මැයි 30 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කල පරිදි, කොලඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ (ඩබ්ලිව්සීටී) කොටස් වලින්, සියයට 51ක් ඉන්දියානු අදානි සමාගමට, සියයට 34ක් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (ජේකේඑච්) පීඑල්සී සමාගමට සහ සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන ගිවිසුමකට, එකී පාර්ශ්වයන් මැයි 03 දා අත්සන් තබා ඇත.
ජනතා විමුක්ති පෙරමුන,(ජවිපෙ ), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප ) හා වරාය තුල වෘත්තීය සමිති එකමුතුව විසින් නැගෙනහිර පර්යන්තය (ඊසීටී ) පුද්ගලීකරනය කිරීමට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය පාවාදීමෙන් පසු, ඩබ්ලිව්සීටී ය පුද්ගලීකරනය සදහා ආන්ඩුව ඉදිරියට යමින් සිටියි.
වරාය නගර ව්‍යාපෘතිය චීන සමාගමකට පැවරීමට එරෙහිව ඇමරිකාවේ හා ඉන්දියාවේ විරෝධය නැගී තිබුන තත්වයේදී, ඊට ප්‍රතිචාර වශයෙන් කැබිනට් මන්ඩලයේ අනුමැතිය මැයි 3 දින මෙම ගිවිසුමට ලැබී ඇති අතර එදිනම ගිවිසුම අත්සන් කර ඇති බව වාර්තාවේ.
අධිරාජ්‍යවාදී ඇමරිකාවේ හා එහි කලාපීය සහකරුවන ඉන්දියාවේ, චීනයට එරෙහි භූ-දේශපාලනික මූලෝපායන් සමග කොලඹ වරාය පුද්ගලීකරනය අත්‍යන්තයෙන් බැඳී ඇත. ශ්‍රී ලංකාව විසින් වරාය නගර ව්‍යාපෘතිය චීනයට පවරාදීමට ප්‍රතිචාරී ලෙස ඇමරිකාව සහ ඉන්දියාව එක්ව ක්‍රියාවට නංවන සැලසුම්වල කොටසක් ලෙස ඉන්දියානු ආන්ඩුව කොලඹ වරාය තුල තම පය ගසා ගැනීමට යත්න දරයි.
ඊසීටී ය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග කලින් අත්සන්කර තිබූ අවබෝධතා ගිවිසුමෙන් ඉවත්ව, එය වරාය අධිකාරිය යටතේ “සංවර්ධනය” කරන බව පෙබරවාරි 1 දා අන්ඩුව නිවේදනය කරනු ලැබුවේ ඊට එරෙහිව පැනනැගුන වරාය කම්කරුවන්ගේ අරගලය සමග සෙසු කම්කරු පන්තියේ ඒකාබද්ධතාවක් ඇතිවේ යයි ගනන් බලමිනි. වෘත්තීය සමිති විසින් පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ අරගලය පවා දුන් නමුත්, ඒ සමගම වාර්තාවූයේ ගිවිසුම බිඳ දැමීම සම්බන්ධව ඉන්දියාවේ බල ගතු විරෝධතා මැද ඊසීටී ය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පවරා දීමට ආන්ඩුව තීන්දුකොට ඇති බවය.
කොලඹ වරාය පුද්ගලීකරන වැඩපිලිවෙල මෙසේ අඛන්ඩව ඉදිරියට යද්දී, මැයි 31 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පෙසප ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කියා සිටියේ, නැගෙනහිර ජැටිය අදානි සමාගමට පැවරීම නතරකර ගැනීමට හැකිවීම “ජයග්‍රහනයක්” බවයි. බටහිර ජැටිය පුද්ගලීකරනයට එරෙහිව “මහජන බලයක් ගොඩනැගීම හැර වෙන උත්තරයක් නෑ”යයි ඔහු තවදුරටත් පැවසීය. එයින් පෙන්නුම් කරන්නේ පුද්ගලීකරනයට එරෙහි කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වලක්වා ලීමට, ඊනියා මහජන බලයක් ගොඩනැගීම යටතේ, යලිත් වරක් වර්ගවාදී සංවිධාන සමග එක්ව කම්කරු විරෝධී ප්‍රතිගාමී ව්‍යාපාරයක් ගොඩනැගීමට පෙසප දරන ප්‍රයත්නය යි.
2021 ජනවාරි මාසයේ ඉහත සමිති සන්ධානය, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, ජවිපෙ, පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන සහ වෙනත් වෘත්තීය සමිති එක්ව, 'කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නමින් අන්ත දක්ෂිනාංශික සංවිධානයක් ගොඩනගමින්, පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු විරෝධය පාවා දීමට කටයුතු කලේය.
වරාය තුල පුද්ගලීකරනය මෙවර ක්‍රියාත්මක වන්නේ කම්කරුවන් කොවිඩ්-19 වසංගතයෙන් බරපතල ප්‍රශ්නයන්ට මුහුන දෙන තත්වයකය. වරාය තුල පීසීආර් පරීක්ෂන නවතා දමා වසංගතයේ ව්‍යාප්තිය ගැන කවර හෝ තක්සේරුවකින් තොරව කම්කරුවෝ දිගටම සේවයේ යොදවති. මිනිස් ජිවිත වලට ඉහලින් ලාභය තැබීමේ ආන්ඩුවේ පිලිවෙත යටතේ, “වරාය පාලකයන් විසින් කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා නිසි පියවර තහවුරු නොකිරීමෙන් සිය ගනනකට රෝගය ආසාදනය වුනා” යයි කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.
වසංගතය රට තුල වේගයෙන් පැතිරෙන තත්වයේදී කම්කරුවන් සේවයේ යෙදවීමේ නව පිලිවෙතක් වෘත්තීය සමිති සමග එක්ව වරාය අධිකාරියේ පාලකයන් ක්‍රියාවට දමන අතර එමගින් “කම්කරුවන් දුෂ්කර තත්වයකට මුහුන දෙන බව” කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේය. “වෘත්තීය සමිති නිලධරය විසින් සටන්කාමී කම්කරුවන් පිලිබඳ ඔත්තු පාලකයන්ට ලබාදෙන බව” ට විවිධ කම්කරුවෝ චෝදනා කරති.
කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව අනුයන සාපරාධී පිලිවෙතට, ජීවන කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරයන්ට සහ පුද්ගලීකරනයට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාවගේ විරෝධය පුපුරන සුලු මට්ටමකට නැගී ඇති තතු තුල, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සියලු වරායන් ඇතුලුව රාජ්‍ය සේවාවන් ගනනාවක්ම “අත්‍යවශ්‍ය සේවා” ලෙස ප්‍රකාශයට පත් කරමින් හා සියලු කාර්මික ක්‍රියා තහනම් කරමින්, මැයි 27 දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කලේ ය.
"අත්‍යවශ්‍ය සේවා නීතියට අනුව, මෙම ආයතනවල සේවයට වාර්තා නො කරන ඕනෑම සේවකයෙක්, “මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් අනතුරුව වැරදිකරුවෙකු කොට” වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවමකට” සහ/හෝ රුපියල් 2,000ත් 5,000ත් අතර දඩයකට හෝ එම දඬුවම් දෙකට ම යටත් කල හැකි ය."
අත්‍යවශ්‍ය සේවා නියෝගයට කිසිදු විරුද්ධ පක්ෂයක්, ව්‍යාජ-වාම පක්ෂයක් හෝ වෘත්තීය සමිතියක් මෙතෙක් විරෝධය පලකර නොමැත. වරාය කම්කරුවන් 10,000ක් අරගලයට පැමිනීමෙන් පසුව ජනාධිපති රාජපක්ෂ පසුගිය නොවැම්බරයේදී ද අත්‍යවශ්‍ය සේවා නියෝගයක් නිකුත් කලේය. එමගින් වරාය කම්කරුවන්ට එරෙහිව පැනවූ වැඩ වර්ජන තහනම, මාස තුනකට පසු අවලංගු වීමට ඉඩ හලේ, වෘත්තීය සමිති කම්කරුවන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීම භාර ගැනීමෙන් පසුය. ව්‍යාජ වාම පක්ෂයක් වන පෙසප ඇතුලු කිසිදු දේශපාලන පක්ෂයක් ඊට විරෝධය පල කලේ නැත.
තවත් වරාය කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ පසුගිය වසරේ කම්කරුවන් 10,000ක් සහභාගි වූ අරගලය වෘත්තීය සමිති විසින් පාවාදීමෙන් පසුව “කොලඹ වරාය පුද්ගලීකරනය කිරීම ආන්ඩුව මගින් දිගටම ක්‍රියාවට දමමින් සිටිනවා.” ඔහු මෙසේද කියා සිටියේය: “දැනටමත් වරාය අධිකාරියට අයත්වූ කොටස් පුද්ගලී කරනය කෙරී ඇති තත්වයේදී ඩබ්ලිව්සීටී ය පමනක් නොවෙයි, ඊසීටීයමත් ඉදිරිකාලයේ පුද්ගලී කරනයට නතු කිරීමේ අනතුර තියෙනවා.”
වරායේ පමනක් නොව සමස්ත කම්කරු පන්තිය තුල විරෝධයක් වැඩෙන තත්වයේදී ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝගය තහවුරු කර ගත්තේ වෘත්තීය සමිති වල පාවාදීම් යොදා ගනිමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට අයත් වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරාය සේවා සමිතිය සහ ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය කම්කරු පොදු සේවක සමිතිය ඇතුලු වෘත්තීය සමිති 23ක සන්ධානය වරාය කම්කරු අරගලය පවා දීමට හවුල් වූහ.
ශ්‍රී ලංකාවේ වරාය පුද්ගලීකරනය අනුප්‍රාප්තික ආන්ඩු යටතේ දශක දෙකකට අධික කාලයක් පුරා සිදුවී තිබේ. 1998 වසරේදී කොලඹ වරායේ රැජින පාලම “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්” නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”සමාගමට පැවරීම මේ අතර ප්‍රධාන වේ. මෙම පුද්ගලී කරනයන් සියල්ල සිදුවූයේ වෘත්තීය සමිතිවල ආධාරයෙනි.
ජවිපෙ ට සම්බන්ධ සමස්ත ලංකා පොදු සේවක සමිතිය මැයි 11 දින වරායේ සභාපති වෙත යවන ලද ලිපියකට අවධානය යොමු කරමින් වෘත්තීය සමිති ආන්ඩුව සමග එක්ව කම්කරුවන්ට එරෙහිව වැඩ කරන ආකාරය තවත් වරාය කම්කරුවෙක් පෙන්වා දුන්නේය. “කොවිඩ් දෙවන රැල්ලෙන් ආරක්ෂා වෙමින් මෙහෙයුම් ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙනයාම” සදහා උපදෙස් මාලාවක් එම ලිපියෙන් පාලකයන් වෙත ඉදිරිපත් කරයි. සමිති උත්සුක වන්නේ කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් නොව පාලකයන් සමග එක්ව කෙසේ හෝ මෙහෙයුම් ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් බව ඔහු කෝපයෙන් පැවසීය.
තවත් කම්කරුවෙක් මෙසේ කීවේය: “ඊසීටීය පුද්ගලීකරනය කිරීම වැඩි ඈතක නැහැ. වරාය අධිකාරියේ කම්කරුවන්ගේ රකියා අනතුරේ. ඊසීටී යත් පුද්ගලීකරනය කරොත් සොච්චම් වන්දියකට යටත් කර අපේ රැකියා අහෝසි කල හැකියි. පුද්ගලීක ව්‍යාපාරිකයන් ලොකු සමාගම් සමග එක්ව සේවය පවත්වා ගෙන යයි.” ඊසීටීයද පුද්ගලීකරනය කෙරෙන බවට කම්කරුවන් තුල පවතින් සැකය යුක්ති සහගතය. ඉන්දියාව පලමුව ඉල්ලා සිටියේ ඊසීටීයයි.
මෝදර වරාය නිල නිවසක ජීවත්වන කම්කරුවෙක්, ඔවුන් එම නිවාස වලින් පන්නා දැමීමට ආන්ඩුව දරන දුෂ්ඨ ප්‍රයත්නය ගැන විස්තර කලේය: “වසර 5කට වඩා නිල නිවාසයන්හි පදිංචි අපට ලබන නොවැම්බර් වන විට මේ නිවාස භාර දියයුතු බවට දන්වා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා නියෝගය යටතේ මීට එරෙහිව සටන් වැදීම දැන් නීතියෙන් තහනම්. මීට සියලු වෘත්තීය සමිති නිහඩව පක්ෂපාතීත්වය දක්වනවා."
“වසර 5කට අඩු පදිංචිකරුවන් සිටින්නෙ අතලොස්සක්. මේ සූදානම් වෙන්නෙ අක්කර ගනනක භූමි භාගයක් හිස්කර ගෙන ආයෝජකයන්ට විකුනන්න. දැන් කොලඹ නගරයේ ඉඩම් බොහොමයක් ආන්ඩුව පවරා ගෙන තියෙනවා. ආරංචි හැටියට කොටුවෙ සහ කොම්පඤ්ඤ වීදියෙ ඉඩම් වරාය නගර ව්‍යාපෘතිය හිමි චීන සමාගමට පැවරීමට සූදානම්.
“පුද්ගලීකරන වැඩපිලිවෙල පරාජය කිරීමේ සටන වෘත්තීය සමිති යටතෙ කරන්න බැරිබව ඉතා පැහැදිලියි. සමාජවාදී සමානතා පක්ෂය කියන විදියට කම්කරුවො මේ සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදිය යුතුයි.”