔවුන්ට කිසිම වන්දි මුදලක් නැහැ. අර්ථසාධක අරමුදලට ලියාපදිංචි කරලා තියෙන්නෙත් අලුත් අංකයකට. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් නැති තත්වය තුලයි වතු පාලකයෝ එහෙම කරලා තියෙන්නේ. කිසිම වෘත්තීය සමිතියක් අපව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා නැහැ. නඩුවේ නීතිඥයා ට ගාස්තු ගෙවීමත් එන්යූඩබ්ලිව් සමිතිය ප්‍රතික්ෂේප කලා. මේ නඩුවට සම්බන්ධ 12 දෙනෙක් ඒ සමිතියේ සාමාජිකයො”.

පරිමාලාදේවි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මූලිකත්වයෙන් ඕල්ටන් වත්තේ ස්ථාපිත කෙරුන කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකාවකි. මෙම දඩයමට එරෙහිව සහ ඔවුන් ව කොන්දේසි විරහිත සේවයේ පිහිටුවීම සඳහා කම්කරු පන්තිය බලමුළු ගැන්වීමේ අඛන්ඩ අරගලයක ක්‍රියාකාරී කමිටුව යෙදීගෙන සිටී.

වතු පාලකයන්ගේ කොන්දේසි පිලි අරගෙන වැඩට නොයන බව ඇය අවධාරනය කලාය. 'මාව රැකියාවෙන් ඉවත් කලේ බොරු චෝදනා මත. ඒ නිසා සේවා කාලය කඩන්න බැහැ. ඒක කම්කරුවන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියක් උල්ලංඝනය කිරීමක්. ඒ නිසා කම්කරු නීතියට අනුව රැකියාව අහිමි කල කාලයට වැටුප් සහ වන්දියක් ගෙවිය යුතුයි' ඇය කීවාය.

වෘත්තීය සමිති ගැන කිසිදු විශ්වාසයක් නැති බවත් බොරු නඩු පරාජය කිරීමට සහ රැකියා අයිතිය තහවුරු කර ගනීම සඳහා සෙසු වතු කම්කරුවන්ගේ සහ කම්කරු පන්තියේ සහය ගොනු කර ගැනීමට ක්‍රියාකාරී කමිටුව හරහා සටන් වදින බවත් ඇය පැවසුවාය.

වර්තමාන දේශපාලන තත්වය ගැන ඇය මෙසේ පැවසුවාය:'ගෝඨාභය රාජපක්ෂ ගියා. වත්තේ කම්කරුවන් සහ තරුනයන් සමග එකතුවෙලා රාජපක්ෂ එලවන්න අපි සටන්කලා. දැන් රනිල් වික්‍රමසිංහ බලයට පත්වෙලා. ඔහුත් ඒ විදිහෙම දරදඬු පාලකයෙක්. ඔහුගේ ආන්ඩුව ට විරුද්ධවත් අපි සටන් කල යුතුයි. සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන පරිදි ම කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම හැර මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට වෙනත් ක්‍රමයක් නැහැ'.

තවත් කම්කරු කාන්තාවක් හා ක්‍රියාකමිටුවේ සාමාජිකාවක් වන විශ්වකේතු මෙසේ පැවසුවාය: මෙම කම්කරුවන් 4 දෙනාට කිසිදු වන්දියක් නොගෙවා නවක කම්කරුවන් ලෙස සේවයේ පිහිටුවීම අප හෙලා දැකිය යුතුයි. ඉදිරියේ දී අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ගැන කිසිම සහතිකයක් නැහැ. මෙය වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව අප අතර භේදයක් ඇති කිරීමේ උත්සාහයක්. ක්‍රියාකාරී කමිටුව සියලුම කම්කරුවන් කොන්දේසි විරහිතව සේවයේ පිහිටුවීමේ සහ බොරු චෝදනා මත පවරා ඇති නඩු වලින් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂනය තීව්‍ර කල යුතුයි.'

වැඩ වර්ජනය කිරීමේ අයිතිය ඇතුලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමේ අරගලයේදී, සසප කැඳවා ඇති කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය ඉමහත් වැදගත් කමක් උසුලයි.

2022 ජූලි 21 දා සසප නිකුත් කල ප්‍රකාශයේ සඳහන් වන පරිදි, එම සම්මේලනය සඳහා අත්තිවාරම් දැමිය හැක්කේ 'කම්කරුවන් සහ ගම්බද වැඩ කරන ජනයා විසින්ම ඔවුන්ගේ පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා දිවයින පුරා වැඩබිම්, කම්හල්, වතු, අසල්වැසි සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හරහාය. මෙම කමිටු වැඩකරන ජනතාවගේ අභිලාෂයන් සඳහා අව්‍යාජ හඬක් දීමට නම්, ඔවුන් ධනේශ්වර පන්තියේ සියලුම පක්ෂවලින් සහ එහි වෘත්තීය සමිති ආවතේවකරුවන්ගෙන් ස්වාධීන වීම අත්‍යවශ්‍ය වේ.'

Loading